උපතක අවසානයේ සියල්ලන්ගේ ම උරුමය මරණය යි. එය කෙදිනක හෝ කවර හෝ ආකාරයකින් අප කරා පැමිණේ. මරණය අප කරා පැමිණීම එකකි, විහින් මරණය කරා යාම වෙනෙකකි. එසේ තමන් විසින් ම උපක්‍රමයෙන් මරණයට පත් වීම යනු ‘සියදිවි නසා ගැනීම’ යි. රටක පිරිහීම පෙන්වන එක් නිර්ණායකක් වන්නේ එරට ජන සංඛ්‍යාව තුළ සියදිවි හානි කර ගන්නා ප්‍රතිශතය යි. අවාසනාවන්ත ලෙස අප රට සිටින්නේ ඒ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා රටවල් අතර මුල් ස්ථානයක ය. එපමණක් නො වේ; අප සිටින්නේ එකී අගය තව තවත් වර්ධනයක් ම පෙන්වන අර්බුදකාරී සමාජ වාතාවරණයක ය.

පසුගිය කාලසීමාවේ තරුණ ප්‍රජාවේ සියදිවි නසාගැනීම් කිහිපයක් ම සමාජ කථාබහට ලක් විය. ඒ බොහෝ සියදිවි නසාගැනීම් පිටුපස වූයේ ප්‍රේම සම්බන්ධතාවයන් නිසා පැනනැගුනු ගැටලු ය. තම අභිමතය පරිදි ප්‍රේමය දිනා ගැනීමට නොහැකිවීම මත ඔවුන් විසින් ගනු ලැබූ තීරණය වූයේ ජීවිතය අවසන් කළ යුතු බව යි.

එසේ ජීවිතය අවසන් කළා කියා ඔවුන් ජයග්‍රාහකයන් වූවා ද? කිසිසේත් ම නැත. දුර්ලභ ව ලද මනුෂ්‍ය ජීවිතය තමන් කෙරෙහිත්, අන් අය කෙරෙහිත් උපන් ද්වේෂ සිත ප්‍රමුඛ කොටගෙන නසා දැමීම ඔවුන් තුළ උපදවන්නේ සුගතිය කරා යෑමේ හැකියාවක් නො වේ. ඔවුන්ගේ තීරණය වටිනා මිනිස් ජීවිතයත්, සුගති උපතත්, සියලු අර්බුද නසා සැපයට පත් වීමට ඇති අතිශය දුර්ලභ අවකාශයත් යන සියල්ල ම ඔවුනට අහිමි කොට ඇත. ඔවුන් විසඳුමක් කියා උපදවා ගන්නේ නව ආරක සාංසාරික අර්බුදයකි.

ප්‍රබල මානසික බිඳ වැටීමක් තුළ සියදිවි හානි කර ගැනීමට පෙළෙඹෙන ප්‍රවණතාවයක් වාර්තාගත සිදුවීම් තුළ දක්නට ලැබේ. ඒ සිදුවීම් අසන, දකින සෙසු ප්‍රජාව මරණකරුට ද ඇතැම්විට ඒ මරණයට හේතුපාදක වූ කාරණාවන් හා සබැඳි සෙසු පිරිසකට ද දෝෂාරෝපණය කරනු අප කොපමණවත් දැක තිබේ. එහෙත්, අප බොහෝ දෙනෙකුගේ ජීවිත තුළ ද ‘ජීවත් වනවාට වඩා මිය ගියා නම් හොඳයි.’ කියා සිතුණු එක් අවස්ථාවක් හෝ තිබෙන බව සැක නැත. මේ මිය යන්නේ ද එසේ ම සිතුණු මිනිසුන් ය. මැරෙන්නට සිතෙද්දී ද නොමැරී සිටින්නට අපට උපකාරක වූයේ යමක් ද ඒ සියදිවි හානිකර ගත්තවුන්ට වුවමනා ම අවස්ථාවේ එය ලැබී නැත. අප තවදුරටත් ජීවත් වන්නට වාසනාවන්ත වද්දී ඔවුන් මේ ජීවිතයෙන් සමු ගත්තේ ඒ නිසා නො වේ ද?

ඇතැම්විට ඒ සියදිවි නසාගැනීමට හේතුපාදක වූ අර්බුදයට වඩා සිය දහස් ගුණයකින් වැඩි අර්බුදවලට මුහුණ දෙන පුද්ගලයෝ ලෝකයෙහි සිටිති. නමුත් ඔවුහු එම අර්බුද ඉවසීමෙන් හා උපේක්ෂාවෙන් යුතුව විඳ දරා සිටිති. ඇතැම් අය පසු කලෙක එම අර්බුද ජයගෙන සතුටින් කල් ගෙවති.

තමන් තුළ උපන් අර්බුදය තාවකාලික බවත්, එය ද අනිත්‍ය ධර්මතාවයට ම අයත් බවත්, දුක සැප මිශ්‍ර ලෝකයක උපන් අපට එවැනි දේට මුහුණපෑමට සිදු වීම සාමාන්‍ය දෙයක් බවත් සිහි කරලන්නට එක ම එක කලණමිතුරෙකු සමීපයේ සිටියා නම් ප්‍රශ්නයකට විසඳුම ලෙස ප්‍රශ්නයක් ම තෝරා නොගෙන අර්බුදය ජය ගන්නට ඔවුන් සමත් වනවා ඇත. එසේ ම, අර්බුදය එසේ දුක් නිවාලන දහමක් තුළින් දකින්නට තරම් දහම් දැනුමක් ඔවුන් සතු වූවා නම් ඉතා සුළු උපකාරයකින් පවා මේ තීරණ සහමුලින් ම හරවාලන්නට ඔවුන්ට හැකි වනු ඇත.

දුක නිවන දහම මනා කොට දෙසන කල්‍යාණ වූ වටපිටාවක ඉපිද සිටියා කියා අප මෙවැනි අර්බුදයන්ගෙන් මිදී නැත. මේ දහම නිරන්තරයෙන් සේවනය කළ යුතු ය, දහම දෙසන කලණමිතුරු ඇසුරේ නිරන්තර ලාභය ලැබිය යුතු ය. දුර්වල සිත ප්‍රබල කොට සියලු අර්බුද ජයගන්නා මඟ නම් ඒ ඍජු වූ දහම් මඟ මැනැවින් පිහිටීම ම මිස අනෙකක් නො වේ…!