highlights of the week
Home » Archives » මයිල්ල පර්වත විහාරස්ථානය

මයිල්ල පර්වත විහාරස්ථානය

වසර දෙදහස් පන්සියයකටත් වඩා වැඩි ලේඛනගත ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව බෞද්ධ දේශයක් බව තහවුරු කළ හැකි සාක්කි බහුතරයක් මෙරට සෑම බිම් අඟලක් පාසාම විසිරී පැතිරී පවතී. එදා මෙදාතුර ඉතිහාසයේ අක්මුල් පාදාගත් බොහොමයක් සිද්ධස්ථාන, නටඹුන් ආදිය මේ වනවිට සැදැහැති බෞද්ධ ජනයාගේ වන්දනාමානයට පාත්‍රවී ඇත.

එහෙත් මේ වනතුරුත් සොයාගත නොහැකි වූ අභිමානවත් බෞද්ධ උරුමය, හෙළ සංස්කෘතිය කියා පාන්නාවූ ඵෙතිහාසික ස්ථාන තවමත් මේ පුණ්‍ය භූමියේ සැඟවී පවතින බවට ඉතිහාසය සාක්කි සපයයි. එසේ ආගමික, සංස්කෘතික හා සමාජයීය වටිනාකමකින් යුත් පුණ්‍ය භූමියක් සොයාගිය කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්යවරයකු හා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි ආචාර්යවරයකු ද වන ප්‍රකට මාධ්‍යවේදියකු හා ගත්කතුවරයකු වන ගයාන් චානුක විදානපතිරණ මහතා සිය අත්දැකීම් පිළිබඳ මෙසේ විස්තර කළේය.

■ ඔබතුමා මෑතකදී ඈත පළාතක තියෙන නටබුන් වෙලා ගිය විහාරයක් බලන්න ගියා කියලා අපට දැනගන්න ලැබුණා. මොකක්ද ඒ පූජනීය ස්ථානය ?

මේ සිද්ධස්ථානයට විශේෂ නමක් පාවිච්චි වෙන්නේ නැහැ. මෙය පිහිටි භූමිය මයිල්ල පර්වතය විදියට අපි හඳුන්වනවා. සමහරු මේකට මයිල්ල විහාරස්ථානය කියලා කියනවා. ඒ සිද්ධස්ථානයේ තිබෙන නටබුන් පරීක්ෂා කිරීමෙනුයි, ජනප්‍රවාද ආදී සියලු කාරණා පරීක්ෂා කිරීමේදී අපට පෙනී යන්නේ පුරාණ රුහුණට අයිති පැරණි විහාරයක් බවයි. මෙම විහාරස්ථානයේ ඇති නටඹුන් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ ඉදිකළ විහාරස්ථානයක් බවයි.

■ එහි ශාසනික වශයෙන් ඇති වැදගත්කම හා ඵෙතිහාසික පසුබිම කුමක් ද ?

මෙය අනුරාධපුර යුගයට අයත් සිද්ධස්ථානයක්, අනුරාධපුර යුගයට අයත් සැතපෙන පිළිම වහන්සේ නමක්, එමෙන්ම අනුරධපුර යුගයට අයත් බිතුසිතුවම් සහ චෛත්‍යක් පැවතීම හේතුවෙන් ශාසනික වශයෙන් අපට වැදගත් වනවා.
මයිල්ල පර්වත විහාරස්ථානයේ දැනට ශේෂ වෙලා තිබෙන්නේ පුරාණ ගල් ලෙන් පමණයි. එහි කටාරම් කොටා තිබෙනවා. එක් ගල්ලෙනක සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. මෙම සැතපෙන පිළිම වහන්සේ අනුරාධපුර යුගයට අයිති බව කිව හැකියි. මයිල්ල පර්වත විහාරයේ පිළිමවහන්සේ ගඩොල්වලින් මූලික හැඩය මතුකරගෙන මැටි බදාම ආදිය යොදාගෙන තමයි නිර්මාණය කර තිබෙන්නේ. සුදු මකුළු මැටි තට්ටුවක් ආලේප කරලා නිමාව ඉතා විශිෂ්ට ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. සිවුර ඇඟට ඇළුණු ආකාරයට සජීවී කලා ලක්ෂණ මෙම පිළිම වහන්සේගේ දක්නට ලැබෙනවා. අද වනවිට මෙම විහාරයේ පිළිම වහන්සේලා විනාශ වෙලා. නමුත් එම පිළිම වහන්සේගේ මුහුණෙන් කොටසකුත් ශරීරයේ උඩ කොටසත් ඉතිරිවෙලා තිබෙනවා. ඒ වාගේම මෙම පර්වතය මුදුනෙහි දාගැබක් පැවති බවට සාධක හමුවෙනවා. මේ වන විට නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බැවින් පස් ගොඩක් පමණයි දක්නට ලැබෙන්නේ. නමුත් චෛත්‍යයේ ඡත්‍ර ගල ගැලවී ගොස් පිළිම වහන්සේ ඉදිරියේ දක්නට ලැබෙනවා. එනිසා බොහෝ දෙනා මෙය මල් ආසනයක් බව සලකනවා.

