ආච්චි එදා භාවනා කරලා නැගිට්ටා විතරයි. මං මේ බලා සිටියේ ආච්චි එදා මට කියපු කාරණාවක් ගැන අහන්ට යි.

“ආච්චියේ, ඔයා මට කීවා නේ ද තව්තිසා දෙවියෝ සෑම පෝය දවසක ම රැස් වෙනවා ය කියලා?”

“ඔව් පුතේ… සෑම පෝයක ම දේවසභාව රැස්වෙනවා.”

“අනේ ආච්චියේ… මං හරී ආසයි ඒ විස්තරේ අසන්ට.”

“ඒ මෙහෙමයි පුතේ…. තව්තිසාවේ තියෙනවා ‘සුධර්මා’ කියලා විශාල ශාලාවක්. ඒ ශාලාවට ‘සුධර්මා’ යන නම ලැබුණේ අපේ සක්දෙවිඳු මිනිස් ලෝකේ ඉන්නැද්දි වෙච්චි දෙයක් නිසා. ‘මඝ’ තරුණයාගේ එක බිරිඳක් සිටියා. ඇගේ නම ‘සුධර්මා’. ඉතින් ඈ මඝ තරුණයා සාලාව හදද්දී කැණිමඬල පූජා කොරලා කියා සිටියා එයැයිගේ නම දාන්ට කියලා. ඒ පින නිසා ඈත් දෙව්ලොව උපන්නා. දෙව්ලොවෙත් පහළ වූ සාලාවට ඒ නම වැටුනා. හප්පා… මයෙ පුතේ ඒක හරි පුදුම ශාලාවක්.

ඒ කියන්නේ බිම පළිඟු ගල් අතුරලා, මැණික් වැට, රන් කණු, කණු පාමුල රිදී කැටයම්, පළිඟු රූප, සත්රුවන් පරාල, රුවන් දොරටු, ඉන්ද්‍රනීල මාණික්‍ය උළු, රන් කොත්, දිග පළල යොදුන් තුන්සියයක්. වටේ යොදුන් නවසියයක වේදිකාව. උස යොදුන් පන්සීයක්.

ඉතිං පුතේ ඒ ශාලාවේ සතර දිසාවේ තියෙන්නේ සතර වරම් දෙව්රජුන්ගේ ආසන. කෝටි ලක්ෂයක් ගාන්ධර්ව දිව්‍ය සේනාව පිරිවරාගෙන ධතරාෂ්ට්‍ර දෙව්රජු ඇවිත් නැගෙනහිර පැත්තේ තියෙන ආසනේ වාඩිවෙන්නේ බටහිර බලාගෙන.

කෝටි ලක්ෂයක් කුම්භාණ්ඩ දේවතාවරු පිරිවරාගෙන ඇවිත් විරූඪක දෙව්රජු උතුරු දිග බලාන දකුණු පැත්තේ තියෙන ආසනේ වාඩිවෙනවා.

කෝටි ලක්ෂයක් නාග දේවතාවෝ පිරිවරාගෙන විරූපාක්ෂ දෙව්රජු ඇවිත් බටහිර පැත්තේ ආසනේ වාඩිවෙන්නේ නැගෙනහිර දිග බලාගෙන.

කෝටි ලක්ෂයක් යක්ෂ දේවතාවෝ පිරිවරාගෙන වෛශ්‍රවණ දෙව්රජු ඇවිත් උතුරු පැත්තේ ආසනේ වාඩිවෙන්නේ දකුණු දිග බලාගෙන.

මැද තියෙන්නේ අපේ දෙව් මහරජුන්ගේ ආසනය. උන්නාන්සේ තව්තිසා ලෝකයේ තෙතිස් දෙවියන් පිරිවරාගෙන තිස්තුන් කෝටියක දෙව්පිරිස සමඟින් ඇවිත් අසුන් ගන්නවා.

ඉතිං පුතේ ඒ පිරිවර දෙවිවරු එන්නේ පරසතු මල්, මදාරා මල් මිටි අතින් අරගෙනයි. ඒවායේ සුවඳ පන්සිය යොදුනක් පුරා පැතිරෙනවා.

පුතේ… වස් කාලෙට පුතේ තව්තිසා දෙව්ලොව තවමත් වස් තුන් මාසෙ ම උපෝසථ සිල් සමාදන් වෙනවා. ඒ කාලේ අපගේ සක් දෙව් මහා රජ්ජුරුවෝ සිල් මුදවන්ට එන්නේ පුවඟු දිවයින මහා විහාරයටයි. අනිත් දෙවිවරු ඒ ඒ තැන්වල වැඩ ඉන්න රහතුන් වහන්සේලා ළඟට ගොහින් සිල් මුදාගන්නවා.

“අනේ ආච්චියේ, පරසතු මදාරා වගේ ම තවත් මල් ජාති එහෙ තියෙනවා ද?”

“ඇයි පුතේ… කොබෝලීල මල්. ඒවාත් එහෙ තියෙනවා. පුතේ… ඔය දිව්‍ය මල් පිපුණා ම යොදුන් සිය ගණන් සුවඳ හමා යනවා. දෙවිවරුන්ගේ උත්සව කාලේ එන්නේ එතකොටයි. අපට වගේ කෙකි බැඳගෙන මල් කඩන්ට යන්ට නෑ. එතැනට ගිය ගමන් සුළං හමනවා. දෙවිවරු ගී ගයමින් මල් දිහා බලා ඉන්නවා. එතකොට මල් නටුවෙන් ගිලිහෙනවා. තව සුළඟක් හමා ඇවිත් ඒ මල් වැටෙන්ට නො දී පිළිගන්නවා. තව සුළඟක් ඇවිත් ඒ මල් ‘සුධර්මා’ දිව්‍ය ශාලාවට පා කරගෙන යනවා. ඊට කලින් තව සුළඟක් ඇවිත් ‘සුධර්මා’ ශාලාවේ තියෙන පරමල් ඉවත් කරගෙන පිරිසිදු කරගෙන යනවා. අලුත් සුවඳ මල් ශාලාවට ඇතුල් වුණා ම තව සුළඟක් ඇවිත් මල් සොලවනවා. එතකොට මල් රේණු හෙමින් හෙමින් ශාලාව පුරා පැතිරෙනවා. ඒ ශාලාවේ හරි මැද තියෙන්නේ ධර්මාසනයක්. ඒක යොදුනක විතර ප්‍රමාණයේ රුවන් ආසනයක්. ඒ ආසනයට මෙහා පැත්තෙන් තමයි සක් දෙවිඳුගේ ආසනය තියෙන්නේ. අනිත් දෙවිවරුන්ගේ ආසනවලට තියෙන්නේ මල් කෙමි.

ඉතිං පුතේ දෙවිවරු දෙව් සභාවේ අසුන් ගත් ගමන් අහසේ පාවෙන මල්වලින් වැටෙන රේණුවලින් දෙවිවරුන් ව පාට පාට වෙනවා. මල් උස්සවේ මාස හතරක් තියෙනවා.
ඒ වගේ ම පුතේ තව්තිසාවේ මාසයකට අට දවසක මහා ධර්ම සභාවක් පැවැත්වෙනවා. ඒ ධර්ම සභාවේ දී සනංකුමාර බ්‍රහ්මරාජයා බණ කියනවා. එහෙමත් නැත්නම් මහා බ්‍රහ්මරාජයා බණ කියනවා. එහෙමත් නැත්නම් සක්දෙවිඳු බණ කියනවා. එහෙමත් නැත්නම් මිනිස් ලොවින් තව්තිසාවට වැඩිය ඉර්ධිමත් භික්ෂුවක් බණ කියනවා.

ඒ වගේ ම සෑම පුරපක්ෂයක හෝ අවපක්ෂයක අටවෙනිදා සතර වරම් දෙවිවරු මනුලොව බලනවා. පොළෝ තලේ හොඳින් විමසා බලනවා. යම් ගැහැනියක් හෝ පිරිමියෙක් හෝ අවංකව ම බුද්ධ රත්නය සරණ ගොහින් නම්, අවංකව ම ධර්ම රත්නය සරණ ගොහින් නම්, අවංකව ම සරඝ රත්නය සරණ ගොහින් නම්, ඒ වග රන්පොතේ ලියාගන්නවා. පන්සිල් රකිනවා නම් ඒවාත් ලියාගන්නවා. අට්ඨාංග උපෝසථ සිල් ගන්නවා නම් ඒවාත් ලියාගන්නවා. මව්පිය උපස්ථානය, ගුරුවරුන්ට උපස්ථානය, වැඩිහිටියන්ට සැලකීම, දානාදී පින් කිරීමත් ලියාගන්නවා. ස්ථූප වන්දනා පූජා ආදියත් ලියාගන්නවා.

දෙවිවරු ඒ ලියූ රන්පොත පංචසිඛ දිව්‍ය පුත්‍රයාගේ අතට දෙනවා. එතකොට පුතේ පංචසිඛ දිව්‍ය පුත්‍රයා ඒ පොත මාතලී දේවපුත්‍රයාට දෙනවා. මාතලී දෙව්පුතු තමයි රන්පොත අපේ සක්දෙව් මහරජුට දෙන්නේ. එතකොට පුතේ තෙරුවන් සරණේ පිහිටා පින්දහම් කරන මිනිස්සු වැඩි කාලෙට රන්පොත ලොකුයි. එතකොට දෙවියන්ට හරීම සතුටුයි.

“හ… හා… හා… අගෙයි අගෙයි
අපගේ දෙව් ලොව පිරෙයි පිරෙයි
සත්පුරුෂයන්ගෙන් අපේ ලොව පිරෙයි
හ… හා… හා… අගෙයි අගෙයි
අසුර ලෝකෙ පිරිහී යයි” කිය කියා දෙවිවරු උදම් අනනවා.

නමුත් පුතේ තිසරණයේ නොපිහිටා නැකැත් කේන්දර පස්සේ ගිහින්, යකුන් යකිනියන්ගෙන් පිහිට ඉල්ල ඉල්ලා දුවන කාලෙට මිනිස්සුන්ගේ ගුණධර්ම නැතිවෙනවා. ඒ කාලෙට රන්පොත ඉතා ම කුඩයි. දෙව්ලොවට මනුලොවින් යන්නේ නැති ගානයි. ඒ කාලෙට අලුත් දෙවිවරු නැති නිසා දෙවිවරු දුක් වෙනවා.

“අනේ අපොයි දෙව් ලොව හිස් වී යනවා
අසුර ලොවේ අදමිටුවෝ උපදිනවා
පවින් පිරුණු අය ලොව බලවත් වෙනවා
අනේ මිනිස් ලොව තව පිරිහී යනවා”

ඔහොම කියමින් දුක් වෙනවා. එතකොට දෙවිවරු මනුලොව උපදින්ට භයයි. එයාලා උත්සාහ කරන්නේ දෙව්ලොව දී ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ටයි.

මේ කාලේ පුතේ, අපටත් දෙව්ලොව උපදින්ට ඇහැක් වුණොත් හොඳා නේ ද මයෙ පුතේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