ප්‍රේත ලෝකයේ උපදින්නා වූ සත්වයින් විඳිනා දුක් බොහෝ විට අපට සිතා ගැනීමටත් අසීරු බිහිසුණු කටුක වූ විපාක යි. එතරම් ම දරුණු වූ දුක් සම්භාරයක් ප්‍රේත උපතක් ලැබූ සත්වයෙකුට තම උපතත් සමඟින් උරුම වෙයි. එවන් උපතක් ලැබූ සත්වයා කෙතරම් නම් අසරණ ද! මනුෂ්‍ය ලෝකයේදී මෙන් දඬුවමින් බේරී පැනයන්නට ද! පැනලා යන්න කියා විදිහක් නැත. අනුකම්පා කරන්න කෙනෙක් නැත. “අනේ මා බේරාගන්න…” කියා කෑගසන්නට ද! එසේ කෑ ගැසුවත් එය අසන්නට කෙනෙක් නැත. වේදනාබර මුවින් පිටවන ශබ්දය හිස් වා තලයේ පාව යනු මිසක සැනසුමක් නම් නැත. යම් තැනක සැඟවී සිටින්නට ද! එබඳු තැනකුත් නැත. කළ අකුසලය ගෙවී යනතුරු ගැලවිල්ලක් ද නැත.
කඳුළැලිවලින් තෙත් වූ දෙනෙතකි. කෘශ වී කළු පැහැ ගැන්වී ගිය බියකරු දැක්මක් ඇති සිරුර විරූපී ය. නහර වැල් ඉල්පී කිසිවෙකුගේ දැක්මට ප්‍රිය නො වන්නේ ය. ප්‍රේත ලෝකයේ ඉපදී ඇති අනෙකුත් ප්‍රේතයින්ගෙන් ද එල්ල වන්නේ හිංසා පීඩාවන් ම ය.

එහෙත් කලාතුරකින් හෝ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන පින්වන්තයෙකුගේ අනුකම්පාව නිසා දානමය පුණ්‍යකර්මයක පින් අනුමෝදනාවකින් එම දුගති ලෝකය තුළ ම දිව්‍ය සැප සම්පත් ලබන අවස්ථා ද දැකිය හැකි ය.
බොරු කීම, බොරුවට දිව්රීම, දරුවන් ගබ්සා කිරීම, දරුවන් ගබ්සා වීමට විෂ බෙහෙත් යෙදීම ආදී දරුණු පාප ක්‍රියාවන් කිරීමෙන් හා ඊට දායක වීමෙන් මතු භවයන්හි දී ලැබෙන, විඳගැනීමට අපහසු ඉතා කටුක දුක් විපාකයන් ගැන මෙම පංචපුත්‍රඛාදක ප්‍රේත වස්තුවෙන් මැනැවින් විග්‍රහ වෙයි.

ලෝකයට සැප සලසා දෙන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සමයකදී පුතුන් පස් දෙනෙකු ආහාරයට ගන්නා ප්‍රේතියක් අරබයා මෙම ප්‍රේත වස්තුව දේශනා කළ සේක.

සැවැත් නුවරට සමීප ගමක එක්තරා පුරුෂයෙකුගේ භාර්යාව දරුවන් නොමැති වඳ ස්ත්‍රියකි. එම පුරුෂයාගේ නෑයෝ භාර්යාවට දරුවන් නොමැති බැවින් වෙනත් බිරිඳක් කැඳවාගෙන එන ලෙස යෝජනා කළහ. නමුත් භාර්යාවට ඇති සෙනෙහස නිසා ඔහු මුලදී එම යෝජනාවට අකමැත්ත පල කළේ ය.

එවිට ඔහුගේ බිරිඳ එම පුවත අසා “ස්වාමීනී, මම දරුවන් නොමැති වඳ ස්ත්‍රියකි. ඔබගේ කුලය ඉදිරියට ගෙන යාම සඳහා ඔබ විසින් වෙනත් ස්ත්‍රියක් රැගෙන ආ යුතු ය.” යි පැවසුවා ය. දිගින් දිගට ම කරන ලද ඇගේ ආයාචනය පිළිගත් ස්වාමිපුරුෂයා වෙනත් ස්ත්‍රියක් නිවසට කැඳවාගෙන ආවේ ය.

ස්වල්ප කාලයකින් දෙවන බිරිඳ ගර්භණී භාවයට පත් වූවා ය. වඳ භාවයට පත් කාන්තාව ‘මැය පුතෙකු ලබා මේ ගෙදර ප්‍රධානත්වය ගන්නී ය.’ යි සිතා ඇගේ දරුගැබ විනාශ කිරීමට උපායක් සොයන්නට වූවා ය.

