‘‘ඇවැත්නී, ඔය තිබෙන්නේ අපගේ රමණීය විහාරි තෙරුන්ගේ කුටිය නෙව. ඔය යස අගේට ඇමදලා වටේ මල් හදලා තියෙන්නේ. උන්වහන්සේගේ වැඬේ ම ඉතිං එ්කනේ.

දවසට හතර පස් වතාවක් කුටියයි මිදුලයි අමදිනවා මයෙ හිතේ. එ්ක හින්දාමනේ අපේ ආයුෂ්මතුන් වහන්සේලා උන්වහන්සේට රමණීය විහාරි කියලා කියන්නේ….”

මේ කුටිය අසලින් යන කවරෙක් වුව ද මොහොතක් නැවතී එදෙස නො බලන්නේ නම් කලාතුරකිනි. එතරම් ම එය පිළිවෙළට ඇමද මිදුලේ මල් වවා රමණීය ලෙස තිබේ. භික්ෂූන් වහන්සේලා දෙනමක් මේ කුටිය අසලින් වඩිද්දී ඔවැනි කතාවක් ඇති වීමත් අරුමයක් නො වේ. ඇත්තෙන් ම උන්වහන්සේ තමන් වහන්සේ පරිහරණය කරන සියල්ලේ ම පිළිවෙළ හා විසිතුරු බව නිතර සිතූ දෙයකි. එ් ඇතැම් විට ගිහි කල සිටු ගෙදරක එක ම පුත‍්‍රයා වූ නිසා ද වන්නට බැරි නැත. කෙසේ වෙතත් උන්වහන්සේ තුළ පැවති එ් ස්වභාවය රමණීය විහාරි තෙරුන් නමින් නමක් පට බැඳෙන්නට තරම් හේතුවිණි.

රමණීය වූ රජගහ නුවරයි උන්වහන්සේගේ ජන්ම භූමිය වූයේ. බොහෝ ධන සම්පතින් යුතු සිටු පවුලක පුත‍්‍රයා ලෙස උපන් හෙතෙම කුඩා කල පටන් සැප බහුල දිවියක් ගත කරනු ලැබී ය. වැඩි වියට පත් මේ යොවුන් සිටු කුමාරයා ව රජගහනුවර වෛශ්‍යාවන්ගේ ඇස ගැටුණි. ධනලෝභී ඔවුන් ස්තී‍්‍ර මායම් දක්වා මේ සිටු පුත‍්‍රයා ව වසඟ කර ගත්හ. ක‍්‍රමයෙන් ස්ත‍්‍රී ධූර්තයෙකු බවට පත් සිටු කුමරුන් දිනකට වෛශ්‍යාවන් කිහිපදෙනෙකු ම ඇසුරු කරන්නට පටන් ගත්තේ ය. එකියක වෙනුවෙන් කහවණු පන්සියයක් වුවත් වියදම් කිරීමට ඔහු නොමසුරු විය. ටිකෙන් ටික කුමාරයාගේ තොරතුරු සල්ලාල ස්ත‍්‍රීන් අතරේ පැතිර යන්නට විය. මුදලට ආශාවෙන් ස්වාමිවරු ඉක්මවා හැසිරෙන ඇතැම් ස්ත‍්‍රීන් සුදුසු කල් බලා කුමාරයා වෙත රහස් පණිවිඩ එවන්නට ද පටන් ගති. තම යොවුන් බවින් මත්ව සිටි කුමරුට එ් ඇරයුම් මහත් සතුටකුත්, ආඩම්බරයකුත් ගෙන දෙන්නට විය.

”ආර්ය පුත‍්‍රය, ඔබගේ කඩවසම් රුව මා දුටුවේ පෙර දිනක සල්පිළේ දි යි. එතැන් පටන් මා සිතේ නිතර ම ඇදෙන්නේ ඔබේ රුව ම යි. මාගේ සැමියා වෙළදාම් පිණිස ටික දිනක් බැහැර යන්නටයි සූදානම. එබැවින් මම අද සවස සල්පිළ ඇති වීදියට ඔබේ පැමිණීම අපේක්ෂා කරමි….” දිනක් පණිවිඩකාරයෙකු   මඟින් කුමරු හට ලැබුණේ එබඳු ඇරයුමකි. සිටු කුමරුට මේවා දුලබ දේවල් නො වේ. සවස් යාමයේ සල්පිළ වෙත යාමට ගමන් අරඹා ප‍්‍රධාන වීදියෙන් හැරී  ටික දුරකි කුමරුට යා හැකි වූයේ. මුගුරුවලින් පහර දෙන හඬත්, එ්ත් සමඟ ම ඇසෙන මිනිසෙකුගේ විලාප හඬත් ඇසී කුමරු තිගැස්සී ගියේ ය.

ස්වාමියෙකුගේ පැමිණිල්ලක් අනූව අවධානයෙන් සිටි රාජපුරුෂයන් පිරිසක් පර ස්ත‍්‍රියක් කරා ගිය පුරුෂයෙකු අතට ම අල්ලාගෙන ය. ගසකට තබා ඔහුව බැඳ තිබෙන වරපට කෙතරම් තද වීද යත් එ් වරපටේ තැනින් තැන ලෙයින් පෙඟී රක්ත වර්ණ වී තිබේ. අසභ්‍ය වූ පරුෂ වචනයෙන් බැණ වදිමින් රාජ පුරුෂයෝ වේගවත් මුගුරු පහරවල් එල්ල කරති. පාරේ යන එන පිරිස සියයකටත් වඩා දැන් එතැනට රැස්ව සිටී. ඇතැම් මිනිසුන් ටික වෙලාවක් නැවතී සිට එතැනින් පිටත් වන්නේ ගස් බැඳ තිබෙන පුරුෂයාගේ මුහුණට ම කෙළ ගසමිනි.

තරමක් දුරට වන්නට සිට යොවුන් කුමාරයා මේ සියල්ල බලා සිටියේ ය. ඔහුට ගස් බැඳි පුරුෂයා වෙනුවට එතැන තමා ව මැවී පෙනෙන්නට විය. ඔහු තුළ තමා ගැන ම හට ගත්තේ මහත් සංවේගයකි. දහඩියෙන් තෙත් වූ කයින් තවත් මොහොතක් ඔහු එ් දෙස ම බලා සිටින්නට විය. එ් මොහොතේ ය ගෞතම බුදුරජුන් සරණ ගිය උපාසක පින්වතෙකු පිටුපසින් පැමිණ සිටු කුමාරයා හා කතාවට වැටුණේ. ‘‘ඕන්න බලන්න දරුවෝ මිනිස්සුන්ගේ අවාසනාව. මේ නුදුරේ ම ආලෝකය තියෙනවා. නමුත් තාමත් අඳුරටමනේ ආවඩන්නේ. වේළුවනාරාමේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එ් උත්තමයන් වහන්සේ දෙසන බණ පදයක් අහලා සිල්වත් වුණා නම් අද ඔය මනුස්සයට මේ විපත්තිය වෙන්නේ නෑනේ. හැඟීම්වලට වහල් වෙලා මෝඩ විදියට කටයුතු කළා ම ඔන්න දරුවෝ සිද්ධ වෙන දේ. එ් නිසා ඔය දරුවෝ වත් මේවා බලලා හැදෙන්ට  ඕන…..” ඔහු කීවේ මේ ටික විතරක් ම නො වේ. නමුත් කුමරුට හොඳින් ම මතක හිටියේ ඔය ටිකයි.

එ් වදන් යොවුන් සිටු කුමාරයාගේ සිතේ දෝංකාර දෙන්නාක් මෙන් විය. ටිකෙන් ටික එ් මිහිරි දහම් පද අසන්නට ඔහු වේළුවනාරාමය වෙත යන්නට පටන් ගති. නොබෝ දිනක් ගත වෙද්දී ම මව්පිය අවසරය ලැබූ ඔහු ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් පැවිදි උපසම්පදාව ලබා ගත්තේ ය. ධර්ම විනය උගනිමින් උන්වහන්සේ ආශාවෙන් පැවිදි දිවිය ගත කරමින් සිටියේ ය. එහෙත් නිතර උන්වහන්සේගේ සිතට වදයක් වූයේ අතීතය මතක් වෙමින් ඇති වූ සරාගී සිතුවිලි වේගවත් රළ පහරක් මෙන් අන් සියලූ සිතුවිලි මැඩගෙන පැමිණීමයි. කොතරම් වෙහෙසකර වුවත් උන්වහන්සේ මේ ගැන ශාස්තෘන් වහන්සේට හෝ වැඩිහිටි භික්ෂූන්ට හෝ දැනුම් දුන්නේ නැත. කොතරම් හොඳින් කුටියත්, මිදුලත් පිරිසිදු කර තිබුණත් පිරිසිදු කර ගත නො හැකි වූ කෙලෙස් සිතුවිලි දැන් ඇති කර තිබෙන්නේ රමණීය විහාරී තෙරුන්ගේ සිත තුළ මහත් අරතියකි. උන්වහන්සේ රාත‍්‍රියේ පටන් සිතමින් සිටියේ ‘මම පැවිදි වුණේ ශ‍්‍රද්ධාවෙන්. එහෙත් මේ පහත් හිතුවිලි නිතර මා හට වද දෙනවා. එ් හිතුවිලි හින්ද ම මගේ සීලයත් පළුදු වුණා. තව දුරටත් මිනිසුන් දෙන සිව්පසයෙන් යැපෙමින් පැවිද්දෙක් ලෙස බොරුවට පෙනී ඉන්ට මට බෑ. මම…. ඔව්, මම සිවුරු හරින්ට  ඕන…‘ ආදි කල්පනාවන් ම ය.

හොඳින් සෙනසුන අස් කළ තෙරුන් වහන්සේ උදෑසනින් ම ගමන් ඇරඹුවේ ය. ටිකෙන් ටික විහාරයෙන් දුරස් වෙද්දී රමණීය විහාරී තෙරුන්ගේ දෑසින් කඳුළු උණන්නට විය. උන්වහන්සේ මේ තීරණයට පැමිණියේ පැවිදි බවට ආශා නැතුව නො වේ. තමා හට මේ උතුම් පැවිද්ද පිවිතුරුව ගත කිරීම දුෂ්කර යැයි ඇති වූ හැඟීම නිසා ය. ‘එහෙත් මෙතරම් ලෙහෙසියෙන් ජීවිතය ගැන ඇත්ත පෙන්වා දුන් එ් මහා කාරුණිකයාණන් වහන්සේගේ පුත‍්‍ර බවින් වෙන් වන්නේ කෙසේ ද? එකට වාසය කළ එ් උතුම් සිල්වතුන් වහන්සේලාගේ ඇසුරෙන් වෙන් වන්නේ කෙසේ ද? එ් එකට වසන සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා හට උපස්ථාන කරමින් පින් වඩන දිවියෙන් වෙන් වන්නේ කෙසේ ද?….’ මේ සිතුවිලිවලින් වෙහෙසට පත් තෙරුන් වහන්සේ මොහොතක් විඩා හරින අදහසින් මාර්ගය අසල වූ රුක් සෙවණක හිඳ ගත්තේ ය.

මේ පෑවිල්ල බහුල කාලය යි. පීඩා සහිත සිතුවිලි විසිනුත්, ගමන් වෙහෙස විසිනුත් එ් රුක් සෙවණේ ම තෙරුන් වහන්සේ කෙටි නින්දකට පත් කරවී ය. යාන්තමට දෑස් පියවුණා පමණි. හරකුන්ගේ කුර ගැටෙන හඬින් උන්වහන්සේ තිගැස්සී අවදි විය. එ් රුක මුල ම හිඳිමින් දුහුවිලි අවුස්සාගෙන පාරේ යන එ් ගොනුන් යෙදූ ගැල් පෙළ දෙස රමණීය විහාරි තෙරණුවෝ අරමුණකින් තොරව බලා සිටියේ ය. එක් වර ම ගැල් පෙළේ අවසාන ගැලේ යෙදූ ගවයා වෙහෙසට පත්ව බඩු පිරවූ කරත්තය ද පෙරළාගෙන බිම ඇද වැටුණේ ය. ගව හිමියා මඳක්වත් කලබල වූයේ නැත. ඉතා ම කාරුණික බසින් ගවයාට අමතමින් ඔහු ගවයා ව කරත්තයෙන් ලිහන්නට විය. හෝරාවකින් අඩක් පමණ ගවයා හට විවේක දී, තණ කෑමටත් වතුර බීමටත් සැලසූ ගව හිමියා ඌව යළිත් පෙරළී ඇති කරත්තයේ බැන්දේ ය. එසැණින් ම විවේකයෙන් ලද සුවයෙන් ජවය ලැබූ ගවයා පෙරළුණු කරත්තය තම කාය බලයෙන් නගා සිටුවාගෙන පිටත්ව ගියේ ය.

මෙය බලා සිටි තෙරුන් වහන්සේ තුළ ප‍්‍රමෝදවත් බවක් ඇති වන්නට විය. ‘අර ගවයා වරක් ඇදගෙන වැටුණා. නමුත් ඌ සුදුසු පරිදි විවේක ගෙන ඉන් නැඟී සිටියා. ඔව්! මාත් එහෙම ම නෙව. පැවිදි බවෙන් මම වැටුණා. ආයේ නැගිටින්න නම් මගේ මේ කලබලයෙන් ගත්ත තීරණේ හරියන්නේ නෑ. මං සුදුසු පරිදි කටයුතු කරන්නට  ඕන. එවිට ආයෙමත් නැඟී සිටින්නට මටත් පුළුවනි. මේ නිවන් මෙඟ් පෙර පරිදි ම ගමන් කරන්නටත් පුළුවනි.’

ඉතා ම සතුටින් යළි විහාරයට වැඩම කොට ශාස්තෘන් වහන්සේ හමු වූ රමණීය විහාරි තෙරුන් සිදු වූ සියල්ල පවසා අනුශාසනාවන් ලබා ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් උපාලි මහ රහතන් වහන්සේ වෙත යොමු කරවීමෙන් සිදු වූ සියලූ ආපත්තීන්ට සුදුසු පරිදි පිළියම් ද කර ගත්තේ ය. ඉතා ම කෙටි කලකි ගත වූයේ. සුදුසු පරිදි ම කටයුතු කොට නැඟී සිටි රමණීය විහාරී තෙරණුවෝ නිවන් මඟ ද ගමන් ඇරඹූ සේක. ඔව්! එ් මෙඟ් කෙළවරට ම දැන් උන්වහන්සේ වැඩම කොට සිටී. දැන් උන්වහන්සේ වළඳන්නේ එ් අමා නිවන් රසය යි! එ් අමා සුව සැදි හදවතෙන් මෙබදු උදානයක් පහළ වූ සේක.

‘‘සැබැවින් ම සුන්දර ය – එ් ශ්‍රේෂ්ඨ වෘෂභයා
පැකිලී පය වැටෙන්ට පෙර – වහා නැගී සිටින්නේ ය.
එලෙසින් බුදු සමිඳුන්ගේ – දහම තුළින් ලොව දකිනා
දහම් දුටුව මමත් වුණෙමි – බුදුරජුන්ගේ ශ‍්‍රාවකයෙක්…”

රමණීය විහාරයක වැඩ වසන උන්වහන්සේ යළි කිසිදා කිලිටි නොවන රමණීය සිතක් ඇතිවයි එ් උතුම් අර්ථය දේශනා කොට වදාළේ. රමණීය සිත් දැරූ, අති රමණීය වූ නිවන් සුව විඳි එ් උතුම් රහතන් වහන්සේලාට නමස්කාර වේවා!

(රමණීය විහාරී තෙරුන්ගේ ථේරගාථාවේ අටුවා කථාව ඇසුරින්)

මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි