highlights of the week
Home » නුවණ වැඩෙන බෝසත් කථා » 01. අපණ්ණක ජාතකය

01. අපණ්ණක ජාතකය

නිදොස් මාර්ගය ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබ අනේපිඬු මහාසිටාණන් ගැන දන්නවා ඇති. ඔහු ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක්. සෝවාන් ඵලයට පත්ව සිටි මහා සැදැහැවතෙක්. ඔහු සැවැත් නුවර ජේත කුමාරයා සතුව තිබුනු ඉතාම ලස්සන උද්‍යානයක් කහවණු අතුරලා මිලට ගත්තා. කුටි සෙනසුන්, පැන් පොකුණු, සක්මළු, ගිනිහල් ගෙවල්, දම්සභා මණ්ඩප, සුගන්ධ කුටි ආදියෙන් සම්පූර්ණ කරවලා ‘ජේතවනය’ නමින් භාග්‍යවතුන් වහන්සේට මහා ආරාම පූජාවක් කළා.

මේ අනේපිඬු මහා සිටුවරයාට යහළුවන් ගොඩාක් ඉන්නවා. ඔවුනුත් නොයෙක් ව්‍යාපාර කරන අය. හැබැයි ඔවුන් තෙරුවන් සරණ ගිය උපාසකවරු නොවෙයි. අන්‍ය තීර්ථක ශ්‍රාවකයන්. දවසක් අනේපිඬු මහසිටාණන් ඔවුන්ට කතා කළා.
“යහළුවනේ…. මෙවර නම් මගේ ඉල්ලීම ඉටුකරන්න ඕන. අපි භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න යමු. මං ඔයාල ඔක්කොම වෙනුවෙන් මල්, සුවඳ, සිවුරු පිරිකර සූදානම් කරල තියෙන්නෙ.”

ඉතින් ඒ පන්සියයක් වූ යහළුවන් පිරිවරා ගත් අනේපිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. පුද පූජා පැවැත්තුවා. භික්ෂු සංඝයාටත් පුද පූජා පැවැත්තුවා. ඔවුන්ටත් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසන්ට ලැබුනා. ගැඹුරට තේරුනේ නැතත් සිත පැහැදුනා. අන්‍යතීර්ථක සරණ අත්හැරියා. බුදුන් සරණ ගියා. ඔවුන් එදා පටන් අනේපිඬු සිටුතුමා සමඟ නිතර දෙව්රමට යනවා. බණත් අහනවා. දානයත් දෙනවා. සිලුත් සමාදන් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් නික්මිලා චාරිකාවේ වැඩියා. රජගහනුවරට වැඩියා. එතකොට අනේපිඬු සිටුතුමාගේ ව්‍යාපාරික යාළුවෝ එක්කෙනා දෙන්නා දෙව්රමට එන එක අඩු කළා. ටික දවසක් යද්දී හැමෝම පරණ තැනමයි. ආයෙමත් පරණ තීර්ථක ආරාමයට ගියා. අන්‍යතීර්ථකයන් සරණ ගියා. තිසරණ බිඳගත්තා.

භාග්‍යවතුන් වහන්සේ ආයෙමත් සැවැත්නුවර වැඩියා. එතකොට අර යාළුවෝ පන්සිය දෙනා අනේපිඬු සිටුතුමා සමඟ ආයෙමත් භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න ගියා. තිසරණය සරණ ගියා. අන්‍ය තීර්ථක සරණ අත්හැරියා. එතකොට අනේපිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළා.

“අනේ… ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපේ මේ යහළුවන්ට හරි වැඩක් නොවැ වුනේ. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනකල් විතරයි උනන්දුව තිබුනේ. එතකම් විතරයි තිසරණ පිහිටා සිටියේ. එතකම් බණත් අහන්න ආවා. දානෙත් දුන්නා. සිලුත් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ වැඩිය ගමන් මෙයාලාට මොනවා උනාද මන්දා….! කවුරුවත් ආවේ නෑ. ටික දවසකින් මට දැනගන්ට ලැබුනා. උතුම් තිසරණෙත් බිඳගෙන. ආයෙමත් පරණ වලේ වැටිලා. අන්‍ය තීර්ථකයන් සරණ ගොහින්.”
එතකොට ඒ උපාසකවරු පන්සිය දෙනා මහත් ලැජ්ජාවෙන් බිම බලාගෙන සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගෙන් විමසා වදාළා.