එක්තරා පරිබ්‍රාජිකාවකට ආහාර පාන ආදිය ලබා දී දරුගැබ විනාශ කිරීමට හැකි බෙහෙතක් ඇගෙන් ලබා එය ගර්භණී මාතාවට දුන්නා ය. දරුගැබ විනාශ වූ බව දැනගත් ගර්භණී කාන්තාව එය තම මව්ට සැල කළා ය. හදිසියේ මෙලෙස දරුගැබ විනාශ වීමට හේතුවක් නැතැයි සිතූ ඇයගේ ඥාතීන් සියලු දෙනාගේ සැකය ද එල්ල වූයේ වඳ ස්ත්‍රිය වෙතයි.

ඥාතීන් සියලු දෙනා රැස්වී එම ස්ත්‍රිය කැඳවා ඇගෙන් ප්‍රශ්න කරන්නට වූහ. බියටත්, තැතිගැනීමටත් පත්ව සිටි ඇය “මම දරුගැබ විනාශ නො කළෙමි.” යි පිළිතුරු දුන්නා ය.

“නුඹ එසේ දරුගැබ විනාශ නො කළේ නම් අප සියලු දෙනා ඉදිරියේ දිව්රීමක් කළ යුතුයි.” කියා නෑයෝ ප්‍රකාශ කළහ. එවිට බියට පත්ව සිටි එම කාන්තාව සියලු දෙනා ඉදිරියේ බොරු දිව්රීමක් සිදු කළා ය.

“ඉතින් මා විසින් මෙම දරුගැබ විනාශ කරන ලද්දේ නම්, දුගතියෙහි ඉපදී කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙම්වා! උදය කාලයේ හා සවස් කාලයෙහි දරුවන් පස්දෙනා බැගින් ප්‍රසූත කර එම දරුවන් මා විසින් ම අනුභව කළ ද මාගේ කුසගින්න නො නිමේවා! නිතර දුර්ගන්ධයෙන් යුත් හාත්පස නිලමැස්සන් ගැවසී ගත් ශරීරයක් ඇත්තියක වේවා!” යැයි ඉතා දරුණු දිව්රීමක් සිදු කළා ය. එයින් ඇය නිර්දෝෂී යැයි ඔවුන්ට හැඟවීමට ඒ මොහොතේදී ඇය සමත් වූවා ය.
ඇය කාලයාගේ ඇවෑමෙන් මරණයට පත්ව ගමට සමීප ස්ථානයක දුර්වර්ණ ශරීරයක් ඇති ප්‍රේතියක් ව උපත ලැබුවා ය. එම ජනපදයේ වස් විසූ ස්වාමීන් වහන්සේලා අටනමක් භාග්‍යවතුන් වහන්සේ දක්නට යාම පිණිස වඩිනා අතර එම ස්ථානයට පැමිණියහ. සිහිල් සෙවණින් ද ජලයෙන් ද යුත් එම වනාන්තර ප්‍රදේශයේ දී එම ප්‍රේත ස්ත්‍රිය තම සිරුර ස්වාමීන් වහන්සේලාට පෙනීමට සැලැස්වූවා ය.

එහි වැඩ සිටි ප්‍රධාන ස්වාමීන් වහන්සේ ප්‍රේතියගෙන් මෙසේ කරුණු විමසා සිටියහ.

“ප්‍රේත ස්ත්‍රිය, නුඹ නිර්වස්ත්‍රව ඉතා බියකරු රූපයකින් යුක්ත වන්නී ය. තදබල දුර්ගන්ධයක් ඇත්තී ය. ශරීරයෙන් හමන්නේ කුණු වූ ගන්ධයකි. හාත්පස නිලමැස්සන් පිරී ඇත්තී ය. මෙබඳු ශරීරයක් ඇති නුඹ කිනම් තැනැත්තියක් ද?”
“ස්වාමීන් වහන්ස, මම දුකට පත්, යම ලෝකය යැයි නම් ඇති ප්‍රේත ලෝකයෙහි උපන් ප්‍රේතියක් වෙමි. මිනිස් ලොවදී පව් කොට මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයෙහි උපන්නෙමි.

මෙසේ උපන් මම උදය කාලයෙහි දරුවන් පස් දෙනෙකු ද නැවත සවස් කාලයෙහි දරුවන් පස් දෙනෙකු ද ප්‍රසූත කොට කා දමමි. ඒ දරුවන් දස දෙනා එක දවසක් මා හට කුසගින්න නිවා ගැනීමට ප්‍රමාණවත් නො වෙයි.

බඩගින්නෙන් පෙළෙන මාගේ හෘදය කුසගින්න හේතුවෙන් හාත්පස දැවෙයි. පිපාසයෙන් පීඩාවට පත් වෙමින් මම ඒ මේ අත දිව යන මුත් පැන් නො ලැබෙයි. මෙබඳු විපතකට පත් වූ මා දෙස බලනු මැනව.”

එම කරුණු ඇසූ භික්ෂූන් වහන්සේ නැවත පැනයක් විමසා සිටියහ.

“ප්‍රේත ස්ත්‍රිය, නුඹ විසින් සිත, කය, වචනයෙන් කරන ලද කුමන අකුසලයක විපාක වශයෙන් මෙසේ පුත්‍ර මාංශ අනුභව කරන්නේ ද?”

“ස්වාමීනී, මාගේ ස්වාමියාගේ ගර්භණී වූ අනෙක් භාර්යාව දැක පාප ක්‍රියාවක් සිතුවෙමි. කෝප වූ සිතින් ඇගේ දරුගැබ විනාශ කළෙමි.

ඇගේ මාස දෙකක් පමණ වූ දරුගැබ විනාශ වී රුධිරය බවට පත්ව වැගිරුණේ ය. එවිට ඇගේ නෑයන් කෝපයට පත්ව මාගෙන් ප්‍රශ්න කරන්නට වූහ. දරුගැබ මා විසින් විනාශ නො කළ බව පැවසූ විට දිව්රීමක් අවශ්‍ය බව ඔවුන් පවසා සිටියහ.

එවන් පාප කර්මයක් මම නොකරන ලද්දෙමි’යි පවසමින් මා විසින් ඉතා භයානක බොරු දිව්රීමක් සිදු කෙරෙන ලදී.

ගර්භය විනාශ කළ ප්‍රාණඝාත අකුසල කර්මයෙන් ද මුසාවාද අකුසල කර්මයෙන් ද යන කර්ම දෙකක විපාක හේතුවෙන් මෙසේ පුත්‍ර මාංශ අනුභව කරමි.

ස්වාමීන් වහන්ස, මම මේ ගම අසවල් පුරුෂයාට භාර්යාව වී ඊර්ෂ්‍යාවෙන් යුතුව පාප කර්ම කොට මෙසේ උපත ලදිමි. ස්වාමීනී, ආයාචනා කර සිටිමි. මා කෙරෙහි අනුකම්පාවෙන් එම නිවසට වඩිනු මැනවි! එවිට එම පුරුෂයා ඔබ වහන්සේලාට දන් පිළිගන්වන්නේ ය. එම දානමය පුණ්‍යකර්මය ඔහු ලවා මට අනුමෝදන් කරනු මැනවි! එසේ කළ විට මේ දුකෙන් මා මිදී යන්නේ ය.”

ස්වාමීන් වහන්සේලා ඇය කෙරෙහි අනුකම්පාවෙන් එම පුරුෂයාගේ නිවස වෙත පිඬු පිණිස වැඩියෝ ය. එම පුරුෂයා ස්වාමීන් වහන්සේලා දැක හටගත් පැහැදීමෙන් පෙරමඟට පැමිණ පාත්‍රයන් රැගෙන අසුන්හි වඩා හිඳුවා ප්‍රණීත ආහාර පාන පූජා කළේ ය.

දන් අවසන ප්‍රේත ස්ත්‍රියගේ කථා පුවත එම පුරුෂයා හට පවසා දානමය පින ප්‍රේතියට අනුමෝදන් කරන ලදී. එකෙණෙහි ම එම ප්‍රේත ස්ත්‍රිය ප්‍රේත දුකින් මිදී මහත් වූ සම්පත් ලබා රාත්‍රී කාලයෙහි එම පුරුෂයා හට තමා පෙනෙන්නට සැලැස්වූවා ය.

පසුව සැවැත් නුවරට වැඩි එම භික්ෂූන් වහන්සේලා එම කථා ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේට සැල කර සිටියහ. භාග්‍යවතුන් වහන්සේ එම කාරණය මුල්කරගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළ සේක. එම ධර්ම දේශනාව බොහෝ පිරිසකට මහත් වූ ප්‍රයෝජනයක් සලසන ලද්දේ ය.

ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය
සටහන – හර්ෂ නිලංක පෙරේරා