කාල දීඝවාපී විහාරයෙහි නාහිමියෝ එක්තරා තරුණ භික්ෂු නමකට උගන්වන්නට එකඟ වූයේ ඔහු ගමෙහි නොගැවසෙන බවට පොරොන්දු කරවා ගැනීමෙන් පසුව ය. තම ශිෂ්‍යයා ගමෙහි ගැවසෙන්නට ගියොත් වරදට පෙළෙඹෙතියි ඒ හිමියෝ කල්පනා කළහ.

තම ආචාර්යපාදයන් වහන්සේ තමාට ගම්මැද්දට යන්නට තහනම් කළේ මන්දැයි දැන ගැනීමට මේ තරුණ භික්ෂු නමට අවශ්‍ය විය. ඒ නිසා දවසේ ඉගෙනීම අවසන් කොට පෙරලා යන ගමන ගම මැද්දෙන් ම ගියේය.

එසේ යන විට කහපාට වස්ත්‍රයක් පොරවා ගත් තරුණියක් නිවසකින් එළියට පැමිණ ඔහුගේ පාත්‍රයට කැඳ ටිකක් බෙදුවාය. පළමු වරට දැකීමෙන් ම තරුණිය භික්ෂුව කෙරෙහි ආදර සිතක් ඇති කර ගත්තීය. ඕතොමෝ ඇතුළු ගෙට ගොස් යහනෙහි වැතිරුනාය. මව්පිය දෙදෙන එතැනට ගොස් “දියණියනි, කුමක් නිසා මෙසේ වැතිර සිටින්නෙහිදැ”යි විමසූහ.

“මට අර තරුණ භික්ෂුවගේ ප්‍රේමය දිනා ගැනීමට නොහැකි වූවොත් මට ජීවත් වී පළක් නැත. එසේ වී නම් මම මිය යමි.” මෙබස් ඇසූ දෙමාපියෝ තරුණ භික්ෂුව පසු පස ලුහුබැඳ ගියෝය. “ස්වාමීනී, අප නිවසේ දන් වැළඳීමට වඩිනු මැනවැ”යි ආරාධනා කළහ. එහෙත් භික්ෂුව ආපසු එහි යෑමට කැමති නොවීය.

“ස්වාමිනී, අසනු මැනවි. අපගේ නිවසේ අපමණ වස්තුව තිබේ. අපට ඉන්නේ එක ම දියණිය යි. හිමියනි, ඔබ අපේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වනු මැනවි. එවිට ඔබට සැප සේ ජීවත් විය හැකිය”යි කීවාහුය. ඒ මොහොතේ ම සිය ගුරුවරයාගේ දැනමුතුකම මතකයට ආවේය. ආපසු ගියහොත් තමා අමාරුවේ වැටෙන බව සිහිවිය. තරුණ භික්ෂුව සිය ආරාමය කරා ගියේය.

තරුණිය තම සිත වාවාගත නොහැකිව එම ශෝකයෙන් මිය ගියාය. දෙමාපියෝ ඇයගේ භූමිදාන කටයුතු සිදුකළහ. ඇය පොරවාගෙන සිටි කසාවත ද විහාරස්ථානයේ සංඝයා වහන්සේට පූජා කළහ.

තමාගේ කොටස ලෙසට මේ කසාවතින් අඩක් ලබාගත් එක් භික්ෂුවක් කැළණි විහාරය වඳින්නට ගිය ගමනකදී එහිදී හමු වූ එක භික්ෂුවකට අහම්බෙන් මෙන් මේ පුවත පවසා සිටියේය.

එපුවත ඇසූ ඒ තරුණ භික්ෂුව මෙවැනි අවංක බිරිඳක් ලබාගන්නට තිබුණු අවස්ථාව නැති වී යයි අතිශයින් බලවත් චිත්ත වේදනාවට පත්වූයේ ඒ ශෝකයෙන් ම මිය ගියේය.

අට්ඨකථා ඇසුරිනි

සටහන ජේ.එම්. මානෙල් පොඩිමැණිකේ.