ලක්ඛණ නම් මුවාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

අපි මේ යන්නේ හරීම භයානක සසර ගමනක. අප නොදැනීම නොයෙක් විපත්ති, කරදර, ආන්තරා වලට බඳුන් වෙනවා. අනුන්ගේ ගැටවලටත් නොදැනීම හසුවෙනවා. සත්පුරුෂයෝ කියලා හිතාගෙන අසත්පුරුෂයන්ට හසුවෙනවා. තමාත් දන්නෙම නැතුව අනුන් විසින් මෙහෙයවන බළල් අත් බවට පත්වෙනවා. එබඳු දෙයක් වුනොත් සෑහෙන්න පව් රැස්වෙනවා. කරදරේ වැටෙනවා. එබඳු වූ මහා විපතකට ලක්වෙන්න ගිය පිරිසක් බේරාගත් ප්‍රවෘත්තියකුයි මේ කථාවට පසුබිම් වුනේ. ඒ කථාව සිදුවුනේ මෙහෙමයි.

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පහළවීම නිසා ගොඩාක්ම වාසනාව උදාවුනේ ශාක්‍ය වංශයටයි. ගොඩාක් ප්‍රසිද්ධ ශාක්‍ය කුමාරවරු භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වෙන්න පටන් ගත්තා. එතකොට මහානාම ශාක්‍යයා හෝ අනුරුද්ධ ශාක්‍යයා යන දෙන්නාගෙන් කවුරුහරි පැවිදි වෙන්න ඕනා කියලා කතාවුනා. අන්තිමේදී අනුරුද්ධ කුමාරයා පැවිදි වෙන්න තීරණය කළා. අම්මාගෙන් අවසර ඉල්ලද්දී අනුරුද්ධ කුමාරයාට මෙහෙම කිව්වා.

“පුතණ්ඩ, ඔයා මොකොද මහණ වෙන්නේ? එතකොට භද්දිය….! එයා ශාක්‍ය රාජ්‍යයේ රජකම් කරනවා. එයාට මහණ වෙන්ට කිසිම අදහසක් නැහැ… එහෙම නොවෙයි… භද්දිය ශාක්‍ය රජු පැවිදි වුනොත් මං ඔයාටත් පැවිදි වෙන්න අවසර දෙන්නම්.”

එතකොට අනුරුද්ධ කුමරා භද්දිය ශාක්‍ය රජු හමුවෙන්ට ගියා. ගිහින් මෙහෙම කිව්වා. “අනේ… මගේ මිත්‍රය…. මට උදව් කරන්න. මගේ මහණකම තියෙන්නේ ඔබේ අතේ !”

“එහෙමනම් මිත්‍රය…. ඔයාගේ පැවිද්ද මගේ අතේ තිබ්බත් නැතත්, ඔබ මාත් එක්කම ගොහින් සුවසේ පැවිදි වෙන්න.”

ඉතින් භද්දිය ශාක්‍ය රජුත්, අනුරුද්ධ කුමාරයාත්, ආනන්ද කුමාරයාත්, භගු කුමාරයාත්, කිම්බිල කුමාරයාත්, දේවදත්තත් කියන මේ ශාක්‍යවරු සය දෙනාත් උපාලි නමැති කරණවෑමියා (බාබර්) ත් සමග ගිහින් පැවිදි වුනා.

භද්දිය තෙරණුවෝත්, භගු තෙරණුවෝත්, කිම්බිල තෙරණුවෝත් රහත් ඵලයට පත්වුනා. අනුරුද්ධ තෙරණුවෝ දිවැස්ලාභීන්ගෙන් අග්‍ර වුනා. ආනන්දයන් වහන්සේ සෝවාන් ඵලයට පත්වුනා. දේවදත්ත ධ්‍යානලාභියෙක් වෙලා ඉර්ධිබල උපදවා ගත්තා. මේ සිද්ධිය වුනේ අපේ භාග්‍යවතුන් වහන්සේ මල්ලවරුන්ගේ අනුපිය නම් නියම්ගමෙහි වැඩවසද්දී. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වැඩියා. පිළිවෙළින් කොසඹෑ නුවරට වැඩියා. ඝෝෂිතාරාමයේ වැඩසිටියා. දේවදත්තත් ඒ චාරිකාවට සම්බන්ධ වුනා. ඔහුත් ඝෝෂිතාරාමයේ වාසය කළා. දවසක් දේවදත්ත මෙහෙම හිතුවා.

