සුළුගුළු උපාසක යනු සිංහල බෞද්ධයන් අතර ප්‍රසිද්ධ නමකි. එතුමා දානපතියෙකි. මහා සඟරුවනට දන් දීම පමණක් නොව ධර්ම ශාලාවක් ද සාදවා බොහෝ පින්කම් කළ තැනැත්තෙකි.

එතුමා වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ මහා මලියදේව මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් පණ තිබියදීම තව්තිසා දෙව්ලොවට යන්නට ලැබීම නිසාය.

දෙව් ලොව දී ඔහුට නානාප්‍රකාර සම්පත් ඇති බොහෝ දෙවිවරු තම දෑසින් ම දැකගත හැකි විය. එහිදී සක් දෙවිඳුන් මුණ ගැසුන මොහොතේ උපාසක තුමා ගැන ඉතා හොඳින් තමා දන්නා බව පැවසූහ. ඉන් පැහැදිලි වන්නේ මනුලොව පින්දහම් කරන අය පිළිබඳව දෙවිවරු හඳුනන බවයි. උපාසකතුමා සිළුමිණ සෑය සමීපයට පැමිණි මොහොතේ රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්ත ශෛන්ධවයන් යෙදූ දිව්‍ය රථයකින් එක් දෙවියෙක් එහි පැමිණියේය. ඔහුට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසුන සුරංගනාවෝ රන් චාමර ගෙන පවන් සලති. එසේම සැරසුන තවත් බොහෝ දෙවඟනෝ ඔහු සතුටු කිරීම පිණිස ඔහු ඉදිරියේ සුමිහිරි ගී ගයති, තූර්යවාදනය කරත, නටති. රක්තවර්ණ වස්ත්‍රාභරණයන් සැරසී රක්තවර්ණ ධජපතාක ගෙන බෙහෝ දෙවියෝ ඔහු පිරිවරා ගමන් කරති. එසේ මහා දේවානුභාවයකින් මහත් වූ ඓශ්චර්යයෙන් හැසිරෙන ඒ දෙවියා දැක උපාසක තෙමේ මෙසේ කීය.

“හිමියනි, මෙවන් සම්පත්තියක් ඇත්තෙකු මීට පෙර මා කිසි දිනක දැක නැත. මේ සම්පත් මොහුට ලැබී ඇත්තේ කුමන පිනකින් දැ”යි ඇසීය.

එවිට තෙරුන් වහන්සේ කියන්නාහු “උපාසකය, මොහු පෙර භවයේ චේතිය විහාරය සමීපයේ ගොපළු දරුවෙකි. ඔහු එක් දිනක් අනෙක් ගොපලු දරුවන් හා ගවයන් ගෙන දැදුරු ඔය වෙත ගොස් ගව සමූහයට කන්නට හැර තමන් වැලි තලාවක ක්‍රීඩා කරන්නේ, වැලි එකතු කොට සෑයක් තනා රත්මල් ඇති වනයට ඇතුළු වී බොහෝ හිරු රැස් වැළැක්වීමට අතු කඩා ආවරණය කොට නිවසට ගියේය. එදින රාත්‍රියේ හටගත්තා වූ ආබාධයකින් කළුරිය කළ ඔහු මෙහි උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තියයි.” වදාළ සේක. එය ඇසූ උපාසකතුමා මහත් සොම්නසට පත් විය.

පොතපත ඇසුරෙනි.

සටහන- මානෙල් පොඩිමැණිකේ.