ශ‍්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් දරුවනි,
අපි ධර්මයේ හැසිරෙන්න පටන් ගනිද්දී අපට ඕනතරම් වරදින්න පුළුවන්. ඔන්න ඔබට යමක් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එ් වගේ ම ඔබට අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සද්ධර්මය. ඔබේ වාසනාවකට ඔබට මේක ගොනු කර ගන්න ලැබෙනවා. දරාගන්න ලැබෙනවා, කියවන්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. මේ අතර මේක ඔබට හිතින් ගළපාගන්නත් පුළුවන්කම ලැබෙනවා. එතකොට සැබෑ ශ‍්‍රද්ධාව ඇතිවෙන්න කලින් ඔබ රැවටෙන්න පුළුවන්, ‘මම දැන් ශ‍්‍රද්ධාවට ඇවිල්ලා’ කියලා. එතකොට එන්නේ ශ‍්‍රද්ධාව නෙවෙයි. ශ‍්‍රද්ධාව තියෙනවා කියලා මාන්නයක්.

මේක හරි සියුම් එකක්. මාන්නය කියන්නේ ක්ලේශයක්, සංයෝජනයක්, අනුසය ධර්මයක්. අනුසය ධර්මයක් කියන්නේ අභ්‍යන්තරයේ සැඟවී තියෙනවා, හොයාගන්න බෑ. එ් එ් අවස්ථාවට මතු වෙනවා. සංයෝජනයක් කියන්නේ බැඳ තබනවා. ලිහෙන්න දෙන්නේ නෑ. ක්ලේශයක් කියන්නේ කිලූටු කරනවා. මේ ලක්‍ෂණයෙන් යුතු මාන්නය මේ ජීවිතවල බලපවත්වන නිසා අපිට එකවර හොයාගන්නත් බෑ, මේක මාන්නය කියලා. අපි හිතන්නේ ශ‍්‍රද්ධාව කියලා. ‘‘මට නම් ඉතින් ආයේ ශ‍්‍රද්ධාව නම් තියෙනවා” කියලා තමාව වර්ණනා කර ගන්නවා. නමුත් දන්නේ නෑ ශ‍්‍රද්ධාවට එන්න ඉස්සෙල්ලා ආවෙ මොකේට ද කියලා. එන්නේ මාන්නයට.

මාන්නය ආවට පස්සේ එතන සිද්ධ වෙනවා යම්කිසි අර්බුදයක්. මාන්නය ආවට පස්සේ එයා කැමති වෙනවා, එයාගේ ප‍්‍රතිරූපය ගොඩනගන්න. මේක ශ‍්‍රද්ධාවන්තයෙක් තුළ වෙන එකක් නෙමෙයි. ඊට පස්සේ මොනවාහරි එකක් අරගෙන, එක්කෝ දහම් කරුණක්, එක්කෝ ලියපු දෙයක මොකක්හරි අරගෙන ‘‘ඕක ඔහොම නෙවෙයි වෙන්නේ…. මේක මෙහෙමයි වෙන්නේ… මේ විදිහටයි වෙන්නේ…” කියලා ඔන්න මෙයා බොහෝම දන්න කියන කෙනෙක් වගේ පෙන්නන්න පටන් ගන්නවා. බැලූවාම ඇවිල්ලා තියෙන්නේ මාන්නයයි.

බුද්ධ දේශනාවක තියෙනවා (අයසා’ව මලං සමුට්ඨීතං – තදුට්ඨාය තමේව ඛාදති) යකඩයෙන් හටගන්නා මලකඩ විසින් කා දමන්නේ අර යකඩය ම යි. මේ වගේ කෙනෙක් යම් කිසි වටිනා දෙයක් සොයාගෙන යද්දි එ් වටිනා දේ ලබන්න කලින් එයාට එනවා ලොකු ජයග‍්‍රාහී සිතුවිල්ලක්. ඊට පස්සේ එ් තුළින් අර පුද්ගලයා තුළ හටගන්නා මාන්නය නිසා අර පුද්ගලයාගේ ශ‍්‍රද්ධාව කාල දානවා. එ් පුද්ගලයාගේ නිහතමානීකම කාල දානවා. එ් පුද්ගලයාගේ අහිංසකකම කාලා දානවා. එ් පුද්ගලයාගේ තියෙන තැන්පත්කම කාලා දානවා. දන්නේ ම නෑ එයා ගොරෝසු, දරදඬු, ඕලාරික, වෙට්ට පිත්තල එක්කෙනෙක් වෙනවා. මෙන්න මේ අනතුර මාරයා පාවිච්චි කරන්න බැරි ද? මනුෂ්‍යයා තුළ පවතින මේ ක්ලේශය හසුරුවන්න බැරි ද? පුළුවන්. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අයට වඩා අපට තියෙන අභියෝග වැඩියි.

එ් නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගනිද්දි අපට ධර්මාවබෝධය කිරීම ගිලිහී යන්න තියෙන අවස්ථා, අහිමි වෙන්න තියෙන අවස්ථා පිළිබඳව අපි දැනුම්වත්ව සිටීම ඉතා ම ප‍්‍රයෝජනයි. ගිලිහෙන්න තියෙන අවස්ථා දැනගෙන නො සිටියොත් එ්ක හරියට නිකම් තමන් ගැන අධික විශ්වාසය තියාගෙන ත‍්‍රස්තවාදීන් ඉන්න පළාතකට ගියා වගෙයි. අපට මොකවත් වෙන්නේ නෑ කියලා යනවා. තමන් ම දන්නේ නෑ තමන් ගුටි කනකම්. මේ වගේ තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී නුවණින් කල්පනා නො කළොත් එ් කෙනාට සිද්ධ වෙන දේ.

මේ උතුම් දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් වේවා!

මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද
ස්වාමීන් වහන්සේ විසිනි