“හරි… මාත් දැන් කැපී පෙනෙන චරිතයක් ඇතිකරගන්න ඕනා. මාත් ඒකපුද්ගල රංගනයක යෙදෙන්නට ඕනා. තනි චරිතයක් ලෙස ප්‍රසිද්ධියක් ඇතිකරගන්නට ඕනා. එතකොට බොහෝ දෙනෙක් මට පැහැදේවි. බොහෝ ලාභසත්කාර උපදීවි. හැබෑට මං මේ වැඬේට ඉස්සෙල්ලාම පහදවා ගන්නේ කාවද….? හරි…. අජාසත් තමයි ඔටුන්න හිමි කුමාරයා. ඔහු තාම තරුණයි. අනාගතේ රජා නොවැ. අජාසත්ව පහදවා ගත්තොත් වැඬේ හරි තමයි!” කියලා සිතුවා.

ඉතින් දේවදත්ත ඝෝෂිතාරාමයේ ඉඳලා සැලැස්ම ගහගෙන රජගහ නුවරට පිටත් වුනා. ඉර්ධිබලය යොදාගෙන අපූරු වැඩක් කළා. ලස්සන පොඩි කුමාරයෙකුගේ වේශයක් මවාගත්තා. හිස වටා, ඉන වටා, අත් වටා සර්පයන් වෙලාගෙන ඉන්න විදිහට මවාගත්තා. ඒ වෙලාවේ අජාසත් කුමාරයා තනියම වාඩිවෙලා හිටියේ. එක්වරම ඔහුගේ ඔඩොක්කුවේ මොහු පහළ වුනා. අජාසත් හොඳටම භය වුනා. ඇස් ලොකු වුනා. කෑගහගෙන උඩ පැන්නා. එතකොට දේවදත්ත මෙහෙම ඇහැව්වා.

“හහ්… හා…. කුමාරය…. ඔබ මට භයයි වගේ….!”

“අ… අනේ… ඇත්තෙන් ම… මං තමුන්නාන්සේට භයයි…. හැබෑට ම තමුන්නාන්සේ කවුද?” කියලා බියෙන් වැඳගෙන ඇහැව්වා.

“කුමාරය…. මං දේවදත්ත.”

“අනේ…. ස්වාමීනී…. තමුන්නාන්සේ අපේ ආර්ය වූ දේවදත්තයාණෝ නම්, තමන්වහන්සේගේ ප්‍රකෘති වේශයෙන් පෙනී සිටින සේක්වා!”

එතකොට අර ළමයා නොපෙනී ගියා. ඉතා යහපත් ලෙස සිවුරු පොරවාගෙන පාත්‍රය, දෙපට සිවුර ඇතිව දේවදත්තයා ශාන්ත ඉරියව්වෙන් පෙනී සිටියා. අජාසත් කුමාරයා එතනම දිගාවෙලා වැඳ වැටුනා. දේවදත්තගේ දෙපා වැළඳගෙන සිඹින්න පටන් ගත්තා.

දැන් වැඬේ හරි. අජාසත් කුමාරයා හොඳටම පැහැදුනා. අජාසත් කුමාරයා සේනාව පිරිවරාගෙන බත් හැලි පන්සීයක දානෙ රැගෙන දෙව්දතුන්ට උපස්ථානයට යනවා.

එතකොට දෙව්දත්ට මෙහෙම හිතුනා. හරි දැන්…. මං තමයි සංඝයාව පාලනය කරන්ට සුදුසු. මං සංඝරාජ වෙන්ට ඕනා” කියලා.

පින්වතුනේ, පින්වත් දරුවනේ,  කුසලය කියන්නේ හරීම අසිරිමත් දෙයක්. කුසලය කවරදාකවත් අකුසලය සමඟ එකතු වෙන්නෙ නෑ. ආලෝකය කවරදාකවත් අඳුර සමග එකතු වෙන්නේ නෑ වගේ. අන්න ඒ වගේ දේවදත්ත සංඝයාගේ පාලනය තමන්ගේ අතට ගෙන සංඝරාජ වෙන්ට හිතුවා විතරයි, අකුසල් සිත පහළ වූ සැණින් ම ඔහුගේ ධ්‍යානය නැතිවුනා. ඉර්ධිබල නැතිවෙලා ගියා.

