නිග්‍රෝධ මුව රජුගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

මෙයත් හරීම ලස්සන කතාවක්. ඒ කාලේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනේ. කුමාර කස්සප තෙරුන් වහන්සේ ගේ මෑණියන් නිසයි මේ ජාතක දේශනාව වදාළේ. ඒ මෙහෙමයි.

කුමාර කස්සපයන් වහන්සේගේ මෑණියන් උපන්නේ රජගහ නුවර මහා ධනවත් සිටු පවුලක. ඈත් සංසාරේ ගොඩාක් පින් කළ තැනැත්තියක්. ඒ ආත්මේ පිරිනිවන් පාන්න තරම් මහා භාග්‍යය ඇතිව සිටි තැනැත්තියක්. සසරේ පුරුදු කළ ඇගේ විදර්ශනා නුවණ ගල් කුලක් ඇතුලේ දැල්වෙමින් තියෙන පහන් එළියක් වගේ තිබුනා. ගිහි ජීවිතේක කම්සැප විඳින්න ඈ පොඞ්ඩක්වත් කැමැති වුනේ නෑ. ඉතින් ඈ දෙමාපියන්ට හඬ හඬා තමන් ගේ අදහස කියා සිටියා.

“අනේ මෑණියනි, පියාණනි….. මං කියන දේත් ටිකාක් අහන්න. විවාහ ජීවිතයක් ගෙවන්න මං ආසා නෑ. මට කාමය හරි පිළිකුල්. අනේ…. මට…. මේ උතුම් බුදු සසුනේ පැවිදි වෙන්න අවසර දෙන්න.”

“ළමයෝ…. මොනවද මේ දොඩන්නෙ? මේ මහාධනයට එකම හිමිකාරි ඔයා නොවැ. මහණ වෙන්න නම් කවදාකවත් අපෙන් අවසර නෑ. ඒ නිසා ඒ අදහස අත්හැර ගනින්…. අපි ඔයාට කටයුත්තක් ලේස්ති කරලා ඉවරයි. ඔහු හොඳ වැදගත් සිටු පුත්‍රයෙක්….. ඔහු ගේ ආදර කරුණාව ලැබෙන කොට ඔය මෝඩ අදහස් නැති වෙලා යාවි…..” කියලා මේ ගෑණු ළමයාව කසාද බන්දලා දුන්නා.

ඈට සැමියාගෙන් මහත් ආදර ගෞරවයක් ලැබුනා. ඈත් ස්වාමියාට කීකරුව වාසය කළා. ඔය දවස්වල රජගහ නුවර නැකැත් උත්සවයක් තිබුනා. හැමෝම ලස්සනට සැරසුනා. වටිනා ආභරණ පැළඳගත්තා. නමුත් මේ යොවුන් බිරිඳ චාං ඇඳුමෙන් හිටියා. එතකොට සැමියා මෙහෙම ඇහැව්වා.

“සොඳුරී…. ඔයා හරී වෙනස්. හැමෝම ලස්සන ඇඳුමින් සැරසෙනවා. ආභරණ පළඳිනවා. ඔයා….. ඇයි මේ සාමාන්‍ය ඇඳුමෙන්….”

“අනේ හිමියනි…. මට නම් මේ සරීරේ සරසන්න කියලා විශේෂ වටිනාකොමක් පේන්නෙ නෑ. අනේ… මට හිතෙන්නේ කුණුප කොටස් තිස්දෙකකට අපිරැවටිලා ඉන්නවා කියලා. මේ කය රන්, රිදී, මුතු, මැණික් වලින් කරපු දෙයක් නොවෙයි. සිදුරු නවයකින් අසූචි වෑස්සෙනවා. මහපොළොව නමැති සොහොන පුරෝනවා විතරයි. මේ සරීරය නිසාම නේ හැම කරදරයක් ම. හැම දුකක් ම. හැම වැළපීමක් ම. ආශාව තියෙනකල් ම අපිට තියෙන්නේ විඳව විඳවා ඉන්න එකනෙ. ඉතින් හිමියනි, මට මේ සරීරයක් නිසා විඳින දුක හොඳට තේරෙනවා. කාමයේ නිස්සාරත්වය හොඳට තේරෙනවා. අසූචි පුරවපු කලයක් පිටතින් සරසනවා වගේ මේක මහා මායාවක්.”

