බෟද්ධයන්ගේ ආගමික උත්සවයන් අතුරෙහි ලා ‘‘ඇසළ උත්සවය” ට සැලකිය යුතු තැනක් හිමිවෙයි. බුදුන් වහන්සේගේ ලොව පහළවීමට බොහෝ කලකට පෙර සිට ම, ඇසළ උත්සවය දඹදිව පැවති බවට සාධක බොහෝ යි. විශේෂයෙන් ම ජාතක පොතේ නොයෙක් තැන්හි ඇසළ උත්සවය ගැන නොයෙක් විස්තර තොරතුරු සඳහන් වේ.
පළමුවෙන් ම දඹදිව ආරම්භ වූ මේ ඇසළ උළෙල හින්දු ලබ්ධිකයන් විසින් දෙවියන් පෙරටු කොටගෙන හෝ නැකැත් මුල් කොටගෙන හෝ පවත්වනු ලබන නමුදු බෞද්ධ භක්තිකයන් විසින් එය ස්වකීය ශාස්තෘවරයාණන්ගේ ප‍්‍රතිසන්ධිය ප‍්‍රධාන කොට ඇති තවත් නොයෙක් බෞද්ධ ආගමික සිද්ධීන් නිමිති කරගෙන පවත්වනු ලැබේ.

නැකැත් කෙළිය
නැකැතට මුල් තැන දෙන අපේ සිංහල අලූත් අවුරුදු උත්සවයට හුදු සමානත්වයක් ඇතිව පැවැත්වුණු මෙම ඇසළ උත්සවය ඈත අතීතයේ සිට ම දඹදිව නැකැත් කෙළියක් වශයෙන් කරගෙන එන ලද බව පැරැණි බෞද්ධ සාහිත්‍ය පොත පතින් අනාවරණය වේ. ඇසළ උත්සවය හා සම්බන්ධ විවිධ සිද්ධින් ගැන තොරතුරු ගවේෂණය කිරීමේ දී එය බෞද්ධ සාහිත්‍යයෙහි ප‍්‍රථම වරට සඳහන් වනුයේ බුදුන් වහන්සේගේ ප‍්‍රතිසන්ධිය පිළිබඳව බව පෙනේ. අප ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ මව්කුස පිළිසිඳ ගැන්ම ඇසළ උත්සව සමයෙක්හි ඇසළ පුණු පොහෝ දිනක සිදුවූ බැවිනි.

මේ සිද්ධිය මහාමායා දේවීන් ගැන කියැවෙන ‘‘තදා කිර කපිලවත්ථුනගරෙ ආසළ්ළි කන්ඛත් තං ඝුට්ඨං අහෝසි මහාජානො නක්ඛත්තං කිළති. මහාමායා දෙවිපුරේ පුණ්ණමාය සත්තම දිවසතෝ පට්ඨාය විගත සුරාපානා මාලා ගන්ධ විභූති සම්පන්නං නක්ඛත්ත කිළං අනුභවමානා…” ‘‘එකල්හි කපිල වස්තුපුර මහජනයා නැකැත් කෙළි කෙළියි. මහාමායා දේවී තොමෝ පුරපසළොස්වකට පෙර සත්වන දින පටන් සුරාපානයෙන් තොර මාලාගන්ධ විභූති සම්පන්න වූ නැකැත් කෙළි අනුභව කරන්නී….” යන විස්තර පාඨයෙන් දැක්වේ.
බෞද්ධ පුරාවෘත්තයන්ගෙන් තවදුරටත් අනාවරණය වන අන්දමට මහාමායා දේවීන් ඇසළ පුන් පොහෝ දා අලූයම නැඟීසිට සුවඳ පැනින් නා සුපිරිසිදුව, සිවු කෙළක් වැයකොට මහ දන් පවත්වා සර්වාලංකාරයෙන් විභූෂිතව ප‍්‍රණීත අන්නපානයෙන් සන්තර්පනය ලැබ උපෝසථාංගයෙන් සිහි එළවා සකලාලංකාරයෙන් ප‍්‍රතිමණ්ඩිත ශ‍්‍රී යහන් ගබඩාවට ප‍්‍රවිෂ්ටවැ නිෙදා්පගතව සිටි කල්හි සිද්ධාර්ථ කුමාර ප‍්‍රතිසන්ධිය සිදුවූ බව පෙනේ. ඇසළ උත්සවය සම්බන්ධයෙන් ප‍්‍රථමයෙන් ම බෞද්ධ සාහිත්‍යයට ඇතුළත් වී තිබෙන මේ විශිෂ්ට සිද්ධිය බෞද්ධ ලෝකයා විසින් ශ්‍රේෂ්ඨ සිද්ධියක් ලෙස සලකනු ලැබේ.