ඒ කාලේ අපගේ මහාමොග්ගල්ලානයන් වහන්සේගේ උපස්ථායකයෙකුව සිටි කෝලිය රාජපුත්‍ර කකුධ උපාසක මිය ගිහින් හිටියේ. මනෝමය සිරුරක් ඇතිව දෙව්ලොව ඉපිද සිටි ඔහු දෙව්දත්ට වෙච්ච දේ දැක්කා. දැකලා මහා මොග්ගල්ලානයන් වහන්සේ ඉදිරියේ පෙනී සිට මේ ප්‍රවෘත්තිය සැළකළා.

මහාමොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩියා. වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට කකුධ දිව්‍ය පුත්‍රයා විසින් තමන්ට පැවසූ කරුණ සැළකළා.

“මොග්ගල්ලානයෙනි, ඔය කකුධ දිව්‍ය පුත්‍රයා දේවදත්ත ගැන පැවසූ දේ ඇත්තක් ම ද කියලා ඔබ දේවදත්තගේ සිත ගැන තම සිතිනුත් විමසා බැලුවාද?”

“එහෙමයි ස්වාමීනී, කකුධ දිව්‍ය පුත්‍රයා කියූ දෙය ඇත්තක් ම යි. මං දේවදත්ත ගේ සිත මගේ සිතින් පිරිසිඳ දැනගත්තා.”

“මොග්ගල්ලානයෙනි…. ඔය කාරණය කාටවත් නොකියා ඉන්න. එහෙම වුනොත් ඔය හිස් පුරුෂයා තමන් එහෙම දෙයක් සීනෙකින්වත් සිතුවේ නෑ කියලා ඔබට පෙරලා පහර දේවි. ඔබ නිහඬව ඉන්න. ඔය හිස් පුරුෂයා තමන්ම හෙළිදරව් කරගනීවි.”

එතකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ සංඝයා පිරිවරාගෙන නැවතත් චාරිකාවේ වැඩියා. පිළිවෙළින් චාරිකාවේ වැඩමකොට රජගහනුවරටත් වැඩියා. රජගහනුවර වේළුවනයේ වැඩසිටියා.

දවසක් භාග්‍යවතුන් වහන්සේ බිම්සර රජු සහිත මහා පිරිසක් මැද වේළුවනයේ දහම් දෙසමින් වැඩසිටියා. එදා දේවදත්තත් බණ අහන විදිහට සංඝයා මැද වාඩිවෙලා සිටියා. එක්වරම පිරිස මැදින් නැගිට්ටා. මහා ගරුසරු බවක් පෙන්නලා වැඳගත්තා. මෙහෙම කියා හිටියා.

“අනේ…. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මං හරීම සංවේගයෙන් ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ සංඝයා පරිහරණය කරන්ට ගොහින් හරීයට වෙහෙසෙනවා. අනික භාග්‍යවතුන් වහන්සේ දැන් සෑහෙන්න දුර්වලයි. මහලුයි. වයෝවෘද්ධයි. දැන් භාග්‍යවතුන් වහන්සේ මේ බාහිර වැඩ ගැන උත්සාහවත් නොවී හුදෙකලාවේ විවේක සුවයෙන් වාසය කරන්ට කාලයයි. භික්ෂු සංඝයාව මට භාරදෙන සේක්වා! මං භික්ෂු සංඝයාගේ දියුණුව පිණිස පාලනය කරන්නම්.”

“දේවදත්ත…. ඔය අදහස අත්හරින්න. සංඝයා පාලනය කිරීමේ අදහස ඔබට රුචි නොවේවා!”

භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළ විට දේවදත්ත තුන්වතාවක් ම එහෙම සංඝයාගේ පාලනය ඉල්ලා සිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා.

“දේවදත්ත, මං සාරිපුත්ත මොග්ගල්ලානයන්ටවත් සංඝයාගේ පාලනය භාරදෙන්නෙ නෑ. මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙන ඔබ වැනි කෙනෙක්ට මං සංඝයා භාරදේවිද?”

එතකොට දේවදත්ත භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. නිශ්ශබ්දව පිටත් වෙලා ගියා. මෙහෙම හිතුවා.

“හහ්… පෙනේද!…. රජුන් සහිත පිරිස මැද්දේ මං මිථ්‍යා ආජීවෙන් ජීවිකාව ගෙවනවා කිව්වා. සාරිපුත්ත, මොග්ගල්ලානයන්ව ඉහළින් තිබ්බා…. හහ්…. හොඳයිකෝ…. මං බලාගන්නම්…. කවුද දිනන්නේ බලමු” කියලා වෛරය ඇතිකරගත්තා.

