highlights of the week
Home » රසවාහිනිය » නොසන්සිඳෙන මිනිස් පවස

නොසන්සිඳෙන මිනිස් පවස

ග්‍රහලෝක තරණය සඳහා එඩිතර වීමට පවා මිනිසා රසායන විද්‍යාව අතින් දියුණු වී සිටින සමයෙක එ් විද්‍යාව විසින් ඔහුට මවා ඇති පරිසරය කුමක්දැයි මඳක් විමසිලිමත් වීම වටී. ආදිම සමාජය සමග සන්සන්දනය කරන කල නූතන මිනිස් සමාජය දියුණුයැයි සිතීම යුක්ති යුක්තද? නවීන විද්‍යාව විසින් මිනිස් ජීවිතයේ සිතුම් පැතුම් නැති නම් ආශාවන් කොතෙක් දුරට ඉටු කරනු ලැබ ඇද්ද? එසේම එ් නිසා මිනිසාගේ අධ්‍යාත්මයට කොතරම් බලපා ඇද්ද? මේවාට පිිළිතුරු සැපයිය යුත්තේ හුදෙක් අප අවට බැලීමෙන්ම පමණක් නොව අප හද තුළටද කිමිදී පිරික්සීමෙනි.

නවීන විද්‍යාව මිනිස් සමාජයේ මහත් විපර්යාසයක් ඇති කොට තිබේ. පුරාණ නොදියුණු යුගයේ මනුෂ්‍ය සමාජයීය ජීවිතයත්, නවීන සමාජයීය ජීවිතයත් දෙස බාහිර වශයෙන් බලන කල අහසත් පොළොවත් සේ වෙනසක් පෙනේ. එදා හැම මිනිසාම ගෝත‍්‍ර වශයෙන් වෙන්වී තනිවී ජීවිත ගත කළේය. අද ලෝකය මිනිසාට කුඩාදැයි සිතිය හැකි තරමට එක ජාතියක් තවත් ජාතියක් හා සම්බන්ධ වී සිටී. යාන වාහන, ගමන් බිමන්, ගේ දොර, රැකි රක්ෂා සැප පහසුකම් අතින් මෙතෙක් මිනිසා කිසි කලක නොලැබූ තරමට අද දියුණු වී ඇත. නවීන විද්‍යාලෝකයෙන් මැවුණු මේ මහත් ප‍්‍රාතිහාර්ය වනාහී මිනිස් සිතුම් පැතුම් හා ආශාවන් තෘප්ත කරවීම සඳහා කාලාන්තරයක් තිස්සේ මිනිසා විසින් දරන ලද මහත් ආයාසයක ප‍්‍රතිඵලයකි.

නවීන විද්‍යාවෙන් පෝෂණය වෙන්ට පටන් ගත් මිනිස් සමාජයේ බාහිර අංගයන්ගේ සිදු වූ මහා වෙනස නම් අපට සක් සුදක් සේ පෙනේ. අධ්‍යාත්මික පක්ෂය ගැන සිතන කල එබඳු වෙනසක් පෙනේද? දියුණුව යැයි සිතිය හැක්කේ මානසික පරිසරය ගැන සිතීමෙන් මිස හුදු බාහිර සැප පහසුකම් ගැන සිතීමෙන් ම නොවේ.

නො දියුණු ගෝත‍්‍ර වශයෙන් මිනිසා සිටි සමයෙහි සමාජයේ පැවති එකිනෙකාගේ ඇන කොටා ගැනීම අද ද එලෙසම පවතී. එකෙක් තවෙකකුට ඊර්ෂ්‍යා කරයි, ක්‍රෝධ කරයි, වෛර කරයි. තවෙකකු අනිකා දෙස බලන්නේ සැක සිතෙනි. නවීන විද්‍යාව දියුණු ඇතැම් රටක් ලෝකයේ ම මිනීමැරුම් පිළිබඳව වාර්තා පිහිටුවයි. නවීන විද්‍යාව විසින් මිනිසාට මවා දුන් ඊනියා දියුණු පරිසරයත් මිලෙච්ඡ යුගයේ මිනිසාගේ නොදියුණු පරිසරයත් අතර වෙනස කුමක්ද?

එකෙකු තවෙකෙකුට එරෙහිව නැගී සිටීමේ සටන් කාමී ගතිය මිනිසා තුළ මුල් යුගයේ සිටම පැවත ආ පුරුද්දක් විය හැක. මිනිස් සමාජය පාත‍්‍ර වූ වෙනස්කම් වලින් ම මෙය පැහැදිලිය. මුල්ම මිනිසා තිරිසනෙකු මෙන් අමු මස් කා වැඩුණු සතෙකි. ඔහු ගල්ලෙන් තුළ විසීය. කල් යෑමෙන් දඩයම් යුගය, ගොවි යුගය, කාර්මික යුගය ආදි වෙනස් වෙමින් ආ මිනිසා පරමාණු යුගයද ඉක්මවා දැන් ග‍්‍රහ ලෝක තරණයට පා තබා ඇත.

එහෙත් අන්‍ය සත්වයන් ගැන සිතතොත් කෙසේ ද? දිවියා තවමත් දිවියෙකි. බැටළුවාද බැටළුවෙකි. පරිණාමවාදය අනුව සලකන කල ක‍්‍රමවිකාශනය වීමෙන් සිදුවුණු වෙනස් කම් නිසා ම මිස දිවියාගේත් බැටළුවාගේත් එදත් අදත් වෙනසක් නැත. දිවියා බැටළුවා අල්වා මරා අමු මස් බුදී. බැටළුවා අහිංසක ලෙස කටින් තණ උලාකා ජීවත් වෙයි. උන්ගේ ජාතීන් අනුව සිදුවූ දියුණුවක් නැත. ඊට හේතුව උන්ගේ මානසික පරිසරය මිනිසාගේ මෙන් විවිධ ආශාවන් ගෙන් උතුරා නො ගිය, සීමා සහිත එකක් වීමය.

තිරිසන් සතුන් අතර පවත්නා බොහෝ සිරිත් ඔවුන්ගේ එ් ජාතියට ම ආවේණික වූ පුරුදුය. කෑම, බීම, ලැගීම හා සංචාරය ආදී මේ සියල්ලෙහි දී ම තිරිසනා තම වර්ගයේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන සිරිත්ම වෙනස් නොකොට ම පවත්වයි. වෙනස් කිරීම තබා එ් ගැන සිතීමක් ගැන පවා ඔවුන්ට වෙහෙසීමක් අවශ්‍ය නොවේ. කාලය හා දේශීය පරිසරය අනුව ඔවුන්ගේ ඉරියව් වල යම් යම් වෙනස්කම් සිුදු වූවත්, ස්වභාවධර්මයා විසින් දායාද කොට දුන් සීමිත හැකියාවන් ඉක්මවා යෑමට ඔවුන් අසමත්ව ඇත.

එහෙත් මිනිසා එසේ නොවේ. ඔහු කිසි කල තමා සතු දෙයින් තෘප්තිමත් වූයෙක් නොවේ. ස්වභාවධර්මයා විසින් තමනට මවා දුන් පරිසරයෙනුදු ඔහු සෑහීමකට පත් නොවීය. තම පරිසරය ජයගැනීම පමණක්ම නොව තම වර්ගයා ජය ගැනීම ද මිනිසාගේ නොසන්සිඳෙන ආශාවකි. මෙහි ඇති සත්‍යතාව මිනිස් ඉතිහාසය දෙස බැලීමෙන් මනාව පෙනේ.

මිනිසා පුදුම කායික හා මානසික ශක්තියක් ඇති සත්වයෙකි. නා නා උපද්‍රවයන්ට මෙන් ම විවිධ දේශගුණයන්ටත්, යුගයන්ටත් එඩිතරව මුහුණ දී උද්යෝගිමත්ව හිස ඔසවා සිටින සත්වයෙක් ඇතොත් එ් මිනිසාම විය හැක. එපමණක් නොවේ. හැම සත්වයෙකුට ම වැඩි වේගයකින් පොළොව වටා යෑමටත්, අහසෙහි පියාසර කිරීමටත්, මුහුදෙහි කිමිදීමටත්, තද ශීතයට සහ තද උෂ්ණයට මුහුණ පෑමටත් මිනිසා සමත්ය.

ඔහු මුලින් වෙහෙස වී කළ දෑ පසුව ලෙහෙසියෙන් කරයි. ඊට අවශ්‍ය පහසුකම් කෙසේ හෝ ඔහු සොයා ගනී. ආදිමයේ එකිනෙකා මුහුණ දී සටන් කොට තවෙකකු මරා දැමීම සිරිතක් විය. ඊට පසු මිනිසා වැඩි ගණනක් දෙනා මැරීමට මං සොයා ගත්තේය. දැන් දැන් තොග පිටින් – දහස් ගණනින් – ලක්ෂ ගණනින් ස්වකීය වර්ගයා මැරීමේ ක‍්‍රම සොයා ගෙන සිටී.

අද ඇතැම්විට, සාමය හා සමාදානය යන වචනය ඇසෙතත්, එය එතරම් ලෙහෙසියෙන් මිනිසාට හුරු පුරුදු කළ හැකි එකක් නොවේ. තරඟයත්, ජයගැනීමත් මිනිස් පියවි ගතිය යි. තරඟ කරනුයේ බලවත් වීමේ ආශාව නිසායි. ලෝකයේ හැම දෙයක්ම පවත්නේ එක්තරා තරඟ කිරීමේ පිළිවෙලක් අනුව බව පෙනේ. එහෙත් තම වර්ගයා සමගම තරඟ කරමින්, බලවතා විසින් දුබලයා විනාශ කිරීමේ සිරිතට පවා කලාත්මක හැඩයක් දීමට මිනිසාට හැකිවී තිබේ.

හැම දෙයක් ම වඩා ලෙහෙසියෙනුත්, ඉක්මනිනුත්, ක‍්‍රමවත් කිරීමට පුරුදුවීම එයින් සිදුවන යහපත හෝ අයහපත සැලකීමට වඩා මිනිසාගේ ආශාවයි. මිනිස් සිතේ ඇති සංකීර්ණතාව මීට හේතු විය හැක.

සංකීර්ණ මනසක් ඇති මිනිස් සිත විවිධ ආශාවන්ගෙන් පිරුණු පුද්ගලයෙකි. අන්‍ය කවරකුටත් වඩා දියුණු මනසක් ඇති මිනිස් සතා බොහෝ සේ සිතන්නෙකි. ඉන් විඩාවට පත් එකෙක් ද නොවේ මිනිසා. තම බාහිර පරිසරය ජය ගැනීම මිනිසාට ඉබේ ලැබුණක් නොව සිතීමේ හැකියාව විසින් ම මහත් ආයාසයෙන් ලබා දෙන ලද එකකි. එහෙත් ස්වභාව ධර්මයේ කටුක කඩයිම් පසු කිරීමේ දී පවා මිනිසා නො පසු බෑවේ ඔහු මනස තුළ තෙරපී තිබූ අතෘප්තිකර ආශාවන් නිසා යි. එ් තබා තමාගේ පරිණාමය පාලනය කර ගැනීමේ ශක්තිය පවා අනාගත මිනිසා ලබා ගනු ඇතැයි විද්‍යාඥ මතය යි. එවිට නවීන විද්‍යාව වහල් කර ගැනීමෙන් ඔහු මහා විස්මයජනක දේ කරනු ඇත. ස්වභාවධර්මයාගේ කුමන බලවේගයක් නමුත් පාලනය කිරීමට ඔහු සමත්වනු ඇත. එහෙත් කිසි දිනක තම සිත පාලනය කිරීමට ඉගෙන නො ගන්නා මිනිසා අනාගතයේදීත් වේදනාවන්ගෙන් ගහන වූ මානසික පරිසරයක වෙසෙන්නෙකි.

‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත් සමාගම විසින් 1963 අගෝස්තු (නිකිණි) මස පළ කළ ‘රසවාහිනී’ සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

ඩබ්ලිව්. ගුණසේන පෙරේරා විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අත්දුටු සිංහල රහස් බේත්

මිදුලේ හෝ කිසියම් විවේක ස්ථානයක තරමක් උස අසුනක හිඳගෙන, ගිනියම් කළ තිරිවානා ගල එ් ළඟ බිම තබා, ඊමත ලූණු දියර වත් කර සැණෙන්ම එකට ගොණු කළ කදුරු කොළ හතෙන් ගල වසා, කොළ මත ගල් තැලිම්බුව සිටින සේ පාගා ගන්න.