කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල පසු කොට රඹුක්කන දක්වා හැල්මේ දිව ආ දුම්රිය, පේරාදෙණිය – ගම්පොළ පසුකොට නාවලපිටියට ළඟාවෙද්දී ලැසි ගමනකට මාරු වී ඇත. මින් ඉදිරියට ඇත්තේ වංගු සහිත කඳු තරණයක් බැවින් උඩරට මැණිකේගේ ඉදිරි ගමන තවත් මන්දගාමී වනු ඇත.
නිතර ඇස ගැටෙන නාගරික පරිසරයෙන් මොහොතකට හෝ මිදී හරිත පැහැයෙන් හාත්පස වෙළී ගිය තේ වතු මැදින්, සුන්දර දිය දහර ඇද හැළෙන ගිරිශිඛර මතින් ලතාවකට පැද්දෙන දුම්රියක නැ`ගී සීත කඳුකරය හරහා ගමනක යෙදීම සැබැවින් ම සිතට සුව ගෙන දේ.
හැටන් දුම්රිය ස්ථානයට ආසන්න වෙත් ම මිහිදුම් සේල පොරවාගත් සුන්දර සමනොළ කන්ද අනෙකුත් කඳු අතරින් විරාජමානව නැ`ගී සිටින දසුන සැබැවින් ම චමත්කාර ය.
දුම්රිය කවුළු අතරින් හමා ආ සිහිල් පවන් රොදක
වෙළී මටත් හොරා පියඹා ගිය මසිත එ් සමනොළ සිරස මස්තකයේ ඉඳුනිල් මාණික්‍යයක් මත පිහිටි වම් සිරිපා පද්මය වන්දනා කොට ආපසු පැමිණියේ කොයි මොහොතේ දැයි නො දනිමි.
විටෙක වලාකුළු අතර සැඟවී යන, නැවත මිහිදුම් සේල මුදාහැර ගුවන්තලයේ දිස්වෙන මේ කඳු මුදුන් සැබැවින් ම දෙව් විමන් බඳු ය.
මේ කඳු පන්ති අතර දෙව් විමන් ඇති බවට මිනිසුන් තුළ පවතින විශ්වාසයට සාධාරණ හේතු ඇත. සමනොළ කඳු පන්තිය සුමන සමන් දෙවියන්ගේ අඩවිය ලෙසත්, නමුණුකුළ කඳු පන්තිය ඉන්දක දෙවියන්ගේ අඩවිය ලෙසත් චිරාත් කාලයක සිට මිනිස්සු විශ්වාස කරති.
බුදුරජාණන් වහන්සේ පළමු ලංකා ගමනේ දී ඉන්දක දෙවිඳුන්ගේ ආරාධනයෙන් නමණුකුළ අඩවියේ
මුතියංගණ පින් බිමට පන්සියයක් මහ රහතන්
වහන්සේලා පිරිවරාගෙන වැඩි බවට ඉතිහාසය ද
සාක්ෂි දරයි. අද හිමිදිරියේ ම උඩරට මැණිකේත් සමග ගමන් ආරම්භ කොට බදුල්ල බලා පිටත්වූයේ එ් උතුම් මුතියංගණ පින් බිම දෑසින් දැක බලා වන්දනා කොට එ් පින් බිමෙහි අතීත මෙන් ම වර්තමාන තතු ද ඔබ වෙත ගෙන එ්මේ චේතනාවෙනි. උඩරට මැණිකේ නානුඔය, හපුතලේ පසුකොට බණ්ඩාරවෙලට ළඟා වෙද්දී හිරු අවරට හැරී තිබුණි. අවසානයේ ඈ බොහෝ වේලාවක් ද බොහෝ දුරක් ද ගෙවාගෙන තම ගමනාන්තය වූ
බදුල්ලට ළඟා වූවා ය.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටතට පැමිණෙත් ම දුම්රිය පොළට මුහුණලා දිස්වෙන්නේ විශාල වාහල්කඩකි. එ් වාහල්කඩින් ඇතුළු ව මඳ දුරක් යද්දී පෞරාණික මුතියංගණ තොරණ හමුවෙයි. එ් පිටුපසින් සඳකැන් අතුරින් නැහැවෙමින් මේ කිරි සුදින් බැබළෙන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ මුක්තක ධාතුන් වහන්සේලා නිදන් කොට ඉන්දක දෙවියන් විසින් බඳවන ලද මුතියංගණ මහ වෙහෙරයි.