“හැබෑද උපාසකවරුනේ…… තිසරණ බිඳ ගත්තා ද? ආයෙමත් අන්‍ය තීර්ථකයන් සරණ ගියා ද…?”

“එහෙමයි ස්වාමීනී…. අපෙන් ඒ වරද වුනා.”

“උපාසකවරුනේ…. ඔබට තථාගතයන්ව හඳුනා ගන්ට නොහැකි වීම නිසයි ඒක වුනේ. ධර්මයත් හඳුනා ගන්ට බැරි වුනා. ශ්‍රාවක සංඝයාවත් හඳුනාගන්ට බැරි වුනා. සතර අපා දුකින් මුදවන්ට මේ තිසරණයට පුළුවනි. දෙව්ලොව උපදවා මහා දෙව්සැප ලබාදෙන්ටත් පුළුවනි. සසරින් එතෙර කරවන්ටත් පුළුවනි. මෙබඳු වූ තුන් සරණ බිඳ ගැනීම ඔබට වූ විශාල පාඩුවක්. මහා බරපතල පාඩුවක්.

උපාසකවරුනේ…. ඉස්සර මිනිස්සු සරණක් නැති අමනුස්සයන් ගේ වංචනික බහට රැවටිලා වැරදි මග ගියා. මහා කාන්තාරේ අතරමං වුනා. අමනුෂ්‍යයන්ට බිලි වුනා. මහා විනාශයකට පත් වුනා. නමුත් බුද්ධිමත් මිනිස්සු ඉස්සරත් බේරුනා. ඔවුන් නිවැරදි මග ගත්තා. ඒ කාන්තාරයම සුවසේ තරණය කළා.”

එතකොට අනේපිඬු සිටුතුමා හුනස්නෙන් නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේට දොහොත් නගා වන්දනා කරගත්තා. මෙහෙම කිව්වා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපගේ යහළුවන් වූ මේ උපාසකවරුන් තිසරණය බිඳගෙන වැරදි පිළිසරණක් සෙවූ මේ කථාව නම් ප්‍රකටයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ අතීත කාලේ අමනුස්සයන්ට රැවටී විපතට පත් මිනිසුන් ගැනත්, නිදොස් මග ගමන් කොට සුවපත් වූ මිනිසුන් ගැනත් විස්තරේ අපි කාටවත් ප්‍රකට කථාවක් නොවෙයි. ස්වාමීනී…. ඒ කතාව අපට වදාරණ සේක්වා!” එතකොට භාග්‍යවතුන් වහන්සේ අතීතයෙන් වැසී ගිය ඒ අපූරු කථාව මෙසේ වදාළා.

“ගෘහපතිය… ඒක මෙහෙමයි වුනේ. ගොඩාක් ඉස්සර කාලෙක කසී රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජෙක් හිටියා. ඒ කාලෙ බෝධිසත්වයෝ උපන්නේ ගැල්වෙළඳාමේ යන පවුලක. ඉතින් බෝධිසත්වයොත් තරුණ වයසට පත් වෙලා ඒ ගැල්වෙළඳාම සරුවට කළා. ගැල් පන්සියයක් අරගෙනයි වෙළඳාම් කළේ. කලකට නැගෙනහිර පැත්තට යනවා. කලකට බටහිර කාන්තාර පැත්තට යනවා.

ඔය අතරේ බරණැස ම තවත් ගැල්වෙළඳාම් කරුවෙක් හිටියා. හැබැයි ඔහු මෝඩයි. නුවණින් වැඩ කරන්න දන්නෙ නැහැ. ඔහු තරඟයට වගෙයි වෙළඳාම් කළේ.

දවසක් බෝධිසත්වයෝ ගැල් පන්සියයක වටිනා බඩු පිරෙව්වා. බටහිර පැත්තට වෙළඳාමේ යන්ට සූදානම් වුනා. එතකොට අර මෝඩ ගැල් වෙළෙන්ඳාත් තමන්ගේ ගැල් පන්සියය සූදානම් කරගත්තා. ඔහුත් බටහිර පැත්තටයි යන්න හදන්නේ. එතකොට බෝධිසත්වයෝ මෙහෙම සිතුවා.

“දැන් මේ ගැල් වෙළෙන්ඳත් මා සමඟ ම යන්ට ආවොත් අපි දෙගොල්ලම අමාරුවේ වැටෙනවා. ගවයන්ටත් තණකොළ නැතිවෙනවා. ඒ නිසා දෙන්නා ගෙන් එක්කෙනෙක් ඉස්සෙල්ලා යන්ට ඕනා. අනිත් කෙනා පස්සෙ යන්ට ඕනා” ඉතින් බෝසත් ගැල් වෙළෙන්ඳා අර වෙළෙන්ඳාට කතා කළා.

“මේ… මිත්‍රයා… අපි දෙන්නාම එක්වරම වෙළඳාමට යන එක දෙන්නාටම කරදරයක්. ඒ නිසා අපි කවුරු හරි ඉස්සර වෙමු. දැන් එතකොට කලින්ම යන්නෙ ඔබ ද? මම ද?”

එතකොට මෝඩ ගැල්වෙළෙන්ඳා මෙහෙම සිතුවා. “මං කලින් ගියොත් වාසි ගොඩක් තියෙනවා. ගවයන්ට තණ තියෙනවා. අපට වෑංජන වලට පලාවර්ග ලැබෙනවා. ජල පහසුව ලැබෙනවා. බඩුත් විකුණගන්ට ලැබෙනවා” කියලා.

“එහෙනම් යහළුවා…. මං ඉස්සර වෙලා යන්නම්” කියලා ඔහු වේලාසනින් පිටත් වුනා.

එතකොට බෝධිසත්වයෝ මෙහෙමයි සිතුවේ. “ඒකත් හොඳා…. පස්සෙ පිටත් වෙන මගේ ගවයන්ට කලින් ගවයන් කෑ තැනින් නැගි අලුත් තණ කන්ට පුළුවනි. අලුත් පලා දළු අපට උයන්ට ගන්ටත් පුළුවනි. එයාල අලුතින් හදන ජලපහසුකම් වලින් අපට ප්‍රයෝජන ගන්ටත් පුළුවනි. ඔවුන් කලින් විකුණූ බඩු මිලට ම බඩු විකුණගන්ටත් පුළුවනි” කියලා.

ඉතින් අර මෝඩපහේ ගැල්වෙළෙන්ඳා ඉතා සතුටින් ගැල් පිරිවර ගෙන පිටත් වුනා. කාන්තාර ප්‍රදේශයටත් ආවා. ඒක නිරුදක කතරක්. පේනතෙක් මානෙ වැලි. තද අව්වට වැල්ල කැකෑරෙනවා. ගිනි රස්නෙ. දිය බිඳක් පේන තෙක් මානෙ නෑ. කෑම් බීම් කිසිවක් නෑ. ඔය නිරුදක කතරේ හරියට අමනුස්සයෝ ඉන්නවා. ඔවුන් ගැල්කරුවන්ව මුළා කරවනවා. බිලි ගන්නවා. ඒ කාන්තාරය යොදුන් හැටක් තරණය කරන්න තියෙනවා. ඔය බිහිසුනු වැලි කතරටයි දැන් ගැල් පන්සියය බැසගත්තේ.