මහබිනික්මන
සිවු පෙරනිමිති දැක්මෙන් සසර කලකිරී ගිහි සැප හැර පියා පැවිදි බිමට පිවිසෙනු පිණිස සිය රජ මැදුරින් නික්මුණු සිදුහත් කුමරු මහබිනික්මන් කිරීමේ සිද්ධිය වූයේත්, එ් කෙණෙහි ම සිය සුකුමාර බිරින්දෑ ‘‘යසෝධරා” දේවියට රහල් පුතු ලැබීමේ සිද්ධිය වූයෙත් එක ම ඇසළ පුන් පොහෝ දිනක ය. ‘‘කිසා ගෝතමී” ක්ෂත‍්‍රිය කන්‍යාවගෙන් ”නිබ්බුත පද” අසා එයට අගනා මුතුහර යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙම දිනය බෞද්ධයනට අතිශය ශ්‍රේෂ්ඨ වන්නේ ය.
ප‍්‍රථම දේශනය

ඇසළ උත්සවය සමග සම්බන්ධ වූ ඊ ළඟ විශිෂ්ට සිද්ධිය හැටියට බෞද්ධ ලෝකයා සඳහන් කරන්නේ බුදුන් වහන්සේගේ ප‍්‍රථම ධර්ම දේශනය යි.

වෛශාඛ පූර්ණමි දිනයෙහි සම්‍යක් සම්බෝධි සමධිගමයට පත් ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේ ඇසළ පුන් පොහෝ දා බරණැස ඉසිපතනට වැඩම කොට පස්වග මහණුන් ප‍්‍රමුඛ දෙව් බඹ පිරිසට ‘‘දම්සක් පැවැතුම් සුතුරෙන්” ප‍්‍රථම දේශනා පවත්වා සදහම් එළිය ලොව පහළ කිරීමේ සිද්ධිය යි එ්.

එතෙක් ලෝවැසියන් තුළ පැවැති මෝහාන්ධකාරය සදහට ම දුරලා ඔවුන්ගේ නුවණැස සදා බුදුන් වහන්සේ එදා ලොව දැල්වූ ධර්ම ප‍්‍රදීපය එදා මෙන් ම අදත්, අද මෙන් ම හෙටත් ලෝකාරම්භයේ දීප්තිමත් තරුවක් ලෙස බැබළෙමින් පවතිනු ඇත.

වස් සමය
දඹදිව මධ්‍ය දේශයේ පැවති ඍතු භේදයටත්, බෞද්ධ ශාසනික ක‍්‍රමයටත් අනුව හේමන්ත, ශ‍්‍රීෂ්ම හා වර්ෂා යන වශයෙන් ඇති ඍතුත‍්‍රයෙන් ශ‍්‍රීෂ්ම ඍතුව ඇසළ මස පුන් පොහොය දිනෙන් අවසන් වේ. බෞද්ධ ශාසනික ක‍්‍රමයෙහි ලා ඇසළ පුන් පොහොය දිනය ගෙවී යාමත් සමග ම ලබන අව පෑළවිය පෙරවස් විසීමට නියමිත දිනය විය. ඉසිපතනාරාමයේ දී බුදුන් වහන්සේගේ ප‍්‍රථම වස් විසීම මේ පරිද්දෙන් ඇසළ පුර පසළොස්වක ගිය අවපෑළවියෙන් සිදුවූ බව සඳහන් වේ. බෞද්ධ ශාසනික ක‍්‍රමය අනුව වස් විසීම පිළිබඳ ආරම්භක දිනය වශයෙන් ශ‍්‍රීෂ්ම ඍතුව අවසන් දිනය වන ඇසළ පුන් පොහෝ දිනයෙහි ඇති වැදගත්කම බෞද්ධයන් පිළිබඳ සැලකිය යුතු සිද්ධියකි.

