කල්පයක් කියන වචනය ලෝකයට හෙළිදරව් වෙන්නෙ බුද්ධ ශාසනයක දී විතරයි. කල්පය මොන තරම් දිගු ද කියා තේරුම් ගන්න ලැබෙන්නේත් බුදු මුවින් දේශනා කරන උපමාවන්ගෙන් විතරයි. එ් විස්මිත සම්බුදු නුවණින් දකිමින් ම සම්බුදුරජාණන් වහන්සේ එ්කාන්තයෙන් ම, අන් තැනක නැවතීමක් නැතිව ම නිරයේ කල්පයක් දුක් විඳින්න අකුසල කර්ම රැස්වන කාරණාවනුත් පෙන්වා දී වදාළා.

මව මැරීම, පියා මැරීම කියන පාපී අකුසලයන් අයිති වෙන්නේ අතරක් නැතිව ම කල්පයක් පුරා නිරයේ දුක් විඳින්නට හේතු සකස් වන කර්මයන්ට. අම්මා තාත්තා දරුවෙකු ව ඝාතනය කළා කියලා එ් දෙදෙනා කල්පයක් නිරයේ පැහෙන්නේ නැහැ. එ්ත් දරුවෙකු අතින් දෙමව්පියන් කෙරෙහි මේ අකුසලය සිදු වුවහොත් එ්කාන්ත නිරය හැර වෙන පැනවීමක් නැහැ. මේ දේ දන්න කෙනා, නිරයේ විඳින්න සිදුවන දුක් ගැන දන්න කෙනා අම්මා තාත්තා ඝාතනය කරන්නට තබා ඔවුන් දෙස රවා බලන්නටවත් පෙළඹෙන්නේ නැහැ. එ්ත් අවාසනාවකට ලෝකයේ අතිමහත් බහුතරයකට කර්ම විපාකයන්ගේ සකස්වීම් මෙතරම් නිරවුල් ව පෙන්වා දුන් දහම අසන්නටවත් ලැබෙන්නේ නැහැ…

මේ සිදුවීම ලොවට වාර්තා වුණේ සිරියාවෙන්. අයි එස් අයි එස් ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයෙකු බවට පත් වුණ, තම කුසෙන් බිහි වුණ පුතා මේ ම්ලේච්ඡු අරගලයන්ගෙන් ගලවාගෙන යුද බිය නැති පෙදෙසකට පලා යන්නට උත්සාහ කළ අම්මා කෙනෙකුගේ ජීවිත ඉරණම විසඳී තිබුණේ ඇයගේ ම පුතු අතින්. නගරයෙන් බැහැර වන්නට තම මව ඉල්ලිම් කරන බව ඔහු විසින් අණ දෙන නිලධාරීන්ට වාර්තා කොට තිබුණේ අම්මාගේ සෙනෙහස නොවටිනා දෙයක් ලෙස දකිමින්. විමුක්තිය සොයා යන ගමන අවහිර කරන බාධකයක් ලෙස සලකා තම අම්මා ව ද්‍රෝහීන්ගේ ලේඛනයට ගෙන එන්නට ඔහුට වුවමනා වුණා. අවසානයේ සිදු වුණේ ඔහු අතින් ම තම මව ඝාතනය කෙරිය යුතු බවට ඉහළ නිලධාරීන්ගෙන් නියෝගයක් නිකුත් කිරීම. සිය ගණනක් වූ ජනයා ඉදිරිපිට මේ පුතු තම මව වෙඩි තබා ඝාතනය කළා.

විමුක්තිය පිණිස ඔහු තෝරා ගත් මාවතේ නිමාවක් දකින්නටත් පෙර ම ඔහුට මේ ජීවිතයේ කෙළවර මුණ ගැසෙන කල්පයක නිරා දුක උරුම වී අවසන්. සැබෑ විමුක්තිය කුමක්දැයි නො දත්, එ් විමුක්ති මාවත විවර කර නො ගත් සැමට පොදු ඉරණම තමයි මේ.

මේ ජීවිතයේ දී අපට කර්ම කර්ම ඵල ස්වභාවය ගැන විස්තර කරන මුනි වදන් අසන්නට ලැබුණ නිසා අප මෙවැනි අකුසලයන් කරන්නට ලැජ්ජාව උපදවාගෙන සිටිනවා. එ්වායේ ආදීනවයන් කෙරෙහි බිය උපදවාගෙන සිටිනවා. එ් නිසා අප අනතුරින් නිදහස් කියා සිතාගෙනත් සිටිනවා. මේ ජීවිතයේ ගැලවී ගත්තා වුණත් සසරේ අප අතින් මොන තරම් නම් අපරාපරියවේදනීය හෙවත් පිරිනිවන් පානා තුරු ම විඳින්නට සිදු වන කර්ම විපාක සහිත අකුසලයන් සිදු වෙලා ඇති ද? කී වතාවක් නම් අපි අතින් අම්මා, තාත්තා ඝාතනය වන්නට ඇති ද? ආරම්භක කෙළවරක් නො පෙනෙන මේ ගමනේ අපි කොයි තරම් නම් ආනන්තරීය පාපකර්මයන් කරන්නට ඇති ද? එහෙම එකේ දහම මුණ ගැසීමේ විරල වාසනාව ලද පමණින් අප ගැලවුණා කියා කියන්නට පුළුවන්කමක් නැහැ.

එ් නිසා තවත් ප‍්‍රමාද නො වී සීලය පිරිසිදු කර ගැනීම ම යි කර ගත යුත්තේ. දෘෂ්ටිය ඍජු කර ගැනීම ම යි කර ගත යුත්තේ. නිවන් මෙඟ් ආරම්භයට පැමිණීම ම යි කර ගත යුත්තේ. අපගේ සතුරන් වේ නම් ඔවුන්ටත් මේ දහම ම අසන්නට ලැබේවා! මේ දහම ම දරා ගන්නට ලැබේවා!