දියමන්ති ගැන දන්නවා වුණාට කවුද මේ ජොසපින් කියලා ඔබ දන්නෙ නෑනේ නේ ද? එ් නිසා දියමන්තිය ගැන කියන්න කලින් ජොසපින් ගැන කියන්න වෙනවා.

හොංකොංවල සිටින බිලියනපති ව්‍යාපාරිකයෙකු වන ජෝශප් ලෝව්ගේ සත් හැවිරිදි බාල දියණිය තමයි ජොසපින්. මේ තාක් ලෝකයේ දියමන්තියක් අලෙවි වූ ඉහළ ම අගය වාර්තා කරමින් ‘නිල් සඳ’ නමින් ප‍්‍රකට වුණ මේ දියමන්තිය ලෝව් විසින් පසුගිය වසරේ අවසානයේ දී මිල දී ගනු ලැබුවේ ඩොලර් මිලියන 48.4ක මුදලක් වැය කරමින්. ඔහු විසින් එය ‘ජොසපින්ගේ නිල් හඳ’ යනුවෙන් නම් කරනු ලැබුවා. ඊට දිනකට පළමු ඔහු රෝස පැහැ දියමන්තියක් ඩොලර් මිලියන 28.5ක මුදලකට මිල දී ගෙන එය ‘ආදරණීය ජොසපින්’ ලෙසින් නම් කළා. මේ බිලියනපති ව්‍යාපාරිකයා සිය වැඩිමහල් දියණිය වෙනුවෙන් ද මේ ආකාරයෙන් ම ඩොලර් මිලියන ගණනක් වැය කොට බොහෝ දියමන්ති මිල දී ගෙන තිබෙනවා.

‘සල්ලි තිබෙනවා නම් මොනවා කරන්න බැරි ද?’ කියලා කෙනෙකුට මේ පුවත් දකිද්දි හිතෙන්න පුළුවන්. සල්ලි තිබුණට කරන්න බැරි දේවල් තිබෙන බව දැනගත්තේ, දැක ගත්තේ මේ ලෝකයේ උතුම් ජීවිත අර්ථයන් සොයා ගිය නුවණැති මිනිසුන් විසින් පමණයි. බලන්න එ් උතුම් මිනිසුන්ගේ ජීවිතාවබෝධය…

‘‘සල්ලි තිබුණා කියලා දීර්ඝායුෂ ලැබෙන්නේ නෑ. වස්තුව තිබුණා කියලා නාකි නො වී ඉන්ට බෑ. අන්න එ් නිසයි ප‍්‍රඥවන්ත මුනිවරු කියන්නේ ජීවිතය ඉතා සුළු කලයි තියෙන්නේ කියලා. සදාකාලික නෑ කියලා. වෙනස් වන ස්වභාවයට අයිතියි කියලා.”
(රට්ඨපාල මහරහතන් වහන්සේගේ ථේර ගාථා)

ඩොලර් මිලියන ගණනින් මේ ලෝකය දියමන්ති මිල කරනවා. එ්ත් වටිනා ම දේ එය නො වෙයි; වටිනා ම දියමන්තියෙනුත් කළ නො හැකි දේ කරන්නට හැකියාව තිබෙන්නේ ලොව අසමසම වූ, අතුල වූ උතුම් රත්නයන් තුනට පමණයි… බව භෝග සම්පත් කෙනෙකුට ලැබෙන්නට මුල් වන්නේත් පෙර කළ පින්. ජොසපින්ගේ තාත්තාට තරම් වස්තුව ලබන්න පිනක් අපේ තාත්තලාට නො තිබුණාට ජොසපින්ගේ තාත්තාට ඇයට දෙන්නට නො හැකි වුණ වත්කමක් අපට පවරන්න අපේ තාත්තලාට හැකියාව ලැබුණා. අන්න එ් බව සිහි කරන්නයි වැල්ලම්පිටි කිවිඳුන්ගේ කවියකින් අප මේ සටහන අවසන් කරන්නේ.

‘‘ගුණදම් ඔබ රැකිය යුතු ය
බිය විය යුතු පවට
නැණවත් විය යුතු ය
නොරැවටෙනු මැන හැඩරුවට
සැනසීමක් ලද දෙයකින් සැක නැහැ ලබනවට
වෙන සම්පත් නො තිබුණාට තුන් සරණයි දුවට”