රුහුණේ ගාමෙණ්ඩවාල විහාරයට සමීපයෙහි ගමක වැදි කුලයක උපන් මිනිසෙක් දිනපතා මළපුඩු සීයක් ද උගුල් සීයක් ද අටවමින් සතුන් මරා මස් කමින් මස් විකුණමින් සතුන් විකුණමින් පව්කාර ජීවිතයක් ගත කළේය.

දිනක් ඔහු මුවෙකු මරා වනයේදී ම මස්කොට අඟුරු මත පළහා මස් කා පිපාසයෙන් යුතුව වතුර බීම සඳහා ගාමෙණ්ඩවාල විහාරයට ගියේය. එහි වතුර කළ දහයක් පමණ තිබුණි. එහෙත් එකම කලයකවත් වතුර ඇති බවක් ඔහුට නොපෙනුනේය.

මෙපමණ මහණුන් ඇති තැනක මිනිසෙකුට පිපාසයට බීමට තරම් පැන් පොදක්වත් නැතැයි කියමින් භික්ෂූන් වහන්සේලාට දෝෂාරෝපණය කළේය. විහාරයෙහි වාසය කළ චුල්ලපිණ්ඩපාතිකතිස්ස හිමියන්ට ඒ කථාව ඇසී පැන්හලට ගොස් බලන විට කළ දහය ම පිරී ඇති බව දුටුවේය. “මොහු නම් ඒකාන්තයෙන් ම ජීවමාන පෙරේතයෙකැ”යි සිතුවේය. “උපාසකය, පැන් බොන්ට කැමති නම් පානය කරව”යි කියා ඔහුගේ දෝතට වතුර වත් කළහ. ඔහුගේ අකුසල කර්මයේ දැඩිබව නිසා මුළු කළය ම පානය කළ නමුත් පිපාසය සංසිඳුනේ නැත.

ඉන්පසු තවත් කළයක වතුර දුන්නේය. එයත් බීවේය. එහෙත් පිපාසය නොසංසිඳිනි. මේ ක්‍රමයෙන් වතුර කළ දහය ම පානය කළ නමුත් ඔහුගේ පිපාසය නම් සංසිඳුනේ නැත. “උපාසකය, තාගේ කර්මය ඉතා දරුණුය. නුඹ මෙලොවදී ම ප්‍රේතයෙකි. පරලොවදී විඳින්නට සිදුවන දෙය කොතරම් වේවිදැයි කිව නොහැකිය. වැද්දා සංවේගයටත් භීතියටත් පත් විය. ඔහු බිම දිගා වී හිමියනට වැන්දේය. වහා දුවගෙන ගොස් වනයේ ඇටවූ උගුල් විනාශ කළේය. මළපුඩු කඩා දැම්මේය. නිවසට ගොස් සතුන් මැරීමේ උපකරණ, අවි ආයුධ සියල්ල වනසා දැමීය. සිරකොට සිටි සියලු සතුන් මුදා හළේය. මේ සියල්ල කිරීමෙන් අනතුරුව විහාරස්ථානයට ගොස් හිමියන් මුණ ගැසුනේය.

“ස්වාමීන් වහන්ස, මගේ පව්කාර ජීවිතය නතර කෙළෙමි. සතුන් මරණ සියලු උපකරණ පුළුස්සා දැමීමි. ස්වාමීන් වහන්ස, මට සමාව දෙනු මැනවි. මට අනුකම්පා කළ මැනවි. මා පැවිදි කළ මැනව”යි ආයාචනා කළේය. තෙරණුවෝ සානුකම්පිතව ඔහු පැවිදි කළහ. අප්‍රමාදීව පිළිවෙත් පුරන ඒ හිමිනම ධර්මය ද ඉගෙන ගත්තේය. උන්වහන්සේ දිනක් දේවදූත සූත්‍රය හදාරමින් සිටියහ.

“තමේනං භික්ඛවේ නිරයපාලා පුන මහා නිරයේ පක්ඛිපන්ති” යන වාක්‍ය හදාරණ ඔහු ස්වාමීනී, මහා නරකය නම් ඉතා බැරෑරුම් තැනැකැ’යි කීවේය. “ස්වාමීන් වහන්ස, එය අපට බැලිය නොහැකිද?” “නොහැකියි. ප්‍රත්‍යක්ෂ වන සේ එක නිදසුනක් පෙන්විය හැකියි” කියූ තෙරුන් වහන්සේ “එසේ නම් සාමණේරවරුන් හවුල් කරවාගෙන ගලක් මතුපිට අමුදර ගොඩක් එකතු කරව”යි කීහ. එසේ කළ විට තෙරණුවෝ සෘද්ධිබලයෙන් කණාමැදිරියෙකු තරමේ ප්‍රමාණයෙන් වූ ගිනි පුපුරක් ඇවිත් ඒ දරගොඩ මත වැටෙන්නට සැලැස්වීය. මොහොතකින් දර ගොඩ ඇවිලී ගියේය.

එය දැක ඉතාමත් සංවේගයට පත්වූ භික්ෂු නම තෙරුන් වහන්සේගෙන් උපදෙස් ලබාගෙන නොපසුබස්නා වීරියෙන් භාවනාවේ යෙදුණේය. උන්වහන්සේ වත් පිළිවෙත් කිරීම ද අත්නොහළේය. වරින් වර සිතුල්පව් විහාරයේ ද ගාමෙණ්ඩවාල මහා විහාරයේ ද කතරගම කිරිවෙහෙරේ ද වතාවත් කළේය. රාත්‍රියේ නිදිමත වනවිට තෙමන ලද පිදුරු කැරැල්ලක් හිස මත තබාගෙන දෙපා දියේ ඔබාගෙන නිදිමත දුරු කර ගත්තේය.

දිනක් සිතුල්පව් විහාරයේ වතාවත් කොට රාත්‍රී යාමයේ නිදිමත පැමිණිවිට තෙත පිදුරු ගුලිය හිසමත තබාගෙන සිටියේය. ඒ මොහොතේ ඒ වෙහෙරට නැගෙනහිර පර්වතය අසල එක් සාමණේර නමක්,

“ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනෝ සේනං – නලාගාරං’ව කුඤ්ජරෝ”

යන අරුණවතී සූත්‍රයේ එන ගාථාව කියනු ඇසී, ඒකාන්තයෙන් ම මා වැනි වීර්යවන්ත භික්ෂුවක් උදෙසා බුදුරජුන් මේ ගාථාව දේශනා කරන්නට ඇතැයි සිතමින් සොම්නසින් යුතුව ධ්‍යාන ලබා එය ම හේතුවක් ලෙස ගෙන උතුම් රහත් ඵලය ලැබූහ.

අංගුත්තර නිකාය ඒකක නිපාතයේ සඳහන්ය.
සටහන – මානෙල් පොඩිමැණිකේ.