highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව » අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 15

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 15

එදා අපේ ආච්චි උපෝසථ සිල් සමාදන්ව උන්නේ. අපිත් සිල් සමාදන් වුණා. මං ආච්චිගෙන් දහම් කරුණක් අහන්ට ම යි සිතා උන්නේ. ඉතින් නංගිත් එක්ක මං ගිහින් ආච්චි ළඟ වාඩි වුණා.

“ඇයි පුතේ…. මොකෝ…. අදත් කතාවක් අහන්ට ද ආසා?”

“අනේ ආච්චියේ, මට දහම් ගැටලුවක් තියෙනවා. ඒ ගැනයි දැනගන්ට ඕනෑ.”

“හෝ…. බොහෝම අගෙයි. එහෙනම් කියන්ටකෝ බලන්ට ඔයැයිගෙ දහම් ගැටලුව.”

“ආච්චි…. ත්‍රිවිධ පුණ්‍යක්ක්‍රියා කියන්නේ මොනවාද?”

“හෝ…. පුතා දන්නැතෙයි…. පුතේ ඒ කියන්නේ පුණ්‍ය කර්ම තුන. විස්තරේට කීවොත් මෙහෙමයි. දානමය පුණ්‍යක්ක්‍රියාව, සීලමය පුණ්‍යක්ක්‍රියාව, භාවනාමය පුණ්‍යක්ක්‍රියාව.”
“එතකොට ආච්චි…. අපි ඔය පුණ්‍යක්ක්‍රියා තුන ම කරන්ට ඕනැද?”

“ඔව් මයෙ පුතේ, අපි අපට ඇහැක් අයුරින් දන් දෙන්ට ඕනෑ. සිල් රකින්ට ඕනෑ. බණ භාවනාවක් කොර ගන්ටත් ඕනෑ ම යි. ඕවා තමයි අපට පිහිටට තියෙන්නේ. ඔය තුන ම හරීයට පොරෝජනයි. ඇයි පුතා අසා නැද්ද නිරයේ ගිනි දැල් පෙනිච්චි මරණාසන්න වධකයා අපගේ සාරිපුත්තයන් වහන්සේට කිරිබත් පූජා කොරගෙන දෙව්ලෝ උපන් කතාව?”

“අනේ ආච්චි, අපි ඒ කතාව අසා නෑ නේ. අනේ අපට ඒ කතාව කියාදෙන්ටකෝ.”

“හප්පා…. අපගේ මහෝත්තම ධර්මසේනාධිපතීන් වහන්සේගේ උත්තම නාමය සිහි කොරලා ඔයාලත් මල් පූජා කොරන්ට පුතේ. සඟ ගුණ ලාස්සනට කියා උන්නාන්සේට වන්දනා කොරන්ටත් ඕනෑ. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ හදමඬලින් උපන් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි නුවණින් බැබළි බැබළී උන්නේ.

ඒ කාලේ පුතේ පන්සියයක හොරු කල්ලියක් සැවැත්නුවරට යාබද වනාන්තරේක සැඟවී උන්නා. ඉතින් පුතේ ඒ හොරු රාත්තිරියට නගරෙට ඇවිදින් ගෙවල් බිඳිනවා. දාවලට කැලේ හැංගෙනවා. දවසක් පුතේ ඔය හොරු කල්ලිය හොරකමේ යද්දී සැවැත්නුවර වාසල් දොරකඩ ළඟ අසරණයෙක් ගුලිවෙලා උන්නා. එතකොට හොර නායකයා ‘ඇයි බොල ඔහොම අසරණව ඉන්නේ? තෝ කොයි පළාතේ ද?’ කියා ඇසුවා.

“අනේ…. මිත්‍රයා…. මං පිටිසර එකෙක්. රස්සාවක් හොයාගන්ට ආවා. කෝ තාමත් මට කුලී වැඩක්වත් හොයාගන්ට බැරිවුණා නොවැ.”

“හා… ඒකට මක්වෙනව ද…. අපිත් එක්ක වර…. මං තොට කන්ට බොන්ටත් දෙඤ්ඤං. කාසි පනම් එහෙමත් දෙඤ්ඤං” කීවා.

 

එතකොට පුතේ ඒ අසරණයාත් අර හොර කල්ලියට එකතු වුණා. ටික කාලයක් හොරකොම කොරගෙන ගියා. දවසක් කොසොල් රජ්ජුරුවන්නේ රාජපුරුෂයෝ ඒ හොර කල්ලිය වටකොරලා හිටං අල්ලාගත්තා. උන්නේ දෑත් පිටුපසට බැඳලා කසෙන් තල තලා අරං ගොහින් රජ්ජුරුවන්ට පෙන්නුවා. එතකොට රජ්ජුරුවෝ මෙහෙම කිව්වා.

“හරි… මේකුන්ව මරන්ට ඕනෑ මේකුන්ගෙන් ම කෙනෙක් අතින්. දැන් තොපේ එකෙක් ඉදිරිපත් වෙයං. අනිත් මේ හැමෝම මරා දමන එකාට මං ජීවත්වෙන්ට නිදහස දෙනවා…. හරි… දැන් ඒකා ඉදිරිපත් වෙයං” කීවා.

එතකොට පුතේ අර හොරු පන්සීයෙන් එකෙක්වත් තමුන්නේ පිරිස මරන්ට ඉදිරිපත් වුණේ නෑ. නමුත් ඒ අතරින් වෙන කෙනෙක් මතු වුණා.

“අනේ දේවයන් වහන්ස, මට හැබෑවට ම ජීවිත දානය දෙන සේක් නම් මට මේකුන් හැමෝම මරා දමන්ට පුළුවනි” කියා කිව්වා. ඒ තමයි පුතේ හොරු කල්ලියට එදා වාසල් දොරකඩ ළඟින් එකතු කොරාන ගිය අර පිටිසරයා. “බොහෝ ම හොඳා…. තෝ එහෙනම් මේකුන් මරාපිය. මං තෝ මරණ දණ්ඩනෙං නිදහස් කොරනවා” කියලා ඒකාට නිදහස දුන්නා. එදා ඒ පිටිසරයා අතින් අර හොරු පන්සීය ම මැරුම් කෑවා. රජ්ජුරුවෝ ඒකාට වධක තනතුරක් දුන්නා.

මරණ දණ්ඩනේට නියම වෙච්චි උදවිය දංගෙඩියට බෙල්ල තබාපුවා ම මේකා තමයි මරා දමන්නේ. ඉතින් පුතේ මේ වධකයා විසි පස් අවුරුද්දක් ඔය රස්සාව කොළා. පස්සෙ පස්සේ මේ වධකයා මහලු නිසා අතේ හයිය මදි වුණා. කීප පහරකිනුත් මරණෙට නියම වෙච්චි ඈයො මරාගන්ට බැරි වුණා. එතකොට රජ්ජුරුවෝ මෙයැයිව වධක තනතුරෙන් අයින් කොල්ලා වෙන කෙනෙක් දෑවා.

දැන් පුතේ මුන්දෑට රස්සාවක් නෑ. ගෙදෙට්ට වෙලා බලාන ඉන්නවා. ඕං එතකොට ආරංචි වුණා මන්තරකාරයෙක් ගැන. “හාමිනේ… අසවල් පළාතේ මන්තරකාරයෙක් ඉන්නවාලු. මන්තරේ හොඳ හැටියට සිද්ධි කොරලා හිටං නාසා වාතය හයියෙන් පිඹලා මිනී මරන්ට පුළුවන්ලු. මං ඒකා හොයාන යන්ට ඕනෑ” කියලා මේ වධකයා ඒ මන්තරකාරයා සොයා ගියා. ගොහිං උන්දැට වැඳලා පුදලා තෑගිභෝග දීලා ඇප උපස්ථාන කොරලා අර මන්තරේ ඉගෙනගෙන ආවා නොවැ. බලන්ට පුතේ මිනිස්සුන්නේ හැටි.

දැන් මේකා කෙළින් ම ගියා රජ්ජුරුවෝ බැහැ දකින්ට. බැහැ දැකලා මෙහෙම කියා හිටියා. “අනේ දේවයන් වහන්ස, මට කලින් රස්සාව කොර ගන්ට බැරිවුණේ මේ අතේ පයේ සවි සත්තිය නැති නිසා නොවැ. දැන් මං මහා ආනුභාව සම්පන්න මන්තරයක් සිද්ධි කොරාගෙන ඇවිත් ඉන්නේ. මට ඒකේ ආනුභාවයෙන් ආයෙමත් මගේ රස්සාව කොරගෙන යන්ට අවසර දෙන සේක්වා!” කියලා ආයෙමත් වධක රස්සාව ඉල්ලා ගත්තා. දැන් පුතේ මේ වධකයා තවත් පස් අවුරුද්දක් මන්තර බලෙන් මිනී මැරුවා. පස්සේ නාසාවාතෙන්වත් පිඹගන්ට බැරිවුණා. ටික දොහක් ගත වෙද්දී ඇඳට වැටුනා.

ඒකනේ පුතේ අපේ භාග්‍යවතුන් වහන්සේ සීලාදී ගුණධර්ම දියුණු කොර ගන්ට කියා වදාළේ. දැන් මුන්දැ එකපාරට ම “අයියෝ අනේ… ආං ගිනි ජාලා එනවෝ….. මාව පිච්චෙනවෝ… හයියෝ… අර බලාපං…. ආං ගිනිදැල් මාව වට කොරනවෝ….’ කිය කියා කෑගසන්ට පටන් ගත්තා. වටේ පිටේ ගෙවල්වල මිනිසුන්ට ඉන්ට බැරිතරම් හයියෙන් යටිගිරියෙන් මුන්දැ මරලතෝනි දෙන්ට තියාගත්තා.

දවසක් අපගේ සාරිපුත්තයන් වහන්සේ එතැනින් වඩිනවා පුතේ. අනේ උන්නාන්සේගේ කරුණාවන්ත හදමඬලට හිතුණේ මෙහෙමයි. ‘අයියෝ…. වධක රස්සාව කරපු කෙනා නේ ද මේ මරලතෝනි දෙන්නේ. කවුරු උනත් නිරයේ උපදිනවා කියන්නේ එයැයිට වෙන මහා විපැත්තියක්. මං එතැනට ගොහින් උන්දැගේ සිත පහදවන්ට ඕනෑ. ස්වල්පයක් නමුත් දානයක් පූජා කොර ගත්තොත් ඒ පින් බලෙන් ඔය ඉරණම වෙනස් වෙලා දෙවියන් අතරේ උපදින්ට වාසනාව මතුවෙන්ට බැරි නෑ.’
බලන්ට පුතේ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවනේ කරුණාව. ඉතිං අපේ ධර්මසේනාධිපතීන් වහන්සේ ඒ වධකයාගේ ගෙදරට වැඩියා. උන්නාන්සේ ව දැක්කා විතරයි පුතේ අර මරලතෝනි දිදී හිටිය මිනිහාගේ හිතට මහා කෝපයක් හටගත්තා නොවැ. ඇස්ගෙඩි ලොකු කොරාන අපගේ මහෝත්තමයන් වහන්සේ දිහා බලාන උන්නා. “හහ්…. මේකා මොකෝ මෙහේ ආවේ. මං මේකාවත් මරා දමනවා” කියලා හිටං තමන් ඇඳේ වැතිරී සිටිද්දී ම අර භයානක මන්තරේ මතුරන්ට පටන් ගත්තා නොවැ. තමන්ට උපකාර කරන්ට ආ කෙනාවත් පව්කාරයාට හඳුනාගන්ට බැරි හැටි. හරි පුදුමයි නේ ද පුතේ…. මේකා මතුරලා හිටං නාසා වාතය නයා පිඹින්නැහේ පිඹින්ට ගත්තා. එතකොට අපේ මහෝත්තමයන් වහන්සේ ධ්‍යානයට සමවැදුනා. දැන් පුතේ මේකා පිඹිනවා පිඹිනවා මන්තරේ වැඩ කොරන්නැතිව ගියා.
“හෑ…. කවදාකවත් මෙහෙම වුණේ නෑ නොවැ. මයෙ මන්තරේ බලේ බිඳුනා එහෙනං. මුන්නාන්සේ මහා තේජවන්තයෙක් නොවැ. හප්පේ මයෙ අතින්

 

මහා වැරැද්දක් වුණේ… හනේ මට මෙතුවක් කාලෙකට මේ උත්තමයන් ව හඳුනාගන්ට බැරි වූ හැටි…. අනේ…. ස්වාමීනී…. මට සමාවෙන්ට…. මට සමාවෙන්ට….” කියලා අපගේ සාරිපුත්තයන් වහන්සේට වන්දනා කොරන්ට පටන් ගත්තා. අනේ පුතේ සාරිපුත්තයන් වහන්සේ අල්පමාත්‍ර වෙනසක් නැතිව කරුණා මෙත් සිතින් ම වැඩ උන්නා. එතකොට උන්දෑ තම බිරිඳට කතා කොළා. “අනේ හාමිනේ… අර මට හදාපු කිරිබත් තියෙනවා නොවැ. අනේ… ඒක ගෙනැවිත් අපේ මේ තෙරුන්නාන්සේට පූජා කොර ගන්ට” කියාලා කිව්වා. එතකොට ඈ කිරිබත ගෙනත් සාරිපුත්තයන් වහන්සේගේ පාත්‍රයට බෙදුවා. අපේ සාරිපුත්තයන් වහන්සේ ඒ මරණාසන්න වධකයාට බණ කිව්වා. තිසරණේ පිහිටෙව්වා. සිල් සමාදන් කෙරෙව්වා. දානය ගැන සිහි කෙරෙව්වා.

හරි පුදුමයි පුතේ. අර වධකයාට පෙනි පෙනී වටකොරලා තිබූ ගිනිදැල් නොපෙනී ගියා. සාරිපුත්තයන් වහන්සේට දන් බෙදන හැටි ම මැවි මැවී පෙනුනා. එතකොට අපගේ සාරිපුත්තයන් වහන්සේ දන් පාත්තරය ගෙන විහාරෙට වැඩියා. අර උන්දෑ සාරිපුත්තයන් වහන්සේට පහන් සිතින් දන් බෙදූ ආනුභාවයෙන් ඒ මොහොතේ ම මිය ගිහින් චාතුම්මහාරාජික දෙවියන් අතරේ උපන්නා.

 

සිත පහදවාගෙන දන් දීම නං හරිම පුදුම ආරස්සාවක් සලසන දෙයක් පුතේ.”

(සද්ධර්මාලංකාරය ඇසුරිනි)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

One comment

  1. ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා, !!
    ඒ ආර්‍යමහා සංඝරත්නයටත් නමස්කාර වේවා !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 16

“මහා කල්පයකට පුතේ අසංඛෙය්‍ය කල්ප හතරක් තියෙනවා. ඒ හතරට කියනවා සංවට්ට කල්පය, සංවට්ටට්ඨායි කල්පය, විවට්ට කල්පය, විවට්ටට්ඨායි කල්පය කියලා. මෙයින් එක් අසංඛෙය්‍ය කල්පයක අන්තඃ කල්ප හැට හතරක් තියෙනවා.“