කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසු දරුවෙක් වන රඛිත දිල්ශාන් මාලේවන තමයි මේ දස්කම කළේ. රටවල් 41ක සහභාගීත්වයෙන් පැවැත්වුණු අන්තර්ජාතික විද්‍යා පර්යේෂකයන්ගේ ඔලිම්පියාඞ් තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගන්නට සමත් වුණු ඔහුගේ නව සොයා ගැනීමෙන් මාරාන්තික එ්ඞ්ස් රෝගයට ඖෂධයක් හඳුන්වා දෙනු ලැබුවා.

එ්ඞ්ස්වලට බෙහෙත් හොයා ගෙන නොතිබීම නිසා ලොව පුරා එ්ඞ්ස් ආසාදිතයන් විශාල ප‍්‍රමාණයක් සෑම වසරක දී ම මරණයට පත් වෙනවා. එ් වගේ ම එන්න එන්න ම එ්ඞ්ස් වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාවත් ඉහළ යනවා. එවැනි අන්තරායකාරී තත්ත්වයකින් ලෝකය මුදවා ගන්නට හෙළ දරුවෙකුගේ හැකියාවන් සමත් වීම අපට අභිමානයක්. එ්ඞ්ස් රෝගීන් බොහෝ දෙනෙකු කාම මිථ්‍යාචාරයේ ආදීනවයක් ලෙසින් මේ රෝගයට ගොදුරු වන බව සැබෑවක් වුණත් එ්ඞ්ස් රෝගීන් සියලූ දෙනා කාමය වරදවා හැසිරෙන්නවුන් නෙවෙයි. රුධිර පාරවිලයනයේ දී අසරණ රෝගීන්ට මේ වෛරසය ශරීරගත වන්නට පුළුවනි. සහකරුගේ හෝ සහකාරියගේ වැරදි හැසිරීම් නිසාත් මේ රෝගය කෙනෙකුට වැළඳෙන්නට පුළුවන්. එ් වගේ ම මවුපියන් අතරින් එක් අයෙකු හෝ ආසාදිතයෙකු වීම නිසා ඔවුනට දාව උපදින දරුවන් ආසාදිතයන් වෙනවා. එවැනි ඛේදවාචකයන්ට ගොදුරු වුණ අසරණ පිරිස්වලට මේ සොයාගැනීම මහත් පිළිසරණක් ම වේවි…! වැරදි කාම සේවනය නිසා මේ රෝගයට ගොදුරු වූවන්ටත් මේ ජීවිතයේ දී සුවපත් භාවය ලබන්නට මේ ඖෂධය උපකාරී වේවි. ‘මේ ජීවිතයේ දී’ කියා අප විශේෂයෙන් ම සඳහන් කළේ දිට්ඨදම්මවේදනීය වශයෙන් ම විපාක විඳින්නට වීමෙන් මෙසේ යම් ගැලවීමක් ලබන්නට පුළුවන් වුණත් කාම මිථ්‍යාචාරයේ ආදීනව සසර පුරා පසුපසින් පැමිණීම වළක්වන්නට මේ කිසි ම ඖෂධයකට බැරි නිසයි… මේ භවයෙදි නො වින්දත් ඊ ළඟ භවයෙ දී හෝ එ් විපාක විඳින්නට සිදු වෙනවා ම යි.

කර්ම විපාක කියන්නේ බොල්වන දෙයක් නෙවෙයි.

හොඳ ම සහ කළ යුතු ම දේ නම්, හැම කෙලෙස් ලෙඩක් ම සුව කරන අමා ඔසු වළඳා නිවී සැනසීම යි…!