යමා මහ පෙළහර
බුදුන් වහන්සේ ඇතුළු ස්වකීය ශ‍්‍රාවක පිරිස මහජනයාගෙන් ලත් ගරු සම්මාන හා පූජෝපහාර ද කෙරෙහි ගිජු වූ තීර්ථකයෝ තමනුත් උන් වහන්සේ ඇතුළු පිරිස මෙන් ම ඍද්ධි බලයෙන් හා ශීල බලයෙන් ද අගේ‍්‍රසරයන් බව ඔප්පු කිරීම පිණිස නොයෙක් ප‍්‍රාතිහාර්යයන් පෑමට හැකි බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළහ. ඔවුන්ගේ මන් බිඳීම පිණිස සැවැත්හි ‘‘ගණ්ඩම්බ” අඹරුක් මුල දී යමක මහා ප‍්‍රාතිහාර්යය පා වදාළේත්, එතැනින්, ”මවුදෙව් පුත්” ප‍්‍රමුඛ දෙවියනට අබිදම් දෙසීම පිණිස තුසිතපුර වැඩියේත් ඇසළ පුන් පොහෝ දිනයේ දී ම ය.

මේ අනුව බුදුන් වහන්සේගේ චරිතය හා සමග සම්බන්ධ වූ විශිෂ්ට සිද්ධීන් රාශියක් නිසා ම ඇසළ පුණු පොහෝ දිනය පොදු වශයෙන් බෞද්ධ ලෝකයට ශ්‍රේෂ්ඨ දිනයක් වී තිබේ.
ලංකා බුද්ධ ශාසනයේ පුනරුත්ථාපනය, චිර්ස්ථිතිය, හා සංවර්ධනය පිණිස අපරිමිත සේවයක් සැලසූ ‘‘දුටුගැමුණු” මහරජතුමා විසින් ලංකාවේ අසදෘශ චෛත්‍යරාජයා වන රුවන්වැලි මහා සෑය කරවීම පිණිස මංගල ශිලා ප‍්‍රතිෂ්ඨාපනය කිරීම හා දාෂ්ට‍්‍රාධාතූන් වහන්සේ පිළිබඳ මහා පෙරහැර පැවැත්වීම ආරම්භ කිරීමත් සිදු වූයේ ඇසළ පොහෝ දිනයෙහි ම ය. කිස්තූ වර්ෂයෙන් ශත වර්ෂ පහකට පමණ ප‍්‍රථම ඉන්දියාවේ ‘‘බඹදත්” රජතුමන් විසින් ඉදිකරවන ලද සුවිසල් මාලිගයක මුදුන් මාලයේ පිරීතිරී ගිය රන් රිදී, මුතු මැණික් භාණ්ඩ රැසක් මැද බුදුරැුස් විහිදුවමින් ඉමහත් පූජෝපහාරයනට ලක්ව වැඩ සිටි දළදා වහන්සේ, පසු කලෙක ඉන්දියාවේ බලයට පත් විවිධ මිථ්‍යා මතිමතාන්තර හා ආක‍්‍රමණයන් නිසා හටගත් අභ්‍යන්තර නොසන්සුන් තත්ත්වයන්ගෙන් ආරක්ෂාකර ගනු වස් දන්තපුර ‘‘ගුහසීව” රජුගේ දූහිතෘ ‘‘හේමමාලා” කුමරිය විසින් ‘‘කිත්සිරිමෙවන්” රජු සමයෙහි ලක්දිවට වැඩම කරවන ලදි.

කිත්සිරිමෙවන් රජු විසින් ඉමහත් ගරු සත්කාර සහිත මහ පෙරහරින් දළදා වහන්සේ අනුරාධපුරයට වැඩමවා ප‍්‍රථම වරට මහජන ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලද බව ධාතු වංශය ප‍්‍රකාශ කරන නමුත්, තවත් ඓතිහාසික මතයක් අනුව, දළදා පෙරහැර ගජබා රජු සමයේ දී ඇරඹුණු බව සඳහන් වේ. මේ මතයට අනුව සිංහලද්වීපයෙන් සොළී රටට ගෙන යන ලද සිරකරුවන් දොළොස් දහසක් වෙනුවට, සොළී රටින් සිංහලද්වීපයට වැසියන් විසිහතර දහසක් පැහැරගෙන ආ ‘‘ගජබා” රජුගේ එ් වීර වික‍්‍රමාන්විත ක‍්‍රියාව සිහිපත් කරනු වස් අවුරුදු පතා පවත්වනු ලැබ සිංහලයන්ගේ ශ්‍රේෂ්ඨ ම ජාතික උත්සවය ඇසළ පෙරහැරයි.

