කෝකානිජ කණ්ඩාගරි නමින් පර්වත විහාරයක් විය. එයට නුදුරින් එක් ආරණ්‍යයක ලෙනක ලද දෙයින් සතුටු වන ධුතාංග පුරන්නා වූ භික්ෂූන් වහන්සේනමක් වාසය කළේය. දිනක් එක් සොරෙක් පන්සියයක් පමණ සොරුන් සමඟ එම ස්ථානයට පැමිණ ඒ භික්ෂුනමගෙන් මෙසේ ඇසීය.

“ස්වාමීනී, මේ ලෙනෙහි වාසය කරන ඔබවහන්සේ අවුරුදු කීයක් මෙහි ගත කළේදැයි දැනගැනීමට කැමැත්තෙමි.”

“මිත්‍රය, මම හය අවුරුද්දක් තනිවම දෙවැන්නෙක් නැතිව වන මෘගයන් මෙන් මෙහි වාසය කරමි.”

“අවුරුදු හයකුත් ගත කොට ඔබවහන්සේ යම්කිසි ධ්‍යානයක් හෝ සමාපත්තියක් හෝ අභිඤ්ඤාවක් හෝ ලබා ගත්තා ද?” සොරා ඇසීය.

“මම සමවතක් හෝ ධ්‍යානයක් හෝ මාර්ගයක් හෝ වෙන යම්කිසි විශේෂයක් නොලැබුවෙමි. සිල් පිරිසිදු කරමින් විවේකයෙන් සිටියෙමි.” යි භික්ෂුව කීහ.

එවිට සොරා “ස්වාමීනී, සිල් රැකීම් පමණෙකින් ඔබවහන්සේ මහත් වටිනා දෙයක් විනාශ කර ගත්තෙහි ය. රහත් ඵල ලැබීම සඳහා වහා උත්සාහ කළ මැනවි. කලකට පෙර මම පැවිදි වී මේ ලෙනෙහි වාසය කරමින් අභිඤ්ඤාවන්ගේ පරතෙරට ගියෙමි. දිවැස ද දිව කන ද පිරිසිදු කළෙමි, ඍද්ධි බල ලැබුවෙමි. පෙර කඳ පිළිවෙළ දැකීමි. අන් අයගේ සිත් දැන ගතිමි. මෙසේ අභිඤ්ඤාලාභී වූ මම ඒ බලයෙන් ම ඇලී රහත් ඵලය ලබා ගැනීමට ප්‍රමාද වූවෙමි.

දිනක් මම සවස් කාලයේ ධ්‍යානයෙන් මිදී ලෙනෙන් පිට වී දොරබාව ළඟට ගොස් සිටියෙමි. එසේ සිටින අතරේ අලංකාරයෙන් සැරසුනු ගොපලු දැරියක් දුටුවෙමි. ඇය දුටු මොහොතේ ම රාග සහගත සිතුවිලි පහළ විය. ඉන් පසු මම මුළා වූ සිහි ඇත්තෙක් වීමි. එම නිසා ම පැවිදි බව අතහැර ඒ දැරිය සොයමින් සොරකම් කරන්නට පටන් ගතිමි. මම සොරෙක් වී සූර වීර දක්ෂ තවත් සොරුන් පනහක් සොයා ගතිමි. ඒ සොරුන් සමඟ ගොස් ඇගේ ගෙය වට කොට බලහත්කාරයෙන් ඇය ලබා ගත්තෙමි. ඒ සඳහා ප්‍රමාදී වූ මම බොහෝ පව් කළෙමි. ඒ නිසා මම අපායේ කටුක දුක් විඳීමට නියමව සිටිමි. ඒ කාම හේතුවෙන් මහජනයා පෙළා ධන ධාන්‍ය රැස් කළ නමුත් කාමයෙහි නම් තෘප්තියක් නොපෙනේ.

මා විසින් පෙර දී යම් ධ්‍යානාදී විශේෂ ගුණයක් ලැබුවා ද ඒ සියල්ල කාමය නිසා විනාශ විය. ධ්‍යාන, අභිඤ්ඤා සමාපත්ති ආදීහු කෙලෙස් සමනය වීම සඳහා පමණයි. නුවණැති ස්වාමීනී, මාගේ කීම අසා ඔබවහන්සේට සංවේගය ඇති වේවා! හිතේ වසඟයට නොයනු මැනවි. ප්‍රමාද වීමෙන් විනාශ නොවනු මැනවි. සිතට වසඟ වීමෙන් ප්‍රමාදයට පැමිණි අය නොයෙකුත් දුක් අනුභව කරති. ඔබවහන්සේගේ ආයුෂය ගෙවේ. සද්ධර්මය පිරිහේ. එබැවින් සංවේග උපදවා භාවනාවෙහි යෙදෙනු මැනවි.”

මෙසේ ඒ සොරා විසින් අවවාද කරනු ලැබූ ඒ භික්ෂුව භාවනාවෙහි යෙදී නොබෝ දිනකින් උතුම් රහත් ඵලයට පත් විය. සතුටු වූ ඒ සොර දෙටුවා ස්වකීය ධනය වියදම් කොට උන්වහන්සේට ප්‍රාසාදයක් කරවී ය. ඒ තෙරුන් වහන්සේ සොරාගේ අවවාදය නිසා සදහම් අමාව ලැබී කෙලෙස් පිරිනිවීමට පත් වූහ.

එසේ ශාන්ත භාවයට පත්ව බුද්ධානුශාසනය කළ, හැම වෛර භය නැති කළ තෙරුන් නමට දෙවියන් සහිත ලෝකයා නමස්කාර කළහ. එම නිසා සිල් රැක්ක පමණින් හෝ ධර්මය උගත් පමණින් හෝ කෙලෙස් තුරන් නොකරන්නන් හට ප්‍රශංසා නොකරති. මෙසේ අභිඤ්ඤාලාභීන්ගේ සිත පවා කාමයෙන් අපිරිසිදු වේ. ඒ පෘථග්ජන දෝෂය නිසා ය. හිස් පෘථග්ජනයන් ගැන කවර කථා ද?

ඇසුර – සීහල වත්ථු

සටහන – මානෙල් පොඩිමැණිකේ.