පින්වතුනේ, පින්වත් දරුවනේ,

අසත්පුරුෂයෙක් වෛර බැඳගත්තාම කරන දේ ගැන භාග්‍යවතුන් වහන්සේ තරම් දන්න කෙනෙක් ලෝකයේ වෙන නෑ. දේවදත්ත කිසියම් අර්බුදයක් උපදවා විනාශයක් කරන්නට කලින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා.
“මහණෙනි, සංඝයා විසින් දේවදත්ත ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් රජගහනුවරදී කළයුතුයි. ‘කලින් දේවදත්තගේ තිබුනේ වෙනත් තත්වයක්. දැන් තිබෙන්නේ වෙනත් තත්වයක්. ඒ නිසා දැන් දේවදත්ත මොනවා කිව්වත්, කළත් එයින් බුදුරජුන් හෝ බුදුරජුන් ගේ ධර්මය හෝ ශ්‍රාවක සංඝයා හෝ නියෝජනය නොකරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුයි.”

ඊටපස්සේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ ඇමතුවා.

“එහෙමනම් සාරිපුත්තයෙනි, ඔබ රජගහනුවරට ගිහින් දේවදත්ත ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුයි.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං කලින් රජගහනුවරදී දේවදත්ත ගැන මහා ඉර්ධිමතෙක් හැටියට, මහානුභාව සම්පන්න භික්ෂුවක් හැටියට වර්ණනා කරලා තියෙනවා නොවැ. ඉතින් මං දේවදත්ත ගැන කොහොමද ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නෙ?”

“හරි සාරිපුත්ත…. එදා ඔබ කිව්වේ දේවදත්ත ගැන සැබැවින්ම තිබුන දෙයක් නේද?”

“එහෙමයි ස්වාමීනී.”

“අන්න ඒ වගේම සාරිපුත්තයෙනි, දැනුත් දේවදත්ත ගැන සැබැවින්ම තියෙන දේ ගැන කියන්න.”

ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ බොහෝ භික්ෂූන් පිරිවරා රජගහනුවරට වැඩියා. ප්‍රසිද්ධියේ දේවදත්තගේ ස්වභාවය ගැන ප්‍රකාශ කළා. එතකොට දේවදත්තට පැහැදිලා හිටපු මිනිස්සු මෙහෙම කියන්න ගත්තා.

“යසයි වැඬේ…. දේවදත්ත කොයිතරම් දක්ෂ ද…. මොනතරම් පින්වන්ත ද… ඔයතරම් ලාභසත්කාර ප්‍රශංසා ලැබෙන්නේ උන්වහන්සේ ගේ පිනට නොවැ. ඉතින් එහෙම එකේ මේ අනික් ශ්‍රමණයන් වහන්සේලා ඕකට ඉරිසියා කොරන්නේ මක්කටෙයි?”

තෙරුවන් හඳුනාගෙන අවබෝධයෙන් ම ශ්‍රද්ධාවට පත් පිරිස් මෙහෙම කිව්වා.

“හරි…. හරි…. මේකේ මොකාක් හරි බරපතල කාරණාවක් තියෙන්නම ඕනා. ඒක නිසාමයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේවදත්ත ගැන මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශක් කරවා වදාළේ. ඒ නිසා දේවදත්ත මොනවා කිව්වත්, මොනවා කෙරුවත් ඒ තුළින් අපේ භාග්‍යවතුන් වහන්සේව හෝ ධර්මය හෝ සංඝයා හෝ නියෝජනය නොවන බවට අපිත් අද පටන් සැලකිය යුතුයි.”

දෙව්දත් කලින්ම අජාසත්ව නොමග යවලයි තිබුනේ. තමන් බුදුන් මරා සංඝරාජ වන බවටත් ප්‍රතිඥා දුන්නා. නොයෙක් උපක්‍රම කරමින් අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ ජීවිතය විනාශ කරන්නට බොහෝ උත්සාහ කළා. බද්ධ වෛරයෙන් යුතුව දිගින් දිගට ම බුදුරජුන් විනාශ කරන්නට වෙහෙසෙන දේවදත්ත ගැන ජනයා තුළ අප්‍රසාදය ඇතිවුනා. ලාභ සත්කාර නැතිව ගියා. තමන්ට දානෙ ටිකක් දෙන්න කෙනෙක් නැතිව ගියා. එතකොට දේවදත්ත තමන්ගේ ශ්‍රාවක පිරිසත් සමග ගෙවල් ගානේ ගොහින් තමන්ව භාග්‍යවතුන් වහන්සේ ඉතා අසරණ බවට පත්කරවූ බව පවසමින් ඉල්ල ඉල්ලා දානෙ ගන්න පුරුදු වුනා. අන්තිමේදී දේවදත්ත සංඝභේදය කරන්නට තීරණය කළා. තමන්ට හිතවත්ව ඉන්න කෝකාලික, කටමෝරක තිස්ස, ඛණ්ඩදේවී පුත්‍ර, සමුද්‍රදත්ත යන භික්ෂූන්වත් මෙයට යොදාගත්තා. දහම නොදන්නා පොදු ජනයාවත් නවක භික්ෂූන්වත් පහදවා ගනු පිණිස ප්‍රතිපත්ති පහක් සකසා ගත්තා.

1. භික්ෂූන් දිවි තිබෙන තුරු අරණ්‍යයේ ම වාසය කළයුතුයි. ගමේ වාසයට පැමිණියොත් ඔහු වරදක් කළා වෙයි.

2. භික්ෂූන් දිවි තිබෙන තුරු පිණ්ඩපාතයෙන් ලැබෙන දානයෙන් යැපිය යුතුයි. ආරාධනාවක් පිළිගත්තොත් ඔහු වරදක් කළා වෙයි.

3. භික්ෂූන් දිවි තිබෙන තුරු පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිවුරු පෙරවිය යුතුයි. ගිහියන් පිදූ සිවුරක් පිළිගත්තොත් ඔහු වරදක් කළා වෙයි.

4. භික්ෂූන් දිවි තිබෙන තුරු රුක් සෙවනේ විසිය යුතුයි. වහළක් සෙවිලි කළ තැනකට ගොඩ වුවහොත් ඔහු වරදක් කළා වෙයි.

5. භික්ෂූන් දිවි තිබෙන තුරු මස් මාළු නොවැළඳිය යුතුයි. යමෙක් මස් මාළු වැළඳුවොත් ඔහු වරදක් කළා වෙයි.

ඉතින් දේවදත්ත මේ ප්‍රතිපත්ති පහ නිවනට ඉතා ළංව ඇති දෙයක් බවත් ඒවා භික්ෂූන් උදෙසා අනුමත කරන ලෙසත් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ඉල්ලීම පහ ම ප්‍රතික්ෂේප කළා. ඔහු හිතපු දේ හරි ගියා. දැන් දේවදත්තට හරී සතුටුයි. ඔහුත් රජගහනුවර දී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා.

“පින්වත්නි, අපි ශ්‍රමණ ගෞතමයන් මුණ ගැහෙන්න ගියා. මේ ඉතාම වටිනා අති ශ්‍රේෂ්ඨ ගුණධර්ම පස සංඝයාට පණවන්න කියලා ඉල්ලා සිටියා. බලන්න පින්වත්නි, අල්පේච්ඡ බව, වීර්යය ඇතිවෙන මේ උදාර පංච ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළා නොවැ. නමුත් මේ නිවන් මග ස්ථීරව ගමන් කිරීම අපේ අදහසයි. ඉතා අල්පේච්ඡ වූ පැරණි සසුන් වැඩපිළිවෙළ අපි නැවත ඇතිකරන්න තීරණය කළා. ඒ අනුව අධිෂ්ඨානශීලිව මේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නට අපි පෙළ ගැහෙනවා.”

මෝඩ මිනිස්සු පැහැදුනා. දෙව්දත්ට උදව් කරන්න පටන් ගත්තා. බුදු සසුන හඳුනාගෙන සිටි සැදැහැවතුන් දෙව්දත් කෙරෙහි වඩාත් කළකිරුනා. “හප්පේ… මේ පාර දේවදත්තයා සංඝභේදය කොරන්ඩ නොවැ මේ වක්‍ර ගමනින් ලේස්ති වෙන්නේ” කියලා දොස් කිව්වා.

ඔය අතරේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ මෑතක දී පැවිදි වූ නවක භික්ෂූන් පන්සිය නමක් හිටියා. ඒ නවක භික්ෂූන්ව නොමග යවන්න දෙව්දත් සමත් වුනා. ඒ පිරිසට දෙව්දත් ගේ උපකාරයෙන් සංසාරයෙන් එතෙර වෙන්න පුළුවන් බවට විශ්වාසය ඇති කෙරෙව්වා. දෙව්දත් සංඝභේදය නමැති භයානක වූ ආනන්තරිය පාපකර්මය කළා. ඒ පන්සියයක් වූ භික්ෂු පිරිස රැගෙන ගයා ශීර්ෂය කරා ගියා.

එතකොට භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත – මොග්ගල්ලාන රහතන් වහන්සේලා අමතා වදාළා.

“සාරිපුත්තයෙනි, ඒ නවක භික්ෂූන් කෙරෙහි ඔබ තුළ කරුණාව තිබිය යුතුයි නොවැ. සාරිපුත්තයෙනි, ඒ භික්ෂූන් විනාශයකට පත්වෙන්නට කලින් එහි යන්න”

ඉතින් සාරිපුත්ත – මොග්ගල්ලාන රහතන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට ගයා ශීර්ෂය බලා පිටත් වුනා. දෑගසව්වන් වහන්සේලා ගයා ශීර්ෂයට වඩින බව දුටු එක්තරා භික්ෂුවක් හඬන්න පටන් ගත්තා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව ඇමතුවා.

“ඇයි භික්ෂුව ඔබ ඔය හඬන්නේ?”

“අනේ… ස්වාමීනී…. අපගේ සාරිපුත්ත මොග්ගල්ලාන දෑගසව්වන් වහන්සේලාත් දේවදත්තගේ දහමට ආසාවෙන් ගයා ශීර්ෂයට වඩිනවා නොවැ”

“නෑ භික්ෂුව…. එය කිසිදාක සිදුවන දෙයක් නොවෙයි. ඒ දෙනම වඩින්නේ කලින් ගිය භික්ෂූන්ට සිහිය උපද්දවන්නයි.”

ඉතින් එදා දේවදත්ත මහත් පිරිස් පිරිවරාගෙන ධර්මය දේශනා කරමින් සිටියා. සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා ඈතින්ම වඩින අයුරු දැක්කා. දැකලා මෙහෙම කියනවා.

“මහණෙනි, මා විසින් මොනතරම් යහපත් ලෙස ධර්මය කියන ලද දැයි බලව්. අර ශ්‍රමණ ගෞතමයන් ගේ අග්‍රශ්‍රාවක දෙපළ මෙහි වඩින අපූරුව බලව්. මං කියන්නේ හරි දෙයක් බවට ඒ දෙනමටත් කැමැත්ත ඇති වූ සැටියෙන් පෙනෙනවා නේද!”

එදා දෙව්දත් රෑ බොහෝ වෙලා දහම් දෙසුවා. අකුසල් දුරුකිරීමේ කුසල් වැඩීමේ අවංක අදහසින් අසත්පුරුෂයෙකුගේ බණ අසමින් ඒ භික්ෂූන් ද ඒ රාත්‍රිියෙහි දෙව්දත් බණ අසාගෙන සිටියා. ඊට පස්සේ දේවදත්තයා අපගේ සාරිපුත්තයන් වහන්සේ ඇමතුවා.

“එම්බා සාරිපුත්තයෙනි, දැන් මේ භික්ෂූන් බොහෝ වේලාවක් මාගේ දහම් අමාවෙන් පිනායමින් මහත් සැනසිල්ලක් ලබමින් ඉන්නේ. මාගේ පිට ස්වල්පයක් රිදෙයි. ඒ නිසා මා ස්වල්ප මොහොතක් පිට දිගහැර හාන්සි වෙන්නම්. ඔබ මේ භික්ෂූන්ට දහම පවසන්න” කියල දේවදත්තත් දකුණු ඇලයෙන් හාන්සි වුනා. මහත් වෙහෙසට පත්ව, සිහි මුළාව සිටි දේවදත්තට සැණෙකින් නින්ද ගියා.

එතකොට සාරිපුත්තයන් වහන්සේ ඉතා රමණීය ලෙස නිර්මල ශ්‍රී සද්ධර්මය වදාළා. මහා මොග්ගල්ලානයන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාර්යයන් තුළින් ධර්මයෙන් කියැවෙන අරුත් මවලා පෙන්නුවා. සත්පුරුෂයන් ගේ ධර්මයට සවන් දුන් ඒ භික්ෂූන් පන්සිය දෙනා වහන්සේ ම සෝවාන් ඵලයට පත්වුනා.

