සද්ධාතිස්ස රජතුමාට දිනක් ගැල් පන්සියයකින් උක් හකුරු ගෙන එනු ලැබිණි. රජතුමා ‘මෙය මාහැඟි පරිත්‍යාගයකි. ආර්යයන් වහන්සේට නො පිළිගන්වා අනුභව නො කරමි’ යි සිතා ගැල් දෙසිය පනහක් මහා විහාරයට යැවී ය. උදය අනුභව කළ රජතුමා ද විහාරයට ගියේ ය. බෙරය ගැසූ විට දොළොස් දහසක් භික්ෂූහු රැස්වූහ. රජ තෙමේ ආරාමයේ අතවැසියා කැඳවා මෙසේ කී ය.

‘‘රජුගේ දානයේ දී පාත‍්‍රය හෝ ගෙනා භාජනය පුරවා දිය යුතු ය. යම් කිසි පැවිදිනමක් පමණ දැන පාත‍්‍රය පුරවා නො ගන්නේ නම් මට දැනුම් දෙව.”

එකල්හී සෑගිරියෙහි වාසය කළ එක්තරා භික්ෂුනමක් ‘මහා බෝධියත්, මහා සෑයත් වඳින්නෙමි’ යි අනුරාධපුරයට පැමිණ මහා විහාරයට ඇතුල් වන්නේ, මහා මණ්ඩප ස්ථානයෙහි උක් සකුරු පිළිගන්නා භික්ෂූන් වහන්සේලා දුටුවහ. මේ මොහොතේ උන්වහන්සේ තමන් වහන්සේ පසුපසින් එන සත් හැවිරිදි වූ සාමණේරනමක් අමතා, ‘‘ඔබට උක් සකුරුවලින් ප‍්‍රයෝජනයක් තිබෙනවා ද?” කියා ඇසූහ. ‘‘ස්වාමීනි, මට අවශ්‍ය නැත.” යැයි සාමණේර හිමියෝ කීහ.

‘‘සාමණේරය, මම ගමනින් විඩාවට පැමිණියෙමි. දිවුල් ගෙඩියක් පමණ තරමේ උක් සකුරු ලබාගෙන එන්න.” යැයි එවිට ස්ථවිරයන් වහන්සේ කීහ.

සාමණේරයන් වහන්සේ පාත‍්‍රය අතට ගෙන සකුරු දෙන තැනට ගිය විට අතවැසියා පාත‍්‍රය පුරවා උක් සකුරු දුන්නේ ය. සාමණේර තම ඇඟිල්ල සෙලවී ය.

‘‘ස්වාමීනි, රජවරුන්ගේ දානයෙහි භාජනය පුරවා දීම සිරිතකි. මෙය ගත මැනව.” යැයි අතවැසියා කීවේ ය. ‘‘උපාසකය, රජවරු උදාර අදහස් ඇත්තෝ ය. එහෙත් අපගේ උපාධ්‍යායන් වහන්සේට අවශ්‍ය සකුරු ඉතා ස්වල්පයක් පමණ ය.” යි සාමණේරයන් වහන්සේ කීහ.

රජතුමාට මේ කතාව ඇසුණේ ය. ‘‘සාමණේරනම කුමක් කියන්නේ ද?” යැයි අසමින් ඔහු එ් සමීපයට පැමිණියේ ය. අතවැසියා එ් පුවත කියූ විට ‘‘ස්වාමීනි, භාජනය පුරවා ගත මැනවි.” කියා රජතුමා ද කීවේ ය. නමුත් සාමණේර හිමියන්ගේ පිළිතුර එය ම විය. රජතුමා මෙසේ සිතී ය. ‘මේ සත් හැවිරිදි සාමණේරනම භාජනය පුරවාගෙන ගොස් තබාගෙන පසු දිනවලටත් ප‍්‍රයෝජනය සඳහා ගත්නෙමි යි නො සිතයි. අහෝ…! බුද්ධ ශාසනය පරීක්ෂණයට ලක් කළ නො හැක…!’ රජතුමා මෙසේ සිතා සාමණේ්ර හිමිනමට පැහැදී ඉතිරී ගැල් දෙසිය පනහේ හකුරු ද ගෙනවිත් සංඝයා වහන්සේට දෙන්නට නියම කළේ ය.

සළායතන සංයුත්තයේ අට්ඨ කතා ඇසුරෙනි.

මහාමේඝ 2015 ඉල් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මානෙල් පොඩිමැණිකේ