ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි,

ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ‍්‍රාවකයින් හැටියට අපි සැබෑම බුද්ධ වර්ෂය යනු කුමක් දැ යි තේරුම් ගෙන සිටිය යුතු යි. නැතිනම් එක එක ආගම්වලින්, එක එක සංස්කෘතීන් හරහා එන විවිධ දිනයන් අපි අපේ නව වර්ෂය යැයි කියා එ්වා සමරන්නට පෙළඹෙනවා.

දැන් ඔන්න ව්‍යවහාරික වර්ෂයෙන් තවත් අවුරුද්දක් දෙසැම්බර් 31 දා ? 12ට පටන් ගන්නවා. හැමගෙදර ම රතිඤ්ඤා පත්තුවෙනවා. ‘රතිඤ්ඤා’ කියන වචනය සිංහල වචනයක් නෙවෙයි. එ්ක පෘතුගීසිකාරයන්ගේ දෙයක්. එයින් දෙන විශේෂ පණිවිඩයක් තියෙනවා ද? ඩෝං… ගානවා. නීච නින්දිත පහත් ශබ්දයකුයි එ්කෙන් එන්නේ. මේ නින්දිත ශබ්දයෙන් එ් වර්ෂය පටන්ගන්නේ එ් තුළ සාරවත් කිසිවක් නැති නිසා.

නමුත් පින්වතුනි වෙසක් සඳ පායා නැගෙන වෙසක් පුන් පොහොය දිනය අප සියලූදෙනාට ම ඉතාම වටිනා දවසක්. බුද්ධ වර්ෂය පටන්ගන්නේ බුදුරජාණන් වහන්සේගේ උපතින් ද? පිරිනිවන් පෑමෙන් ද? බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුවයි බුද්ධ වර්ෂය පටන් ගන්නේ. බෞද්ධයන් සමරන වර්ෂය පටන් ගන්නේ එතැනින්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා සම කළ හැකි කිසිවක් ලොවේ තවත් ඇත්තේ නැහැ. එ්ක මුල, මැද, අග පරිපූර්ණ වූ පිරිසිදු, නිර්මල, මනාකොට දේශනා කරන ලද ධර්මයක්. පැමිණ බැලිය හැකි, නුවණින් විමසීම තුළින් තමන්ට ම අවබෝධ කළ හැකි සාරවත් ධර්මයක්. කිසි කලක දී වෙනස් නො වන්නා වූ සත්‍ය ධර්මයක්.

එවැනි සාරවත් ධර්මයක් ලබා දුන් ශාස්තෘන් වහන්සේ සමරන දිනය වෙසක් පුන් පොහොය දිනය යි. එහෙනම් බෞද්ධයන් සැමරිය යුත්තේ බුද්ධ වර්ෂය යි.

එවැනි සාරවත් ධර්මයක් සමරන්නේ ද සාරවත් අයුරෙනුයි. එදාට හිමිදිරිව පාන්දර නැගිටලා, සුදුවත් හැඳගෙන, මල් නෙළාගෙන, නිහඬව විහාරස්ථානය කරා ගිහින් උපෝසථය සමාදන් වෙලා, සමථ-විදර්ශනා වඩමින් එ් වර්ෂය සමරනවා. සාරවත් ධර්මයක්, සාරවත් ආකාරයට පටන්ගන්නා ආකාරයත්, නිසරු දේ පටන් ගන්නා ආකාරයේත් වෙනස පැහැදිලිව පේනවා නේ ද?

හරි තේරුම් ගැනීමක් නැති කෙනා තුළ ඉල්පෙන ශ‍්‍රද්ධාවක් තිබුණත්, බෞද්ධයන් යැයි හඳුන්වා ගත්තත්, වෙනත් ආගම් මතවාද ඔවුන් තුළ තිබෙනවා. බෞද්ධ නාමයෙන් සිටින උදවිය ළඟ වෙනත් නොයෙක් දෘෂ්ටීන් තිබෙනවා. බෞද්ධයාගේ දෘෂ්ටිය සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය කරා එන්න නම් අනෙක් සියලූ ම දෘෂ්ටීන් අත්හළ යුතු ම යි. චතුරාර්ය සත්‍යයට පැමිණිය යුතු ම යි. සම්මා දිට්ඨිය පහළ කරගත හැක්කේ බොදුනුවෙකුට පමණයි. එහෙනම් බෞද්ධයාගේ ආකල්පය විය යුත්තේ සම්මා දිට්ඨිය කරා පැමිණීමයි.

සම්මා දිට්ඨිය කරා පැමිණීම ලේසි නැහැ. කියන දේ තේරුම් ගැනීමට ශක්තියත්, වීර්යයත් තිබෙන කෙනාට සම්මා දිට්ඨිය කරා පැමිණීම අපහසු වෙන්නෙත් නැහැ.

පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසිය යුතුයි.
එ් ධර්මය පැහැදිලිව පිළිගත යුතුයි.
එ් ධර්මය නුවණින් විමසීමෙන් තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුයි.
ශ‍්‍රද්ධාව ඇති වන්නේ එවිටයි.
සියලූ දෙනාටම මේ ලබන්නා වූ බුද්ධ වර්ෂයේ දී සම්මා දිට්ඨීය කරා පැමිණීමට හැකියාව ලැබේවා…!”
සුභ නව වසරක් වේවා…!

මහාමේඝ 2016 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –