සංසාරය යනු අනවරාග‍්‍ර වූවකි. ඇරැඹූ කෙළවරක් නො පෙන්විය හැක්කකි. එ් සසර ගමනේ අවිද්‍යා ඝණාන්ධකාරයෙන් වැසුණු, විසත්තිකා නම් තෘෂ්ණාවෙන් බැඳුණු ජීවිත ඇති සත්වයෝ සිව්මහා සමුදුරු දියකඳ පරදා කඳුළු වගුරුවමින් – රුධිරය හෙළමින් කෙළවරක් නො පෙනෙන ගමනක යෙදී සිටිති. සුගති දුගති හරහා යෙදෙන ගමනේ ඔවුන් උපදින උපදින තැන තිබෙන තිබෙන දේ ආශාවෙන් වැළඳ ගනිති. සක්විති රජවරු වී සිටිය දී දිව බොජුන් ප‍්‍රිය කරන්නා සේ ම ඔවුන් සුනඛයන් වූ කල්හී අසූචිය පි‍්‍රය කරති. මේ වූ දුක්ඛිත ගමන අකුසල් මත පදනම් වූවකි. එය නවතනු වස් කුසල් ඉපැද්දිය යුතු ය.

අවිදු අඳුරෙන් වැසුණු දෙව් මිනිස් ලෝකයේ ස්වයංභූ ඤණයෙන් කුසල් ඉපිදවිය හැකි මහා ප‍්‍රඥවන්ත උතුමන් කලාතුරකින් මේ ලෝ තලය එ් ප‍්‍රඥාලෝකයෙන් එකලූ කරවාලනු ලබති. එ්, සම්බුදුරජාණන් වහන්සේලා ය. සසර ගමන් හා සසඳන කල්හී මේ නුදුරේ ම, එනමුත් අප දිවිගෙවන මේ යුගය හා සසඳන කල්හී අතිශය දීර්ඝ කලකට පෙර එබඳු සම්බුදුරජාණන් වහන්සේනමක් පදුමුත්තර නමින් පහළ වූ සේක. එ් මීට කල්ප ලක්ෂයකට පෙර යුගයේ ය. උන්වහන්සේ ද අනන්ත ඤණ බල මහිමයෙන් සියලූ කෙලෙස් ගැට සිඳ දමා කුසල් බල උපදවා සසර ගමන කෙළවර කර ගත් සේක. එපමණක් ද? සසර ගමන නවතාලන අයුරු නුවණැත්තන් හට විවර කරවාලූ සේක. එකල ද අනුවණයෝ එ් දහම අසා නොයෙක් ගැටළු සදා ගත්තාහු ය. ධර්මය නොව ගැටළු අල්ලා ගත්තාහු ය. ධර්මයට නොව එ් ගැටළුවලට ම සත්කාර කළාහු ය.

එනමුත් නුවණැත්තන් එ් දහම් අසා සසර ගමනේ බිහිසුණු බව වටහා ගත්තෝ ය. ඔවුහු සසරේ ආරම්භක කෙළවර සොයන්නට නොව, මෙබඳු බිහිසුණු ගමනක් අවසන් කරන්නට වෙහෙසුණාහු ය. එ් සඳහා වෙහෙසෙමින් කුසල් උපද්දවද්දී ඇතැමුන් හට සසර ගමනට නැවතුම් තිත තැබීමට හැකි විය. ඇතැමෙක් ඊට පෙර මිය ගොස් පුරන ලද කුසල් බලයෙන් සුද්ධාවාසයේ උපන්නේ ය. භව සතක් ඇතුළත සසර ගමන අවසන් කරන්නන් බවට පත්ව ඇතැම්හු මිය ගියහ. ඇතැම් නුවණැත්තන්ගේ පින් පිරීම, කුසල් වැඞීම එතරම් ඉක්මනින් නැතුවාට දීර්ඝ සසර ගමනක් අවසන් කරන මාවතට මුල පිරීමක් ඇති කර ගන්නට සමත් විය.

‘‘පින්වත් මහණෙනි, මේ මාගේ බුදු සසුනේ ශ‍්‍රාවක භික්ෂූන් අතරින් උසස් කුලයකින් පැමිණ පැවිදි වූ භික්ෂූන් අතුරින් අග‍්‍ර භික්ෂුව යි.”

