බෟද්ධාගම හා ජාතික සංස්කෘතිය ප‍්‍රථම වරට මෙරටට පැමිණියේ මහා මහේන්ද්‍ර ස්ථවිරයන්ගේ කාලයේ යැයි පෙන්වීමට අපේ වංශකථා ද සමන්තපාසාදිකා අටුවාව ද බොහෝ වෑයම් කොට ඇත. කාලිංග යුද්ධයේ දී ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ විනාශය නිසා කම්පිතව බෞද්ධාගමය වැළඳගෙන එහි නව ප‍්‍රබෝධයක් ඇති කළ අශෝක රජතුමා ඉන්දියාවේ දේශ සීමාවන් ඇතුළත පමණක් නොව අවට රටවලට ද එ් ශාන්ත පණිවුඩය පැතිරවීමට කටයුතු කළේ ය. මිහිඳු හිමියන් මෙහි පැමිණියේ අශෝක රජුගේ ධර්මදූත ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. රාජානුග‍්‍රහය ඇතිව බෞද්ධාගමය මෙරටට පැමිණියේ මහින්ද ස්ථවිරයන් සමඟ බව සත්‍ය වුවත් එයට පෙර ලංකාවේ බෞද්ධයන් නො සිටියහ යයි තීරණය කිරීම යුක්ති යුක්ත නො වේ.

ආර්යයන්ගේ පැමිණීමට පෙර ලංකාවේ විසූ යක්ෂ රාක්ෂ නාග ආදි ගෝත‍්‍රවලට අයත් මිනිසුන්ගේ ආගමික විශ්වාස කෙබඳු වී දැයි ස්ථිර ලෙස කිය නො හැකි ය. ආදි යුගයේ සෙසු මනුෂ්‍ය වර්ගයන් වාගේ ම මොවුන් ද තම මුතුන් මිත්තන්ට සහ පර්වත වෘක්ෂ ආදියට වැඳුම් පිදුම් කළ බවට පසු කාලයේ මෙරට දියුණු වී ගිය ඇදහිලි හා පුද පූජා සාක්ෂ්‍ය දරයි. බුදුසමය පැමිණීමට පෙර සිංහලයන් දුරාචාර පුද පූජාවන්හි ද ඇලී ගැලී වාසය කළ බව සත්වන ශතවර්ෂයට අයත් ‘‘හියුංසාගේ” දේශාටන වාර්තාවේ සඳහන් වේ. විජයගේ සහ සත් සියයක් පිරිවර ජනයාගේ ආගම කුමක් වී දැයි කිව නො හැකි ය. බෞද්ධාගමය ද බ‍්‍රාහ්මණ සමය ද නිගණ්ඨනාත පුත‍්‍රයන් විසින් දේශනා කරන ලද ජෛනාගමය ඇතුළු මක්ඛලී ගෝසාල, පුරාණ කස්සප, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨිපුත්ත, අජිත කේසකම්බලී ආදි ශාස්තෘවරයන් විසින් දේශනා කරන ලද දෙසැටක් මිථ්‍යා ලබ්ධි ද විජය ලංකාවට පැමිණෙත්දි, එනම් ක‍්‍රි. පූ. පස්වැනි සියවසේ දී ඉන්දියාවේ පැතිර තිබුණේ ය.

සම්බුද්ධ පරිනිර්වාණයේ දී හෝ එයට ආසන්න දිනයක දී ලංකාවට පැමිණි විජය ඇතුළු පිරිස එකල ඉන්දියාවේ පැවති මේ ලබ්ධින් ගැන කිසිවක් නො දැන සිටින්නට හේතුවක් නොමැත. එහෙත් ලංකාවට පැමිණි ආර්ය ජනයාට මුහුණ පාන්නට සිදුවූ අවස්ථාවන් ගැන බලන විට ආගමික ඇදහිලි හා විශ්වාසයන් කෙරෙහි සිත් යොමු කිරීමට කාලයක් ලැබෙන්නට ඇතැයි සිතිය නො හේ. යක්ෂ, රාක්ෂ, නාග වැනි අනාර්යයන්ගෙන් ආරක්ෂා වීම, අලූතෙන් ජනාවාස කර ගත් ප‍්‍රදේශ පදිංචියට සුදුසු ලෙස සකස් කර ගැනීම ආදි කටයුතු රාශියක් සඳහා ඔවුන්ගේ කාලය සම්පූර්ණයෙන් ම වාගේ යොදන ලද්දේ විය.

මුල් කාලයේ සිට ම බ‍්‍රාහ්මණයන් හට සමාජයේ උසස් තැනක් ලැබුණ බව කිව හැකි ය. සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා උගත් පිරිසක් වූ බැවින් බමුණන්ගේ සේවය රජුට අත්‍යවශ්‍ය ම විය. විජය සමඟ පැමිණි බ‍්‍රාහ්මණයකු වූ උපතිෂ්‍ය ඔහුගේ පුරෝහිතයා ලෙස කටයුතු කළේ ය. ඔහු අනුරාධ ග‍්‍රාමයට උතුරින් උපතිස්සගාම නමින් ගමක් ද පිහිටුවා ගත් බව මහාවංශය කියයි. විජය සමඟ පැමිණි බ‍්‍රාහ්මණයන්ගෙන් වැඩි දෙනෙකු එහි පදිංචියට යන්නට ඇත.

යකුන් පිදීම
විජයගෙන් පසු ඉන්දියාවේ සිට පණ්ඩුවාසදේව රජකම සඳහා පැමිණෙන තුරු රට පාලනය කරන ලද්දේ උපතිස්ස නම් බමුණාගේ උපදේශය අනුව ය. ලංකාවේ දක්ෂිණ දේශයේ ‘‘පණ්ඩුල ගාමක” නම් බමුණු ගමක් තිබුණ බව ද වේදයේ නිපුණ ධනවත් බමුණකු එහි විසූ බව ද මහාවංශය කියයි. පසුව ලංකාවේ රජකමට පැමිණි පණ්ඩුකාභය කුමරා ශිල්ප උගත්තේ ද මොහුගෙනි. පණ්ඩුකාභය රජුගේ (ක‍්‍රි. පූ. 377 – 307) පුරෝහිත තනතුරට පත්වූයේ පුරෝහිත බමුණාගේ පුත‍්‍රයා ය. මේ රජවරුන් ස්ථිර වශයෙන් ම බමුණු සමය පිළිගත්තවුන් බව වංශ කථාව අනුව ද පෙනේ. දෙවන පෑතිස් රජතුමා අශෝක රජතුමා වෙත යැවූ දූත පිරිසට ඔහුගේ පුරෝහිත බ‍්‍රා්හ්මණයා ද ඇතුළත් විය. මේ හැම කරුණකින් ම පෙනෙන්නේ බමුණු සමය එකල ලංකාවේ ප‍්‍රචලිතව තිබුණ බව ය.

පාණ්ඩුකාභය රජ කාලයේ, කාලවේල, චිත්තරාජ යන යක්ෂයන් වෙනුවෙන් උත්සවයක් පැවැත්වූ බව මහාවංශයෙන් පෙනේ. චිත්තරාජ යක්ෂයා පිදීම වනාහී පුරාණ ඉන්දියාවේ පොදු ජනයා අතර පැවැති ආගමික සිරිතක් යයි කුරු ධම්ම ජාතකය අනුව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කල්පනා කරයි. මහේජ, ජුතින්ධර, වෛශ‍්‍රවණ, විභීෂණ, කාලගෝධර ආදි යක්ෂයෝ ද වලවාමුඛී, පප්ථිමරාජිනී යන යක්ෂණීහු ද එකල ලංකාවාසීන් ගෙන් පූජා

ලැබූහ. බුද්ධාගම පැතිරීමට පෙර ලක්වැසියන් අතර පැවති යක්ෂ ඇදහීම බුද්ධ කාලයේ උතුරු දඹදිව් වැසියන් අතර පැවති එ් ඇදහීමට බෙහෙවින් ම සමාන බව ද බුද්ධාගම ජාතිකාගම වශයෙන් පිළිගැනීමෙන් පසුව අද දක්වා ම ද එ් යක්ෂ ඇදහිලි මෙරට පොදුජනයා අතර නො නැසී පවත්නා බව ද පරණවිතාන මහතා වැඩිදුරටත් කියයි.

රුක් දෙවිවරු
වෘක්ෂ දේවතාවන් පිදීම ආදි ම යුගයේ සිට පැවත එන්නකි. ඉන්දු ශිෂ්ටාචාරයේ ද මිසර ශිෂ්ටාචාරයේ ද ඇදහිලි අනුව එකල වෘක්ෂ දේවතාවන් පිදූ බව පිළිගත හැකි ය. ලංකාවේ ආදි මනුෂ්‍ය වර්ගයන් ද රුක් දෙවියන් පිදූ බවට ප‍්‍රමාණවත් සාධක තිබේ. පණ්ඩුකාභය රජ අනුරාධපුරයේ බටහිර ද්වාරය අසල පිහිටි නිග්‍රෝධ වෘක්ෂය වෛශ‍්‍රවණයා සඳහා පූජා කළ බව මහාවංශය කියයි. එකල එ් එ් කර්මාන්තවලට හා ස්ථානවලට අධිපති දෙවිවරු සිටියහ. ව්‍යාධ වනාහි දඩයම් කරන්නාගේ දේවයා විය. කර්මාන්තවලට අධිපති වූයේ කම්මාර දේවයා ය. මුළු ලංකාද්වීපය ම බාර වූයේ උප්පලවණ්ණ දෙවියාට ය. අනුරාධපුර නගරය ද ආරක්ෂක දෙවියකු යටතේ පැවැත්තේ ය.

මහින්දාගමනයට පෙර මෙහි ජෛනාගමිකයන් ද සිටි බව මහාවංශයෙන් පෙනේ. ජෝතිය, කුම්භාණ්ඩ යන නිගණ්ඨයන් දෙදෙනාට පණ්ඩුකාභය රජු ආරාම දෙකක් කරවා දුන්නේ ය. ජෝතිය නිගණ්ඨයාගේ ආරාමය පිහිටි ප‍්‍රදේශයේ ම ”ගිරි” නම් නිවටකු විසූ බව පෙනේ. වළගම්බා රජු විසින් පසු කලෙක අභයගිරිය තනවන ලද්දේ මොහු විසූ ස්ථානයේ ය. මේ නිගණ්ඨයෝ කවර කලෙක මෙහි පැමිණියාහු ද යන්න ගැන දැන ගැනීමට මහාවංශය සාක්ෂ්‍ය නො දරයි. විජයාවතරණයෙන් පසු මෙරට හා ඉන්දියාව අතර සම්බන්ධය නොකඩවා පැවතිණි. විටින් විට මෙහි පැමිණි ඉන්දීය ජනයා අතර ජෛනයන් ද සිටින්නට ඇත. අශෝක වැනි ශ්‍රේෂ්ඨතම රජෙකුගේ සහායත්වය නො ලැබුණ බැවින් ජෛනාගමය මහා වීරයන්ගෙන් පසු දියුණුවක් ලැබූයේ නැත. බුද්ධ කාලයේ ඉන්දියාවේ ආජීවක හා පරිබ‍්‍රාජක යන නම්වලින් ප‍්‍රකට තාපසවරු දෙකොටසක් වූහ. මෙයින් ආජීවක යන නම්වලින් හඳුන්වනු ලැබුවෝ මක්ඛලී ගෝසාලයන්ගේ අනුගාමිකයෝය. ගෘහස්ත ජීවිතය අතහැර තන්හි තන්හි ගොස් ජීවත් වූ පිරිසකට පරිබ‍්‍රාජක යන නම් යොදන ලදී. පණ්ඩුකාභය රජු නගරය තුළ ම මේ ආජීවකයන් හා පරිබ‍්‍රාජකයන් සඳහා ආරාම දෙකක් කරවා දිණි.

බුද්ධ භක්තිකයෝ
පණ්ඩුවාසදේව රජුගේ බිසව වූ භද්දකච්චායනා කුමරිය මෙරටට පැමිණියේ මෙහෙණකගේ වෙසෙනි. මෙයින් අදහස් කරන්නේ කවර සමයකට අයත් මෙහෙණක ද යනු පැහැදිලි නැත. පණ්ඩුකාභය කාලයේ පාෂාණ්ඩක, ශ‍්‍රමණ යන නම් දැරූ තාපස වර්ග දෙකක් සිටි බවට මහාවංශය දෙස් දෙයි. මොවුන් බ‍්‍රාහ්මණ ධර්මය හැර සෙසු ආගමික නිකායකට අයත් වන්නට ඇත. එකල අනුරාධපුරයට බටහිරින් විසූහයි වංශ කථාව සඳහන් කරන පන්සියයක් මිථ්‍යා දෘෂ්ටික කුලයන් ගැන ද කිය යුත්තේ එපමණ ය. ඔවුන් බෞද්ධාගමයෙන් බැහැර වූ කිසියම් ලබ්ධිකයන් කොටසකට අයත් වන්නට ඇත.

