හබරණ මහ වනය සරසමින් තේක්ක පලූ වීර ආදි තුරු ලතාවෝ සරුවට වැඞී ඇත. ගුවන අරා නැගුන මේ වනස්පතීන් මහ වනයට සෙවණ සලසාලයි. වන ගොමුව මැදින් ඉද්ද ගැසුවාක් මෙන් දිවෙන තාර පාරට ද තැනින් තැන එ් හෙවණ වැටී ඇත. වන වදුලූ තුළ නිදැල්ලේ සරන අලි ඇතුන් මේ ප‍්‍රදේශයේ දුලබ නො වේ. එහෙත් තුන්පත් ?නක් දැකීම නම් තරමක් අපහසු ය. අපට එ් අවස්ථාව ද ලැබුණ බැවින් මඳක් නැවතී බලා සිටියෙමු. හිරු ගිනියම් වූ මද්දහනේ දාහය නිවාගන්නට හොඬවැලෙන් පස් ගෙන තම පිට මතට පස් විසුරුවාගත් හස්තියා පැටියා ගැන අනුකම්පාවෙන්දෝ උගේ පිටටත් ටිකත් දමයි. ගිනි ගත් තාර පාරේ ඈතින් දිස්වන මිරිඟුව සැබෑ ම ජල තටාකයක දසුන් මවමින් පෙනි පෙනී දෑස රවටයි. හබරණ වනපෙත පසු කොට වේගයෙන් පැමිණි අපි කන්තලේ හන්දියෙන් දකුණු පසට හැරෙන විට හිරු අවරට යමින් තිබුණි. මෙතැන් සිට ඇත්තේ ගමනේ දුෂ්කරතම ඉසව්ව යි. එක එල්ලේ වේගයෙන් ආ ගමනට සමු දී මෙතැන් සිට බෙහෙවින් අසීරු කි. මී. 51ක් තරණය කළ යුතුව ඇත.

වෑන් රථයේ කැසට් යන්ත‍්‍රයෙන් සුමධුර හඬින් තවත් ධර්ම දේශනාවක් ගුවනට මුසු වේ. ‘‘කොතරම් දුර කතර ගෙවාගෙන වුවත් යමෙක් යන්නේ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ‍්‍රාවකයෙක් බැහැ දැකීමට නම් එය අනුත්තරීය ලාභයකි.” ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු, සම්බුදු සිරුරේ නො විසිරුණු ධාතූන් වහන්සේලා අතර විශාල ම ධාතූන් වහන්සේ වන ලලාට ධාතූන් වහන්සේ වැඩ සිටින සේරුවිල මංගල මහා සෑය වන්දනා කිරීමට යන මේ ගමන ද එබඳු එකක් නො වේ දැයි මට සිතේ.

ධූලි වලාවෝ අහසට නංවමින් විටෙක ඇල වෙමින්, පැද්දෙමින්, වළවල් මග හරිමින්, අප රැුගත් වෑන් රිය මාවිල් ආරු, සෝමපුර පසුකරමින් තෝප්පූර්, මුතූර්, වෙරුගල් දක්වා වැටී ඇති මග තරණය කරන්නේ අපහසුවෙනි.

දිගු කලක් ත‍්‍රස්ත ග‍්‍රහණයට නතු වී පැවති මේ ප‍්‍රදේශ මෙපමණකින් වත් ඉතිරි වී තිබීම ගැන සතුටු විය යුතුවා මෙන් ම යළි නිදහසේ මෙවන් වන්දනා ගමන් යන්නට එ් කුරිරු ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් රට මුදාගන්නට දායක වුණ හැමට ම පින් දිය යුතු ම ය. හාත්පස සැතපුම් ගණනාවකට කිසිදු ගෙයක් දොරක් දක්නට නැත, මහ වනය පමණි. විටින් විට හමුවන වන හස්තීන් මෙන් ම රංචු පිටින් පිල් විදහා රඟන මොනරුන් ද මවන සොබා සෞන්දර්යය ගමනේ කාන්සිය මග හරවයි. අතරින් පතර ඉදිවුණ අට්ටාල මත තවමත් හමුදා විරුවන් තම නො නිමි මෙහෙවරට පණ පොවති.

සෝමාවතී රක්ෂිතයේ උතුරු මායිම වන සෝමපුර පසුකරන විට ඝන අඳුර විසින් මුළු වනපෙත ම වසාගෙන අවසාන ය. කෑලි කැපිය හැකි අඳුර මැදින් අසීරුවෙන් පාර සොයාගෙන අපගේ ගමනාන්තය වෙත ළඟා වෙද්දී හිරු සැඟව ගොස් හෝරා කීපයක් ඉක්ම ගොස් අවසන් ය.