භික්ෂු පිරිවර අතරේ සිටි එක් භික්ෂුවක් පෙන්වා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එසේ පැවසූ සේක. සිටුපුත‍්‍රයෙක් බුදුරජුන්ගෙන් දහම් අසන්නට පැමිණීම ඇරඹුවේ දැන් දින කිහිපයකට පෙර දී ය. එ් බුදුරජුන්ගේ ප‍්‍රකාශය ඇසෙද්දී සිටුපුත‍්‍රයාගේ සිතට විශාල සතුටකි දැණුනේ. ‘අනේ මටත් බුදු සසුනක එබඳු ශ‍්‍රාවකයෙක් වෙන්නට ඇත්නම්. එ් බුදු සසුනේ සසරින් නිදහස් වෙන්නට ඇත්නම්’. එය සිටුපුත‍්‍රයාගේ සිතට නිරායාසයෙන් ම ආ හැඟීමකි. ඉදින් එ් අදහස තුළින් මෙහෙයවනු ලැබූ ඔහු බුද්ධ ප‍්‍රමුඛ මහා සංඝරත්නයට තම නිවසේ දානය පිණිස ඇරයුම් කළේ ය. පුරා සත් දිනක් සංඝගත දක්ෂිණාවෝ පිදී ය. තව ද තම කුලය සතු ධනයෙන් ධර්ම මණ්ඩපයක් කරවා බුදු සසුනට පූජා කළේ ය. එ් බුදු සසුනක් හමු වූ ක්ෂණයෙහි ඔහු තම දිවිය පරිවර්තනය කරගත් අයුරුයි.

එ් බුදු සසුනේ සම්බුදුරජුන් ගැන ගුණ වශයෙන් ඔහු සිත පහදවා ගත්තේ ය. කුසල් අකුසල් ගැන දහම් අසා හිරි ඔතප් උපදවා ගත්තේ ය. එ් තුළින් ම සීල ගුණයත් – සීල ගෞරවයත් – සිල්වතුන් ගැන ප‍්‍රසාදයත් උපදවා ගත්තේ ය. එ් බුදුරජුන් සමීපයේ දහම් දැනුම පෝෂණය කර ගත්තේ ය. මසුරුමල දුරුකොට දන්පැන් පිදී ය. (නුවණ මඳ බාලයන් හට කිසිදා නො දැකිය හැකි ලෙස) දහම තුළින් ජීවිතය දැකීමට ටිකෙන් ටික ප‍්‍රඥව ද දියුණු කර ගත්තේ ය. අතිශය ඝෝර සංසාර ගමනේ මේ උපදවාගත් කුසල් බෙලෙන් යම් පමණක් සැපවත් උපත් ලබමින් පැමිණීමටත් – තව බොහෝ කලක් දීර්ඝ වන්නට තිබූ සසර ගමන එ් කුසල් බලයෙන් ම කල්ප ලක්ෂයකට පමණ කලකට කෙටි කර ගන්නටත් ඔහුට හැකි විය. සැබැවින්ම කුසලයෙන් වන්නේ සසර දිගු වීම නො වේ. සසර දිගු වන්නේ අනේකප‍්‍රකාර කෙලෙස් නිසා ය. එ් කෙලෙස් මඩිමින් යමෙක් කුසල් වඩන්නට වෙහෙසේ ද එ් කුසල් විසින් සසර ගමන අවසන් කරවන්නට ඔහු හට අවස්ථව උදා කර දෙයි.

කපිලවස්ථු නුවර අණසක පතුරුවා සිටි රාජ වංශයේ මහබිසොවුන් හට සිඟිත්තෙකු ලෙස පින්වන්ත ඔහු උපන්නේ ය. ඔහුට ‘භද්දිය’ නමින් නම් තබන ලදි. රාජ සැපසම්පත් මැද මේ භද්දිය කුමරා වැඩි වියට පත් වෙද්දී ඔහුට ම ගැළපෙන ආකාරයේ යහළුවන් පිරිසක් ද ඇසුරට එක්විය. භද්දිය කුමරු උදෑසන සංගීත ස්වරයන් අවදිවෙයි. රාත‍්‍රි නින්දට යාම ද එසේ ම ය. බොජුන් අනුභවය රාජකීය ලෙස සිඟිති කල පටන් ලැබේ. එහෙත් අරුමයකි! භද්දියගේ සිත මේ කිසිවකින් පහන් නො වේ.

භද්දිය උපන් මේ යුගය කලාතුරකින් ලෝකයට උදාවන බුද්ධෝත්පාද කාලයකි. සිද්ධාර්ථ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ එකල අනුපිය නම් අඹ වනයට වැඩම කොට සිටිනා වග භද්දියගේ මිතුරන් හට ආරංචි විය. ඔවුන් භද්දිය ද සමඟින් එ් භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීම පිණිස අනුපිය අඹ වනයට පැමිණියෝ ය. මහා නුවණැත්තන් සතු අභ්‍යන්තර කුසලතා බුදු කෙනෙකුන් විනා අන් කවරෙකු නම් හඳුනාගනිත් ද? ඔවුන් හට දහම් දෙසා ලූ බුදුරජාණන් වහන්සේ එ් දෙසුම අවසන් කරනවාත් සමඟ ම, රාජ සුකුමාල දිවි ගත කළ භද්දිය ඇතුළු මිතුරන් පිරිසේ සියලූ දෙනා හට ම ගෙවන ජීවිතයේ හරසුන් බව වැටහිණි. මේ දිවියට වඩා බුදුරජුන්ගේ දහමට දිවිපුදා ගත කළ හැකි දිවියක් වේ නම් එ් කෙතරම් වටින්නේ ද? එ් රජ කුමාරවරු බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාව ලබා ගත්හ.

