highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව » අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 12

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 12

මට දවසක් ආච්චි කියාපු කරුණක් මතක් වුණා. ඉතිං මං ආච්චි ළඟට ගිහිං වාඩි වුණා.

“ආච්චි… මං ආච්චිගෙන් අහන්ට ම යි හිටියේ…. අනේ ආච්චි… මට නං මේ ගැන කියන්ට ම ඕනෑ ඕං.”

එතකොට ආච්චි දත් නැති කටින් හිනැහිලා මගේ හිස අතගෑවා. “හරි මයෙ පුතේ… ඉතිං ඔයා අහන්ට එපායැ ඉස්සරියෙං…. ඊට පස්සේ මට කියන්ට බැරියැ.”

“ආච්චි… මේ…. මට ඔයාගෙන් අහන්ට ඕනෑ වුණේ මේකයි. දැන් ඔයා ගොඩාක් ආසාවෙන්, ගොඩාක් ඕනෑකමින් සිල් ගන්නවා නේ. දන් පින්කම් කරනවා නේ…. ඔයා දවසක් කීවා වගේ මට මතකයි ලබන ආත්මේ නං සක්දෙවිඳුන් ගාව දිව්‍යපුත්‍රයෙක් වෙලා ඉපදෙන්ටයි ආසා කියලා. ඇත්තට ම ආච්චි…. ඔයා ආසා දිව්‍යපුත්‍රයෙක් වෙන්ට ද, නැත්නම් දෙව්දුවක් වෙන්ට ද?”

එතකොට ආච්චිට ආයෙමත් හිනා ගියා. “හෝ… මයෙ පුතාට හොඳට මතකයි නොවැ…. ඔව් පුතේ… මං ඒකට තමා කැමති. මට පුතේ ඔය අදහස ඇති වුණේ කතාවක් අහන්ට ලැබිලා.”
“අනේ…. මොකක්ද ආච්චියේ ඒ කතාව…?”

“පුතේ…. මේන්න මේකයි ඒ කතාව. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ උන්නු කාලේ තමයි මේක උනේ… පුතේ… ඔයා අහලා තියෙනවා නෙ අපේ භාග්‍යවතුන් වහන්සේ උපන් රාජධානිය. කිඹුල්වත්නුවර. ඔය කිඹුල්වත්නුවර හිටියා ‘ගෝපිකා’ කියලා රාජකන්‍යාවක්. මේ ගෝපිකා තෙරුවන් සරණ ගිය දා පටන් ඉතාමත් ඕනෑකමින් හරී ම කල්පනාවෙන් පන්සිල් ආරස්සා කොළා. ඒ වගේ ම පුතේ ඈ ස්ත්‍රී ආත්මෙට කැමති වුණේ නෑ. ඈට ඕනෑ කොළේ ඊ ළඟ ආත්මයේ දිව්‍යපුත්‍රයෙක් වෙලා පිරිමි ආත්මයක් ලබාගන්ටයි. ඒ වෙනුවෙන් ඈ කැප වුණා පුතේ.

බණ අසද්දී බොහෝම ගරුසරු ඇතිව ලැජ්ජාභය ඇතිව බණ ඇසුවේ. ඔය දැං කාලෙ වගේ බිත්තියට හේත්තු වෙලා කකුල් ඉදිරියට දිගහැරගෙන වාඩිවුණේ නෑ. ඒ වගේ ම බණ අසද්දී වටපිට බැලුවේ නෑ. අසන බණපදයට ම සිත යොමුකරගෙන, ඒ ගැන ම හිත යොදා බණ ඇසුවේ. ඈ තමන්ගේ ධනය වියදම් කරලා කුටි සෙනසුනකුත් හැදුවා. භික්ෂූන් වහන්සේලා තුන් නමක් වඩමවා ගත්තා. සිව්පසයෙන් උපස්ථාන කළා.

ඉතින් පුතේ ඒ ගෝපිකා ඔය විදිහට ගොඩාක් පින් කර ගත්තා. ස්ත්‍රී ආසාවන්වලට වසඟ වෙලා සිටියේ නෑ. ධර්මයත් පුරුදු කළා නොවැ. ඉතින් ඈ මැරුණට පස්සේ උපන්නේ තව්තිසා දෙව්ලොව සක්දෙවිඳුගෙ පුත්‍රස්ථානයේ ලාස්සන දිව්‍ය කුමාරයෙක් වෙලා. ඈට සිතූ පැතූ පරිදි ම පිරිමි ආත්මයක් ලැබුණා. දැන් කවුරුත් ඒ දිව්‍ය කුමාරයාට කියන්නේ ‘ගෝපක දිව්‍යපුත්‍රයා’ කියලා.

දවසක් පුතේ තව්තිසාවේ නන්දන වනෝද්‍යානයේ මණ්ඩපයේ වැඩ උන්නු අපේ සක්දෙවිඳුන්ට උපස්ථාන කරන්ට ගාන්ධර්ව සංගීත කණ්ඩායම ආවා.”

“කව්ද ආච්චියේ ගාන්ධර්ව කියන්නේ?”

“ඒ පුතේ නැටුම් දක්වන දෙවිවරු. එයාලාට ලාස්සනට නටන්ට පුළුවන්. වාදන භාණ්ඩ වයන්ටත් පුළුවනි. හරි මිහිරියට ගී ගයන්ටත් පුළුවනි. ඒ ගාන්ධර්ව දිව්‍ය පිරිස අතර උපන් දෙවිවරු කරන්නේ සක්දෙවිඳු ඉදිරියේ නැටුම් දක්වන එක.

එදා සක්දෙවිඳු ළඟ ම මේ අලුත උපන් ගෝපක දිව්‍යපුත්‍රයාත් වාඩිවෙලා උන්නා. ඕං පුතේ එදා ඒ ලස්සන නැටුම් පිරිසේ අලුත් දිව්‍ය කුමාරවරු තුන්දෙනෙක් ඇවිත් හිටියා. එයාලා එතැන හිටිය හැමෝට ම වඩා ලස්සනයි. එයාලගේ කටහඬ තමයි ගොඩාක් ම ලස්සන වුණේ. එයාලාගේ නැටුම තමයි ලාස්සන ම නැටුම වුණේ.

මේ දිහා බලා සිටිය ගෝපක දිව්‍ය පුත්‍රයා මෙහෙම කල්පනා කළා. ‘ෂා…! මේ තුන්දෙනා අලුතින් දෙව්ලොව උපන්න අය වගෙයි. මේ අයත් ගොඩාක් ම ලස්සනයි. මටත් දැකලා පුරුදුයි පුරුදුයි වගේ…. ම්…. මනුස්ස ලෝකේ ඉන්නැද්දි මෙයාලාත් සිල් රැකපු අය ම තමා. ඒ නිසා නොවැ ලස්සන. නමුත්…. මොකද මේ නැටුම් කණ්ඩායමේ උපන්නේ….? ඕහ්… මේ… මේ…. මං… මං… කිඹුල්වත්නුවර හදවා පූජා කළ කුටිවල වැඩ උන්නු ස්වාමීන් වහන්සේලා තුන්නම නේ ද? හපොයි… හපොයි…. මං හිතා උන්නේ අනාගාමීවත් වෙන්ට ඇත කියලයි. හයියෝ…. මේ…. කොහේද මේ…. උපන්නේ?’ මෙහෙම සිතූ ගෝපක දිව්‍යපුත්‍රයා මෙහෙම ඇසුවා.

ගාන්ධර්ව කුලේ උපන් දෙවිවරුනේ ඔබ
මිනිස්ලොවේ ගත කළ හැටි දන්නවා ද ඔබ
ගෞතම සසුනේ උත්තම පැවිදි බවත් ලැබ
කම්සැපයට බැඳී තිබුණ නේ ද සිතේ ලොබ

කිඹුල්වත්පුරේ ඔබ සිටි කාලය මතක ද
ගෝපිකා නමින් සිටි ඒ ගැහැනිය මතක ද
ඈ ඔබ හට කුටිසෙනසුන් පිදු හැටි මතක ද
ඔය තිදෙනා ඒ කුටිවල සිටි හැටි මතක ද

කොහිද බලා සිටියෙ එදා බණ අසනා විට
බලන්ට මං කර ගත් පින ගැහැනියක ව සිට
බුදු සසුනක පැවිදි වෙලත් වැරදුනි ඔබ හට
ලැජ්ජා නැද්ද මෙහෙ ඇවිදින් නටන්ට ඔබ හට

ගැහැනියක් වෙලා සසරේ යන මේ ගමනට
කිසිම කැමැත්තක් මනුලොව තිබුණේ නෑ මට
දහමේ හැසිරීමේ බල පෙනේ ද ඔබ හට
දැන් මම දෙව් කුමරෙකි සක් දෙවිඳුගෙ යටතට

පැවිදි වෙලා සිල් රැකලා බණ අසමින් සිට
යන්නෙ නැතිව ඉහළින් ඇති බ්‍රහ්ම ලෝකයට
දැන් ඇවිදින් නැටුම් නටන ළාමක ලොවකට
ලැජ්ජ නැද්ද පහර දෙන්ට තාලෙට බෙරයට

එතකොට පුතේ ඒ දෙවිවරු තුන්දෙනා මූණට මූණ බලාගත්තා. තුන්දෙනාට ම තමුන්නේ පූරුවෙ ආත්මේ මතක් වුණා. තමන්ගෙන් බණ ඇසූ ගෝපිකාවෝ දැන් පිරිමි ආත්මයකුත් ලබලා, සක්දෙවිඳුගේ පුත් තනතුරේත් ඉපදිලා, සෝවාන් ඵලයටත් පත්වෙලා, දෙව්ලොව කාමයටත් නොඇලී ධර්මය ම මෙනෙහි කරනවා. ‘අයියෝ… අපට මේ මොකදෑ වුණේ’ කියලා ඒ තුන්දෙනාට හොඳටෝ ම ලැජ්ජා හිතුණා. තමන්ගේ කරේ එල්ලාගෙන සිටි බෙරගෙඩි පැත්තකින් තිබ්බා. පාවල තිබුණු ගෙජ්ජි ගලවා දැම්මා. පැත්තකින් වාඩිවුණා. මනුස්ස ලෝකෙදි පැවිදිවෙලා කළ බණ භාවනාව පුරුදු කොරන්ට පටන් ගත්තා.

හරිම අද්භූතයි පුතේ අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය. වේගයෙන් ධර්මය සිතේ වැඩුණා. දෙවිවරු දෙන්නෙක් එතැන දී ම සෝවාන් වුණා. සකදාගාමී වුණා. අනාගාමී වුණා. එතැනින් නොපෙනී ගියා. ඒ දිව්‍ය ආත්මෙන් චුතවෙලා බ්‍රහ්මපුරෝහිත කියන බ්‍රහ්මලෝකේ උපන්නා. එක්කෙනෙකුට තමන්ගේ සිත සමාධිමත් කරගන්ට බැරිවුණා. එයා දිගට ම නැටුම් නටන් දෙවියන් එක්ක හිටියා.

ඉතින් පුතේ මට ආසා හිතුණේ ඔය ගෝපිකාගේ ජීවිතේට යි. බලන්ට පුතේ ඒ තැනැත්තිය මනුස්ස ලෝකෙදි හොඳ කැපවීමෙන් ධර්මය පුරුදු කළ එකේ වාසිය ලැබුණේ තමුන්ට ම නේ. දැන් වුණත් පුතේ එහෙම තමා ධර්මයේ හැසිරුනොත්. ඒකේ වාසිය ලැබෙන්නේ තමාට ම යි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

One comment

  1. සාදූ! සාදූ!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව 11

අනේ මයෙ බුදු අයියණ්ඩි... මට අම්මාටත් තාත්තාටත් ඔයා විතරයි හිටියේ. මේ ඉන්නේ ඔයාගේ බෑණා වන සිඟිත්තෙක්. අනේ නෙළුම් මලක් වගේ ඉන්න මේ දරුවා දිහා බලා මා නොමරා බේරන්ට.” කියා වැඳ වැඳ උන්නා.