ගෙවත්ත/ ගොවිපළ සඳහා මූලික සැලැස්මක් සකස් කර ගන්නා අන්දම ගැන අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළෙමු. එම සැලසුම යථාර්ථයක් කර ගන්නා ආකාරය ගැන විස්තරාත්මක ව සලකා බැලීමට ඉදිරි ලිපි කීපය
යොදා ගැනේ.

බිම් සැකසීම
මේ සම්බන්ධව අප මඳක් විස්තරාත්මකව සලකා බැලීම වටී. සැලසුම සකස් කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී ඉඩමේ ප්‍රමාණය සහ ස්වභාවය ගැන අප දැඩි අවධානයක් කළ යුතු බව සඳහන් කළෙමි. ඉඩමේ ස්වභාවය බෑවුම් අධික ද ගල් බොරලු සහිත ද පස සෝදා යාමට ලක් විය හැකි ස්වභාවයෙන් යුතු ද වැනි කරුණු බිම් සැකසීමේ ක්‍රමයට ඍජුව ම බලපායි.

බිම් සැකසීමේ දී පහත සඳහන් කරුණු ඔබට වැදගත් විය හැක.

1. පූර්ණ තැනිතලා ඉඩමක නම් ජල වහනය පිළිබඳව සලකා බලා පොළවෙන් මඳක් එසවුණ පාත්ති හෝ පොළව මට්ටමේ ම පාත්ති සකස් කරනවා ද යන්න තීරණය කළ යුතු ය. නිතර ජලය රඳන ඉඩමක් නම් ජල වහනය සඳහා වැඩපිළිවෙළක් මෙන් ම මඳක් උස් වූ පාත්ති සකස් කිරීම යෝග්‍ය ය.

2. බෑවුම් සහිත ඉඩමක නම් ගල්වැටි හෝ පොල්ලෙලි වැනි මාධ්‍යයකින් පඩි පේළියක ආකාර පාත්ති සකසා ගත හැක. එමෙන් ම ඉඩම අවම වශයෙන් කෙටීම ඔබේ අදහස නම් පාත්ති වශයෙන් සකස් නොකර ම වළවල් සකසා පැළ සිටුවීමට පුළුවන. ප්‍රමාණවත් සංරක්ෂණ ක්‍රමයක් නැත් නම්, මඳ බෑවුම් ඉඩමක වුව ද පස නිතර නිතර බුරුල් කිරීමෙන් පස සෝදා යාම වැඩි වීමට ඉඩ ඇත. මෙසේ සෝදාගෙන යන්නේ ඉඩමේ සරුසාර ම පස් කොටස ය. ඉඩමේ ස්වභාවය සලකා බලා ඔබ මේ තීරණය ගත යුතු ය.

3. පසෙහි කාබනික සංයුතිය මත වගාව සඳහා අවශ්‍ය සාරවත් බව මෙන් ම වියළි කාලගුණ තත්ත්වයන්හි දී තෙතමනය ආරක්ෂා වීම ද සිදු වේ. එහෙයින් හැකි තාක් කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීම දිගුකාලීන වශයෙන් ද වාසිදායක වේ. පාත්ති සකස් කිරීමේ දී, කාබනික ද්‍රව්‍ය එක් කිරීමට පහසු, එමෙන් ම ඵලදායී ක්‍රමයක් පහත සඳහන් කරමි.

පාත්තිය සකස් කරන්නට අදහස් කරන වපසරිය (උදාඃ මීටර් 2 × 1.5) මුළුමනින් ම අඩියක් හෝ අඩි එකහමාරක් සාරා පස් ඉවත් කර ගන්න. එවිට ඇති වන ආවාටය සම්පූර්ණයෙන් ම කාබනික ද්‍රව්‍යවලින් පුරවන්න. වියළි කොළ රොඩු, නිවසෙන් ඉවත් කරන දිරන ලද අපද්‍රව්‍ය, දහයියා, ඉරිඟු ශේෂ,
ගොම වැනි කාබනික ඕනෑම ද්‍රව්‍යයක් මේ සඳහා භාවිත කරන්න. අනතුරුව කලින් ඉවත් කළ පස් ඒ මත අතුරන්න. දැන් ඔබට පොළවෙන් අඩියක් පමණ උස් වූ පාත්තියක් ලැබේ. මෙම පස් පිරවුම විසිර නොයාම සඳහා පොල් ලෙලි, ගඩොල්, උළු කැබලි වැනි ආධාරකයක් යොදා ගන්න.

මෙම ක්‍රමයේ පාත්ති සැකසීමේ පහත සඳහන් වාසි ඔබට අත් විඳින්නට පුළුවන.

■ පස තුළ ඇති කාබනික ද්‍රව්‍ය සෙමින් දිරාපත් වන හෙයින් දිගු කාලයක් පසට පොහොර ලැබේ.
■ කාබනික ද්‍රව්‍ය තෙතමනය රඳවා ගන්නා හෙයින් භෝග ඉක්මනින් වියළීමක් සිදු නො වේ.
■ පසෙහි ජෛව විවිධත්වය අධික වන හෙයින් පැළවලට අවශ්‍ය සියලු පෝෂ්‍ය කොටස් එතුළ ම නිමැවේ.
■ ඔබ නිවසේ ඉවත දමන කසළ කළමනාකරණය සඳහා අමතර වෑයමක් දරන්නට අවශ්‍ය නැත.
■ මෙබඳු එක් පාත්තියක් තුළ බෝග වර්ග කීපයක් වගා කළ හැකි ය. එයින් භෝග විවිධත්වයක් සිදු වන බැවින් රෝගවලට ද ඔරොත්තු දීමක් වේ.
■ පාත්තියේ වටට යෙදූ පොල්ලෙලි හෝ වෙනත් ආධාරක සහ පාත්තිය අතර පළා වර්ග වගා කළ හැකි ය.

ජල කළමනාකරණය

බිම් සැකැස්මේ දී සලකා බැලිය යුතු වැදගත් ම සාධකය නම් ජල කළමනාකරණය යි. ඉඩමේ ස්වභාවය අනුව ජල කළමනාකරණ සැලැස්ම වෙනස් කර ගත යුතු ය. වගාවට ජලය අත්‍යවශ්‍ය වන සේ ම අධික ලෙස ජලය රැඳීම වගාවේ සෞඛ්‍ය තත්ත්වයට අහිතකර ලෙස බලපායි. එමෙන් ම වගාබිමේ පස සෝදා යාම වළක්වා ගැනීමට ද සුදුසු ජල වහන ක්‍රමයක් සකසා ගැනීම වැදගත් වේ.

බෑවුම් සහිත ඉඩක පස සෝදා යාම වේගවත් වන හෙයින්, සමොච්ඡ රේඛාව ඔස්සේ අගල් කැපීමෙන් යම්තාක් දුරකට එය පාලනය කර ගත හැකි ය. අගලක් යනු විශාල නිර්මිතයක් නො වේ. උදැල්ලක පළල ඒ සඳහා ප්‍රමාණවත් ය. අගලේ ගැඹුර තීරණය කළ යුත්තේ ඔබේ ඉඩමේ ස්වභාවය අනුව ය. අගලක වැදගත් කාර්යයක් වන්නේ සෝදාගෙන යන මතුපිට සරුපස රඳවා ගන්නා උගුලක් වශයෙන් ක්‍රියා කිරීම ය. එම පස නැවත වගාවට යොදා ගත හැකි ය. දෙවනුව එය ජලය රඳා පවත්වා ගන්නා හෙයින් පසෙහි තෙතමනය වැඩි කාලයක් රඳවා ගන්නට සමත් වේ.

බෑවුම් සහිත ඉඩමක මෙලෙස සකසා ගන්නා අගලට අමතරව පස සංරක්ෂණය කර ගන්නා ශාක ද වගා කර ගත හැකි ය. තෘණ වර්ග, සේර, සැවැන්දරා, මෙලෙස වැටි දිගට වගා කර ගත හැකි ය. ජලය වැඩිපුර රඳා පවත්නා ඉඩමක නම් ජල කළමනාකරණය සඳහා වෙනත් ක්‍රමයක් යොදා ගත යුතු ය. ඉහළට එසවූ පාත්ති සැකසීම එක් ප්‍රතිකර්මයකි. ජලය බැස යාම සඳහා අගල් සැකසීම තවත් ක්‍රමයකි. දියසීරාව වැඩිපුර රඳන ස්ථානවලට ගැළපෙන භෝග වර්ග හඳුනා ඒවා වගා කිරීම තුළින් ද අපට වැඩි වාසි තත්ත්වයක් ඇති කර ගත හැකි ය. රම්පෙ, කොහිල සහ ජලයට හිතකර පළා වර්ග එම පෙදෙස්වල වවා ගත හැකි ය.

වැට
අයාලේ යන සතුන්ගෙන් මෙන් ම සොරකම් වළක්වා ගැනීමට ද වැටක අවශ්‍යතාව ගැන කලින් සඳහන් කළෙමු. සාමාන්‍යයෙන් අප වැටක් යයි සඳහන් කළ විට, සිමෙන්ති හෝ ලී දඬු කණු සිටුවා කටු කම්බි අදින ලද වැටක්
හෝ පැළ ඉනි යොදා හරහට දඬු යෙදූ වැටක් සිහියට නැගේ. මේ කුමන වර්ගයේ වැටක් වුව ද එය ඵලදායී ලෙස වගාව සඳහා යොදා ගත හැකි ය.

වැට දිගට වවනු ලබන ශාකවලින් පහත සඳහන් කාර්යයන් ඉටු කර ගත හැකි ය.

■ ගිනිසීරියා, එඬරු වැනි ශාක වැවීමෙන් ඒවායෙන් කොළ පොහොර ලබා ගත හැකි ය.
■ සැර සුළං පවතින පෙදෙස්වල සුළං බාධකයක් ලෙස මඳක් උසට වැවෙන එමෙන් ම පලතුරු, ඖෂධ, දැව ලෙස භාවිතයට ගත හැකි ශාක වවා ගත හැකි ය.
■ දෙපසට නොවිහිදෙන උසට වැඩෙන ශාක වැට දිගට වැවීමෙන් ඉඩමට අනවශ්‍ය සෙවණ (වදල) ඇති වීම වළක්වා ගත හැක. පේර, දෙලුම් වැනි පලතුරු, කොහොඹ පාවට්ටා වැනි ඖෂධ, කරපිංචා වැනි රසකාරක මේ අන්දමට වැට දිග සිටුවීමෙන් අනෙකුත් වාර්ෂික වගාවලට වන බාධා අවම කර ගත හැක.
■ සැර හිරු රැස් අවශ්‍ය නොවන ශාකවලට මෙමගින් සෙවණක් ලබා ගත හැකි අතර පසෙහි ජලය ඉක්මනින් වාෂ්ප වීම ද වැළකේ.
■ වැට දිගට ඇතැම් වැල් ශාක (කරවිල, පතෝල, වැල් දොඩම් වැනි) යැවීමෙන් මැසි සෑදීම සඳහා අමතර ඉඩක් වැය නො කර ම අමතර ප්‍රයෝජනයක් ලබා ගත හැකි ය.
■ මඳක් උස්ව වැවෙන මල් ගස් වර්ග නියමිත ස්ථානවල වගා කිරීමෙන් ගෙවත්තට අලංකාරයක් ද එක් කර ගැනීමට පුළුවන.

භෝග වගා කිරීමේ දී අනුගමනය කළ හැකි විවිධ ක්‍රම සම්බන්ධව ඉදිරි ලිපියක දී සාකච්ඡා කරමු.

සටහන – කේ. ඒ. ජේ. කහඳව