සුළු කලකින් ම ධර්ම විනය මනාව උගත් මේ පින්වත් භික්ෂූන් වහන්සේලා හුදෙකලා ව වීරිය වැඞීම ආරම්භ කළෝ ය. භද්දිය ස්වාමීන් වහන්සේ නොබෝ කලකින් ම උතුම් වූ අරහත්වය සාක්ෂාත් කොට ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමන අවසන් කළ සේක. දැන් උන්වහන්සේ අනාශ‍්‍රව රහතන් වහන්සේනමකි. කළ යුතු සියල්ල කළ උත්තමයෙකි. පරිපූර්ණ ශාන්තිය පිණිස තවත් කිසිවක් උන්වහන්සේට කිරීමට නොමැත. එනමුත් තමන් වහන්සේ උපදවාගත් අමා නිවනේ සුව විඳිමින් බොහෝ දෙනෙකුට සැපය පිණිසත්, පශ්චිම ජනයා හට අනුකම්පා පිණිසත්, දෙව්මිනිසුන් හට සුවසේ පින්ඵල උපදවාලනු පිණිසත් උන්වහන්සේ සුවසේ වැඩසිටි සේක.

භද්දිය මහරහතන් වහන්සේ ආරණ්‍යක වේවා රුක් සෙවණක වේවා පාළු හුදෙකලා තැනක සමවත් සුවයෙන් වැඩ සිට නිතර නිතර මෙසේ උදම් වැකියක් පළ කරන්නේ ය.‘‘අහෝ! සැපයකි… අහෝ! සැපයකි…” මෙය ඇසුණු ඇතැම් භික්ෂූන් අතර මෙබඳු කතාබහක් ඇතිවිය. ‘‘අර අපගේ ආයුෂ්මත් භද්දිය තෙරුන් නිතර නිතර ‘අහෝ! සැපයකි..’ පවසන්නේ ඇවැත්නී, එකත් එකට ම අරතිය හටගෙන වගේ…. භාවනාවට ඉඳ ගත්තාම රජසැප මතක් වෙලා වගේ…. ඔය විදියට ගියොත් නම් මේ පැවිද්ද එපා ම වෙලා යාවි…. නරක ද අපි මේ ගැන බුදුරජාණන් වහන්සේට සිහිපත් කළෝතින්…”.

බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා මේ ගැන භාග්‍යවතුන් වහන්සේට පැමිණිලි කොට සිටියහ. කරුණු දැන දැනත් බුදුවරයන් වහන්සේලා දහම් දෙසීම පිණිස ම එය විචාරති. භද්දිය තෙරුන්ව කැඳවූ බුදුරජාණන් වහන්සේ කරුණු විමසා සිටි සේක. එ් මොහොතේ තමන් හට පරම සුවයට මඟ කියා දුන් ශාස්තෘන් වහන්සේ සමීපයේ භද්දිය මහරහතන් වහන්සේ මෙසේ පැවසූ සේක.

‘‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, පෙර රාජ සුකුමාල දිවියක් ගත කළ මා හට හැම තිස්සේම ආරක්ෂාව පිණිස රාජපුරුෂයන් යොදවා සිටියෝ ය. යහන්ගත වීමට පෙර යහන පිරික්සන්නෝ ය. බොජුන් ගැනීමට පෙර බොජුන් ද පිරික්සන්නෝ ය. එනමුදු ස්වාමීනී, අභ්‍යන්තරයේ සැපයක් උපදවා නො සිටි මම එබඳු ආරක්ෂා මැද ද බියෙන් හා තැතිගැන්මෙන් මවාගත් සැපයක දිවි ගෙවීමි. අද මම හුදෙකලාවේ ම වසමි. බාහිර ආරක්ෂාවන් නොමැතිව වසමි. එනමුත් බියක් තැතිගැන්මක් නැති අභ්‍යන්තරයේ උපන් නො පිරිහෙන සැපයකි දැන් මා තුළ ඇත්තේ. මේ බව සිහිවෙද්දී අනායාසයෙන් ම මා හට මෙය සැපයකියි උදම් පහළ වන්නේ ය.”

පසු කලෙක සංඝයා මධ්‍යයේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ‘‘පින්වත් මහණෙනි, මාගේ ශ‍්‍රාවක වූ භික්ෂූන් අතරේ උසස් කුලයකින් පැමිණ පැවිදි වූ භික්ෂූන් අතරේ මේ කාළිගෝධාවගේ පුත් වූ භද්දියයන් අග‍්‍ර වන්නේ ය.” යනුවෙන් අගතන්හී තැබූහ.
(භද්දිය මහරහතන් වහන්සේගේ අටුවාව හා අපදානය ඇසුරිනි…)

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි