ලෝ සතුනට සැප සදන්ට, සිය සැපත අතැර දමා ඔවුන්ගේ දුක් ගිනි, කඳුළැලි සෝ සුසුම් නිවා දමනු වස් අනේක වූ දුක් පීඩා විඳිමින්, කඳුළැලි සෝ සුසුම්, ලේ දහඩිය වගුරුවමින් පින් පුරන ගමනක වැඩි අප මහා බෝසතාණන් වහන්සේ සුමේධ නම් බ්‍රාහ්මණතුමා ව ඉපිද නිවන සොයා අභිනික්මන් කළ ආකාරය පසුගිය කලාපයේ දී අපට දැන ගන්නට ලැබුණි. බෝසත් දිවියක ඇති උදාරත්වය, නිකැලැල් වූ පරහිතකාමීත්වය ගැන අසා සිත් හසරේ ලොව්තුරු සුවයක් ජනිත කර ගන්නට, පහන් හැඟුමන් පුබුදුවා ගන්නට මං පෙත් පෑදුනි. බෝසත් දිවියේ අසිරිය දක්නට යළිත් සුමේධ පඬිතුමාගේ චරිතාපදානය හා එක්වෙමු.

අලුයම ලූ කෙළ පිඬක් සේ සියලු ගිහි සැප අතැර දමා අභිනික්මන් කළ බෝසතුන් හිමවතේ ධම්මික පව්වට පිවිසුනි. අප මහා බෝසතුන්ගේ පින් බලයට දෙවියන්ගේ මෙහෙයවීමෙන් එහි සිත්කළු අසපුවක් හා මනරම් කුටි සෙනසුනක් මැවිනි. පස් ආකාර වූ ‍ෙදා්ෂයෙන් මිදුනු සක්මන් මළුවක් මැවුනි. සක්මන තුළ තද බව හා විසම බව ඇතිවිට පාද රිදුම්දීම හේතුවෙන් සිත එකඟ නො වේ. මෘදු සමතලා බවකින් යුතු සක්මන පහසු බව නිසා සිත එකඟ වීමට හේතු වේ. එමෙන් ම සක්මන තුළ වෘක්‍ෂ තිබීමෙන් කය හැපී අනතුරු සිදුවීමට හේතු වේ. තව ද තෘණ ශාක වැඩී තිබීමෙන් සතුන් පෑගී මරණයට පත් වීමත්, සර්පයන් දෂ්ට කිරීමත් විය හැකියි. සක්මන වඩා කෙටි වූ විට පය පැකිලී පා ඇඟිලි තුවාල වීම සිදුවේ. එමෙන් ම වඩා විශාල වූ සක්මනෙහි සක්මන් කරන විට ඔබමොබ යාමෙන් සිතේ එකඟ බව නො ලැබේ. මෙකී fදාස්වලින් තොර වූ සක්මන් මළුවක් බෝසතුන් උදෙසා මවා තිබුණි.

අටවැදෑරුම් වූ පැවිදි සැපය ලැබිය හැකි කුටි සෙනසුනක් ද මවා තිබුණි. ධන ධාන්‍ය අයිති නැති බව පැවිදි සැපයකි. නිවැරදි ව පිඬු සිඟා යාමෙන් ආහාර සෙවීමත්, නිවුනු ආහාර වැළඳීමට හැකි වීමත් පැවිද්දන්ට ලැබෙන සැපයකි. රජවරු රට වැසියන් පෙළා කහවණු ලබා ගනිද්දී එවැනි රටවැසියන් පෙළීමේ ආශාවන් පැවිද්දන්ට නැත. එමෙන් ම පැවිද්දාට පාරිභෝග වස්තු කෙරෙහි කැමැත්තක් ද නැත. පරිභෝග කරන වස්තුව සොරුන් පැහැර ගනීදැයි බියකුත් නැත. රජ, ඇමති ආදීන් හා සම්බන්ධතාවය නැති වීම ද සැපයකි. හැම පැත්තෙන් ම බියක් නැති බව යන මේ පැවිදි සැපයන් ද ලබමින් පංච අභිඤ්ඤාවන් ආදී උතුම් මිනිස් ගුණදම් උපදවා ගැනීමට උපකාරී වන අයුරින් කුටි සෙනසුනක් ද මවා තිබුණි. මේ ආකාරයට මනරම් සක්මන් මළුවක් හා සියලු තවුස් පිරිකර සහිත වූ කුටි සෙනසුන මවා බිත්තියේ “යම් කෙනෙක් පැවිදිවෙන්න කැමැත්තේ නම් මේ තවුස් පිරිකර ගෙන පැවිදි වෙත්වා!” යි සටහන් කර තැබූ විස්කම් දෙව්පුතු එතනින් අතුරුදහන් විය.