මෙම විහාරයේ ඉතාම වැදගත් කොටස වන්නේ ලෙන් විහාරයේ වියනෙ පවතින ඉපැරණි බිතු සිතුවම්. බොහෝ දෙනෙක් මයිල්ල පර්වතයේ ඇති චිත්‍ර ගැන කථා කරන්නේ නැහැ. රුහුණේ තිබෙන පැරණිම සිද්ධස්ථානවලින් එකක් වන මෙහි චිත්‍ර අයත් වන්නේ අනුරාධපුර යුගයට. නමුත් ඇතැමුන් කාල නිර්ණය සම්බන්ධයෙන් විවිධ අදහස් දරනවා. මෙය 3 හෝ 4 සියවස්වලට අයිතියි කියලා ඇතැමුන් කියනවා. තවත් අය මෙය 8වැනි සියවසට අයිති බව කියනවා. මයිල්ල පර්වතය ගැන වැඩිදුර සෙවීමක් කරලා නැහැ. චිත්‍ර සම්පූර්ණයෙන් විනාශවෙලා තිබෙන්නේ.

■ මයිල්ල පර්වත විහාරයේ ඇති බිතු සිතුවම්වල සුවිශේෂතා මොනවාද ?

මෙහි චිත්‍ර කොටස් කිහිපයකට බෙදා වෙන්කර විග්‍රහ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයට ඉහළින් තිබෙන බොහෝ අලංකාර සැරසිල්ලක් දැකිය හැකියි. ඒ සඳහා සාම්ප්‍රදායික කලා මෝස්තර යොදාගෙන ඇති අතර එහි තනි රතු බදාමයක් තිබෙනවා. තනි රතු පසුබිමේ සුදු පාටින් සැරසිලි මෝස්තර යොදා තිබෙනවා.

එක් තැනක වෘත්තාකාර හැඩ මෝස්තර ද අලියකුගේ රූපයක් ද දැකිය හැකියි. ඒ සඳහා භාවිත කර ඇත්තේ රතු හා සුදු පාට පමණයි. රතු වර්ණයේ ම ප්‍රභේදයක් භාවිත කර තිබෙනවා. එහි තවත් කොටසක් තිබෙනවා උද්‍යානයක් වගේ. එයින් කියවෙන්නේ කුමක්ද යන්න නිශ්චිතව සොයාගෙන නෑ. එහි තිබෙනවා පොකුණක්. නෙළුම් මල් පිපිලා කොළ, පොහොට්ටු, පිපිණු මල් ආදිය පෙන්වා තිබෙනවා. ඇත්තු, බූරුවෝ, මුවෝ ආදී සතුන් ද එහි නිරූපිතයි. ඊට නුදුරින් විමානයක් වැනි මණ්ඩපයක් දැකිය හැකි අතර ඒ තුළ පුද්ගල රූප කිහිපයක් ද පෙන්වා තිබෙනවා. උගතුන් කියන්නේ ඒවායෙන් නිරූපණය වනුයේ බෝධිසත්ත්ව යුවළක් බවයි. නමුත් ඒ මතය ස්ථිර කර නෑ. ඉතා සියුම් රේඛාවන්ගෙන් විසිතුරු කළ අලංකාර රූප කිහිපයක් තිබෙනවා. නමුත් චිත්‍ර පරීක්ෂා කිරීමේදී සීගිරි අප්සරාවන්ට බෙහෙවින් සමාන රූපයක් දැකගත හැකියි. සීගිරි චිත්‍ර වල මේ වන විට අපට දැක ගත හැකි වන්නේ සීගිරි අප්සරාවන්ගේ උඩුකය රූප වුවත් මෙහි සම්පූර්ණ කාන්තා රූපය නිරූපණය වනවා. මෙම විහාරයේ ඇති චිත්‍රවල අනෙක් වැදගත් කරුණ ශීර්ෂාවරණය, ඔටුන්න, ග්‍රීවාබරණ, හස්තාභරණ, වස්ත්‍ර ආදියේ ඇති සියුම් රේඛායි. ඒවා දක්ෂ චිත්‍ර ශිල්පියකුගේ බව පැහැදිලිව පෙනෙනවා. නොකැඩුණු තීව්‍ර රේඛා තිබෙනවා. ඒ අනුව මේ චිත්‍ර උසස් චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ බව පේනවා.

■ වර්තමානයේ දී මෙම විහාරස්ථානයේ තත්ත්වය සහ එහි නඩත්තු කිරීම් කටයුතු සිදු කෙරෙන්නේ කෙසේද?

මෙම සිද්ධස්ථානය කිසිවකුගේ අවධානයට ලක් නොවීම හේතුවෙන් වන වාසයට ගොස් තිබෙනවා. නිදන් හොරුන්ගේ ග්‍රහනයට ලක් වීම හේතුවෙන් සියල්ල විනාශයට පත් වී තිබෙනවා. අපගේ උරුමය, නැතිනම් පුරාණ ශිෂ්ටාචාරය වනයෙන් වැසී ගොස් තිබෙනවා. මා සංචාරය කළ අවදියේ නම් කිසිම නඩත්තු කිරීමේ කටයුත්තක් සදහා වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමුවී තිබුණේ නැහැ.

■ මේ වන විට අදාළ ප්‍රදේශයේ ඇති බෞද්ධ පසුබිම කවරාකාර ද ?

මයිල්ල පර්වත විහාරය පිහිටා ඇති කොටියාගල ගම පසුගිය කාලසීමාවේදී විවිධ ත්‍රස්ත උවදුරුවලට ලක්වුණු ගම්මානයක්. මනුෂ්‍ය වාසයත් අඩුයි. හේන් ගොවිතැන ජීවන උපාය කරගත් සිංහල බෞද්ධ පවුල් කිහිපයක් දැනට මේ ගම්මානයේ ජීවත් වෙනවා. නිශ්චිතවම පවුල් කීයක් සිටිනවාද යන කරුණ කියන්න අපහසුයි. ඔවුන් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. විහාරස්ථානයක් පේන මානයක නොමැතිකම හේතුවෙන් බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවුඩය එම ජනතාවට ලැබෙන්නට ක්‍රමයක් නැහැ. එම නිසා සිදුවන්නේ විවිධ මිත්‍යා දෘෂ්ටීන් කෙරෙහි නැඹුරු වීමයි. නිසි බලධාරීන් මැදිහත් වී මෙම මයිල්ල පර්වත විහාරය ප්‍රතිසංස්කරණය කොට ඔවුන්ට වන්දනා මාන කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි.

■ මයිල්ල පර්වත විහාරස්ථානයේ ගමන් මාර්ගය කෙසේද ?

යම් කෙනෙකුට මයිල්ල පර්වත විහාරය දැකබලා ගැනීමට අවශ්‍ය නම් මොණරාගලින් සියඹලාණ්ඩුව මාර්ගයේ කොටියාගල ගම්මානයට පිවිසෙන්න පුළුවන්. එතැන් සිට සැතපුම් දහයක පමණ දුරක් ගෙවා ගම්මානය මැදින් වනය හරහා මයිල්ල පර්වත විහාරයට ළගා විය හැකියි. ගමන් මාර්ගයේ දුෂ්කර බව හේතුවෙන් යතුරුපැදියක් හෝ අත් ට්‍රැක්ටරයක් වැනි වාහනයක් භාවිතා කරන්න සිදුවෙනවා. කොටියාගල ගම්වාසීන්ගේ උදව් ද මේ සඳහා ලබා ගත හැකියි.

■ මෙකී බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට අපට කළ හැකි දේ කුමක්ද ?

මෙය බෞද්ධයාට අයත් ස්ථානයක්. ශාසනික වශයෙන් වැදගත් ස්ථානයක් බැවින් මහා සංඝරත්නය මුල් වී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ද මැදිහත් වීමෙන් විහාරස්ථානය ගොඩ නගා සැදැහැති බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව දිය යුතුයි. එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී මේ වැනසීමට යන බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට කෞතුකාගාරයක් වැනි දෑ නිර්මාණය කළ හැකියි. එසේම මේ සම්බන්ධයෙන් පොත පත මුද්‍රණය කර ජනතාවට බෙදා දිය හැකියි. හැකි ඉක්මනින් මෙහි බිතුසිතුවම් සංරක්ෂණය කිරීම සදහා කටයුතු යෙදිය යුතුය. එසේ නොවුනහොත් අපගේ අතීත උරුමය විනාශයට පත් වනවා නිසැකයි.

කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ඇති මෙවැනි පෞරාණික වටිනාකමකින් යුත් සිද්ධස්ථාන අනාගත පරපුරටත් දායාද කිරීමේ වගකීම අප සතුව පවතී. එබැවින් මේ පිළිබඳ ඔබේත් මගේත් යුතුකම ඉටු කිරීමට අප්‍රමාදී වීම සම්බුද්ධ ශාසනය තවත් චිරාත් කාලයකට මෙසිරිලකෙහි ආරක්ෂා කරගැනීමට කරන්නා වූ මහඟු පුණ්‍ය කර්මයක් වනු ඇත.

සංවාද සටහන

ගනීෂා මන්ත්‍රීරත්න

One comment

  1. සුසාන්

    මෙවැනි වටිනා උරැමයන් ආරක්ෂා කර නැවත සංරක්ෂණය කරගැනීමට කවුරුන් හෝ ඉදිරිපත් වේ නම් ඒ සදහා උදව් උපකාර කිරීමට මාද ඉදිරිපත් වෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ගෙවත්තක් වගා කරමු – බිම් සැකසීම සහ ජල කළමනාකරණය

බිම් සැකැස්මේ දී සලකා බැලිය යුතු වැදගත් ම සාධකය නම් ජල කළමනාකරණය යි. ඉඩමේ ස්වභාවය අනුව ජල කළමනාකරණ සැලැස්ම වෙනස් කර ගත යුතු ය.