මහා මිත‍්‍ර තෙරුන් වහන්සේ කස්සක නම් ලෙනෙහි වාසය කළහ. එක් උපාසිකාවක් උන් වහන්සේ දරුවෙකු මෙන් සිතා, පෝෂණය කරන්නී ය. ඇය එක් දිනක් කිසියම් කටයුත්තකට වනයට යන්නට සූදානම් වී තම දියණිය ඇමතුවා ය.

‘‘දියණියනි, අසවල් තැන පරණ සහල් ද අසවල් තැන කිරි ද අසවල් තැන ගිතෙල් ද පැණි ද ඇති. ඔබගේ සොයුරා, මිත‍්‍ර තෙරුන් වහන්සේ වැඩිය විට බත් පිස ගිතෙල් කිරි පැණි ද දෙන්න. ඔබත් අනුභව කරන්න. මට සහල් ටිකක් ගෙන ඇඹුල් කොළ දමා කැඳ ටිකක් පිස තබන්න.”

මෙසේ කී ඕ තොමෝ වනයට ගියා ය. එවිට තෙරුන් වහන්සේ ඇයගේ ගෙට යනු පිණිස පාත‍්‍රය ගෙන සූදානම් වූහ. එවෙලේ උපාසිකාවගේ මේ කථාව ද ශ‍්‍රවණය විය. එවිට මහා මිත‍්‍ර හිමියෝ තමාට ම මෙසේ අවවාද කර ගත්හ.

‘‘මහා උපාසිකාව උදේට කාඩි හොදි සමග හීල් බත් ද දවල්ට ඇඹුල් ක‍ැඳක් ද වළඳන්නී ය. නුඹ පිණිස පරණ සහල් ඇති තැන් කියන්නේ නුඹගෙන් ආහාර, වස්ත‍්‍ර, ඉඩකඩම් බලාපොරොත්තුවෙන් නො වේ. ඇය සුළු දෙයින් යැපී නුඹට ප‍්‍රණීත භෝජන පිළියෙල කරවා දෙන්නේ නුඹ නිසා ත‍්‍රිවිධ සම්පත් ලැබේවි යැයි සිතා ය. රහත් නො වූ නුඹ ඇයට එම සම්පත් දීමට අසමත් ය. නුඹ මහා උපාසිකාවගේ දානය, රාග, දෝස, මෝහ රහිතව වැළඳිය යුතු ය.”

මෙසේ අවවාද කර ගත් තෙරුන් වහන්සේ නැවත පාත‍්‍රය තබා ලෙනට පැමිණ සිවුරු තැන්පත් කොට, ‘රහත් නො වී ලෙනෙන් පිටත් නො වෙමි’ යි බලවත් උත්සාහයෙන් විදසුන් වඩන්නට පටන් ගත්හ.
කලක පටන් භාවනාව පුරුදු උන් වහන්සේ්, පෙරවරු කාලයේ දී ම අරහත් ඵලයට පැමිණි සේක.
ශ‍්‍රමණ ධර්මය සම්පූර්ණ කර ගත් උන් වහන්සේ ඉමහත් ප‍්‍රීතියෙන් පැහැපත් මුහුණෙන් ලෙනෙන් නික්මී වඩිනා විට ලෙනෙහි දොරටුවෙහි වසන දෙවියා උන් වහන්සේ් රහත් වූ බව දැනගෙන, ”ස්වාමිනි නුඹ වහන්සේ වැනි රහතුන්ට දන් දී මහලූ ස්ත‍්‍රිය දුකින් මිදෙන්නාහ” යැයි කී ය.
දානය වැළඳීමට කාලය පැමිණි කල්හි තෙරුන් වහන්සේ දානය සඳහා මහලූ ස්ත‍්‍රියගේ නිවසට වැඩම කළ සේක. තෙරුන් වහන්සේ වඩින තුරු මග බලා සිටි මහලූ ස්ත‍්‍රියගේ දියණිය තෙරුන් වහන්සේ පැමිණි විගස පාත‍්‍රය ගෙන ගිතෙල් සහ පැණි සමග කිරිබත් බෙදා උන් වහන්සේට පිළිගැන්වූවා ය. ”සුවපත් වේවා” යි ආහාර පිළිගත් තෙරණුවෝ ආපසු වැඩම කළහ. එදින උන් වහන්සේගේ සිරුර ඉතා පැහැපත්ව තිබිණ. නෙත් යුවළ මිණි කැට දෙකක් මෙන් දිස් වුණි. මුහුණ පිපුණු පියුමක් සේ බැබළිණි. දැරිය උන් වහන්සේ වඩින අයුරු බලා සිටියා ය.
මහලූ ස්ත‍්‍රිය ආපසු පැමිණ, ”දියණිය ඔබගේ සොයුරා පැමිණියා ද? දානය පිළිගැන්වූවා ද?” කියා ඇසුවා ය. දැරිය ඉතා සතුටින් සියලූ විස්තර කීවා ය. එ් අසා සතුටට පත්වූ මහලූ ස්ත‍්‍රිය, ”දුව ඔබගේ සොයුරා එ්කාන්ත වශයෙන් ම බුදු සසුනේ දියුණුවක් ලබා ඇත.” යැයි සාදුකාර දුන්නා ය.

මනෝරථ පූරණියෙහි සඳහන් කථාවක් ඇසුරිනි

මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මානෙල් පොඩිමැණිකේ