වාසයට සුදුසු තැනක් සොයමින් පියමං කරන අප මහා බෝසතාණන් වහන්සේ මේ රමණීය අසපුව වෙත වැඩම කළ සේක. සක්මන කෙළවරට විත් බැලූ විට කිසිවෙකුගේවත් පා සටහන් පෙනෙන්නට නො තිබිණි. මෙහි නේවාසික වූ යමෙක් කුටිය තුළ සිටී නම් පිටතට පැමිණේවි යැයි අපේක්ෂාවෙන් බොහෝ වේලාවක් එළිමහනේ සිටියත් කිසිවෙකු නො පැමිණි හෙයින් බෝසතුන් කුටියට පිවිසුණි. එවිට උන්වහන්සේ දුටුවේ ඇතුළත බිත්තියේ සටහන් ව ඇති දෙයයි. ‘එසේ නම් මේවා මා හට කැප වූ පිරිකර ය. මේවා ගෙන පැවිදි වීම සුදුසු ය.’ යයි සිතා කුටියට පිවිසුනාහ. ඒ මොහොතේ බෝසතුන් නෙත ගැටුනේ තමන් හැඳ සිටි සළුවයි. සළුව දුටු බෝසත් සිත් හසරේ මෙවන් සිතුවිලි දහරා පැන නැගිනි.

‘මේ සළුව වනාහී බොහෝ ම වටිනා එකක්. ඒ නිසා පැවිද්දෙකුට එය නො ගැළපේ. මෙවැනි සළුවක් පොරවන්න වීමෙන් මෙය ඉක්මනින් කිලිටි වී යන ස්වභාවයෙන් යුක්ත නිසා නිතර සේදීමට ද සිදුවේ. කලක් යන විට දිරාපත් වීමට ද ලක්වේ. දිරන්න පටන් ගත් විට මැසීම හෝ අණ්ඩ දැමීම කළ යුතුයි. නැවත එකක් සොයා ගැනීමත් අසීරුයි. තමන්ට සකස් කර ගත නො හැකි නිසා අනුන්ගෙන් ම ලබාගත යුතුයි. පැවිද්දාට මෙවැනි සළුවක් කැප ද නො වේ. එමෙන් ම එය සොර සතුරන්ට සාධාරණ නිසා රැක ගැනීම පිණිසත් උත්සාහ කළ යුතු වේ. මෙවැනි සළුවක් සිරුරට ආභරණයක්. තව ද මෙය උරහිසින් ගෙන යෑමේ දී අධික බර උසුලාගෙන යාමට ද සිදු වේ. මෙවැනි fදාස් සහිත වූ මේ සළුව මා අතහැර දැමීම යි සුදුසු වන්නේ.’

මෙසේ සිතා පොරවා සිටි සළුව ඉවත් කොට වැහැරි සිවුර අතට ගත්හ. වැහැරි සිවුර පෙනෙද්දී බෝසතාණන් වහන්සේ දුටුවේ වැහැරි සිවුර පෙරවීමෙන් ලබන නිරාමිස සුවය යි. ‘වැහැරි සිවුර මිල අඩු ය. සුන්දර ය. පැවිද්දාට කැප ය. එය සිය අතින් වුව ද සකස් කළ හැකි ය. පරිභෝගයේ දී ඉක්මනින් කිලිටි ද නො වේ. සෝදා පිරිසිදු කිරීමට පහසු ය. පරිභෝගයේ දී දිරා ගිය ද මැසීම හෝ අණ්ඩ දැමීම කළ යුතු නැත. එමෙන් ම පහසුවෙන් නැවත සොයා ගත හැකි ය. තව ද එය තවුස් පැවිද්දාට කැප වූ සුදුසු වූ දෙයකි. එය සොර සතුරන්ට සාධාරණ නැත. එසේ ම ආභරණයක් ලෙසත් නො පෙනේ. වැහැරි සිවුර දැරීමේ දී සැහැල්ලු ය. ඇලීම් ආදිය ද හට නො ගනී. සිවුරක් කිරීම පිණිස දැහැමි ව වැහැරි ලබා ගැනීම ද පහසු ය. තව ද වැහැරි සිවුර නැසී ගිය ද ආශාවක් ඇති නො වේ.’ මෙලෙසින් මෙකී අනුසස් සලකා වටිනා සළුව අත්හැර වැහැරි සිවුර පොරවා තවුස් පිරිකරවලින් යුක්ත වූ අප මහා බෝසතුන් සක්මනෙහි ඔබ මොබ යමින් තමාගේ පැවිදි වේශය බලා සතුටට පත්වූහ. “මනාව ගිහි බන්ධන සිඳ දමා අභිනික්මන් කළෙමි” යි සතුටු වූහ. කුටියට පිවිස වේවැල්වලින් කරවා තිබු යහනේ වැතිර ආ ගමන ගැන මෙලෙසින් පුනරාවලෝකනය කරන්නට විය.

“ගිහිගෙයි ආදීනව දැක ප්‍රමාණ කළ නො හැකි ධනය හා යසස අතහැර වනයට පිවිසි මා නිවන් මඟ සෙවීම පිණිස යි මේ දිවියට පත් වුණේ. එවන් වූ මා වැන්නෙකුට ප්‍රමාදී ව වාසය කිරීම සුදුසු නො වේ. කාය චිත්ත විවේකය අතැර වාසය කළොත් කාමාදී සිතුවිලි මැස්සෝ කා දමාවී. ඒ නිසා මා දැන් ත්‍රිවිධ විවේකය පුරුදු කළ යුතුයි.”

වේවැල් යහනේ වැතිරී වටපිට බලන විට විස්කම් දෙව්පුතු මැවූ කුටිය මැනවින් දිස්වන්නට විය. ඒ දුටු බෝසතාණන් වහන්සේ මෙවැනි සිතුවිලි දැහැනක නිමග්න වූ සේක.

‘මා විසින් ගිහිගෙය බාධක වශයෙන් දැනගෙනයි එයින් නික්මුනේ. එනමුත් මේ කුටිය ඉතා හොඳින් පිරියම් කොට තිබේ. මෙහි බිත්ති ද රිදීවන් වූ සුදු පැහැයෙන් යුක්ත ය. වේවැල් ඇතිරුම ද විසිතුරු ඇතිරියක් බඳුයි. බොහෝ සැප පහසුව සහිතයි. මා ගිහි කල යම් සැපයක් වී ද එයට ද වඩා වැඩි සැපයක් මෙහි ඇතැයි හැඟේ.’

මෙලෙසින් කල්පනාබරිත වූ බෝසත් සිතට කුටි වාසයේ ආදීනවයන් පිළිබඳ සිතුවිලි ම ගලා එන්නට විය.

‘කුටියක වාසය කරන්න වීම මාගේ ගමනට බාධා සහිතයි. කුටියක විසීමට සිදු වූවොත් මහත් උත්සාහයෙන් දැව ආදී ද්‍රව්‍ය රාශියක් සෙවිය යුතු වේ. තණකොළ මැසි ආදිය වැටුනු පසු නැවත නැවත පිළිසකර කළ යුතු වේ. කුටි සෙනසුන් වැනි ප්‍රත්‍ය වැඩිමහලු පිළිවෙළින් පරිභෝග කරන බැවින් අවේලාවන්හි දී නැගිටින්නට සිදුවීමෙන් සිතේ එකඟ බව නැති වීමටත් හේතු වේ. සීත, උෂ්ණ වැළකීම නිසා සිරුර සුකුමාල වීමට ද හේතු වේ. කුටිය තුළ සිටින විට fදාස් සහිත දේ කිරීමට ද පහසු ය. වරද සැඟවිය හැකි ය. මමත්වයෙන් අල්ලා ගැනීම ද වේ. තව ද කුටි සෙනසුනක හිමි බව දෙවැන්නෙකු සමඟ විසීමකි. එමෙන් ම උකුණන්, මකුණන් සිකනළුන් ආදී සතුන්ට ද වාස භූමියකි. මෙවැනි fදාස් සහිත වූ කුටි වාසය අතැර රුක් මුල් වෙත යා නම් අගනේ ය.’
රුක් මුල්හි වාසයේ බොහෝ අනුසස් ඇත්තේ යයි දුටු බෝසතාණන් වහන්සේට ප්‍රිය වූයේ රුක් මුල වාසය කිරීමයි.

‘රුක් මුලක සුළු ඇරඹුමක් පමණයි ඇත්තේ. එනම් රුක්මුල වෙත පැමිණීම පමණකි. සම වූවත් නොසම වූවත් පරිභෝගයට නුසුදුසු නිසා පිළිසකර කිරීම අඩුයි. අනුන් විසින් නැගිටුවීමක් ද නැත. වරද සැඟවීමට ද නො හැකි ය. රුක් මුල දී එළිමහනේ දී මෙන් කය රූක්‍ෂ නො වේ. එසේ ම මමත්වයෙන් අල්ලා ගැනීමට කිසිවක් එහි නැත. ගෙවල් පිළිබඳ ඇතිවන ආශාව අත්හැර දැමිය හැක. තව ද පිළිසකර කිරීම් සඳහා පිටතට යෑමක් ද වුවමනා නැත. රුක් මුල්හි සිටින්නාට ප්‍රීතියෙන් විසිය හැක. එසේ ම ඉතා සුලබ බැවින් එක් රුක් මුලක් ගැන අපේක්‍ෂාවක් නැතිව විසිය හැකි ය.’

රුක් මුල වාසය ගැන මෙලෙසින් දුටු අප සුමේධ මහා බෝසතාණෝ විල අතැර යන හංසයෙකු පරිද්දෙන් කුටිය අතහැර දමා රුක් මුල් වාසයට නික්මුනාහ.

දෙවැනි දින හිරු උදාවීමෙන් පසු අප මහා බෝසතාණන් වහන්සේ පිඬු සිඟා යෑම පිණිස ගමට පිවිසියහ. ගම් වැසියෝ මහත් භක්තියෙන් පිණ්ඩපාතය පූජා කළහ. දන් වළඳා රුක් මුලට පැමිණි බෝසතුන් මෙසේ කල්පනා කරන්නට විය.
‘මම ආහාර ලැබීමට පැවිදි වුණා නො වෙයි. ප්‍රණීත ආහාරය මානය හා පුරුෂ මදය වඩවයි. ආහාරය මුල්කොට ඇතිවන දුක්වල ද කෙළවරක් නැත. එනිසා මම සියලු වැපිරූ ධාන්‍ය හා පැළ සිටවා ලබා ගත් ධාන්‍යවලින් සැකසූ ආහාර අතහැර ඉදී වැටුනු ඵලවැල අනුභවයෙන් ජීවත් විය යුතුයි.’

