සිරිලක්දිව එක දුර්භික්ෂ කාලයකදී සෝණ නමැති දරුවෙක්, මහල්ලෙකු සමඟ ඇවිදිමින් මහා විහාරයට පැමිණියේ ය. ඔහු දුටු එක් තෙරුන් වහන්සේනමක් “දරුව, ඔබ ඔය මහල්ලා අතහැර පැවිදි නොවන්නේ කුමක් නිසා ද?” යැයි ඇසූහ. “මා වැනි විපතට පත් වූ බාලයෙකු පැවිදි කරන්නේ කවුරුන් ද?” යැයි බාලයා කීවේ ය.

මෙය අසා ඒ තෙරුන් වහන්සේ මොහු අනාගතයේදී සසුනෙහි උසස් තැනකට පත් වන බව දැන ඒ බාලයා මහල්ලාගෙන් ඉල්ලාගෙන කරුණා සිතින් පැවිදි කරවීය. මනා ලෙස ඉගැන්වීම ද කළහ.

පසු කාලයක තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ උපන් තැන, බුදු වූ තැන, දම්සක් දෙසූ තැන, පිරිනිවන් පෑ තැන ආදී පූජ්‍යස්ථාන හතර වැඳීමට සිතක් පහළ විය. එම නිසා කුඩානම අමතා මෙසේ කීහ. “මම බුදුරජුන්ගේ සතර මහා සිදුවීම් සිදු වූ ස්ථාන බැලීමට දඹදිව යමි. ඔබ පිණ්ඩපාත කොට මෙහි ම මා එනතුරු නවතින්න.”

එබස් ඇසූ කුඩා හිමිනම “මාගේ ජීවිතය ඇති තාක් කල් මම ඔබවහන්සේ අත් නොහරිමි.” යි කී බැවින් තෙරුන් වහන්සේ කුඩා සාමණේරනම ද කැඳවාගෙන දඹදිව සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පිටත් වූහ. එසේ පිටත් වූයේ තවලම් කණ්ඩායමක් සමඟ ය. මෙසේ ගමන් කරද්දී වන මැද තෙරුන් වහන්සේට වාත රෝගයක් හට ගැණිනි. එය මාරාන්තික එකක් විය. එවිට තෙරුන් වහන්සේ ඉතිරි භික්ෂූන්ට කථා කොට “මම දැන් මරණයට පත් වෙමි. ඔබ හැම දෙනාම වැඩිය මැනවි. මා නිසා ඔබගේ ගමනට කරදරයක් වනවාට මා කැමති නැත.” යැයි කීහ.

සියලු භික්ෂූන් එය අසා ඉදිරියට වැඩිය නමුත් සාමණේර හිමියෝ ඔවුන් සමඟ නොගියහ. එසේ නො ගොස් “ඔබ වහන්සේ ජීවත්ව සිටින තුරු මම මෙතැනින් නො යමි.” යි කීහ. පසුව තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. කුඩා හිමිනම දර එකතු කොට මිනිය දවමින් සිටින අතරේ සක්දෙව් රජුගේ ආසනය සෙලවෙන්නට විය. එවිට සක්‍ර දෙවියෝ අප්‍රකට වේශයකින් එතැනට පැමිණ සාමණේර හිමිගෙන් සියලු විස්තර අසා ඒ නම සමඟ එක් වී තෙරුන් වහන්සේගේ ශරීරය දවා ඒ කටයුතු නිම කර සාමණේර හිමි උතුරු දඹදිවට ගෙනගොස් මහා විහාරයේ මහා ඍද්ධිබල සම්පන්න තෙරනමකට භාර දී “මේ භික්ෂූන්ගෙන් ධර්මය ඉගෙනගෙන තමන්ගේ දියුණුව පාදා ගත මැනව.” යැයි කියා ගියහ.

සාමණේර හිමිනම සියලු පූජ්‍යස්ථාන වැඳ මහ තෙරුන් වහන්සේගෙන් ත්‍රිපිටකය ඉගෙනගෙන උන්වහන්සේගෙන් අවසර ගෙන ආපසු හෙළදිවට එන්නට පිටත් වූහ. මහා කොට්ටදේව නම් තැනට පැමිණෙන විට ධර්මයේ එක පදයක තේරුම අමතක විය. ඒ පිළිබඳව සැකයක් පහළ විය. හෙතෙම යළි හැරී ගොස් මැදියම් රැයෙහි වෙහෙරට පැමිණ මහ තෙරුන් වහන්සේ නිදන කාමරයේ දොරට ගැසී ය. තෙරුන් විසින් “කුමකට ආවේ ද?” යි අසන ලද්දෙන් “ස්වාමීනී, මට එක පදයක් ගැන සැකයක් ඉපදී ඇත. එම නිසා ආවෙමි.” යි කීවේ ය. “කරුණා කර එය මට විස්තර කර දෙනු මැනවි.” යි කී විට, “ඔබ විසින් සිතන ලද්දේ එහි නියම අර්ථය ම ය.” යැයි උන්වහන්සේ පිළිතුරු දිනි.

සාමණේර හිමියෝ එය අසා හෙළදිවට පැමිණ බොහෝ දහස් ගණන් භික්ෂූන්ට පාලි භාෂාව උගන්වා අර්ථ කියා දී වර්ෂයකට පමණ පසු රහත් බවට පත් වූහ. තෙරුන් වහන්සේ වස්සානයේ තෙවෙනි මාසයේ ප්‍රථම යාමයේදී පුවඟු දිවයිනෙහි ද මධ්‍යම යාමයෙහි දී මහා විහාරයෙහි ද පශ්චිම යාමයේ දී සෑගිරියෙහි ද එක් රැයක් තුළ තුන් තැනක දහම් දෙසී ය. වස් පවාරණ කරන දිනයෙහි උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක.

“බුදුරජුන් දෙසූ නවාංග ශාස්තෘ ශාසනය යම් පමණක් ද ඒ සියල්ල ම මවිසින් ප්‍රකාශ කරන ලදී. මහා ඉර්ෂීන් වහන්සේගේ ශාසනයෙහි හැම රසයක් ම මා විසින් අනුභව කෙරිණි. මම සත්කාරයට නොනැමෙන්නෙමි. මම යුගන්ධර පර්වතයට යමි.”

මෙසේ කියා තෙරුන් වහන්සේ යුගන්ධර පර්වතයට වැඩමවා පිරිනිවන් පෑ සේක.

ඊට පසුව ආචාර්යයන් වූ මහතෙරුන් වහන්සේ ද දිවැසින් බලා පවාරණය කිරීම සඳහා එහි වැඩි සේක. දේවරාජයා ද “සෝණ තෙරුන් පිරිනිවන් පෑහ” යි සිතා පූජා පවත්වන්නට එහි ගියහ.

එහිදී දිව්‍යමය පූජා ද ආර්යයන්ගේ පූජා ද පැවැත්විණ. මේ අයුරින් ආචාර්යයන් වහන්සේනමක් සත්කාර කරනු ලැබූහ.

සීහළ වත්ථු ඇසුරෙන්

සටහන: මානෙල් පොඩිමැණිකේ