ඉමහත් ශ්‍රද්ධාවෙන් පිරිත් භාවිත කොට දැනටමත් ඔබට නොයෙක් අත්දැකීම් ලැබී තිබෙන්නට පිළිවන. හේතුව, රතන සූත්‍රයේ ආනුභාවය ලක්ෂ කෝටියක් සක්වළ පැතිරුණ දෙයකි. ඒ පිළිබඳ යම් විස්තරයක් මීට පෙර ලිපියෙන් කියවන්නට ඇත. තවත් විස්තර පැරණි කෙම්ක්‍රම ආරක්ෂක විධි තියෙන පුරාණ පොත පතින් කියවා ඉගෙනගන්න. ඔබේ දරුවන්ට ද කියා දෙන්න. තිසරණ සරණ ගන්නා හැටි පහදා දෙන්න. අද අපි ඉගෙන ගන්නේ සෑම දෙයට ම යහපත් මහා බල සම්පන්න මහා ආරක්ෂක පිරිතක් ගැනයි. එයට අටුවාචාරීන් වහන්සේලා භාවිත කළ නාමය “මහ පිරිත” යන්නයි. අංගුලිමාල පිරිත යනු එයට ඔබ දන්නා නමයි. ඒත් ඔබ දන්නේ ගැබිණි මව්වරුන්ට සෙත් පැතීමට ඒ පිරිත යොදා ගන්නා බව නේ ද? ඒත් මේ ලිපිය කියවා බලා ඒ ගැන විනිශ්චයකට එනු මැන.

ගෞතම බුදු සසුනේ මහ පිරිත

පෙර ‘අහිංසක’ ව සිටි ගග්ග මන්තානිපුත්ත තරුණයා ගුරුවරයා කෙරෙහි ඉමහත් කීකරු යටහත් පහත් බවින් යුක්ත ය. ශිල්පයෙහි කෙල පැමිණියේ ය. මෙත් කරුණා ගුණයෙන් සුපෝෂිත ය. ඊර්ෂ්‍යාකාරී ශිෂ්‍යයන්ගේ බස් ගෙන ඒ දිසාපාමොක් ආචාර්යවරයා ඔහු මරණ අදහසින් ඇඟිලි දහසක මාලයක් ගුරු පූජාවට ඉල්ලයි. එවකට භාග්‍යවතුන් වහන්සේ සම්බුදු බවට පත් වී නැති කාලය යි. අහෝ! ගුරු පූජාව කරන්නට ඔහු සූදානම් ය. එහෙත් තම ගුරුවරයාට “බැහැ” කීමට අකමැති ය. කෙතරම් ගුරු ගෞරවයක් ද? කඩුවක් අමෝරා ගත්, ඇඟිලි දහසක මහා දිග මාලයක් ගතෙහි වෙලා ගත් ඔහු චණ්ඩ පුරුෂයෙකි. දුවන අශ්වයන් ලුහු බඳින, දුවන මතැතුන් ලුහු බඳින, ඇඟිලි ගොඩකින් මතු වුණ අත් පා ඇති, නො සේදූ දිගු කෙස් ඇති, වැවුණු රැවුලින් ගහන වූ, ගොරවා බලන රතු වන් නෙත් ඇති, කය සොලවන විට දහස් ගණන් මැස්සන් හෝස් ගා පැතිරෙන ඔහුගේ අතේ වූ කඩුව දිලිසුනි. බොහෝ මිනිස්සු කඩු පහරට පෙර මොහුගේ දර්ශනයෙන් ම ළය පැලී මිය ගියහ. ඔහුගෙන් මැරුම් කෑ, ක්‍රෝධයෙන් මිය ගිය අය යක්ෂ භූත පිශාච ලොව ඉපදුණත්, ඔවුන්ට කෙතරම් බලයක් තිබුණත් අංගුලිමාලට නම් ළං වුණ කෙනෙක් නැත.

මිය යන්නවුන්ගේ ඉෂ්ට දෙවිවරු පවා අසරණ වූහ. ඔවුන් පැළඳි සැත් නොවදින මන්ත්‍ර සුරවල බල බිඳුනි. සතුරෝ මිතුරු වන මන්ත්‍ර අමතක විය. සියලු තන්ත්‍ර විද්‍යා අවශක්ත වූහ. ඔහුට විරුද්ධව නැගී සිටීමට කිසිවෙකුටත් නො හැකි විය.ඔහුගේ අසීමිත බලය ගම් නොගම් කරන ලද්දේ ය. ජනපද සුන් කරන ලද්දේ ය. මෙතරම් බලයක් මිනීමරුවෙකුට කෙසේ නම් පිහිටියේ ද? කොසොල් රජු පවා චතුරංගිනී සේනාව ම මෙහෙයවූවත් ඒ “අංගුලිමාල” නම් නම ඇසූ පමණින් හිස් ලූ ලූ අත ඔවුහු දුවන ලදුව දහඩිය දැමූ, තොල කට වේළුණු, මර බිය ගත් කොසොල් රජු තනි විය. තනි පුද්ගලයෙකුට මෙවැනි බලයක් කොයින් ද? මහා සේනාවක් සමඟ වට කළත් ඔහුට දමා ගසන හීයක් හෝ හෙල්ලක් හෝ අසිපතක් ඔහුට නො වැදුනේ ය. මිනීමරුවෙකුට කොහොමද මෙහෙම ආනුභාවයක්? අංගුලිමාලයන් දියරකුසන් අරක් ගත් පොකුණෙන් පැන් පානය කළත් දියරකුසෝ නෙළුම් පතට සැඟවී සිටියහ. විෂ වෘක්ෂයන්ගේ ඵලවල විෂ බැස ගියේ ය. මහා යක්ෂයන් වසන ගිරි ගුහාවල අංගුලිමාලයන් නිදාගනිද්දී ඒ යක්ෂයෝ ගුහාවෙන් බැහැරව ඈතට වී බලා සිටියහ. ඔවුන් බලවතුන් බව ඔවුන්ට ද අමතක විය. වනයේ සිංහ ව්‍යාඝ්‍ර වලස්සු අංගුලිමාලයන්ගේ ඉව වැටී පාර මඟ ඇරියෝ ය. විෂඝෝර සර්පයන් අංගුලිමාලයන්ගේ පයට පෑගෙද්දී නොසෙල්වී සිට අංගුලිමාලයන් ගිය පසු විදුලි වේගයෙන් උරගා සැඟවෙන්නට විය. ආකාශචාරී දෙවිවරු තම ගමන් මාවත් වෙනස් කර ගත්හ. කුමක් ද මේ ආනුභාවය? සැඩ සුළඟ පවා අංගුලිමාලයන් මඟ හැර හැමුවේ ය.

අංගුලිමාලයන් දමනය කළේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය. මෙතෙක් අංගුලිමාලයන් කාහටත් නො පැරදුනේ ය. මේ ඉදිරියෙන් වඩින ශ්‍රමණයන් වහන්සේ අල්ලාගත නො හැකි ය යන සිත ඔහුට උපදින්නට යොදුන් තුනක් දුවන්නට සිදු විය. කුමක් නිසා ද යත් ඔහු ව අබිභවා යන්නෙකු දොළොස් අවුරුද්දක් ඔහු නො දැක්ක නිසාවෙනි.

එක බණ පදයකින් පරණ පුරුදු සියල්ල ම අතාරින්නට තරම් ඔහු භාග්‍යවන්ත ය. මර හඬට, මර ලතෝනියට, කඳුළට, ජීවිතය ඉල්ලා කරන යාතිකාවට, කුඩා ළමුන්ගේ කෑ ගැසිල්ලට සංවේදී නො වුණ ඔහු එක බණ පදයට ජීවිතය මුළුමනින් ම වෙනස් කර ගත්තේ ය. අපි කොච්චර බණ ඇසුවත් එක ම තැන ය. පරණ පුරුද්දට ආයෙ ආයෙමත් කරකැවී යන්නේ ය. බණ පදයට නොව පරණ ජරා කතාවලට සංවේදී වන්නේ පව්කාරකම නිසා ද? සැබැවින්ම අංගුලිමාලයන් විස්මිත ය! අහසේ හෙණ හඬ පැතිරුණි. මල් වැසි ඇදහැළුනේ ය. මහවනයේ මල් පිපී ගියේ ය. වඳ ස්ත්‍රීන්ගේ දරු ගැබ් පිහිටියේ ය. මෝරා ගිය දරු ගැබ එක විට ප්‍රසූත කරන ලද්දේ ය. තිරිසන්ගත අණ්ඩජ ප්‍රාණීහු බිත්තරය පලා ඇවිද ගියහ. කුරුලු පොව්වෝ පියාපත් සැලූහ. මොහොතකට මිහිමඬල සෙලවී ගියේ ය. අහෝ මේ පැවිද්දේ අසිරියක් ඇයි මේ තරම්?

ඇඟිලිවලින් වැසුනු කය කසාවතින් පෙරවුනි. දෑතට ගත් පාත්‍රය අසිපත සුන් කළේ ය. තුන් යොදුන් දුව ගිය ගමන දැන් අප මුනිරජුන් පිටුපස පිණ්ඩපාත චාරිකාවක් ය. ඇඟිල්ලක් සොයන සිත මෙත් අරමුණු සෙව්වේ ය. මිනිසුන් මරණ සිත කෙලෙස් සතුරන් සුන් කරන්නට හඹා ගියේ ය. ඇඟිලි මාලයක ගුරු පඬුරු වනයේ දමා නිකෙලෙස් බවේ ගුරු පඬුරු සෙව්වේ ය. ගුරු ගෞරවය දෙවා නිම කළ නො හැකි පරම ආචාර්යවරයා හමු විය. පෙර තක්ෂිලාවේ ගුරුවරයාට ගෞරවය එසේ නම් අපගේ ශාස්තෘන් වහන්සේ ගැන කෙසේ නම් ගෞරවක් වී ද? ගැබ හිරවූ මවකගේ දුක් අඳෝනාව අංගුලිමාල පිරිතක උපත යි. එදා සිට අදටත්, හෙටටත් මේ කල්පය පවතින තුරු උපදින උපදින දරුවාට ජීවය ලබා දෙන්නේ අංගුලිමාල පිරිත යි. කුස හෝනා දරුවන්ගේත්, කුසදරු මව්වරුන්ගේත් මුනිවරයා අංගුලිමාල මහරහතන් වහන්සේ ම ය. උන්වහන්සේගේ සත්‍යක්‍රියාවේ බලය මෙසේ ය.

පරිත්තං යං භණන්තස්ස – නිසින්නට්ඨානධෝවනං
උදකම්පි විනාසේති – සබ්බමේව පරිස්සයං
සොත්ථිනා ගබ්භවුට්ඨානං – යං ච සාධේති තං ඛණේ
ථේරස්සංගුලිමාලස්ස – ලෝකනාථේන භාසිතං
කප්පට්ඨායිමහාතේජං – පරිත්තං තං භණාමහේ

ඒ අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩ හිඳ යම් පිරිතක් දෙසා වදාළ තැනක් ඇද්ද, එම තැන සේදූ දිය පවා සියලු පීඩා දුරු කර දමන්නේ ය. ගර්භිණී මාතාවක් යම් දුකකින් පෙළෙයි නම්, ඒ දුක සැණෙකින් බැහැර වී සුවපත්ව නැගිටින්නී ය. ලෝකනාථ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් කල්පයක් බල පවතින මහා තේජසින් යුතුව ආඥා කොට අංගුලිමාල මහරහතන් වහන්සේ විසින් වදාරණ ලද ඒ අංගුලිමාල පිරිත අපි දැන් කියන්නෙමු.

ඒ ගාථාවලින් ඒ පිරිතේ බලය ගැනයි කියවෙන්නේ. බලන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේ අංගුලිමාල ස්වාමීන් වහන්සේගේ බලය කල්පයක් පවතීවා යි අධිෂ්ඨාන කර තිබෙනා සේක. අනාගත බුද්ධ ශාසනයේ ද කුසදරු මව්වරුන්ට සුවසේ දරුවන් ප්‍රසූත කිරීමට අංගුලිමාල පිරිත ම, මෛත්‍රී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුවින් දේශනා කරනු ඇත. ඒ උතුම් සත්‍යක්‍රියාව මෙසේ ය.

යථෝහං භගිනි, අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වෝරෝපේතා, තේන සච්චේන සොත්ථි තේ හෝතු, සොත්ථි ගබ්භස්සාති.

“පින්වත් නැගණියෙනි, යම් දිනෙක මම් උතුම් නිවනට පමුණුවන මාර්ගඵලලාභී ආර්ය ජාතියෙහි උපත ලැබුවෙම් ද එදා සිට දැන දැන ප්‍රාණියෙකු ජීවිතයෙන් තොර කළ බවක් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! දරුගැබට ද සෙත් වේවා!”

මේ උතුම් සත්‍යක්‍රියාව කල සැණින් සුව සේ දරුවන් බිහිවෙත්. උවදුරු නො වෙත්. සමහර උදවිය දරුවා බිහිවීමට ළංව තිබිය දී අංගුලිමාල පිරිත කිව යුතු බවත්, ඊට පෙර කීවොත් හොඳ නැති බවත් කියති. ඒ ඔවුන්ගේ ශ්‍රද්ධාවේ තරම ය. රහතුන්ගේ සත්‍යක්‍රියාව ලොව සෙත සලසයි. කිසිදු උවදුරක් නො වේ. අංගුලිමාල පිරිත සිහිකරන කුසදරු මව්වරුනගේ සියලු පීඩා එසැණින් නැති වී යයි. අංගුලිමාල තෙරිඳුන් පිරිත දේශනා කළ මොහොතේ අසුන් ගෙන සිටි ආසනය දෝවනය කොට පැන් බිව්වත් සියලු දුක් දුරු වේ නම් ඒ උතුම් පිරිත ගැන කවර කතා ද?

උතුම් අංගුලිමාල පිරිත දේශනා කළ පින්බිම සැවැත්නුවර අදටත් දක්නට ලැබේ. එදා අංගුලිමාල තෙරිඳුන් අසුන් ගෙන සිටි ආසනය මිනිසුන් විසින් දොවා පැන් රැගෙන යන ලදුව අද එහි ආසනය නැත. එතරම් ගෙවෙන තුරු දොවා ඇත. එතකොට මිනිසුනගේ දුක් කොතරම් ද කියා සිතා ගත හැකි ය.

ඒ භූමියේ අපූරු ආනුභාවයක් ඇත. ඒ භූමියට පය තැබූ සැණින් කුසදරු මව්වරුන්ට සුවයක් දැනේ. අතීතයේ වනයේ ගැබ්බර සතුන් පවා ඒ භූමියට පැමිණ පැටවුන් බිහිකොට රැගෙන යන බව පැරණි භාරතීය විස්තරවල සඳහන් ය. යක්ෂ උවදුරු ඇති අයට ඒ භූමියට යා නො හැකි ය. ඒ භූමියට ගියහොත් යක්ෂ ආදි අමනුෂ්‍ය උවදුරු පහව යයි. ඒ භූමිය එතරම් ම ආනුභාව ය. අපගේ අංගුලිමාල මුනිඳුන්ගේ මුවින් එක්වරක් දේශිත ඒ දේශනාව නිසා ඒ භූමිය අදටත් මහා ආනුභාව සම්පන්න වී ඇත. එසේ නම් තැඹිලි ගෙඩියට, පිරිත් පැනට වරක් කීවත් මේ උතුම් පිරිත බල නො පිහිටයි ද? සත්‍යක්‍රියාවේ බලය පිහිටීමට කිව යුතු වාර ගාණක් නැත. ඒත් එක් වරක් කීවොත් ප්‍රමාණවත් නම් නැවත නැවත කීම කොතරම් හොඳ ද?

අංගුලිමාල පිරිත සෑම උපද්‍රවයක දී ම භාවිතයට අතිශය යෝග්‍ය ය. එනිසා මහා පිරිත නමි. කුසදරු මව්වරුන්ට සියලු යහපත සැලසෙන පිරිත යි. සියලු දෙනාට සියලු යහපත සැලසෙන පිරිත යි.
මහා බලවත් දෙවිවරු පවා අංගුලිමාල මහරහතන් වහන්සේ දකින විට සලිත වේ. ඔවුන්ගේ ශරීරය ගල් ගැසේ. යක්ෂයන්ට දාඩිය වැගිරේ. ඇත්තෙන්ම අදටත් දෙවියන්ට පවා මේ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ මේ සා තේජස කුමක් නිසාදැයි සිතා ගත නො හැකි ය. යක්ෂ ලෝකයේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වඳිනා බව අප ද අසා තිබේ. අංගුලිමාල පිරිතෙන් සියලු අමනුෂ්‍ය උවදුරු දුරු කරනු ඇත. එහි සැකයක් නැත. එතරම් මේ පිරිත ආනුභාව යි.

අසදෘස මහා දානයේ දී කන්පෙති නොසොල්වා සිටිවන ම පිළිරුවක් සේ සිටි මතැතුගේ ඡත්‍රය යට අංගුලිමාල තෙරිඳුන් දන් වැළඳූ කතාව ඔබ අසා ඇති. අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩියාටත් පසුව ඒ ආසනයටත් ඒ මත් වූ ඇතා මුතු කුඩය දරා සිටියේ ය. අංගුලිමාල මහරහතන් වහන්සේ වඩින වන රොදවල අලි ඇතුන් කන්පෙති නො සොල්වයි. පක්ෂීන් පියාපත් නො ගසයි. නපුරු වන සතුන් බියපත්ව පඳුරු අතර සැඟවේ. අදටත් අංගුලිමාල නාමය ඇසූ පමණින් අලි දමනය වේ. අලි එන මාවතක අංගුලිමාල පිරිතෙන් පිරිත් කළ නූලක් ඇද්දොත් එතනින් එහා නො එති. අලි වැට කැඩුවත් පිරිත් නූල නො කඩයි. අලින්ගෙන් සම්පූර්ණ ආරක්ෂාව යි. සියලු සතුන්ගෙන් ආරක්ෂාව යි.

පසුතැවීම, කළ වරදින් නැගී සිටීමට නොහැකිවීම, වරදින් මිදීමට ශක්තිය නැති බව, පුංචි දෙයින් කම්පා වීම, ගුරු ගෞරවය නොමැති වීම, වැඩිහිටියන් නොතැකීම, දඩබ්බර බව ආදි අනේකවිධ ප්‍රශ්න ඉදිරියේ රුවන්මැලි මහා සෑයට හෝ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගොස් තෙරුවන් වැඳ රතන සූත්‍රය, අංගුලිමාල පිරිත ආදිය සජ්ඣායනා කොට ජීවිතය එක සිතින් පූජා කොට අදාළ අරමුණ සිහි කරන්න. හේතුව, එවැනි දුර්වලතාවලින් අංගුලිමාල මුනිඳුන් මනාව මිදුණු බැවිනි.

අංගුලිමාල පිරිතෙන් සියලු දේට සෙත් පැතීමට හැකි ය. එය මහා පිරිත නම් කල්පයක් බලය පවතී. හොඳින් පාඩම් කර ගන්න. සරණේ පිහිට ලබා ගන්න. රහතුන්ගේ උතුම් ආනුභාවයට පහදින්න.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි.