පින්වත් දරුවනේ, අපි සරණ ගියා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් මහා කරුණා ගුණය ගැන අද අපි ඉගෙන ගනිමු.
අපගේ බුදුරජාණන් වහන්සේ තුළ මහා කරුණා ගුණය උපන්නේ උන්වහන්සේට බුද්ධත්වය පිණිස විවරණ ලැබෙන්නත් කලින් ම යි. උන්වහන්සේ එදා ඒ මහා සමුදුරෙහි නෞකාව කැඩී ගිය පසු තම මවු කර මත තබා තෙරක් නොපෙනෙනා මහ සමුදුරෙහි ගමන් කළේ තම මවු කෙරෙහි උපන් මහා කරුණාව නිසා. උන්වහන්සේ එසේ පැමිණි ගමනෙහි දී ඒ මහා ගුණය දැක යම් මොහොතක සක් දෙවිඳුන්, “පින්වත ඔබ මීට සුදුසු ය” යි මතක් කළේ ද එතැන් පටන් උන්වහන්සේ තුළ පැවතියේ ඒ මහා කරුණා ගුණය ම යි. දීපංකර පාද මූලයේ දී සුමේධ තාපස වී සිටි කල්හි උන්වහන්සේ සතුව තිබූ වැඩුණු ප්‍රඥාවට උන්වහන්සේට පුළුවන්කම තිබුණා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බණ පදයක් ඇසූ පමණින් අවබෝධ කරන්න. නමුත් උන්වහන්සේ තුළ පැවතියේ ‘ලෝක සත්වයන් දුකින් නිදහස් කර ගන්නවා’ කියන මහා කරුණාව යි.

සියලු බුදුරජාණන් වහන්සේලා හිතන ආකාරය එක ම විදිහක්. එය බුදුරජාණන් වහන්සේනමක් තවත් බුදුරජාණන් වහන්සේනමකට සමාන වෙන්න කාරණාවක්. ඒ බුදුරජාණන් වහන්සේලා බෝසත් කාලයේ දී ගිහිගෙය අත්හරිනවා. එය හඳුන්වන්නේ ‘අභිනික්මන් කරනවා’ ලෙසයි. සියලු බෝසතාණන් වහන්සේලා අභිනික්මන් කරන්නේ කාරණා හතරක් දැකීමෙන්. එය හඳුන්වන්නේ ‘සතර පෙරනිමිති දැකීම’ ලෙසයි. අප මහා බෝසතාණන් වහන්සේගේ අවසාන ජීවිතයේ දී, එනම් සිද්ධර්ථ ගෞතම මහ බෝසතාණන් වහන්සේ හට ද සතර පෙරනිමිති දකින්ට ලැබුණා. ඒ තාක් ඒ සතර පෙරනිමිති හංගලයි තිබුණේ. නමුත් එක් දිනක බෝසතාණන් වහන්සේට දකින්න ලැබුණා වයසට ගිය මහල්ලෙක්. ඒ ජරාවට පත් වීම කියන්නේ අපි දකින කෙස්ටික විතරක් සුදු වුණ අයෙක් නෙමෙයි. ඒ කෙනාට තනියම ඉඳගන්න බැහැ. පින්වත් දරුවනේ, ඉඳගත් පුටුවෙන් නැගිටින්න බැහැ. ඇවිදින්න බැහැ. තනියම වතුර ටිකක් ගන්න බැහැ, තනියම වීදුරුව අරන් බොන්න බැහැ. තනියම මළපහ කරලා හෝදගන්න බැහැ, කවුරු හරි හෝදන්න ඕනේ. කිසිම දෙයක් එයාට තනියම කර ගන්න බැහැ. කෑමක් විකලා කන්න බැහැ. ඒ තමයි ජරාව.

එය අපගේ බෝසතාණන් වහන්සේ දැක්කා. අපි එවන් අය කොතරම් දකිනවා ද? නමුත් අපි එතන ම යි. ඒත්, අපගේ බෝසතාණන් වහන්සේලාගේ නුවණින් විමසීම එහෙම දවසින් ඉවරවෙන්නේ නෑ. උන්වහන්සේ ඡන්න ඇමතිගෙන් අහනවා “ඡන්න මේ කවුද?” “කුමරාණෙනි, මේ ජරාවට පත් වුණ කෙනෙක්.” “මේ විදිහට මමත් ජරාවට පත් වෙනවා ද?” “ඔව්, ඔබත් ජරාවට පත් වෙනවා.” “මගේ මෑණියන් මහා ප්‍රජාපතී ගෝතමියත් ජරාවට පත් වෙනව ද? මගේ පියා, යශෝධරාව, නන්ද?” “එසේ ය කුමරාණෙනි, සියලු ලෝක සත්වයන් හට ම ජරාවට පත් වීම උරුමයි.” එසේ දකින විට උන්වහන්සේ තුළ හටගත්තේ සියලු ලෝක සත්වයන් කෙරෙහි මහා කරුණාවයි. කල්පනා කළා, ‘එසේ නම් ජරාවට පත්වෙන ස්වභාවයේ ඉඳන් මා කෙසේ නම් ජරාවට පත්වන යශෝධරාවට පිහිට වන්න ද? මා කෙසේ නම් මගේ මෑණියන් හට පිහිට වන්න ද? මා කෙසේ නම් ලෝක සත්වයා හට පිහිට වන්න ද?’

ඊ ළඟට දැක්කා ලෙඩෙක්. ලෙඩෙක් කීවාට සාමාන්‍ය හෙම්බිරිස්සාව තියන ලෙඩෙක් නෙවෙයි. ඔබ රෝහල්වල දැක ඇති නැගිටගන්න බැරි ස්වභාවයේ අය, ඇඳේ නිදාගන්න බැහැ, නිදාගත් විට නැගිටගන්න බැහැ, පැත්ත හැරෙන්න බැහැ. කවුරු හරි හරවන්න ඕනෙ. වතුර ටිකක් බොන්න බැහැ තනියම, පෙර වගේ ම යි. එසේ බොහෝ දුකට පත් වෙනවා සියලු ලෝක සත්වයන් ම ලෙඩ වීම හේතුවෙන්. එවන් අයෙක් තමයි බෝසතාණන් වහන්සේ හට දැකගන්න ලැබුණේ. එවිට අසනවා “ඡන්න, මේ කවුද?” “කුමරාණෙනි, මේ ලෙඩ වුණු කෙනෙක්.” “මමත් මෙසේ ලෙඩ වෙනවා ද?” “එසේ ය කුමරාණෙනි.” “යශෝධරාවත් ලෙඩ වෙනවා ද? මගේ මෑණියන්ටත් මෙය උරුමයි ද?” “එසේ ය, ඉපදෙන සියල්ලන්ට ම මෙය උරුමයි.” “එසේ නම් ලෙඩ වීම සැමට පොදු ධර්මතාවයක්.” දැන් අපටත් දකින්න ලැබෙනවා නේ ද එවන් දේ. එවිට අපි කියන්නේ කුමක්ද? “අනේ හතුරෙකුටවත් මෙවන් විපතක් වෙන්න එපා.” ඒ කුමක් ද? සක්කාය දිට්ඨිය යි. අපි සිතනවා එවන් දේ අපේ වසඟයේ පවත්වන්න පුළුවන් කියලා. එහෙම කියන විට එයට ඇහුම්කන් දෙන්නන්ට හිතෙනවා ‘අනේ, මේ කෙනාට මහා අනුකම්පාවක් උපන්නා’ කියා. එය අනුකම්පාවක් නොවෙයි, ආවේගයක්. ප්‍රඥාවක් ඇති කෙනාට එවන් මොහොතක සිදුවන්නේ, ‘අහෝ මටත් මේ දෙයට මූණ දෙන්න සිදුවෙනවා ද?’ කියා සිතෙන එක. එයයි ප්‍රඥාවන්ත ලෝකයේ ප්‍රඥාවන්තයන්ගේ ස්වභාවය.

ඊ ළඟට දුටුවා මළමිනියක්. “මේ කුමක් ද ඡන්න?” “මේ මළමිනියක් කුමරාණෙනි.” “එසේ නම් මරණය මටත් උරුමයි ද? යශෝධරාවටත් උරුමයි ද? මවටත් උරුමයි ද?” මේ වන විට අපගේ බෝසතාණන් වහන්සේ හට දකින්නට ලැබුණු දේවල් අනුව තමාට පමණක් නොව, අන් සියලුදෙනාට ම මේ සියල්ල උරුමයි යන්න වැටහෙන විට සියලු ලෝක සත්වයන් කෙරෙහි ම ඇතිවූයේ කුමක් ද? මහා කරුණාව යි. ඉන් පසු කල්පනා කළා ‘අහෝ, මෙයින් ගැලවෙන්නට ක්‍රමයක් නැති ද? ක්‍රමයක් දන්න අයෙකු නැති ද?’ එසේ කල්පනා කර කර සිටින විට දී දුටුවා ශ්‍රමණයන් වහන්සේනමක්. “අර කවුද ඡන්න?” “විමුක්තියක් සොයන කෙනෙක්.” “කුමන විමුක්තියක් ද?” “ලෙඩ වීමෙන්, ජරාවට පත් වෙවී මරණය උරුම කර ගත් ජීවිතය උදෙසා විමුක්තියක්.” අපගේ බෝසතාණන් වහන්සේ හට සිතුණා, ‘එසේ නම් විමුක්තියක් සොයන කෙනෙක් සිටීමට විමුක්තියක් තිබිය යුතුයි.’ අපගේ බෝසතාණන් වහන්සේගේ සිතට නැගුණා, ‘මෙයින් නිදහසක් තිබිය යුතුයි නේ ද’ යන්න. ‘මමත් ජරාවට පත් වෙන ස්වභාවය උරුමවයි සිටින්නේ, රෝග පීඩාවලට ගොදුරු වෙන ස්වභාවය උරුමවයි සිටින්නේ, මමත් මරණය උරුමවයි සිටින්නේ…’ ඉතින් ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා ‘මෙයින් නිදහස් වීමේ මාර්ගයක් සොයාගන්න ඕන’ කියලා.
උන්වහන්සේට මෙහෙම වැටහුනා. ‘ලෝක සත්වයා ඉපදෙන තාක් කාලයක් තමයි ලෙඩ වෙන්නේ, ජරාවට පත් වෙන්නේ, මරණයට පත් වෙන්නේ. එසේ නම්, ඉපදීමෙන් නිදහස් වන මඟක් වේ ද එයින් තමයි මේ සියල්ලෙන් ම නිදහස් විය හැක්කේ.. එසේ නම් මා විසින් ඉපදීම නැති කරන්නා වූ ක්‍රමයක් සොයා ගත යුතුයි.’ ඒ සිතුවිල්ල හට ගත්තේ සියලු ලෝසතුන් මේ ජරා දුකින් බේරා ගන්න, මේ රෝග පීඩා වැළඳීමේ දුකින් බේරා ගන්න, මේ මරණ දුකින් බේරා ගන්න. ඒත් සමඟ ම උන්වහන්සේට කල්පනා වුණා, මේ ගිහිගෙදර වාසය කරමින්, අඹුදරුවන් සමඟ එක්ව වාසය කරමින් මේ කටයුත්ත කර ගන්න අපහසු බව. උන්වහන්සේ මහා කරුණාව මුල්කරගෙන සක්විති රාජ පදවිය අතහැරියා, යශෝධරාව අතහැරියා, අද උපන් රාහුල පුතණුවන්ටත් මේ දේ නම් උරුම මා මේ අහිංසක බිළිඳාවත් බේරා ගත යුතුයි කියා මහා කරුණාවෙන් තම එක ම දරුවත් අතහැරියා. ඒ සියල්ල ම අත්හල බෝසතාණන් වහන්සේ හට එක ම අරමුණයි පැවතුනේ, එනම් මේ ඉපදීමෙන් නිදහස් වෙන්න ක්‍රමයක් සොයාගත යුතුයි යන්නයි. ඒ අදහසින් ම අභිනික්මන් කළා. උන්වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය පුරාවට ම තිබෙන්නේ ඒ මහා කරුණා ගුණය යි.

අප බෝසතාණන් වහන්සේ තුළ උපන් ඒ මහා අනුකම්පාව, කරුණාවට පුළුවන් වුණේ සුළු දෙයක් අත්හරින්න නෙමෙයි, සසර පුරාවට සෙවණැල්ල මෙන් ළඟින් සිටි, රූප ස්වභාවයෙන් අග්‍ර යශෝධරාව, පුතණුවන් ව, පියාණන් ව… රම්‍ය, සුරම්‍ය, සුභ යන මාළිගා තුනෙහි මහා සැපය. එනම් ප්‍රඥාව ලැබීමේ නිමිත්ත කුමක්ද? කාමයන් අත්හැරීමට පුළුවන්කම ලැබීම. එනම් නෙක්ඛම්මය යි. අප මහා බෝසතණන් වහන්සේ ඒ සා මහා දේවල් අත්හැරියේ කුමක් පිණිස ද? දුකින් නිදහස් වීම පිණිස, අන් අය දුකින් බේරා ගැනීම පිණිස. අපි සරණ ගියේ ගිහි කල ම එවන් ආකාරයේ කල්පනාවක් මෙහෙයවූ ශාස්තෲන් වහන්සේනමක්. අප වෙනුවෙන් ඒ සා මහා සැප සම්පත් අත්හළ උතුමෙක්.

ඉන් පසු අධික ලෙස සැප විඳීමෙන් විමුක්තියක් සාක්ෂාත් කර ගත නො හැකියි යන්න තම ගිහි කල ම වැටහුනා. එම නිසා මේ ශරීරයට දුක් දී එය සාක්ෂාත් කර ගත හැකිදැයි යන්න කල්පනා වුණා. සය අවුරුද්දක් පුරාවට අනේක අප්‍රමාණ වූ දුක් දෙමින් උන්වහන්සේ බැලුවා විමුක්තිය සාක්ෂාත් කර ගන්න මාර්ගයක් සැලසෙයි ද කියා. යම් පුද්ගලයෙකුට කයට දුක් දී විමුක්තියක් සාක්ෂාත් කර ගත හැකි නම් ඒ දුක් උපරිමයෙන් දුන්නා. උන්වහන්සේ ගිහි කල දී කාමසුඛල්ලිකානුයෝගය උපරිමයෙන් වින්දා, විමුක්තියක් නැහැ. ගිහිගෙය අතහැර සය අවුරුද්දක් මුළුල්ලේ අත්තකිලමථානුයෝගී ධර්මය පුරුදු කළා තවත් ශරීරයට දෙන්න දුකක් ඉතිරි නොවූ තරමට. එසේ නම් මේ අන්ත දෙකෙන් ම විසඳුමක් නෑ ප්‍රශ්නෙට. කුමක්ද ප්‍රශ්නෙ? ජරා මරණ ප්‍රශ්නෙ. ඒ නිසා මේ අන්ත දෙකට ම නො වැටී මා විසින් මැදුම් පිළිවෙතක් අනුගමනය කළ යුතුයි කියා කල්පනා කළා. ඒ පිළිවෙළ තුළත් උන්වහන්සේ කල්පනා කළේ ජරා මරණ ගැන ම යි. උන්වහන්සේට එයින් බාහිර කල්පනාවක් නැහැ. ජරා මරණ කියන කාරණය ම දිගින් දිගට ම කල්පනා කළා. දැන් බලන්න දරුවනේ ඇතැම් අය කියනවා බුදුරජාණන් වහන්සේත් අපි වගේ ම කෙනෙක් කියලා. ඒ වචනය කියන්නවත් එපා, නිරයේ යයි. අපිට එවන් කල්පනාවන් එනවා ද නිකමටවත්? බෝධිසත්වයන්ට ඇති වූ අදහස සය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරද්දිවත් අංශුමාත්‍රයක්වත් වෙනස් වුණේ නැහැ.

උපන් සත්වයාට ලැබෙන්නා වූ කය වෙනස් වෙන්නෙ නැත්නම්, ඇස් දෙක වෙනස් වීමක් වෙන්නෙ නැත්නම්, ඇස් ලෙඩ හැදෙනවා කියලා දෙයක් වෙන්න බැහැ. කන් දෙකේ වෙනස් වීමක් වෙන්නෙ නැත්නම්, කන් නෑසෙනවා කියන කාරණය වෙන්න බැහැ. දිරාපත් වීමක් වෙන්නෙ නැත්නම්, කය වෙනස් වීමකට භාජනය වීමක් වෙන්නෙ නැත්නම් කය දුර්වල වෙනවා කියන කාරණය වෙන්න බැහැ. එහෙනම් මේ හටගත්තු දේවල් තුළ තියනවා වෙනස් වෙන ස්වභාවයක්. දැන් මේ කුමක් ද තිබෙන්නේ? හටගත්තු දෙයක යම් ස්වභාවයක් තියනවා ද එය පවතින්නේ, මේ කය පවතින්නේ පැවැත්මට හේතුවන ආහාර ලැබෙන තුරු පමණයි. ආහාර නැතිවෙනකොට කය පවතින්නේ නැහැ.

භාග්‍යවතුන් වහන්සේ සියල්ල අවබෝධ කළේ තවත් අයෙකුගේ උපකාරයකින් නොවෙයි. තමා තුළින් උපන්නා වූ නුවණින් විමසීමෙන් ම යි. ඒ නිසා කියනවා ‘සම්මා සම්බුද්ධ’ කියා. ඒ මාර්ගය තවත් අයෙකුට පැහැදිලිව කියාදෙන්න පුළුවන් තරමට ම නිදහස් වුණා.

තවත් කොටසක් මීළඟ කලාපයෙන්….
සටහන – ආර්. එස්. පින්නපොල ගුරු පියාණන්