ඉතින් සාරිපුත්තයන් වහන්සේ මෙසේ වදාළා.

“ඇවැත්නි, අපි දැන් භාග්‍යවතුන් වහන්සේ වෙත වඩිනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට කැමැති අයට අපත් සමඟ එන්න පුළුවනි.”

ඉතින් ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලාත් අපගේ දෑගසව්වන් වහන්සේලා සමග වේළුවනයට පිටත් වුනා. සාරිපුත්තයන් වහන්සේ ඒ පන්සියයක් භික්ෂූන් රැගෙන වැඩමවීම ගැන අනිත් භික්ෂූන් මහත් සතුටට පත්වුනා. අස්වැසිලි ලැබුවා. බුදුරජාණන් වහන්සේටත් මේ ගැන මහත් පැහැදීමෙන් කතා කළා.

“ස්වාමීනී….. අපගේ ධර්මසේනාධිපතීන් වහන්සේ ඒ පන්සියයක් භික්ෂූන් සමග වඩිද්දී හරිම ලස්සනයි නොවැ. හරීම සෝභමානයි… දේවදත්ත තවත් පිරිහිලා ගියා.”

“මහණෙනි…. නෑ පිරිවර ඇතිව සාරිපුත්තයන් පෙර ආත්මයකත් බැබලුනා. දේවදත්ත ඒ ආත්මෙත් පිරිහිලා ගියා.”

එතකොට අතීතයේ සැඟවී ගිය ඒ සිදුවීම කියාදෙන්නැයි භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලක්ඛණමිග ජාතකය වදාළා.

“මහණෙනි, ඉතා ඉස්සර කාලෙක රජගහනුවර මගධ රාජ්‍යයේ එක්තරා රජෙක් වාසය කළා. ඒ කාලයේ බෝධිසත්වයෝ මුව යෝනියෙහි ඉපදිලා සිටියේ. දහසක් මුවන් පිරිවරාගෙන මහා වනාන්තරේ වාසය කළා. ඉතින් ඔය මුව රජ්ජුරුවන්ට ‘ලක්ඛණ’ නමිනුයි ‘කාල’ නමිනුයි පුතුන් දෙදෙනෙක් සිටියා. මේ බෝසත් මුවා වයස්ගත වෙද්දි තමන්ගේ පුත්‍ර මුවන් දෙන්නාට කතා කළා.

“දරුවෙනි, මං දැන් මහලුයි. මේ මුව පිරිස පරිහරණය නුඹලාට භාරයි” කියල පන්සියය බැගින් දෙකොටසකට බෙදලා පුත්‍ර මුවන් දෙන්නාට භාර දුන්නා. එදා පටන් ඒ දෙන්නා මුව පිරිස හික්මවන්න පටන් ගත්තා.

ඒ දවස්වල මගධ රටෙහි ගොයම් පැහුනු කාලෙට කුඹුරු රකින්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනා. වනාන්තරේ ඉඳන් එන මුවන්ගෙන් කුඹුරට කරදරයි. එතකොට ගොයම් කන්ට එන මුවන්ව මරාදමන්න තැන් තැන්වල උගුල් අටවලා තිබ්බා. වළවල් කැණලා තිබ්බා. ඒ වළවල් ඇතුලේ තියුණු උල් සිටවලා තිබ්බා. මුවන්ව විනාශ කරන්න නොයේක් විදිහේ කූට උපායයන් යොදවලා තිබ්බා.

කුඹුරු රකින කාලෙට මුවන්ට සිදුවෙන විපත් ගැන දන්න බෝධිසත්වයෝ තම පුත්‍ර මුවන් දෙන්නා කැඳවලා මෙහෙම කිව්වා. “දරුවෙනි, දන්නවා නොවැ. මේ කුඹුරු රකින කාලේ. මේ කාලෙ අපේ මුවෝ හරියට මැරෙනවා. අපි දැන් මහළුයි. මොකාක් හරි උපායකින් මහළු මම පරෙස්සම් වෙන්නම්. නුඹලා ඔය මුව පිරිසත් එක්ක වනාන්තරේට පලයං. කඳු වලල්ල අස්සේ ජීවත් වෙලා කුඹුරු කැපුනාට පස්සේ ආපහු වරෙන්.”

එතකොට ඒ මුවෝ දෙන්නා පිය මුවා ගේ වචනය අහලා පිරිසත් සමග පිටත් වුනා. මුවන් ගේ ගමන් මාර්ගය ගැන මිනිස්සු හොඳට දන්නවා. මේ කාලෙ මුවන් කන්ද නගිනවා. මේ කාලෙට වනාන්තරෙන් ගමට වදිනවා කියල හොඳට දන්නවා. ඉතින් ඒ මිනිස්සු තැන් තැන්වල සැඟවිලා හිටියා. බොහෝ මුවන්ව මරාගත්තා.

කාල නමින් හිටිය මුවාට මේ ගැන වැටහීමක් තිබුනෙ නෑ. ඒ මුවා උදේත්, සවසත්, ගොම්මන් වෙලාවටත්, අලුයමත් ගමේ පාරෙන් යනවා. මිනිස්සු ඒ වෙලාවට කොහොමත් සැඟවිලා ඉන්නෙ. ඉතින් ඒ මුවාගේ මෝඩකම නිසා ගොඩාක් මුවන් මරණයට ලක්වුනා. වනාන්තරේට යාගන්න පුළුවන් වුනේ ටික දෙනාටයි.

ලක්ඛණ මුවා එහෙම නොවෙයි. ඒ මුවා දක්ෂයි. හොඳට කරුණු වැටහෙනවා. තැනට සුදුසු නුවණ තියෙනවා. යා යුතු නොයා යුතු වෙලාව හොඳට වැටහෙනවා. ඒ නිසා ඒ ලක්ඛණ මුවා ගමේ පාරෙන් යන්නෙම නෑ. දහවල් යන්නෙත් නෑ. ගොම්මන් වෙලාවේ අඩ අඳුරේ යන්නෙත් නෑ. අළුයම යන්නෙත් නෑ. මධ්‍යම රාත්‍රියටයි යන්නේ. නිවැරදි වෙලාවට ගිය නිසා එක මුවෙකුටවත් විපතක් නොවී එකටම යන්න පුළුවන් වුනා. කරදර කාලෙ අවසන් වුනාම ඒ පන්සියයක් මුවරැළ සමඟ ආයෙමත් තම දෙමාපියන් ළඟට එන්ට පුළුවන් වුනා. කාල මුවා සියලු මුවරැළ විනාස කරගෙන තනියම ආවා. මෙය දුටු බෝසත් මුවා මෙහෙම කිව්වා.

“නිවැරදි ලෙස තේරුම් ගෙන කටයුතු කළ හැකි කෙනා
ලක්ඛණ මුව පුතු එන ලෙස නෑ පිරිවර සමගිනා
හොඳින් බලා සිතට ගනිව් කළ යුතු දෙය දැනගෙනා
බලව් කාල මුව එන හැටි නෑ පිරිවර වැනසුනා”

“මහණෙනි, අපේ සාරිපුත්තයන් දැනුත් නෑදෑ පිරිවර ධර්මයෙහි යොදවලා බුදු සසුන ශෝභමාන කරනවා. කලින් ආත්මයේත් මුව පිරිවරට යහපත සදලා මුවරැළ ශෝභමාන කළා. දේවදත්ත මේ ආත්මේත් පිරිවරින් පිරිහිලා ගියා. එදාත් පිරිහිලා ගියා. එදා කාල මුවා වෙලා හිටියේ දේවදත්ත. වැනසුනෙත් දේවදත්තගේ පිරිස ම යි. ලක්ඛණ මුවා වෙලා හිටියේ අපේ සාරිපුත්තයන්. ඔහුගේ පිරිස වුනේ බුදු පිරිස ම යි. මව් මුවදෙන වෙලා හිටියේ රාහුලමාතාවෝ. පිය මුවරජු වෙලා හිටියේ මං නොවැ”

පින්වතුනේ, පින්වත් දරුවනේ,
මේ සසරේ ස්වභාවය නම් සිතාගන්නට නොහැකි තරම් පුදුම සහගතයි. එකම දේ වෙනත් වෙනත් ක්‍රම වලින් නැවත නැවතත් වෙනවා. ඒ නිසා අපි තමාටත් අනුන්ටත් යහපත, හිත සුව පිණිස හේතුවන දේ පමණක් කරන්නට පුරුදු වෙමු.