මහින්දාගමනයට පෙර ද බුද්ධ භක්තියකයන් මෙරට සිටි බවට සෑහෙන සාක්ෂ්‍ය මහාවංශයෙන් ම සොයා ගත හැකි ය. දීපවංශය, මහාවංශය, සමන්ත පාසාදිකාව යන පාළි ග‍්‍රන්ථත‍්‍රයෙහි ම බුදුන් වහන්සේ ලංකාවට තුන් වතාවක් ම වැඩම කළ බව සවිස්තරව සඳහන් වේ. බුදුන් මෙහි පැමිණි මහියංගණයේ දී ධර්ම දේශනය කළ අවස්ථාවේ දී කෝටියකට ධර්මාභිසමය විය. එහි දී ධර්ම ශ‍්‍රවණය කළ සුමනකූට දෙව්රද ද තෙරුවන් සරණ ගොස් සෝවාන් ඵලයට පැමිණි බව මහාවංශය කියයි. සුමන දෙව්රද බුදු දහම කෙරෙහි කෙතෙක් පැහැදුනේ ද යතහොත් මෙරට වැසියන්ගේ වන්දනාව සඳහා පූජ්‍ය වස්තුවක් බුදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. ඉක්බිති හෙතෙම බුදුන්ගෙන් ලැබුණ කේශධාතු නිදන් කර එතැන්හි ම චෛත්‍යයක් කළේ ය. අද මහියංගණ චෛත්‍ය නමින් ප‍්‍රකටව ඇත්තේ මෙයයි. බුදුන් වහන්සේ දෙවන වර නාගදීපයට වැඩි අවස්ථාවේ අසූ කෙළක් නාගයෝ තිසරණයෙහි පිහිටා පන්සිල් සමාදන් වූහ.

කැලණියේ මණිඅක්ඛිත නා රජතුමා ද එහි දී බුද්ධාගම වැළඳ ගත්තේ ය. මණිඅක්ඛිත නාග රාජයා සැබෑ බෞද්ධයකු වූ බව බුදුන් වහන්සේ නැවත වරක් භික්ෂුන් වහන්සේලා සමග මෙහි වැඩම කර ගැනීමෙන් පෙනේ. මේ වතාවේ බුදුන් වහන්සේ අනුරාධපුරයේ නොයෙක් පළාත්වලට වැඩම කළ බැවින් එ් එ් තන්හි විසූ ජනයා ද බුද්ධ ධර්මය කෙරෙහි පැහැදෙන්නට ඇත. ලංකාවට බුද්ධාගම පැමිණියේ බුද්ධ කාලයේ ම බව මෙයින් නො පෙනේ ද?

බුද්ධ පරිනිර්වාණයෙන් පසු සාරිපුත්ත ස්ථවිරයන්ගේ ශිෂ්‍යයකු වූ සරභූ තෙරුන් බුදුන් වහන්සේගේ අකු ධාතුව රැුගෙන ලංකාවට පැමිණ මහ සඟ මැද ම මහියංගණ චෛත්‍යයේ තැන්පත් කොට එ් චෛත්‍ය ෙදාළොස් රියනක් උසට තැනවූ බව මහාවංශය පවසයි. කැලණියට වැඩම කළ ළඟ දී ම භික්ෂූන් ප‍්‍රධාන වශයෙන් ම මහින්දාගමනයට පෙර මෙහි පැමිණි බව ඔප්පු වන්නේ ය. මේ කරුණු ඇතුළත් වංශ කතා විස්තරය සම්බන්ධයෙන් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා මෙසේ කියයි.

‘‘මේ විස්තර පිළිබඳ අතිශයෝක්තින් ඉවත් කළ විට ඓතිහාසික සත්‍යයක් අපට ලබාගත හැකි ය. එනම් මිහිඳු මාහිමියන්ගේ කාලයට බොහෝ පෙර සිට ම ලංකාවේ බෞද්ධයන් ස්වල්ප දෙනෙකුන් සිටි බවත් එකල ම බෞද්ධ චෛත්‍යයක් ගොඩනගන ලද බවත් යන මේ ය.”

උතුරු හා දකුණු ඉන්දියාවේ සිට කලින් කල මෙහි පැමිණි ජනයා අතර බෞද්ධයන් ද සිටි බව නිසැකව සිතිය හැකි ය. බුදුන් වහන්සේගේ සුහුරුබඩු වූ ශාක්‍යයාගේ දියණියන් වූ ද, පණ්ඩුවාසදේව රජුගේ මෙහෙසිය වූ ද, භද්දකච්චායනා සහ ඇයගේ පිරිසේ වැඩි දෙනෙකු බෞද්ධයන් වූ බව සිතීමට අනුබල ලැබේ. මහාවංශයෙහි සඳහන් පරිදි මහින්ද ස්ථවිරයන්ට බුද්ධාගම මෙහි පැතිරවීමට කිසිදු අපහසුවක් වූ බවක් නො පෙනේ. අනෙක් ආගම කෙරෙහි දැඩි භක්තියක් නො පැවතීම ද ඔවුන් බුද්ධාගම ගැන පෙර සිට ම දැන සිටීම ද එසේ වීමට ප‍්‍රධාන හේතු දෙකකි.

මහාමේඝ 2015  පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

1962 වර්ෂයේ පොසොන් මස පළ වූ රසවාහිනී සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

ගුරුසිංහගොඩ පියරතන හිමියන් විසිනි