අමනුස්සයන් මොවුන්ව දැක්කා. කාන්තාරයේ මැදට එනකල් සිටියා. ලස්සන තරුණ සුදු ගවයන් යෙදූ කරත්ත මවා ගත්තා. දිය බේරෙන මහනෙල් මල් මාලා පැළඳගත්තා. ලස්සන මිනිසුන්ගේ වෙස් ගත්තා. ඔවුන් ගේ වස්ත්‍රත් තෙතයි. කොණ්ඩෙනුත් දිය බේරෙනවා. මේ දැන් පැන් පොකුණකින් ගොඩට ආවා වගෙයි. කරත්ත රෝද වලත් මඩ තැවරිලා. ඔවුන් සිනාසෙමින් සිංදු කිය කියා නෙළුම් අල කකා ඒ කරත්ත වලින් ඉදිරියට එනවා.

ප්‍රධාන ගැල් නායකයා තමයි සියලු වගකීම් දැරිය යුත්තේ. ඉදිරියෙන් සුළඟ හමද්දී ඔහු පිරිස් පිරිවරා ගෙන දුහුවිලි වළක්වමින් ඉදිරියෙන් යනවා. පසුපසින් සුළඟ හමද්දී ඔහු පසුපසින් යනවා. එදා ඉදිරිපසින් සුළඟ හැමුවේ. ඒ නිසා ඔහු ඉදිරියෙන් ගියා.

දැන් මේ ගැල් නායකයා ඉදිරියෙන් එද්දී අමනුස්සයෙක් තමන්ගේ කරත්තේ මගින් බැහැර කොට නැවැත්තුවා.

“හා…… ඔහේලා කොයිදෑ මේ යන්නේ…..?” එතකොට ප්‍රධාන ගැල් නායකයා තමන්ගේ ගැලත් නැවැත්තුවා. අනිත් ගැල් වලට යන්න ඉඩ දීලා ඔවුන් සමග කතා කළා.

“මිත්‍රවරුනි…. අපි බරණැස ඉඳලා එන ගමන්. ඔහේලා හොඳට වතුර නාලා….. මහනෙල් මල් පැළඳගෙන…. තෙත් වස්ත්‍ර ඇතිව….. අලුත් නෙළුම් අල කකා….. කොහේ ඉඳන් ද මේ එන්නේ. ඔහේලා එන පාරේ නෙළුම් පිපුනු විලක් තියෙනවා ද?”

“මොනවා අහනවද ඕයි….. තව ටික දුරක් යද්දී ඝන නිල් වනාන්තරේ. දිය ඇලි ගලනවා. වැව් පොකුණු පිරිලා. අපි එහෙ ඉඳලා එන ගමන්. ඔහේලා යන්නේ කොයි පළාතට ද….?”

“මිත්‍රයා, අපි යන්නේ අසවල් පළාතටයි.”

“මොනවද මේ ඔය හැටි බඩු…?”

“අපි රෙදි වර්ග, වලං වර්ග, සෙල්ලම් බඩු වගේ දේවල් තමයි මේ ගෙනියන්නේ.”

“එතකොට අර පිටිපස්සෙන් මහාබරට අදින්නේ මොනවා ද?”

“ආ…. ඒ වතුර ගැල්….. කාන්තාරයේ යද්දී ජලය නැහැ නොවැ. ඒ භාජන පුරවලා තියෙන්නේ වතුර.”

“අනේ මිත්‍රයා…… මෙතෙක් දුර ඔහේලා ඔය වතුර බරක් ගෙනා එකත් හොඳා. නමුත් මෙතැනින් එහාට වතුර වැඩක් නෑ. මේ පේන්නෙ නැද්ද අපි හොඳට වතුර නාලා එන හැටි. අනේ ඕවා හලාදමන්න. ගවයන්ටත් හෑල්ලුයි. බරත් අඩුයි. ගමනත් පහසුයි. මොනවට කරදර වෙනවා ද…… කොහොමත් මේ වතාවෙ වැස්ස ගොඩාක් වැඩියි….. එහෙනම් අපි යනවෝ…..” කියලා ඒ අමනුස්ස කරත්ත ඈතට ගියා. නොපෙනී ගියා.

මෝඩ ගැල් නායකයා අමනුස්සයන්ගේ වංචාවට හසුවුනා. දිය හැලි ඔක්කොම බිම හැලුවා. හෑල්ලුවෙන් ගමන පිටත් වුනා. දිගින් දිගටම ලස්සන වනය බලාපොරොත්තු වුනා. මහනෙල් පිපුනු පැන් පොකුණු දකින්න ආසා කළා. අහෝ….. පේනතෙක් මානෙ කැකෑරෙන වැල්ල විතරයි. පිපාසයට දිය බිඳක් මිනිසුන්ටත් නෑ. ගවයන්ටත් නෑ. හවස් වෙද්දී හැමෝගේ ම උගුර කට වේලී ගියා. ගවයන් පිපාසයෙන් සෙම හලන්න පටන් ගත්තා. මිනිසුන්ට කලන්තෙ හැදුනා. කරන්ට දෙයක් නෑ. දැන් රෑ බෝ වෙන්ට පටන් ගත්තා. ගැල් පන්සියය රවුමට ගාල් කළා. ගැල් නායකයා හූල්ල හූල්ල ඉන්නවා. දුර්වල මිනිස්සු වැටුනු වැටුනු තැන නිදාගත්තා. මහරෑ අමනුස්සයන් ආවා. සියලු ගොනුන්වත් සියලු මිනිසුන්වත් මැරුවා. ඔවුන්ගේ ලේ බිව්වා. මසුත් කෑවා. ඇට විතරක් ඉතුරු කළා.

බෝධිසත්වයොත් මාසෙකට හමාරකට පස්සෙ ගැල් ගමනට පිටත් වුනා. අර කාන්තාරයටම පැමිණුනා. ඔහු තම සේවකයන් ඇමතුවා.

“මිත්‍රවරුනි…….. දැන් අපි මේ පිවිසෙන්නේ යොදුන් සැටක කාන්තාර ගමනටයි….. හොඳින් මතක තියාගන්න. මට නොකියා වතුර බිඳුවක් අහක දාන්න එපා….. මේ කාන්තාරේ විෂ පලා වර්ග තියෙනවා. විෂ ගෙඩි වර්ග තියෙනවා. මට නොකියා ඒ කිසිම දෙයක් කෑමට ගන්න එපා” කියලා.

මේ ගැල් පිරිසත් කාන්තාරයේ මැදට යනකල් අමනුස්සයන් බලා හිටියා. කලින් වගේම ලස්සන සුදු ගවයන් යෙදූ කරත්ත මවාගෙන කලින් වගේම තෙත බරිත වෙලා, මල් මාලා පැළඳගෙන, නෙළුම් අල කකා හිනැහීගෙන ආවා. කලින් වගේම බෝසතුන් සමගත් කතාවට වැටුනා. කලින් විස්තරේම කිව්වා. ඈතට ගිහින් නොපෙනී ගියා.

එතකොට ගැල් පිරිස බෝධිසත්වයන්ට මෙහෙම කිව්වා.

“ආර්ය පුත්‍රය….. දැක්ක නේ…. අර මිනිස්සු නෙළුම් අල කකා සිංදු කිය කිය ගිය හැටි….. ඉස්සරහ ඝන නිල් වනාන්තරේ ලු. ඉතින් අපි මොකට ද මේ අනවශ්‍ය වතුර බරක් අරගෙන යන්නේ. ගවයින්ටත් අමාරුයි. ඒ නිසා අපි වතුර බර හිස් කරමු. පහසුවෙන් යමුකෝ.”

එතකොට බෝධිසත්වයෝ ගැල් ගමන නැවැත්තුවා. ගැලේ සිටිය සියලු පිරිස රැස්කළා.

“මිත්‍රවරුනි…. ඔබ කවදාවත් අහලවත් තියෙනවාද මේ කාන්තාරේ වනාන්තර වැව් පොකුණු තියෙන බව….?”

“නෑ ආර්ය පුත්‍රය….. ඒ උනාට ඒ මිනිස්සු කිව්වෙ ඉස්සරහ වනාන්තරේලු. මහා වැසි වසිනවාලු.”

“හොඳයි…. එහෙම වැසි වසිනවා නම් සීතල සුළඟ කොතෙක් දුරට හමනවා ද…?”

“ආර්ය පුත්‍රය…. යොදුනක් දුරට හමනවා.”

“හොඳයි…. එහෙනම් ඔය එක්කෙනෙකුගේ වත් ඇඟට සිහිල් සුළඟ මාත්‍රයක් වත් වැදුනා ද….?” “නෑ ආර්ය පුත්‍රය.”

“හරි…. එහෙම මහවැසි වසිනවා නම් ඒ වළාකුලු කොතෙක් දුරට පේනවා ද?” ”යොදුනක් දුරට පේනවා.”

“හරි… එහෙමනම් එක්කෙනෙක් වත් වැහි වළාවක් දැක්කා ද?” “නෑ ආර්ය පුත්‍රය.”

“හරි…. විදුලි කොටද්දී කොතෙක් දුරට පේනවා ද?” “යොදුන් පහක් දුරට පේනවා” “හොඳයි…. විදුලි කොටනවා කවුරුවත් දැක්කාද?” “නෑ ආර්ය පුත්‍රය.”

“හරි….. අහස ගොරවන සද්දේ කොතෙක් දුරට ඇහෙනවා ද?” “යොදුනක් දෙකක් දුරට ඇහෙනවා.”

“හරි…. කාටවත් ඇහුනා ද?” “නෑ ආර්ය පුත්‍රය.”

“මිත්‍රවරුනි…. ඒ මිනිස්සු නොවෙයි. ඔවුන් අමනුස්සයෝ. ඔවුන් බොරු කිව්වේ. මං ඒ අමනුස්සයන් එක්ක කතා කරද්දී හොඳ කල්පනාවෙන් හිටියේ. ඔවුන් කවුරුවත් ඇසි පිය හෙළන්නේ නෑ….. ඔවුන්ගේ සෙවනැල්ලත් නෑ. ඒ කරත්තවලවත්, ගවයන්ගේ වත් හෙවනැලි නෑ. ඔවුන් මායාවක් පෙන්නුවා. වංචාවක් කළේ….. අපිව මුළා කරවලා, අපේ වතුර අපි ලවාම බිමට හලවලා, කලන්තෙ හදවලා, අපව මරා කන්නයි ඔවුන්ගේ සැලැස්ම…… මං මේ කල්පනා කරන්නේ….. මට හිතෙන හැටියට කලින් ආපු ගැල් පිරිස මේ අමනුස්සයන්ගේ ගැටේට හසුවෙන්න ඉඩ තියෙනවා. මොවුන්ගේ මායාව හඳුනාගන්න එක ලේසි නෑ….. දැන් මිත්‍රවරුනි…. හොඳට මතක තියාගන්න….. එක දිය බිංදුවක් අහක දාන්න එපා…. අපි ඉක්මන් කරලා අපේ ගමන යමු.”

බෝධිසත්වයන්ගේ ගැල් පන්සියය සවස් වෙද්දී කලින් ගැල් නැවැත්තූ තැනටම ආවා. අහෝ…. සියලු දෙනා අමනුස්සයන්ට ගොදුරු වෙලා. හැම තැන ඇටකටු විසිරිලා තියෙනවා. බෝධිසත්වයන් වේලාසනින්ම ගැල් ගාල් කෙරෙව්වා. මිනිසුන්ටත් ගවයන්ටත් ඉක්මනින් කෑම දුන්නා. මිනිසුන්ගේ මැද්දට ගොනුන්ව ගාල් කෙරෙව්වා. ගැලේ සිටිය බල නායකයන්ගේ අතට කඩු දුන්නා. රාත්‍රිය පුරා සිටගෙනම ගැල් පිරිවර මුර කළා. බෝධිසත්වයෝත් එළිවෙන කල්ම ගැල වටේ ඇවිදිමින් සිටියා. පසුවදා ගවයන්ටත් මිනිසුන්ටත් කෑම දුන්නා. තමන්ගේ දුර්වල කරත්ත අත්හැරියා. එතැන තිබුන ශක්තිමත් කරත්ත ගත්තා. තමන්ගේ ලාභ බඩු අත්හැරියා. එතැන තිබුන වටිනා බඩු පුරවා ගත්තා. කාන්තාර ගමන ඉක්මනින් අවසන් කළා. හොඳින් වෙළඳාම් කරගත්තා. නැවත සුවසේ බරණැසට ආවා.

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටු අමතා මෙසේත් වදාළා.

“ගෘහපතිය…. දැක්ක නේ…. ඉස්සර හරි දේ සිතා ගන්න බැරි අය මහා විනාසයකට පත් වුන හැටි. නිවැරදි ලෙස සිතපු අය අමනුස්ස ග්‍රහණයෙනුත් මිදුනා. තමන්ගේ ගමනත් ගියා. සුවසේ නැවතත් සිටි තැනටම ආවා.

අනුන් කියන දේ නොසොයා නොබලා ඒ විදිහටම ගත්ත අය අමනුස්සයන්ට හසුවෙනකල්ම දන්නෙ නෑ. තර්ක කර කර හිටියා. පිටතින් පේන දේ හරි කියල හිතුවා. නමුත් සත්‍ය තත්වය ඊට හාත්පසින්ම වෙනස්. බෝධිසත්වයන්ගේ බසට අවනත වූ නිසා අනික් පිරිස බේරුනා. ඒ ප්‍රතිපදාවට කියන්නේ අපණ්ණක ප්‍රතිපදාව කියල. නිදොස් ප්‍රතිපදාව කියල. නිවැරදි ක්‍රමය කියල.

තථාගතයන් දියුණු කළේ ඒ අපණ්ණක ප්‍රතිපදාවයි. ඒ තුළින් සුගතියේ උපතත් සැලසුනා. මගඵල නිවනත් සැලසුනා. වැරදි ප්‍රතිපදාවට කියන්නේ සපණ්ණක ප්‍රතිපදාව කියල. ඒ තුළින් සතර අපායයි ලාමක උපතයි විතරක් ලැබෙනවා.
ගෘහපතිය…. ඒ කාලේ අර මෝඩ ගැල් නායකයා වෙලා සිටියේ දේවදත්ත. ඔහුගේ පිරිස දැන් ඉන්න දෙව්දත්ගේ පිරිසමයි. නුවණැති ගැල් නායකයා වුනේ මමයි. ඔහුගේ පිරිස වුනේ දැන් සිටින බුදු පිරිසයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාව නිසා තිසරණය කියන්නේ නිදොස් ප්‍රතිපදාව කියල අර උපාසක වරුන්ට වැටහුනා. තිසරණයෙන් බැහැර ඇති පිහිට තියෙනවා කියන තැන් අර අමනුස්සයන් ගේ මායාව වගේ කියලත් අවබෝධ වුනා. භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් පිළිසරණ ඒ උපාසකවරුන්ට තේරුනා. ඔවුන් සියලු දෙනා සෝවාන් ඵලයට පත් වුනා. හරි දේ මුණ ගැහිලා එය අත්හැර ආයෙමත් වැරදි මගට වැටෙන අය මේ කාලෙ මොනතරම් ඉන්නවා ද.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

12. නිග්‍රෝධමිග ජාතකය

“හැබෑට ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ගේ මහාකරුණාව හරි පුදුමයි. අපේ කුමාර කස්සපයන් ගේ මෑණියන් වැරදීමකින් මහණ වුනේ දෙව්දත් පිරිස ළඟ නොවැ. එදා ඇගෙන් කිසිවක් නොවිමසා එළියට බහින්න සිදුවුනා. භාග්‍යවතුන් වහන්සේ කිසිවෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි ලෙස විනයානුකූල විනිශ්චයක් දුන්නා. ඒ නිසා අම්මත් බේරුනා. සිඟිත්තත් බේරුනා.”