වාහල්කඩ දොරටුව අසලින් ලබාගත් මානෙල් මල් වට්ටිය දෝතට ගෙන සෑ රජාණන් වහන්සේ පැදකුණු කොට වන්දනා කළ මම විහාර ගෙයට ඇතුළුවීමි. විහාර ගෙය මල් සුවඳින් පිරී ඇත. වැඩ සිටින පිළිම වහන්සේට
දකුණු පසින් ඉන්දක දිව්‍යරාජයාණන් වහන්සේගේ පිළිරුවක් ඉදිකොට ඇත. බුදු ගුණ සිහිකරමින් පිළිම වහන්සේ වන්දනා කළ මම රැුස් කළ පින් ඉන්දක දෙවියන්ටත් අනුමෝදන් කළෙමි. මේ පින්බිම වැඳපුදා ගෙන පින් රැුස්කරගන්නට බොහෝ දෙනෙකුට වාසනාව උදා වූයේ ඉන්දක දෙවිඳුන්ට පින් සිදු වන්නට නො වේ ද?
අක්කර දහයකට වැඩි මුතියංගණ පින් බිමේ චෛත්‍ය මළුව තුළ වැඩහිඳින්නේ ජය ශී‍්‍ර මහාබෝධීන් වහන්සේගේ දෙතිස් ඵල බෝධීන් වහන්සේනමකි.
ඓතිහාසික බදුල්ල මුතියංගණ රජමහා විහාරයේ විහාරාධිපති වහන්සේ වශයෙන් වැඩ වෙසෙන්නේ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක මහා සංඝ සභික
මහෝපාධ්‍යාය පූජ්‍යපාද වරකාගොඩ ශී‍්‍ර ඤාණරතන නායක
ස්වාමීන් වහන්සේ ය. උන් වහන්සේ වැඩවෙසෙන්නේ
සෙංකඩගල පුරවරයේ බැවින් මුණගැසෙන්නට
හැකියාවක් නො ලැබිණි. එහෙත් ඓතිහාසික බදුල්ල මුතියංගණ
රාජමහා විහාරයේ භාරකාර, සියම් මහා නිකායේ අස්ගිරි
පාර්ශ්වයේ කාරක මහා සංඝ සභික, ශාස්ත‍්‍රපති
මුරුද්දෙනියේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සම`ග සාකච්ඡුා කිරීමට මට වාසනාව උදා විය.
”පින්වත් ස්වාමීන් වහන්ස, ඇත්තට ම බුදුරජාණන් වහන්සේ මේ බිමට වැඩම කරවීම සිදුවූයේ කොහොම ද?”
”බුද්ධත්වයෙන් අට වන වසරේ වෙසක් පුන් පොහෝ දා
පන්සියයක් මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන තථාගතයන් වහන්සේ කැලණියට වැඩම කළා. ඉතින් කැලණියේ දී මේ ප‍්‍රදේශයට අධිපති ඉන්දක දෙවියන්ගේ ආරාධනාව පිළිගෙන තමයි මේ පින් බිමට වැඩම කොට වදාළේ.”
”ස්වාමීන් වහන්ස, එතකොට මුක්තක ධාතුන් වහන්සේලා කියන්නේ..?”
”මහත්තයෝ, බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේලා සම`ග මේ බිමේ සමවත් සුවයෙන් වැඩ සිට වදාළා. එ් වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයෙන් නිකුත් වූ දහදිය බිඳු කිහිපයක් තමයි මුතු බවට පත් වී ඉන්දක දෙවියන්ට ලැබුණේ. මුක්තක ධාතුන් වහන්සේලා කියන්නේ එ් ධාතුන් වහන්සේලාට යි. ඉතින් එ් මුතු පිහිටි අංගණය, මුතියංගණය වූ බවට අදහසක් තියෙනවා. එ් වගේ ම සසර දුකින් මිදීම යන අර්ථයෙන් යුතු ව ‘මුක්ති’ අංගණය මුතියංගණය වූ බවටත් අදහස් තියෙනවා.”