එ් මේ මතිමතාන්තර කෙබඳු වුව ද, කලාන්තරයක් තිස්සේ දළදා පෙරහැරත් ඇසළ උත්සවයත් අතර ඉතාමත් කිට්ටු සම්බන්ධයක් තිබෙන බව නම් පැහැදිලි සත්‍යයකි. කෙසේ හෝ වේවා, ඇසළ සමයෙහි මෙසේ ඇරඹුණු දළදා පෙරහැර, කලින් කල ඇතිව විවිධ සාමයික හා සාමාජික විපර්යාසයන් හේතු කොටගෙන මහනුවර යුගයේ මුල් අවධියේ දී හුදෙක් දෙවියන්ට පූජෝපහාර පැවැත්වීමේ ආගමික උත්සවයක් බවට පරිවර්තනයව තිබුණු බව
‘‘සෙන්කඩගල නුවර – ඇසළට කෙරෙන පෙරහැර
දෙවියන්ට නිසිකර – පැවත ආවේ කලක සිට පෙර”
යනාදී වශයෙන් ”සඟරාජවතේ” සඳහන් වෙයි.

මේ අතර, විදේශීය ද්‍රවිඩ ආක‍්‍රමණයන්ගෙන් ඇති වූ නොයෙක් අතවරයන්ගෙන් දළදා හිමියන් රැුක ගැනීම සඳහා, උන් වහන්සේ පොළොන්නරුව මාගම, කළුතර, කොත්මලේ අනුරාධපුරය යන මේ ආදි ස්ථානයන් වෙත ගෙනයන එන ලදුව, අන්තිමේ දී, ක‍්‍රිස්තු වර්ෂ 1198-1207 දක්වා කාල පරිච්ඡේදය ඇතුළත ලක් රජයට පත් ‘‘නිශ්ශංකමල්ල’ රජතුමා විසින් පොළොන්නරුවේ සත් මහල් පහයක් කරවා දළදා වහන්සේ එහි වැඩම කොට පුද පෙරහැර පවත්වන ලදී. ඉක්බිති පොළොන්නරුවේ පැවැති සොළී ආක‍්‍රමණයන් නිසා දඹදෙණියට ගෙනයන ලදැයි සඳහන් වන දළදා හිමියන් එතැනින් යාපහුවට වැඩමවන ලද බවත්, යාපහුවේ දී උන් වහන්සේ ද්‍රවිඩයන් අතට පත්ව ඉන්දියාවට ගෙන යන ලද බවත්, අනතුරුව, එහි ගිය තානාපති ‘පිරිසක් විසින් එවකට පඬි රට රජකළ ‘ආර්ය චක‍්‍රවර්ති’ රජුගෙන් දළදා වහන්සේ ලබාගෙන යළිත් ලංකාවට වැඩම කරවන ලද බවත්, කියන දළදා පුවත, ‘විමලධර්ම සූර්ය’ රජු විසින් උන් වහන්සේ සෙන්කඩගල ශ‍්‍රී වර්ධනපුරයට වැඩමවා එතැන් සිට දළදා වහන්සේ මහනුවර රාජ මන්දිරයෙහි සුරක්ෂිතව තැන්පත් කොට සැම ලක්වැස්සන්ගේ ම ප‍්‍රදර්ශනයට හා පුද පූජාවට ද පාත‍්‍ර කරවන ලද බව ද සඳහන් කරයි.

අභාග්‍යයකට මෙන්, කන්ද උඩරට රාජධානිය දක්වා ද පැතිරී ගිය ද්‍රවිඩ බලය හේතුකොට ගෙන බෞද්ධාගමටත්, බෞද්ධ පුද පූජා විධිවලටත් එල්ල වූ තර්ජනයන් නිසා, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ අවධියෙහි දී වැලිවිට සංඝරාජ මාහිමියන් වහන්සේ විසින් සියම් රටින් උපසම්පදාව මෙහි ගෙනවිත් ශාසන ශුද්ධියක් ඇති කොට, එ් සමග ම එතෙක් දෙවියන්ට ම කැප වී තිබුණු දළදා පෙරහැර ද ඊට පසුව ප‍්‍රථම වරට බුදුන් වහන්සේ පෙරදැරි කොට දළදා හිමියන්ට ප‍්‍රමුඛස්ථානය දී පවත්වන්නට යෙදුණු බව සැලකිය යුත්තේ ය.

මහාමේඝ 2015  ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත් සමාගම විසින් 1961දී පල කරන ලද. ‘රසවාහිනී’සඟරාවෙන් උපුටා ගන්නා ලදී.

කර්තෘ
සී. එ්. විජේසේකර