සයුරේ අතරමං වූ නාවිකයෙකුට පහන් ටැඔක් පරිද්දෙන් හාත්පස වෙලී ඇති ඝන අන්ධකාරය මැදින් ඈතින් කිරි බැබළෙන මහ සෑයේ කොත් කැරැුල්ල දකිත් ම ගත සිත සියලූ විඩා මොහොතකින් සන්සිඳී ගියේ ය.
සේරුවිල මංගල රජ මහා විහාරයේ විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පූජනීය සේරුවිල සරණකිත්ති හිමියන් හදිසි වුවමනාවකට වෙරුගල් කල්ලඩි පාෂාණ පබ්බත විහාරයට වැඩම කොට සිටිය ද අප එන බව කල් තියා ම දත් නිසා අපට අවශ්‍ය නවාතැන් පහසුකම් විහාර භූමිය තුළ ම සලසා තිබුණි. එය අපගේ මහත් පිනක් යැයි අපට හැඟුනේ පසුදා උදෑසන සරණකිත්ති හිමියන් ආපසු වඩිනතුරු ම හිතේ හැටියට අපට මංගල මහ සෑ රදුන් වන්දනා කිරීමට අවස්ථාව උදාවන නිසා ය.

මුහුණ කට සෝදා පිරිසිදු වී සුදු ඇඳුමින් සැරසුන අපි සෑ මළුව වෙත පියමැන්නෙමු. මංගල මහ සෑය බඳවා ඇත්තේ පොළෝ මට්ටමින් උස්වූ චතුරස‍්‍රාකාර වේදිකාවක් මත ය. සෑ මළුවට ඇතුළු වීමට සතර දෙසින්
ගඩොලින් වටකොට බඳනා ලද දැවැන්ත ශෛලමය උළුවසු සතරකින් යුත් වාහල්කඩ දොරටු සතරකි. කළු ගලින් ම කදිමට සලපතළ මළුව නිමවා ඇත. මංගල මහ සෑයට නැගෙනහිරින් අපූරුවට පුන් සඳ පායා ඇත. සඳකැන් දහරින් නැහැවුණු මංගල මහ සෑ මළුවට මෙවන් වූ නිසල රාත‍්‍රියක පැමිණ නිදහසේ සිත් සේ වන්දනා කිරීමට ලැබීම නම් අප ලද දුලබ ලාභයක් ම ය.

මල් පහන් පුදා බුදු ගුණ සිහිකරමින් සෑ මළුව පැදකුණු කරද්දී සම්බුදුරජාණන් වහන්සේගේ පිරිපුන් නළල් තලය සිහියට නංවන නරසීහ ගාථාවක් නිතැතින් ම සිහියට නැගුනි. ”කඤ්චන පට්ට විසුද්ධ ලලාටෝ” එ් ලලාට ධාතූන් වහන්සේට මෙතරම් සමීපව මොහොතක් හෝ ඉන්නට ලැබීම මොනතරම් භාග්‍යයක් ද? අපි නිදහසේ සෑ මළුවේ වාඩි වී මිහිරට හඬ නගා තෙරුවන් වන්දනා කළෙමු. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ඤාණානන්ද හිමියන්ගේ පන්හිඳෙන් පබැදුනු අසිරිමත් තෙරුවන් ගුණ කවිමල් මාලා දාමයන්ගෙන් සිත් සේ මහ සෑය පිදීමු. සඳකැන් දහරින් නැහැවෙමින් බුදු සුවඳ දැනෙනා ඉමේ සිට මෙසේ වන්දනා කරද්දී සිතට දැනෙන්නේ වචනවලට පෙරළිය නො හැකි අපරිමිත වූ නිරාමිස සුවයකි.

සෑ බඳ තුළ සුදු බුදුරැුස් විහිදුවමින් වැඩ සිටින එ් ලලාට ධාතූන් වහන්සේගේ සේයාවක් බඳු පුන් සඳමඬල මැදියම් රැයේ කොත් කැරැල්ල ඉහළින් බැබළෙද්දී, දෙවියන්ට ආරාධනා කොට, දම්සක් පැවතුම් සූත‍්‍රය
සජ්ඣායනා කරන්නට පටන් ගතිමු.

‘‘යාවකීවඤ්ච මේ භික්ඛවේ ඉමේසු චතුසු අරියසච්චේසු එ්වං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං…..” ගාථාව අවසාන වෙත් ම හිටි හැටියේ ම දාහය නිවාලමින් වැසිපොද ඇදහැළෙන්නට විය. වැසි පොදේ ම අපි සම්පූර්ණ සූත‍්‍රය ම සජ්ඣායනා කළෙමු. සූත‍්‍රය නිමවන තෙක් ම එක සේ ඇදහැළුන මල් වැසිපොද සෙමෙන් තුරල් විය.