“සොඳුරී… හරි පුදුමයි…. ඔයා හිතන්නේ භික්ෂුණියක් වගෙයි නොවැ. ඔයාට ඔය තරම් ම ජීවිතේ ගැන වැටහීමක් තිබුනා නම් ඇයි මේ ගිහි ජීවිතේක පැටලුනේ. අපූරුවට මහණ වෙන්න තිබුනා නොවැ.”

“ඇත්ත… මං දන්නවා…. ඇත්තෙන්ම මගේ එකම පැතුම වුනෙත් ඒකමයි….. නමුත්…. මට මගේ දෙමාපියන්ගෙන් අවසර ලැබුනේ නෑ.”

“ඒ කියන්නෙ…. ඔයාට අවසර ලැබුනොත් අද වුනත් මහණ වෙනවද?”

“අනේ හිමියනි… සත්තමයි…. ඔයා මට අවසර දෙනවා නම් අද වුනත් මං හරීම කැමැතියි මේ ගිහි ජීවිතෙන් නිදහස් වෙන්න.”

එතකොට සිටුපුත්‍රයාට ඈ ගැන ගොඩාක් අනුකම්පා හිතුනා. කාමයට ආසා නැති, විමුක්තිය පතන අහිංසකාවියක් ගිහි ජීවිතේක සිරකරන එක බරපතල වරදක් කියලා ඔහුට සිතුනා. ඉතින් ඔහු ඈව භාරදෙන්න භික්ෂුණී ආරාමයක් සෙව්වා. ආරාමයක් ගැන තොරතුරු ලැබුනා. හැබැයි ඒක දේවදත්ත යටතේ තියෙන භික්ෂුණී ආරාමයක්. ඔහුට මේ ගැන එතරම් වැටහීමක් තිබුනේ නෑ. ඔහු මහා දානයක් සංවිධානය කළා. මහා පෙරහරින් තම බිරිඳ භික්ෂුණීන්ට භාරදුන්නා. ඈ ඉතා සතුටින් පැවිදි වුනා. ඒ වෙද්දි තම සැමියා නිසා ඇගේ කුසේ දරුගැබක් පිළිසිඳගෙන තිබුනා. නමුත් ඒ බව ඈ දැන සිටියේ නෑ.

ටික කලක් යද්දි ඒ භික්ෂුණියගේ කුස ටික ටික ඉදිරියට නෙරා එන්න පටන්ගත්තා. වැඩිමහල් භික්ෂුණීන් ප්‍රශ්න කළා.

“ආර්යාවෙනි… මොකද ඔය? ගර්භනී තැනැත්තියකගේ වගේ කුස ඉදිරියට නෙරා එනවා නේද?”

“අනේ ආර්යාවෙනි…. මං නම් මේ ගැන මොකෝවත් දන්නෑ. මගේ සීලය නම් ඉතාම පිරිසිදු බව පමණක් මං දන්නවා.”

එතකොට අනිත් භික්ෂුණීන් අර භික්ෂුණිය දේවදත්ත ළඟට කැඳවාගෙන ගියා.

“ආර්යයන් වහන්ස, මේ භික්ෂුණිය ගොඩාක් අමාරුවෙන් සැමියාව සතුටු කරවලා අවසරගෙන පැවිදි වුනේ. හැබැයි දැන් දරු ගැබක් තියෙන බව පේනවා. ඇගේ මේ දරුගැබ ගිහි කාලේ වුනාද පැවිදි කාලෙ වුනාද කියලා අපි කියන්ට දන්නෙ නෑ. අපි දැන් මොකක්ද කරන්නේ?”

“හාපෝ…. මේක මහා විනාසයක්! මහා නැස්පැත්තියක්…. හපොයි… අහක යන දේකට මටයි ගැරහුම් ලබන්ඩ වෙන්නේ…. හා…. වහාම මෙයාව ආරාමෙන් අයින් කරවන්න. වහාම සිවුරු හරවන්න.”

එතකොට ඒ භික්ෂුණීන් ඈව ආරාමයට රැගෙන ගියා. සිවුරු හරවන්න සූදානම් වුනා. ඈ හඬන්න පටන් ගත්තා. “අනේ ආර්යාවෙනි… මං මහණ වුනේ බුදුරජාණන් වහන්සේ උදෙසා. දේවදත්තයන් උදෙසා නොවෙයි. අනේ මං ඉතාම දුකසේ මේ මහණකම ලබාගත්තේ….. අනේ මාව සිවුරු හරවන්න එපා. අනේ මාව භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ජේතවනයට එක්කරගෙන යන්න” එතකොට ඒ භික්ෂුණීන් ඈවත් කැටුව යොදුන් හතළිස් පහක දුර ගෙවාගෙන සැවැත් නුවර ජේතවනයට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ බැහැදැක මේ කාරණය පැමිණිලි කළා.

මහාකාරුණිකයන් වහන්සේ ඒ භික්ෂුණිය සිල්වතියක් බව හොඳින්ම දන්නවා. ඇගේ ගිහි කාලයේ පිහිටි දරු ගැබක් බවත් දන්නවා. නමුත් සාමාන්‍ය ජනතාවගේ අදහස පරිදි මෙයට විනිශ්චයක් ලබාදිය යුතු බවට තීරණය කළා. ඒ අනුව පසේනදී කොසොල් රජු, අනේපිඬු සිටුතුමා, විශාඛා මහෝපාසිකාව ඇතුළු වැදගත් පිරිස කැඳෙව්වා. සිව්වණක් පිරිස මැද විනයධර භික්ෂූන්ගෙන් අග්‍ර උපාලි තෙරුන්ට විනිශ්චය පැවරුවා. විශාඛා මහෝපාසිකාව අමතා වදාළා.
“විශාඛා, මේ නවක භික්ෂුණිය අසවල් මාසයේ පැවිදි වී තියෙන්නේ. ඇගේ දරුගැබ පිහිටියේ පැවිද්දෙන් පසුව ද පැවිද්දෙන් පෙරදැයි දැනගන්න.”

“හොඳයි ස්වාමීනී” කියල විශාඛා මහෝපාසිකාව ඈව තිරරෙදි වලින් වටකළ තැනකට ගෙනගොස් කරුණ හොඳින් විමසුවා. ඇයට තියෙන්නේ ගිහිකාලයේ පිහිටි දරුගැබක් බව තහවුරු වුනා. එවිට විශාඛාව උපාලි තෙරුන් වෙත ගොස් එකරුණ සැළකළා. එතකොට තෙරුන් වහන්සේ සිව්වණක් පිරිස මැද ඒ භික්ෂුණිය පිරිසිදු සිල්වත් තැනැත්තියක් බවට විනිශ්චය දුන්නා. ඈ මහත් සතුටට පත්වුනා. අන්ධවනයේ පිහිටි භික්ෂුණී ආරාමයට ඇතුළු වුනා. ඈ ටික කලකින් මහානුභාව සම්පන්න පුත් රුවනක් බිහි කළා.

දවසක් පසේනදී කොසොල් රජු ඒ මෙහෙණ අසපුව ළඟින් යද්දී කිරි දරුවෙකු හඬන ශබ්දයක් ඇහුනා.

“ඇමැතිවරුනි… කිරිදරුවෙකු හඬනවා ඇහෙනවා. මෙහෙණ අසපුවේ කිරිදරුවෙක් හඬන කරුණ මොකක්ද?”

ඇමතිවරුන් මෙහෙණ අසපුවට ගියා. භික්ෂුණීන් ගෙන් එකරුණ දැනගත්තා.

“දේවයන් වහන්ස, ළඟදී සිව්වණක් පිරිස මැද පිරිසිදු බවට විනිශ්චයක් ලැබූ නවක භික්ෂුණිය පුතෙක් බිහිකරලා. ඒ සිඟිත්තා තමයි හඬන්නේ.”

“මිත්‍රවරුනි… භික්ෂුණීන්ට දරුපැටියෙක් ඇතිදැඩි කිරීම කරදරයි. අපි ඒ දරු සිඟිත්තා භාරගම්මු.”

ඉතින් රාජනියෝගයෙන් ඒ දරු සිඟිත්තා නාටක ස්ත්‍රීන් ගේ භාරයට ගැනුනා. සිඟිත්තාට නම් තබන දවසේ ‘කාශ්‍යප’ යන නම ලැබුනා. රජකුමරෙකු ලෙසින් මාළිගයේ ඇතිදැඩි වෙන නිසා ‘කුමාර කාශ්‍යප’ යන නම ලැබුනා. කුමාර කස්සප සත්හැවිරිදි වියේදී භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුනා. විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් අතර අගතනතුරු ලැබුවා. මව් භික්ෂුණියත් රහත් භික්ෂුණියක් බවට පත්වුනා. දම්සභා මණ්ඩපයේ දී භික්ෂූන් මේ ගැන කතා කළා.

“හැබෑට ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ගේ මහාකරුණාව හරි පුදුමයි. අපේ කුමාර කස්සපයන් ගේ මෑණියන් වැරදීමකින් මහණ වුනේ දෙව්දත් පිරිස ළඟ නොවැ. එදා ඇගෙන් කිසිවක් නොවිමසා එළියට බහින්න සිදුවුනා. භාග්‍යවතුන් වහන්සේ කිසිවෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි ලෙස විනයානුකූල විනිශ්චයක් දුන්නා. ඒ නිසා අම්මත් බේරුනා. සිඟිත්තත් බේරුනා.”

භාග්‍යවතුන් වහන්සේට මේ කතාව අසන්නට ලැබුනා.

“මහණෙනි, ඔය අම්මව යි පුතාව යි මං බේරගත්තේ මේ ආත්මේ විතරක් නොවෙයි. පෙර ආත්මෙකත් මං බේරාගත්තා.”

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ අතීත සිදුවීම කියාදෙන්නැයි භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කළා. ඒ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ මේ නිග්‍රෝධමිග ජාතකය වදාළා.

“මහණෙනි, ගොඩාක් ඈත කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජෙක් වාසය කළා. ඒ කාලේ මහාබෝධිසත්වයෝ මුව යෝනියේ ඉපිද සිටියා. ඒ බෝසත් මුවා මව්කුසින් නික්මෙද්දී ම රන්වන් පාටින් බැබලුනා. නිල් මැණික් වගේ ඇස් දිලිසුනා. අං තට්ටුව රිදී පාටින් දිලිසුනා. සෙමර මුවෙකු ගේ වගේ ලස්සන වලිගයකුත් තිබුනා. ලොකු අශ්ව පැටියෙක් වගේ විශාල සිරුරකුත් තිබුනා. නිග්‍රෝධ මුව රජු යන නමකුත් ලැබුනා. ඉතින් මේ බෝසත් මුවා පන්සියයක මුව පිරිසක් එක්ක මහා වනාන්තරේ වාසය කළා. ඒ මුව රංචුවට අමතරව තවත් පන්සියයක මුව රංචුවක් සිටියා. ඔවුන්ගේ නායක මුවාගේ නම සාඛ. ඒ සාඛ මුවත් රන්වන් පාටයි.

ඒ කාලේ බරණැස් රජ්ජුරුවෝ මුව දඩයමට පුරුදු වෙලා හිටියා. ඔහු මුවමස් නැතුව බත් කන්නේ නෑ. මේ දඩකෙළිය නිසා නියම්ගම් ජනපදවාසීන් ගේ එදිනෙදා වැඩකටයුතුත් කඩාකප්පල් වුනා. දිනපතා මුව දඩයමේ යන්න සිදුවුනා. එතකොට මිනිස්සු මෙහෙම කතා වුනා.

“හපොයි…. හරි වැඩක් නොවැ වුනේ. අපේ හැම කටයුත්තක් ම අත්හැරලා දඩයමේ පලයංකො…. අපි මෙහෙම කරමු. රාජ උද්‍යානේ ම මුවන් වෙනුවෙන්ම වෙනම කොරටුවක් හදමු. කැලේ ඉන්න මුවන් ඒකට ගාල් කරමු. වටේට වැට බැඳලා උන්ව කොටු කරලා රජ්ජුරුවන්ට භාර දෙමු.”

මේ අදහසට රජතුමාත් කැමැති වුනා. ඉතින් ඒ මිනිස්සු මුවන් කන්න ආසා කරන තණකොළ වර්ග රාජ උද්‍යානේ වගා කළා. දිය කඩිති තැනුවා. වටේට වැට ගැහුවා. ඊට පස්සෙ මිනිස්සු දඬු මුගුරු ආයුධ අරගෙන මුව පිරිස ගාල් කිරීමට යොදුනක් වගේ ප්‍රමාණයකට වනාන්තරේ කොටු කළා. නිග්‍රෝධ මුවරජු ප්‍රධාන මුව රංචුවත්, සාඛ මුවරජු ප්‍රධාන මුව රංචුවත් මෙයට මැදි වුනා. මුවන් කලබල වුනා. නමුත් කරන්ට දෙයක් නෑ. මුවන්ව භය කරමින් කොටු කර කර රාජ උද්‍යානයට ම ගාල් කළා. ගේට්ටුව වැහුවා. රජතුමාට දැනුම් දුන්නා.

“දේවයන් වහන්ස, දැන් ඉතින් මුව දඩයම් වෙනුවෙන් අපට හිංසා නොකළ මැනව. වනාන්තරේ සිටිය මුවන් අපි උද්‍යානයට කොටු කළා. දැන් ඉතින් ඒ මුවන් මරා භෝජන සකස් කළ මැනව.”

රජතුමා බොහෝම සතුටු වුනා. මුවන් බලන්න උද්‍යානයට ගියා. රන්වන් පාට විශාල මුවන් දෙන්නාව දැකලා ඒ දෙන්නාට විතරක් අභය දානය දුන්නා. එදා සිට රජතුමා තමන් ම ගිහින් එක මුවෙක් ව විදලා මරණවා. ඇතැම් දවස්වලට අරක්කැමියන් දඩයමට එවනවා. දුනු ඊතල දකිනකොට ම මුවන් කලබල වෙනවා. පැන යන්න දඟලනවා. එතකොට දෙතුන් දෙනාට පහර වදිනවා. තුවාල වෙනවා. ලෙඩ වෙනවා. නිකරුනේ මැරෙනවා. මුව පිරිස රැස්වෙලා බෝසත් මුවාට මෙය සැළකළා. එතකොට බෝසත් මුවා සාඛ මුවාව කැඳෙව්වා. “මිත්‍රය…. දැන් බොහෝ මුවන් මැරෙනවා. මීට පස්සේ එක එක්කෙනා පිළිවෙළින් දංගෙඩිය ළඟට ගිහින් හිස තබන්න කියමු. එක දවසකට මගේ පිරිසෙන් කෙනෙකුයි ඊළඟ දවසේ ඔබේ පිරිසෙන් කෙනෙකුයි හැටියට මාරුවෙන් මාරුවට යොමු කරමු. එතකොට මුවන් බොහෝ ගණනක් දිනපතා විනාශ වෙන එක වළක්වා ගන්ට පුළුවනි. ඔහුත් එයට කැමති වුනා. එදා සිට මුවන්ට ලොකු හානියක් වුනේ නෑ. දවසකට එකයි මැරුනේ.

ඔය අතරේ සාඛ මුවාගේ පිරිසේ සිටිය එක්තරා ගැබ්බර මුව දෙනකට වාරය පැමිණියා. ඈ ගිහින් සාඛ මුවාට මෙකරුණ සැළකළා.

“හිමියනි, මං ගැබිනියක්. දරුවා බිහිවෙනකම් මට අවස්ථාවක් දෙන්න. ඊට පස්සේ පැටියාට යි මට යි වාර දෙකකට යන්නට පුළුවනි. ඒ නිසා දැනට මගේ වාරය වෙනුවෙන් වෙන මුවෙක් දාන්න.”
“තී මේ මොනවා කියනවද? බඬේ පැටියෙක් හිටියට කමක් නෑ. තමන් ගෙ වාරේ ආවා නොවැ. තී ම පල.”

එතකොට ඈ හඬ හඬා බෝසත් මුවා ළඟට ගියා. පැමිණිලි කළා. “හොඳයි…. නුඹ දැන් දංගෙඩියට යන්න ඕන නෑ. මං වෙන කෙනෙක්ව යොදවන්නම්” කියලා අර මුව දෙන දංගෙඩියෙන් නිදහස් කළා. බෝසත් මුවා ම දංගෙඩිය ළඟට ගියා. ගිහින් බෙල්ල තියාගෙන හිටියා.

මුවා මරාගෙන යන්න ආපු තැනැත්තා එදා දැක්කේ රන්වන් පාට මුවරජු දංගෙඩියට බෙල්ල තියාගෙන ඉන්න විදිහයි. ඔහු වහා ගිහින් රජතුමාට මෙය සැළකළා. රජතුමාත් මේ මොකද කියල එතනට ඉක්මණින් ආවා.
“මා මිත්‍ර මුවරජුනි…. ඇයි මේ….? මං ඔයාව මරණයෙන් නිදහස් කරලා නොවැ තියෙන්නේ! ඇයි මෙතනට බෙල්ල තියාගෙන ඉන්නේ?”