මෙසේ පවත්තඵල භෝජනයෙන් පමණක් දිවි ගෙවන්නට බෝසතාණන් වහන්සේ තීරණය කළහ.

ප්‍රණීත මධුර වූ සූප ව්‍යඤ්ජන රසමසවුළු ආහාර පාන, විසිතුරු වස්ත්‍රාභරණ ඇඳුම් ආයිත්තම්, සැප පහසු නිවාස, මන්දිර ආදී සැප සම්පත්වලට ම ගිජු වී ඒවා ම පතමින් ඒ සඳහා ම තරඟ වදින, ඒ සඳහා ම මුළු දිවිය ම කැප කරන මිනිසුන් වසන ලොවක අප මහා බෝසතාණන් වහන්සේ මේවාහි ආදීනව දැන අකලංක වූ නෙක්ඛම්මය සොයා වැඩි අපූරුව මොන තරම් අසිරිමත් ද? පාරමී දම් පුරන්ටත් පෙරාතුව, නියත විවරණ ලබන්ටත් පෙරාතුව අප මහා බෝසතාණෝ කෙලෙස් උනන තැන් හඳුනාගෙන ඒවා බැහැර කර පරම පිවිතුරු නිෂ්කාමී ජීවිතයක් ගත කිරීමට තරම් මහා නුවණක්, මහා වීර්යයක්, අත්හැරීමේ ගුණයක් ඇතිව වාසය කළ අයුරු විස්මයජනක ය. ස්වාමීනී, ඔබ වහන්සේ නම් වදනේ පරිසමාප්ත අරුතින් ම සුමේධයන් ම ය. (සුමේධ යනු මනා නුවණැත්තා යන අර්ථය යි.)

මෙපරිද්දෙන් අල්පේච්ඡ දිවියකට පිවිසුනු බෝසතුන් හිඳීම, සිටීම, සක්මන් කිරීම යන තුන් ඉරියව්වෙන් පධන් වෙර වඩමින් දිනක් තුළ දී අෂ්ට සමාපත්ති හා පංච අභිඤ්ඤා උපදවා දැහැන් සුවයෙන් කල් ගෙවීමට තරම් මහා හැකියාවකින්, දක්‍ෂතාවයකින් යුක්ත වූහ. කාලය කෙමෙන් ගෙවී යද්දී මේ මිහිතලය මත කුමක්fදා් අසිරියක පෙර නිමිති පහළ වෙමින් තිබුණි. ඒ දීපංකර බෝසතුන් තුසිත පුරෙන් නික්ම මව්කුස පිළිසිඳ ගත් අසිරියයි. මහ පොළව කම්පා කරවමින් සිදු වූ මේ අසිරිය හිමවත් පියසේ දැහැන් සුවයෙන් වැඩ සිටි සුමේධ තාපසතුමන්ට දැනුණේ නැත.

කෙමෙන් කාලය ගත වී ගොස් දීපංකර බෝසතාණන් වහන්සේගේ මව් කුසින් බිහි වීම සිදුවිය. සිඟිති බෝසත් පුතු පුන්සඳ මෝරන්නා සේ වැඩී ගොස් නිසි කල එළඹුනු විට අභිනික්මන් කොට සම්බුදු පදවිය ද ලැබූ සේක. පළමු දම්දෙසුම පවත්වමින් දම්සක කරකැවීම ද සිදුවිය. මේ සෑම විටක ම මුළු මහත් ලෝ ධාතුව ම කම්පා වූ නමුත් සමවත් සුවයෙන් වැඩ සිටි අප බෝසතාණන් වහන්සේට ඒ කිසිවක් ඇසුණේ නැත. ලෝ ධාතුව සැලෙද්දී ඒ හඬ පවා නො ඇසෙන තරමේ බලවත් චිත්ත සමාධියකුයි අප බෝසතුන්ට තිබුණේ. නියත විවරණත් නො ලබා තිබියදී ඊටත් පෙරදී පටන් බෝසතුන්ට මෙවැනි බලවත් චිත්ත සමාධියක් තිබුණේ නම් නියත විවරණ ලබා පාරමී දම් සපුරා සව් කෙලෙස් නසා සම්බුද්ධත්වයට පත් වී සකල ගුණ දහමේ පරතෙරට ගිය අපගේ භාග්‍යවතුන් වහන්සේගේ නොසැලෙන සමාධිය මොනතරම් බලවත් එකක් වන්නට ඇති ද? අපට නම් සිතින් සිතා ගතවත් නො හැකියි. ඒකාන්තයෙන් බුද්ධ විෂය නම් අචින්තනීය ම යි.

එකල දසබලධාරී දීපංකර භාග්‍යවතුන් වහන්සේ හාර ලක්‍ෂයක් රහතුන් පිරිවරා සරත් කල අහසේ දිලෙන හිරු මඬලක් පරිද්දෙන් ගම් දනව් සැරිසරා චාරිකාවේ වඩින අතරේ රම්මක නම් නුවරට වැඩම කළ සේක. රැස් වූ ජනකාය භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසා පැහැදුනු සිතින් පසුදින දානයට ආරාධනා කළහ. රම්මක නුවර මහා දනක් පිළියෙල විය. නගරය පුරා දෙව් විමනක අසිරියෙන් බබළන්නට විය. තවමත් දසබලයන් වහන්සේ වඩින මඟ සකසමින් පවතී. ඒ මොහොතේ සුමේධ තාපසතුමා අහසට නැගී වඩින අතරේ නගරය පුරා තිබෙන මේ අසිරිය දැක එතනට පැමිණ කරුණු විමසා සිටියේ ය. හාරලක්‍ෂයක් රහතුන් පිරිවරා දනට වඩින දීපංකර සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මඟ සකසන බව දැන ගත් බෝසතුන් “බුද්ධ” යන වදන සවනත වැකීමත් සමඟින් ප්‍රීතියෙන් ඉපිල ගියහ.

‘බුද්ධ යන වචනය ඇසීම පවා ලොව දුර්ලභයි. එවන් ඒ සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මේ මඟ සරසන්නේ නම් එය මා හට බොහෝ කලක් හිතසුව පිණිස වන්නේ ය’ යැයි සිතා “පින්වත මට ද මේ මඟ සරසන්නට අවසර ලැබෙන්නේ නම් මැනවි” යි පවසා සිටියහ. එහි සිටි ජනයා ‘තාපසතුමා මහා ඉර්ධිමත්. මෙතුමාට ඉර්ධි බලයෙන් වුව ද වහා මෙය කළ හැකියි.’ සිතා මඩ සහිත වූ දුෂ්කර කොටස සකසන්නට බෝසතුන් වෙත පැවරූහ. ප්‍රීතියෙන් ඔද වැඩී ගිය සිත් ඇති අප මහා සුමේධ පඬිතුමන් ‘මා හට ඉර්ධි බලයෙන් මේ මඟ පහසුවෙන් ම සැකසිය හැක්කේ ය. නමුත් එසේ කිරීම මා වැන්නෙකුට සුදුසු නො වේ. එසේ කිරීමෙන් චිත්ත ප්‍රීතිය ද ඉපදීම දුෂ්කරයි. අද මම කය වෙහෙසා දහඩිය හෙළමිනුයි සම්බුදුන් උදෙසා මඟ සැකසිය යුත්තේ’ යැයි සිතා මඟ ගොඩ කරන්න පටන් ගත්හ. තවමත් මඟ සකසා අවසන් නො වී තිබියදී දනට කල්වේලා පැමිණි බැවින් හාර ලක්ෂයක් රහතුන් පිරිවරා පුන්සඳ මඬල බබළන්නා සේ රන්වන් දේහ විලාස ඇති දීපංකර බුද්ධ වීරයන් වහන්සේ බුදු සිරියෙන් බබළමින් මඟට පිළිපන් සේක. සුමේධ තාපසයන් දීපංකර බුදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හා අසූවක් අනුව්‍යංජනයෙන් ශෝභමාන වූ බුදු සිරුර දැක නිම්හිම් නැති සතුටින් යුතු ව ‘අද භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතය පිදිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මඩ නො පාගා මගේ පිට මතින් වඩින සේක්වා!’ යි සිතා මඩ වගුරෙහි දිගා වූහ.

සුමේධ තාපසයන් මඩ වගුරෙහි වැතිරී හිඳිමින් ම දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු සිරිය බලමින් මෙසේ සිතන්නට විය. ‘ඉතින් මා හට කැමති නම් සියලු කෙලෙස් නසා අරහත්වයට පැමිණ සඟ පිරිසට නවකයෙක් වී රම්මක නගරයට පිවිසෙන්නට හැක්කේ ය. එනමුත් තනිව නිවන අවබෝධ කර සසරින් එතෙර වීමෙන් කිනම් ප්‍රයෝජන ද? සම්බුදු බවට පැමිණ දෙවියන් සහිත ලෝකයා එතෙර කරන්නෙමි. භාගවතුන් වහන්සේ උදෙසා කළ මේ දිවි පිදුමෙන් සර්වඥතා ඤාණය අවබෝධ කර ගනිමි. දහම් නැවට නැඟ සසර සැඩ පහර සිඳ දමා දෙවියන් සහිත ලෝකයා එතෙර කරන්නෙමි’ යි අදිටනින් මඩෙහි වැතිර සිටියහ.

සසරේ බිහිසුණු බව මනාව වැටහෙන තියුණු නුවණක් තිබුණු අප මහා බෝසතාණන් වහන්සේ ඒ ඝෝර සසරින් සදහට ම නිදහස් වී සදා සැපත ලබා ගන්නට තිබුණු අතිශයින් ම දුර්ලභ වූ මාහැඟි අවසරය අතැර දමා කඳුළින් දුකින් සෝ සුසුමින් පිරුණු සසරට නැවත එක්වූහ. වදනට නැංවිය නො හැකි තරමේ අනිර්වචනීය වූ අනුපමේය වූ ඒ මහා කැපකිරීම, අත්හැරීම කළේ ඔබත් මාත් ඇතුළු මේ ලෝ සතුන් සසර දුකින් එතෙර කරවීමේ පරම පිවිතුරු පාරිශුද්ධ වූ සෙනෙහබර අදහසින් ය. ලෝකානුකම්පාවෙන්, දයාවෙන්, කරුණාවෙන් තෙමී ගිය නිකැලැල් චේතනාවෙන් ය. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ලෝ සතුන්ගේ සැපය වෙනුවෙන් ඔබ වහන්සේ කළ කැපකිරීම, ඔබ වහන්සේ කළ අත්හැරීම, ඔබ වහන්සේ විඳි දුක ගැන අපි කෙසේ නම් අකුරු කරන්න ද? එය වදනින් කෙසේ නම් පවසාලන්න ද? සැබැවින් ම එයට අපි ප්‍රතිබල නො වෙමු. අපට එය කළ නො හැක්කේ ම ය. ඒ විඳි දුක ගැන මනාව දන්නෝ ඔබ වහන්සේ ම ය. එනමුදු එක් දෙයක් පමණක් වැටහේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, නෑ වෙන සරණක්. ඔබ වහන්සේ ම යි සසර කතරින් ලෝ සතුන් එතෙර කරවන මහා ගැල්කරුවාණන් වහන්සේ… එහෙයින්,

“සරණ යන්නම් සදා – උතුම් බුදු ගුණ සිත් රුවා…”

ඒ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

ඉතිරි කොටස ලබන කලාපයෙන් …..
ඇසුර : බුද්ධවංස පාලි, ජාතකට්ඨ කථා, ශ්‍රී සම්බුද්ධත්ව වන්දනා

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.