ගමන් විඩාවට හා පහන් වූ සිතිවිලි විසින් ගෙන ආ සුවබර නින්ද අලූයම නුපුරුදු හඬකින් බිඳිණි. මම එ් හඬ හැඳින ගතිමි. මට ථේර ගාථාවක් සිහි විය.

‘‘මේ කැලේ ඉන්නව ලස්සන කුරුල්ලො ජාතියක්, බෙල්ල නිල් පාටයි, ලස්සන පියාපත් තියෙනව, උදෑසන ම උන්ගෙ හඬට මං අවදි වෙලා භාවනාවේ යෙදෙනව…”

එවන් වූ නිකෙලෙස් මුනිවරුන් වහන්සේලා කී දහසක් මේ පින් බිමේ පා තබා ඇවිද යන්නට ඇද්ද? මම ද ඇඳ මත සිට දෑස පියාගෙන සිත එකඟ කර ගන්නට උත්සාහයක් ගතිමි. හිමිදිරියේ ම සරණකිත්ති හිමියන් විහාරය වෙත වැඩියහ. නොයෙකුත් කරුණු සඳහා උන්වහන්සේ හමුවීමට උදෑසන සිට ම බොහෝ පිරිස් ඇදී එති.

උන්වහන්සේ ද ඉතා යුහුසුළුව එ් සියල්ල ඉටුකර දෙති. ඉදිකිරීම්වල නිරත බාසුන්නැහේලාට පවා එ් කටයුතු නිසි ලෙස විය යුතු අයුරු පැහැදිලි කර දෙති.

උන්වහන්සේ තේජවන්ත ය, ස්වරය දැඩි ය, ස්ථිරසාර ය. එමෙන් ම කාරුණික ය. කඩිනමින් උදෑසන සිට පැමිණි අයගේ ගැටලූ විසඳාලූ උන්වහන්සේ මා ඇමතුහ.

‘‘මහත්තයෝ අපි යමු අර ගහ යටට. එතන නිදහස්.”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, මට ඕනෙ මේ විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම ගැන තොරතුරු දැන ගන්න.”

‘‘මහත්තයෝ එ් ගැන අංග සම්පූර්ණ විස්තරයක් කරන්න ගියොත් මහත්තයට හෙට දවසත් මෙහෙම ඉන්ට වේවි. එ් හින්ද වැදගත් ම කරුණු ටික මම මතක් කරන්නම්.

බුදුරජාණන් වහන්සෙ පිරිනිවන් පෑවට පස්සේ, එ් ශ‍්‍රී දේහය ආදාහනය කළානෙ, ඊට පස්සෙ ඉතිරි වුණ ධාතූන් වහන්සේලා අතරින් හත්නමක් බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ම නො විසිරී ඉතිරි වුණා. එ් තමයි සතර දළදා වහන්සේලා, අකු ධාතු දෙනම සහ ලලාට ධාතූන් වහන්සේ. මේ අතරින් විශාල ම ධාතූන් වහන්සේ තමයි ලලාට ධාතූන් වහන්සේ.”

‘‘එතකොට ස්වාමීන් වහන්ස අනිත් ධාතූන් වහන්සේලා.”

‘‘ඉතිරි සියලූ ම ධාතූන් වහන්සේලා මුං පියලි, කඩ සහල්, අබ ඇට ප‍්‍රමාණයට බිඳී විසිර පැවතියා. ඉතින් ධාතුන් වහන්සේලා බෙදා දීමෙදි මේ ලලාට ධාතූන් වහන්සේ එකතු වුණේ මල්ල රජ දරුවන්ගේ ධාතු
කොටසට. මේ වෙලාවෙදි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙසේ වදාළා.

‘රජ දරුවනි මේ ලලාට ධාතූන් වහන්සේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානයක් තියෙනවා. එබැවින් ලලාට ධාතූන් වහන්සේ අපට දුන මැනව.’

‘ස්වාමීන් වහන්ස, එය එසේ ම වේවා’ යි මල්ල රජ දරුවන් ධාතූන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට භාර දුන්නා.”

‘‘ස්වාමීන් වහන්ස මොකක්ද එ් අධිෂ්ඨානය?”

‘‘ඉතින් ලලාට ධාතූන් වහන්සේ දෝතට ගත්ත මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන මහා නන්ද ස්වාමීන් වහන්සේට මෙසේ වදාළා. ‘පින්වත් නන්දයෙනි, අනාගත කාලයෙහි ලක්දිව මහවැලි ගඟ දකුණු තෙර, සේරු නම් වූ විල් කෙළවර, වරාහ සොන්ඩ නම් ගල් කෙමිය සමීපයෙහි, කාවන්තිස්ස නම් මහ රජෙකු විසින් දාගැබක් කරවන්නේ ය. මේ ධාතූන් වහන්සේ එහි පිහිටන්නේ ය යි භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානයක් තිබෙයි. එහෙයින් දැන් මේ ධාතූන් වහන්සේ ගෙන විශාලා මහනුවර කූඨාගාර ශාලාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ගන්ධකුටියෙහි වඩා හිඳුවා මහත් පුද සත්කාර පවත්වන්න.’

මහා නන්ද ස්වාමීන් වහන්සේ මහත් වූ ගෞරවයෙන් ධාතූන් වහන්සේ පිළිගෙන අහසට පැනනැගී කූඨාගාර ශාලාවේ වඩා හිඳුවා ජීවමාන බුදුරදුන්ට මෙන් ම උදේ සවස මල් ගඳ විලවුන්ගෙන් අනේක පූජා පවත්වමින් බොහෝ කලක් වැඩ සිටියා.

එ් මහා නන්ද මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමට කල් එළඔ ඇති බව දැන, තමන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන චන්ද්‍රගුප්ත මහ තෙරුන් වහන්සේ
කැඳවා අනාගත ධාතු විස්තරය මැනෙවින් කියා දී,

පිරිනිවන් පා වදාළා. චන්ද්‍රගුප්ත මහ තෙරුන් වහන්සේත් බොහෝ කල් වැඩහිඳ පිරිනිවන් පෑමට කල් එළඹි කල තමන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන භද්‍රසේන මහ තෙරුන් වහන්සේට ලලාට ධාතූන් වහන්සේ භාර කළා. මෙසේ පිළිවෙළින් ජයසේන, සංඝරක්ඛිත, මහදේව යන රහතන් වහන්සේලා බොහෝ කාලයක් මහත් පුද සත්කාර පවත්වමින් ලලාට ධාතූන් වහන්සේ සුරක්ෂා කළේ බොහෝ ම ගෞරවයෙන්. මහාදේව රහතන් වහන්සේ කල් දැන, ධාතූන් වහන්සේ රැගෙන ලක්දිවට වැඩ හත්ථොට්ට ජනපදයේ මහාකාල උපාසකතුමාගේ සහයෙන් ධාතුගෙයක් කරවා නොයෙකුත් පුදපූජා පවත්වමින් එහි වැඩ සිටියා.
එකල මාගම රජ කළ මහානාග රජතුමාට පුන් පොහොය දවසට සවණක් ඝන බුදුරැුස් විහිදුවමින් බබළන මේ ධාතූන් වහන්සේ ගැන දැන ගන්න ලැබුණා. රජතුමා මහත් ප‍්‍රීතියට පත් වී සුවඳ පැනින් හිස සෝදා, උතුම් වස්ත‍්‍ර හැඳ පෙරවා, මහාදේව රහතන් වහන්සේගේ අවසරයෙන්, ධාතු ගෙයට පැමිණ, දොහොත් මුදුන් තබා වන්දනා කළා. එකෙණෙහි ම ලලාට ධාතූන් වහන්සේගෙන් මුළු ලක්දිව ම එ්කාලෝක කරමින් සවණක් ඝන බුදුරැස් විහිදුනා. රජතුමා මහත් ශ‍්‍රද්ධාවෙන් වැඳ වැටෙද්දී ලලාට ධාතූන් වහන්සේගේ අනාගත ධාතු විස්තරය මහාදේව රහතන් වහන්සේ විසින් මහානාග රජතුමාට පවසා වදාළා.

මුලින් ම ධාතූන් වහන්සේ භාර වුණේ මහානාග රජතුමාට. ඉන් පසුව ඔහුගේ පුත් යටාලතිස්ස කුමරුන්ටත්, යටාලතිස්ස රජතුමා ඔහුගේ පුත් ගෝඨාභය කුමරුන්ටත් ධාතූන් වහන්සේ භාර කළා. ගෝඨාභය රජතුමා මරණාසන්න වෙද්දී, තම පුත් කාවන්තිස්ස කුමරු ළඟට කැඳවා, වැළඳගෙන ‘පුතා තිස්ස, සර්වඥයන් වහන්සේගේ මේ ලලාට ධාතූන් වහන්සේ අපගේ පරම්පරාවෙන් මෙතුවක් කල් දිවි දෙවෙනි කොට ආරක්ෂා කරගෙන පැමිණියේ ය. අනාගත කාලයෙහි ලක්දිව කාවන්තිස්ස නම් රජෙකු පහළ වෙයි, එ් රජතුමා මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් වූ විල් කෙළවර ‘වරාහ සොන්ඩ’ නම් ගල් පොකුණ සමීපයෙහි මහ සෑයක් කරවා මේ ධාතූන් වහන්සේ එහි තැන්පත් කරවන්නේ යැයි මාගේ ශාස්තෘන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයෙහි දේශනා කොට තිබෙයි. එය එසේ ම වේවා!’ යි උපදෙස් දී කලූරිය කොට දෙව්ලොව උපත ලැබුවා.

කාවන්තිස්ස රජතුමාගෙ හිසේ මලක් පිපුන වගේ, ‘අනේ මාගේ ස්වාමී වූ සම්බුදුරජාණන් වහන්සේ මාවත් දැක තිබෙන්නේ ය’ යැයි මහත් සොම්නසින් රහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි නිසි කල් යල් බලා මංගල මහ සෑයේ කටයුතු ආරම්භ කළා.

මේ කටයුතුවලට මූලිකව උපදෙස් දීපු රහතන් වහන්සේනමක් සිටියා. එ් තමයි චුල්ලපිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ. උන්වහන්සේ විහාර මහා දේවියගේ සොහොයුරෙක්. ඉතින් මංගල මහ සෑය පිහිටන ස්ථානය නිවැරදිව දැන හැඳිනගෙන එ් භූමිභාගය මනා කොට ශුද්ධ පවිත‍්‍ර කොට මහත් වූ උත්සවශ‍්‍රීයෙන් වෙසක් පුන් පොහෝ දිනයක මංගල මහ සෑය වෙනුවෙන් මුල් ගල තබද්දී මේ මිහිකත කම්පා වුණා. අහස ගිගුම් දුන්නා.

ඉක්මනින් ම ධාතු ගර්භය පිහිටන උසට සෑය නිම වුණා. රජතුමා මේ බව මහා සංඝරත්නයට දැනුම් දුන්නා. එවිට චුන්ද, උත්තර කියන රහත් සාමණේරවරු දෙනම හිමාල වනයට ගොස් මේදවර්ණ පාෂාණ හයක් ඍද්ධි බලයෙන් රැුගෙන වැඩියා. මේ චතුරස‍්‍රාකාර ගල් පුවරුවක් සෑය මධ්‍යයේ තබා අනෙක් සතර, සතර දිසාවෙන් වට කොට ධාතු ගර්භයේ බිත්ති සකස් කළා. අනෙක මුදුන් පියන ලෙස තැබීමට පසෙකින් තැබුවා.
රජතුමා නව කෝටියක රන් ගෙන්වා, රන් ගඩොල් තනවා, එ් රන් ගඩොලින් ඇතුළත බිත්ති නිම කළා. ධාතු ගර්භය රන් රිදී මුතු මැණික්වලින් අනේකවිධ වූ මල් ලියකම් ආදි සැරසිලි කොට එ් මධ්‍යයේ රනින් ආසනයක් තනවා දඹ රනින් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සම්බුද්ධ ශරීරයේ ප‍්‍රමාණයට බුද්ධ ප‍්‍රතිමාවක් කරවූවා. මේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අතිශයින් ම ආශ්චර්යවත් එකක්. ප‍්‍රතිමාවේ නේත‍්‍ර යුග්මයේ සුදු කොටස අගනා පළිඟුවලින් ද කළු කොටස හා දෙබැම හා කෙස් ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් ද අතුල් පතුල් දෙතොල් ආදි රතු පැහැයට හුරු තැන් රතු පබළුවලින් ද සම සතලිස් දන්තයන් දියමන්තියෙන් ද ඌර්ණ රෝම ධාතුව පිරිසිදු රිදියෙන් ද කරවූවා.

ධාතු නිධානෝත්සව දිනය එළඹුනා. සතරදිගින් මහ ජනයා අලංකාර වස්ත‍්‍රාභරණයෙන් සැරසී සාධුකාර දෙමින් රැස්වුණා. සෝම නුවරින් ගිරි අභය රජු හා සෝමා දේවිය මහත් වූ පූජා භාණ්ඩ ගෙන සිය පිරිවර සමගින් ද ලෝණ නුවර මහානාග රජු සිය පිරිවර සමගින් ද සේරු නුවර සිව රජු සිය පිරිවර සමගින් ද පැමිණ මහා සංඝරත්නයට වැඳ නමස්කාර කොට එකත්පස්ව සිටියා. ඊට පස්සේ චුල්ලපිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ පන්සීයක් මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩියා. මේ ආකාරයට සතර දිගින් මහ රහතන් වහන්සේලා හත්දහසක් මේ ස්ථානයට වැඩම කොට වදාළා. සිව මහරහතන් වහන්සේ නා ලොවින් කේශ ධාතූන් වහන්සේලා රැුගෙන වැඩියා. රහතන් වහන්සේලා හිමාලයෙන්, තව්තිසාවෙන් නොයෙකුත් දිව මදාරාදී මල් ද සුවඳ සඳුන් ද අනර්ඝ මාණික්‍ය සතරක් ද ගෙන වැඩියා.

කාවන්තිස්ස මහ රජතුමා මැණික් කරඬුව විවර කොට ලලාට ධාතූන් වහන්සේ හිස මතට ගත්තා. සුදු මුතු කුඩයකින් සෙවණ සලසා තුන්වරක් සෑය පැදකුණු කොට මෙසේ අධිෂ්ඨාන කළා. ‘තථාගතයන් වහන්සේගේ යම් අධිෂ්ඨානයක් වෙද්ද එපරිද්දෙන් ම මේ ලලාට ධාතුන් වහන්සේ මා විසින් නිම කරන ලද මේ ස්වර්ණමය බුද්ධ ප‍්‍රතිමාවේ නළල් තලයෙහි ඌර්ණ රෝම ධාතුව ප‍්‍රකට කරමින් වැඩ හිඳීවා.’

එකෙණෙහි ම එ් අසිරිමත් ලලාට ධාතූන් වහන්සේ අහසට පැන නැගී සවණක් ඝන බුද්ධ රශ්මි මාලා විහිදුවමින් මහත් පෙළහර පා අනතුරුව රජුගේ අධිෂ්ඨානය පරිද්දෙන් ම ස්වර්ණමය බුද්ධ ප‍්‍රතිමාවේ නළල් තලයෙහි පුරසඳ මෙන් බබළමින් ඌර්ණ රෝම ධාතුව ප‍්‍රකට කරමින් වැඩ සිටියා. කේශ ධාතූන් වහන්සේලා ද මෙසේ ම ප‍්‍රතිමා ශීර්ෂයෙහි පිහිටියා.

පැමිණ සිටි ජනයා මේ අසිරිය දැක මහත් ශ‍්‍රද්ධාවෙන් සාධුකාර දී වැද වැටෙමින් තමන් පැලඳ සිටි ස්වර්ණාභරණ ගලවා පූජා කළා. රජතුමා ද තමන් පැලඳ සිටි රාජාභරණ පූජා කළා. ඉන් පසු රජතුමා ධාතු ගර්භයට පිවිස රහතන් වහන්සේලා ගෙනා මැණික් සතර, සතර කොණේ තැබුවා. සියලූ රන්කම්වල කාන්තිය ද පරදවමින් එ් මැණික්වලින් එළිය විහිදුනා. මේ සියලූ අසිරිය දැක ශ‍්‍රද්ධාවෙන් ඇලලී ගිය කාවන්තිස්ස මහ රජතුමා ‘මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ හැර දමා මට මේ කුටියෙන් යා නො හැකි ය’ යැයි කියා එ් අසිරිමත් පිළිම වහන්සේ පාමුල හිස තබාගෙන කඳුළු වගුරුවන්නට වුණා. මෙය දුටු සහදේව නම් රහතන් වහන්සේ රජුටත් නො දැනෙන ලෙස ඍද්ධි බලයෙන් රජු පිටතට ගත්තා. ඊට පස්සේ ඉතිරිව තිබුණ මේදවර්ණ පාෂාණය ගෙන පියන වැසූ රහතන් වහන්සේලා මේ ගල් පුවරු එ්කඝන වේවායි අධිෂ්ඨාන කළා. එමෙන් ම මේ පිදූ මල් පර නො වේවා, මේ සඳුන් නො වියළේවා, මේ මැණික්වල ආලෝකය අඩු නො වේවා, මේ පූජාභාණ්ඩ සොර සතුරන් අතට පත් නො වේවා යි! අධිෂ්ඨාන කළා.”

මට මොහොතකට වචන නැති විය. දෑස් බොඳ වී ගියේ ය. අප මේ සිටින්නේ මෙවන් වූ පුණ්‍ය භූමියක නො වේ දැයි සිතෙන විට දැනෙන හැඟීම මෙහි පැමිණ ම විඳ ගත යුතු ය. මඳ නිහැඬියාවකට පසුව සරණකිත්ති හිමියෝ යළි කටහඬ අවදි කළහ.

‘‘මහත්තයෝ අතීතයේ තිබුණ එ් ශ‍්‍රී විභූතිය
කාලයාගේ ඇවෑමෙන් වනයෙන් යට වුණා. මහ වනයට
මේ මුළු භූමි භාගය ම යට වී අවුරුදු අටසීයක් විතර තිබිල
තියෙනව. පූජනීය දඹගස්ආරේ ශ‍්‍රී සුමේධංකර කියන
මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නො වන්නට

අපට අද දකින්නට මේ සුන්දර දසුන් කිසිවක් නෑ.

උන්වහන්සේ තමයි මගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ. කවුරුත් ආදරේට කිව්වෙ සුදු හාමුදුරුවෝ කියලයි. ආයෙ මම කියන්න ඕනෙ නෑ… මෙන්න උන්වහන්සේගෙ ම වචන.” යි කියූ සරණකිත්ති හිමියෝ කුඩා පුස්තකයක් මා අත තැබූහ. එහි මෙසේ සටහන් කොට තිබේ.

‘‘මගේ හිතේ තිබුණ ලොකු ආසාවක් තමයි මංගල මහ වෙහෙර සොයා ගැනීම. 1922 දී එ් අදහස ඉටුවුණා. මා මෙහි එන විට මේ බිම පැවතුනේ පස් කන්දක් විදියට. සෑය මැදින් මහ නුග ගහක් වැවිල හතරැුස් කොටුවෙන් භාගයක් කඩාගෙන වැටිල නුග අතු අතර රැුඳිල තිබුණා. මට ඇතිවුණ සංවේගය මෙතෙකැයි තියන්න බෑ.

කොහොම හරි මේ සෑය යළි හදනව කියන අධිෂ්ඨානයෙන් මහ වනය මැද මම නතර වුණා. මේ ගැන මා විඳි දුක් මෙපමණැයි කියන්න බෑ. නිරාහාරව වතුර පොදක් නැතිව මා සිටි දින අපමණයි. වරක් දවස් එකොළහකට ම මම වැළඳුවෙ හබල පෙති ස්වල්පයක් විතරයි. උදේට මම කුටියෙ දොර අරිනකොට දොර ළඟ නිදාගෙන හිටපු කොටි වලසුන් හෙමින් නැගිටල යනව. හැබැයි කවදාවත් ගොරවලවත් නෑ.
හැම පෝය දවසක ම මම නින්දට ගිය විට මැදියම් රැයේ පංචතූර්ය නාදයෙන් පෙදෙස ම වැසී යනවා. ඉමිහිරි සුවඳකින් මුළු පරිසරය ම වැහෙනවා. දෙවිවරු පෙරහැර පවත්වනවා ඇහෙනවා. එ්ත් ගිහින් බැලූවා ම කවුරුත් නෑ. සමහරදාට දෙවිවරු ඇවිත් සෑය වඳිනවා. ළඟට යන විට එ් උදවිය අතුරුදහන් වෙනවා. පෝයදාට සෑයෙන් බුදුරැස් විහිදෙනවා කොතෙකුත් මා දැක තිබෙනවා.”

මෙවැනි අභීත වූ උදාර ගති පැවතුම් ඇති යුග පුරුෂයන් කලින් කලට ලක්දිව පහළ වී සසුන රැුකගෙන ඇත. අප හැමදාමත් උන්වහන්සේලාට ණයගැති නො වෙමු ද?

‘‘එතකොට ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කොහොම ද මෙහාට වැඩියේ?”

‘‘මම පැවිදි වුණේ 1952 දී අති පූජනීය දඹගස්ආරේ ශ‍්‍රී සුමේධංකර නා හිමිපාණන්ගෙ ගෝලයෙක් හැටියට. අවුරුදු නවයක් මම ඉගෙන ගත්තා. මෙහේට වැඩියේ 1961 දී. එදා ඉඳල නායක හාමුදුරුවන්ගෙ කටයුතුවලට උදව් කරමින් විහාරස්ථානයේ සියලූ කටයුතු බලා කියාගෙන ඉන්නවා.”

‘‘ඔබ වහන්සේත් අර අසිරිමත් සිදුවීම් දැකල තියෙනව ද?”

‘‘ඇයි නැත්තෙ… මෙහෙ ආපු අලූත දේවතා පෙරහැරවල් දැකල තියෙනව. පංචතූර්ය නාදය නම් පැය ගණන් අහගෙන ඉඳල තියෙනවා. බුදුරැුස් විහිදෙනවත් දැකල තියෙනව. හැබැයි එන්න එන්න එ් දේවල් අඩු වෙමිනුයි යන්නෙ.”

‘‘එ්කට හේතුව මොකක්ද ස්වාමීන් වහන්ස?”

‘‘එ්කට හේතුව වෙන මොකවත් නෙවෙයි මහත්තයෝ, මෙහෙට ඇවිල්ල පදිංචි වෙන මිනිස්සු දුස්සීල වීම. නැත්නම් දුස්සීල මිනිස්සු ඇවිත් පදිංචි වීම.”

‘‘ත‍්‍රස්තවාදී කලබල කාලෙ ඔබ වහන්සේට තර්ජන තිබුණෙ නැද්ද?”

‘‘ඇයි නැත්තෙ මහත්තයෝ, අට වතාවක් බේරුනා. කලින් කලට එන හැම රාජ්‍ය නායකයෙකු ම මට පහසුකම් දෙන්නම්, කොළඹට එන්න කිව්වත් මම ගියේ නෑ.

මොකද මම බුද්ධ පුත‍්‍රයෙක්. නියම බුද්ධ පුත‍්‍රයෙක් කිසි දවසක බයේ පැනල යන්නෙ නෑ. අනික මගේ ගුරු දේවෝත්තම අති පූජනීය දඹගස්ආරේ ශ‍්‍රී සුමේධංකර හිමියන් ජීවිත පරිත්‍යාගයෙන්
ප‍්‍රතිසංස්කරණය කළ මේ විහාරය මට භාර දුන්නෙ මම එ්ක ආරක්ෂා කරනවා කියන විශ්වාසයට. ජීවිතය ගියත් මම එ් විශ්වාසය බිඳින්නෙ නෑ.”

උන්වහන්සේ සමග පිළිසඳර නිමවා දෙපා නමැද වන්දනා කොට නැගිටිනවාත් සමග ම මහ වැසි ඇද හැළෙන්නට විය. පැයක් පමණ වට වැස්ස තුරල් වෙද්දී අපි නැවතත් කන්තලේ දක්වා වැටී ඇති මාර්ගය තරණය කරමින් සිටියෙමු.

හබරණ දඹුල්ල පසුකරමින් වෑන් රිය ඉදිරියට ඇදේ. අපත් සමග මේ ගමනට එකතු වූ, තමන්ගේ එක ම පුත් රුවන ද ගෞතම ශාසනයට පූජා කරන්නට තරම් සැදැහැවත් වූ අමරෙ අයියාත් අක්කාත් අපගේ අම්මාත් තාත්තාත් පසුපස අසුන්වල සිට ළයාන්විත හඬින් පිරිත් කියති. වෑන් රිය පුරා ශාන්ත සුවයක් ගෙනෙමින් පිරිත් ස්වරය පැතිර යද්දී මම දෑස පියාගෙන අතීතයට පියමැන්නෙමි.

සැණෙකින් මා මංගල මහ සෑ මළුවෙහි ය. සුදෝ සුදු රැස් දහරා විහිදුවාලමින් පුන්සඳ ගුවන අරා නැගී ඇත. රහතන් වහන්සේලාගේ පිරිත් ස්වරය ඉතා ළයාන්විතව ඇසේ. මහ සෑය පැදකුණු කොට පැමිණි, රාජාභරණ පැලඳි අයෙක් මා අසල ම නළලත බිම තබා මහ සෑය වන්දනා කරයි. එතුමාගේ ඇසෙන් වැටෙන කඳුළු කැට සඳපානේ මුතු කැට මෙන් දිලිසෙයි. මේ කාවන්තිස්ස මහ රජු ය. ඈතින් මහ වනයේ අඳුර මැදින් සඳ එළියෙන් පාර සොයාගෙන සුදෝ සුදු මල් වට්ටියක් දෝතින් දරාගෙන සුදුවන් වූ සිරුරකින් හෙබි පැවිදි රුවක් මහ සෑය වෙත වඩිති. මේ වඩින්නේ අති පූජනීය දඹගස්ආරේ ශ‍්‍රී සුමේධංකර හිමිපාණෝ ය.

උන්වහන්සේගේ පා සිවුරු රැුගෙන පිටුපසින් වඩින්නේ පූජනීය සේරුවිල සරණකිත්ති හිමියන් ය. දෙවි දේවතාවුන් වහන්සේලා අහස පුරා රැස් වී දිව මදාරා මල්වලින් මල්වැසි වස්සවති. සමහරෙක් පසඟතුරු නද වයමින් පෙරහැර පවත්වති. සඳකැන් රැුස් දහරා පරදවමින් මහ සෑයෙන් සුදු බුදු රැස් විහිදෙයි. කනට ඇසෙන ශබ්දවලින් හැෙඟන්නේ වෑන් රථය ගමනාන්තයට ළඟා වෙමින් තිබෙන බවයි. එ්ත් මම නෙතු පියන් විවර නො කරමි. මේ දැහැනින් මිදෙන්නට මට නුවුවමනා ය.

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