”ස්වාමීන් වහන්ස, ඉන්දක දෙවියන්ගෙන්
පස්සේ..?”
”ඊට පස්සේ ධාතුසේන රජතුමා, විජයබාහු රජතුමා, පළමු වැනි රාජසිංහ, දෙවන රාජසිංහ, කීර්ති ශ‍්‍රී රාජසිංහ යන රජවරුන් මේ පින් බිම ගොඩනංවන්න දායක වෙලා තියෙනවා.”
”ස්වාමීන් වහන්ස, මේ බිමේ තියෙන අනෙකුත් විශේෂ දේ මොනවා ද?”
”මේ විහාර මළුවට ඇතුල්වෙද්දී හමු වූ වාහල්කඩ වගේ සතර දිශාවට ම වාහල්කඩ සතරක් නිමවන්නටයි සැලසුම් කරලා තියෙන්නේ. එ් වගේ ම සෑයේ සලපතළ මළුවත් දැන් ප‍්‍රතිසංස්කරණය කරල ඉවරයි. ලෝකයේ රන් වැටකින් වට කරලා තියෙන එක ම සෑ රජුන් වහන්සේත් මේ සෑ රජුන් වහන්සේ විතරයි.
පෞරාණික වශයෙන් ගත්තොත් මහා විහාරය, මැද විහාරය, සත්සති කියල විහාර ගෙවල් තුනක් තියෙනවා.
අතීතයේ බෝධීන් වහන්සේලා සත්නමක් වැඩ සිටලා තියෙනවා. එ්ත් අද දක්නට තියෙන්නේ දෙතිස් ඵල බෝධියත්, මලියදේව මහරහත් බෝධියත් ඇතුළු ව බෝධින් වහන්සේලා තුන්නමක් විතරයි.”
”ස්වාමීන් වහන්ස, මලියදේව මහ රහත් බෝධිය කියන්නේ..?”
”අනුරාධපුර යුගයේ වැඩහුන් මලියදේව මහරහතන් වහන්සේ ගැන අහල ඇතිනෙ. උන්වහන්සේ මේ බිමේ දේශනා කළ ධර්මය අසා ස්වාමීන් වහන්සේලා
හැටනමක් උතුම් අරහත්වයට පත් වෙලා තියෙනවා.
එ් ස්ථානය සිහි වෙන්න තමයි මේ බෝධිය රෝපණය කරල තියෙන්නෙ. තවත් විශේෂ දේකට තියෙන්නේ
‘පෙතිකඩ’ යි. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ පිිළිරුව සිතුවම් කරලා තියෙන මේ පෙතිකඩ නියං කාලවල දී පුද පූජා මැද නමුණුකුළ කඳු මුදුනට වැඩම කොට දෙවියන්ට පින් දුන්නාම නියඟය නිමා කරමින් මහ වැසි ඇද හැළෙන්නෙ හරි ම අසිරිමත් විදිහට.”
මම උන්වහන්සේගේ දෙපා නමැද සමුගතිමි. සඳකැන් නැහැවෙන මුතියංගණ සෑ රජුන් රන්වැට අතරින් දිස්වන විට සිතට දැනෙන්නේ නිරාමිස සුවයකි. සම්බුදුරජුන්ගේ මුක්තක ධාතුන් වහන්සේලා බුදු රැුස් විහිදුවමින් මේ සෑ බඳ තුළ දැනුදු වැඩ හිඳිති. ඉන්දක දෙවියන් නමුණුකුළ දෙව් විමනේ සිට වලා රොදක නැ`ග පාවී අවුත් සෑයට දිව්‍ය මදාරා මල් වැසි වස්සවති. එ් දෙවිඳුන් මට පියවි ඇසට නො පෙනුණ ද මේ දැනෙන්නේ
එ් මල් සුවඳ බව මම දනිමි.
”විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සීහළ දීප වාසිනං
මුතියංගණං ථුප වරං නමාමි”
සැමදා බුද්ධ ගුණයෙන් බබළන්නා වූ ද ඉන්දක
දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූ ද සිහලදීපවාසීන්ගේ ජය භූමිය වන්නා වූ ද මුතියංගණ සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා!

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