“දේවයන් වහන්ස…. අද වාරය පැමිණිලා තියෙන්නේ ගැබ්බර මුව දෙනකට. පැටියා වදනකල් ඈට ජීවත් වෙන්න ඕනලු. ඈ වෙනුවෙන් වෙන මුවෙක් යවන්නලු. ඉතින් මට ඈ වෙනුවෙන් වෙන කෙනෙකුට මරණ දුක දෙන්න බෑ. ඒ නිසා මං ම ආවා. ඒ ගැන වෙන සැකයක් කරන්න එපා.”

“මගේ ආදර මුවරජුනේ…. මෙබඳු වූ ඉවසීමක්, මෛත්‍රියක්, දයානුකම්පාවක් මිනිසුන් අතරවත් දැක ගන්න අමාරුයි. නමුත් තිරිසන් වූ ඔබ තුළ මහා ගුණයක් තියෙනවා… මගේ රන්වන් මුවරජෝ….. නැගිටිනු මැනවි. මං දැන් ඔයාටත්, ඒ බඩදරු මුව අම්මාටත් අභය දානය දෙනවා”

“පින්වත් මහරජුනේ ඔබට දිගාසිරි වේවා!…. නමුත් දේවයන් වහන්ස, අනිත් මුව පිරිසටත් මරණභය දැනෙනවා. ඒ මුවනුත් අසරණයි. ඔවුන්ට ජීවත් වෙන්න වාසනාව නැද්ද! ඒ මුවන්ට ඔබවහන්සේගෙන් අභය දානය ලැබේවා!”
“මගේ මුවරජෝ…. දුක් වෙන්න එපා. ඔයා ගෙ ඉල්ලීම මට අහක දාන්න බෑ. ඒ සියලුම මුවන්ට මේ මොහොතේ පටන් නිදහසේ ජීවත් වෙන්ට පුළුවනි.”

“එතකොට දේවයන් වහන්ස, අනිත් සිව්පාවෝ…. ඔවුන්ට සමාවක් නැද්ද….? ඔබවහන්සේ ගේ ආදරය අනික් සිව්පාවුන්ටත් ලැබේවා!”

රජතුමා හයියෙන් හිනාවුනා. නිග්‍රෝධ මුවරජාගෙ මුහුණට තමන්ගේ මූණ ළං කළා. ආදරයෙන් වැළඳගත්තා. “හරි හරී…. ඔයා වෙනුවෙන් මං ඒ සියලු සිව්පාවුන්ටත් අභය දානය දෙනවා.”

“දේවයන් වහන්ස…. එහෙනම් මගේ මේ අදහසත් ඉෂ්ට කරලා දෙනවා ද……? මං මගේ මුව රංචුවට වගේ ම කුකුළන්, මොණරුන්, තාරාවන් වගේම සියලුම කුරුල්ලන්ටත් ආදරෙයි. මේ ජලාශවල ඉන්න මාළු, ඉබ්බෝ වගේ සතුන්ටත් මං ආදරෙයි. දේවයන් වහන්ස, ඔබවහන්සේගෙන් මට ලැබෙන ආදරය ඒ අසරණ සතුන්ටත් ලැබේවා!”

රජතුමා පුදුමයට පත්වුනා. එතෙක් තිබූ හිනාව වෙනුවට මුවරජු තුළ ඇති අසාමාන්‍ය කරුණාව වෙනුවෙන් දෑසින් කඳුලු කඩා හැලුනා. රජතුමා හඬ හඬා මෙහෙම කිව්වා.

“මගේ රත්තරන් මුව රජෝ…. මං ඔයාට වගේම අනිත් හැමෝට ම අද පටන් ආදරය කරනවා. මං ඒ හැමෝට ම අභය දානය දෙනවා. අනේ….. මගේ රන්කඳ…. මට අනුශාසනා කරන්න. මං ඔයා කියන ඕන දෙයක් කරනවා.”

“දේවයන් වහන්ස, එහෙනම්….. මව්පියන්ට, අඹුදරුවන්ට, බ්‍රාහ්මණ ගෘහපතියන්ට, නිගමජනපදවාසීන්ට ධර්මය තුළින් ම රැකවරණ සලසන්න. හැමෝට ම යහපත සලසන්න. ඔබට මරණින් මතු දෙව්ලොව යන්න ඒ පිනම ඇති.”

ඉතින් රජතුමා ඒ අවවාද හිස් මුදුනින් පිළිගත්තා. රජතුමාට හරි සතුටුයි. මුව රංචුව ටික දවසක් ඒ උයනේ වාසය කළා. රජතුමා මුව කොරටුවේ ගේට්ටු හැරියා. මුව පිරිස නිදහසේ සෙල්ලම් කරමින් මහවනයට ගියා. අර ගැබ්බර මුව දෙන ඉතාම ලස්සන මුව පැටියෙක් වැදුවා. ඒ මුව පැටියා සෙල්ලම් කරද්දි සාඛ මුවා ළඟටත් යනවා. එතකොට ඒ මුව අම්මා පැටියාට කතා කරනවා.

“පුතේ…. ඔය සාඛ මුවා ළඟට යන්න එපා. එයා ඔයාට ආදරේ නෑ. ඔයා නිග්‍රෝධ මුවරජු ළඟට යන්න. එයා නිසයි දැන් අපි ජීවත් වෙන්නේ” කියලා මේ ගාථාව කිව්වා.

“නිග්‍රෝධ මුවරජුව ඇසුරු කළ මැන මයෙ පුතේ
සාඛ මුවා වෙත යන්න එපා මයෙ පුතේ
නිග්‍රෝධ මුවරජු වෙනුවෙන්
මළත් කමක් නෑ පුතේ
සාඛ මුවා ළඟ ඔබ
ජීවත් වුනත් වැඩක් නෑ පුතේ”

මහණෙනි, ඊට පස්සේ මුව රංචුව හිතුමනාපේ හැසිරුනා. ගොයම් පැහෙන කාලෙට කුඹුරුවලටත් පනිනවා. මිනිසුන් දැක්කට භය වෙන්නෙත් නෑ. දුවන්නෙත් නෑ. අන්තිමේදී මිනිස්සු ගිහින් රජතුමාට මෙය පැමිණිලි කළා.
“මාගේ ආදර රටවැසියනි…. මං නිග්‍රෝධ මුවරජුට පොරොන්දුවක් දුන්නා. මං රාජ්‍යය අත්හැරියත් ඒ පොරොන්දුව කඩන්නෙ නෑ.”

නිග්‍රෝධ මුවරජුට මේ කරුණ අසන්න ලැබුනා. ඔහු මුව පිරිස රැස්කළා. මින් පස්සෙ කුඹුරුවලට ගොයම් කන්නට යෑම තහනම් කළා. මිනිස්සුන්ටත් දැනුම් දුන්නා. මිනිසුන්ට තම තමන්ගේ කුඹුරුවල ආරක්ෂාවට රිටක් සිටුවා කොළඅතුවලින් සඤ්ඤාවක් කරන්නට කියල දැනුම් දුන්නා. මිනිස්සුත් ගොයම් පැහීගෙන එද්දි රිටි සිටුවා කොළඅතුවලින් සඤ්ඤාවල් දුන්නා. එතැන් පටන් කිසි කුඹුරකට මුවන් ගෙන් පාඩුවක් වුනේ නෑ. හැමෝම සතුටින් කල් ගෙව්වා.

ඉතින් මහණෙනි, අදත් ඒ භික්ෂුණියට ත් කුමාරකස්සපට ත් මමයි පිහිට වුනේ. එදාත් මම යි පිහිට වුනේ. එදා සාඛ මුවා වුනේ දේවදත්ත. ඔහු ගේ පිරිස වුනේ දේවදත්ත ගේ පිරිසමයි. ගැබ්බර මුවදෙන වුනේ අර භික්ෂුණිය. මුව පැටියා කුමාරකස්සප. රජතුමා වුනේ අපේ ආනන්දයන්. නිග්‍රෝධ මුවරජු වුනේ මං නොවැ.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදියේ පවා ජීවිතය ගත කළ ආකාරය හරිම පුදුමයි නේද? එතරම් බුද්ධිමත් කමක්, දයානුකම්පාවක්, ආනුභාවයක් අද මිනිස්සුන්ට නෑ නොවැ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.