දියුණු වෙන්න කව්ද අකමැති? හැමෝගේ ම අදහස දියුණු වෙන්නයි. දියුණු වෙන්න මිනිස්සු මොන තරම් අරගල කරනව ද..? නමුත් ‘දියුණුව’ හඹා යන ඒ බොහෝ දෙනා සැබෑ ම දියුණුව කියන්නේ කුමක් ද යන වගවත් තේරුම් ගත් බවක් පෙනෙන්නට නෑ. ඒ නිසා සැබෑවට ම දියුණු වූ කෙනෙකු ලබන ප්‍රතිලාභ ඔවුන්ට අහිමියි. එබැවින් දියුණු වෙන්න කැමති ඔබ මුලින් ම සොයා බැලිය යුත්තේ සැබෑ දියුණුව කියන්නේ කුමක්ද යන වගයි.

සියලු දෙවිමිනිසුන් අතර සියලු ගුණයෙන් අපරිමිතව දියුණුවට පත් වූ අපගේ ශාස්තෘන් වහන්සේ තරම් ‘දියුණුව’ පිළිබඳ ව මනාව දැන සිටි වෙනත් ශාස්තෘවරයෙක් නම් නෑ. ඒ උතුම් බුදු නුවණින් දෙසා වදහළ ධර්මයට අනුව දියුණුවක් කරා පියනගන නුවණැතියන් හට ඒකාන්තයෙන් ම සැබෑ දියුණුවේ ප්‍රතිලාභ හිමිවෙනවා.

“මහණෙනි, පුද්ගලයින් තුන් දෙනෙක් ලෝකයේ දකින්නට ලැබෙනවා. ඒ තුන්දෙනා කව්ද?
අන්ධ කෙනා, එක ඇසක් ඇති කෙනා, ඇස් දෙක ම ඇති කෙනා.”

‘දියුණුව’ පිළිබඳව උත්සාහවත් වන ඔබගේ ආකල්පය ධර්මයෙන් ඔපමට්ටම් කෙරෙන මේ උතුම් දේශනය දෙස බලන්න.

 “මහණෙනි, අන්ධ පුද්ගලයා කව්ද..? මහණෙනි, මෙහි සමහර කෙනෙකුට මෙන්න මේ වගේ ඇසක් නෑ. ඒ කියන්නේ යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබුණු භෝග සම්පත්වල වැඩිවීමකට පත්වෙනවා නම් ඒ වගේ ඇසක් ඔහුට නෑ. ඒ වගේ ම යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී කුසල් – අකුසල් දන්නවා නම්, වැරදි – නිවැරදි දේ දන්නවා නම්, උසස් – පහත් දේවල් දන්නවා නම් එකිනෙකට වෙනස් වූ අයහපත් යහපත් දේවල් ගැන දැන ගන්නවා නම් ඒ වගේ ඇසකුත් ඔහුට නෑ. මහණෙනි, මොහුට තමයි කියන්නේ ‘අන්ධ කෙනා’ කියලා.”

මේ උතුම් දේශනාවට අනුව අන්ධයෙකු සෙයින් කටයුතු කරමින් සියලු දියුණුවෙන් පිරිහෙන්නෙකු සිටී. තනි ඇසකින් ලොව දකින්නෙකු සේ දියුණුවේ නාමයෙන් එක් පැතිකඩක් පමණක් හඹා ගොස් අනතුරේ වැටෙන්නෙකු ද සිටී. දෑසින් ම ලොව දකින කෙනා සෙයින් සියලු යහපත උදාකර ගනිමින් දියුණුවෙන් දියුණුවට පත් වී සැප ලබන්නෙකු ද සිටී. දියුණු වෙන්න කැමති ඔබ මුලින් ම මේ තුන්දෙනාගෙන් ඔබ වඩා කැමති කාට ද යන්න පිළිබඳව තීරණයකට පැමිණෙන්න. ඊට පෙර මේ තුන් දෙනා කෙබඳු ද යන්න මෙසේ විස්තර වශයෙන් දැනගන්න.

එහෙම නම්, දියුණු වෙන්න අපේක්ෂාවක්, සිහිනයක් තිබුණත් දියුණුව සම්බන්ධයෙන් ඔබ තුළ පවතින ආකල්පය සම වෙන්නේ අන්ධයෙකුගේ දැක්මට නම් ඔබට කිසිදු දියුණුවක් නම් නොලැබේවි. සියලු තැන්හි දී පිරිහීමට ම පත් වේවි.

ඒ ගනයට අයත් වෙන බොහෝ දෙනා ඉගෙන ගන්නා කාලයේ දී ඒ කටයුතු මනාව සිදු නොකරයි. ඒ වගේ ම ජීවනෝපාය මාර්ගයක් තෝරාගෙන එහි දක්ෂව කටයුතු කරන්නට ද සමත් නොවෙයි. නිරතුරු අලසව වාසය කරනු විනා නැගී සිටීමේ වීර්යයක් එබඳු ජීවිත තුළ නැත. ලැබෙන ලාභයක් පවා විනාශ වී යන ආකාරයට පරිහරණය කරන ඔවුන්ගේ භෞතික දියුණුව ද සිහිනයකින් ම අවසන් වී යයි. ඒ වගේ ම ලෞකික දියුණුවේ පරිහානියේ ම සිටගෙන අකුසලයට ම දියවී යන එබඳු ජීවිත පරලොව යහපතින් ද පිරිහී ගොස් අනතුරේ වැටෙති. සතුට, සැනසීම, සන්සිඳීම, මානසික තෘප්තිය කෙදිනකවත් ඔවුන් කරා ළං නොවෙයි. එනිසා අන්ධයෙකුට සමාන වූ එබඳු ප්‍රතිපදාව නුවණැති කෙනා දුරින් ම දුරු කළ යුතුයි.

ගාථා
“අන්ධ කෙනා හට, නැසී ගිය දෑස් ඇති කෙනා හට, ඇස් ඇති කෙනෙකුට ලැබෙන යම් බඳු භෝග ඇත්නම් ඒවත් නෑ.
ඒ වගේ ම පින් රැස් කිරීමකුත් නෑ. ඒ පුද්ගලයාට දෙලොව ම තිබෙන්නේ පරාජයක් ම යි.”

ඊ ළඟට දියුණු වෙන්න කැමති ඔබ දුරු කළ යුතු තවත් ප්‍රතිපදාවක් තියෙනවා. දියුණුවේ නාමයෙන් එක පැතිකඩක් පමණක් හඹා යන ඔහුගේ ක්‍රියාකලාපය සම වන්නේ එක ඇසක් අන්ධ කෙනෙකුටයි.

“මහණෙනි, එක ඇසක් ඇති පුද්ගලයා කව්ද? මහණෙනි, මෙහි සමහර කෙනෙකුට මෙන්න මේ වගේ ඇසක් තියෙනවා. ඒ කියන්නේ යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබුණු භෝග සම්පත්වල වැඩීමකට පත් වෙනවා නම් ඔහුට එබඳු ඇසක් තියෙනවා. නමුත් යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී කුසල් – අකුසල් දන්නවා නම්, වැරදි – නිවැරදි දේ දන්නවා නම්. උසස් – පහත් දේවල් දන්නවා නම් එකිනෙකට වෙනස් වූ අයහපත් යහපත් දේවල් ගැන දැන ගන්නවා නම් ඒ වගේ ඇසක් ඔහුට නෑ. මහණෙනි, මොහුට තමයි කියන්නේ එක් ඇසක් ඇති පුද්ගලයා කියලා.”

ගාථා
“තථාගතයන් වහන්සේ විසින් එක් ඇසක් පමණක් තිබෙන පුද්ගලයෙක් ගැන වදාරන ලද්දේ ය. ඔහු ධාර්මිකවත්, අධාර්මිකවත්, කෛරාටිකවත් භෝග සම්පත් හොයන්නෙක්.
කම්සැප විඳින ඒ මනුෂ්‍යයා සොරකමින් යුතු කූට ව්‍යාපාර තුළිනුත්, බොරුවෙනුත් යන දෙකෙන් ම භෝග සම්පත් රැස්කරන්ට දක්ෂයි. නමුත් ඒ එකැස් ඇති පුද්ගලයා මෙයින් චුතව නිරයට ගිහින් වැනසී යනවා.”

ලෝකයේ දියුණු යැයි සම්මත, ඒ වගේ ම දියුණුව කරා හඹා යන බොහෝ දෙනා අයත් වන්නේ මේ කාණ්ඩයට. මිල මුදල්, යාන වාහන, රන් රිදී, දැන උගත්කම් ආදී බොහෝ දෙයින් ඔවුන් දියුණුයි. නමුත් සැබෑවට ම දියුණුවට පත් අයෙකුට ලැබෙන වැදගත් ම ප්‍රතිලාභ නම් ඔවුන්ට හිමි නෑ. අකුසලයට යට වීම නිසා තම සිතෙන් ම නැගෙන චෝදනාවත්, පසුතැවීමත්, අතෘප්තිකර භාවයත්, නොසන්සිඳීම ආදියත් නිසා සැබෑ සතුටක් විඳීමේ අවස්ථාව ඔවුන්ට අහිමියි. මෙලොව දී ම කිසිදු ආධ්‍යාත්මික සුවයක් නොලබන ඔවුන් හට මරණින් මතු හිමි වන්නේ අමිහිරි දුක් විපාක පමණයි. ඒ නිසා දියුණු වෙන්න කැමති ඔබගේ දැක්ම ඊට එහා එකක් විය යුතුයි.
ධර්මයට පිටුපා හුදෙක් ලෞකික දියුණුව පමණක් හඹා යන ජීවිතය දුක වැළඳගන්නා බවයි එහි දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එහෙම නම් ඔබ දියුණු වීමට තෝරාගත් ප්‍රතිපදාව එය නම් ඉක්මනින් ම එය වෙනස් කළ යුතුයි. බිහිසුණු ප්‍රතිඵල ලැබදෙන මෙම ප්‍රතිපදා දෙක ම බැහැර කළ විටයි, දෙලොව ම දියුණුවට පත් වන සුන්දර ප්‍රතිපදාව ඔබට විවර වන්නේ. දෑසින් ම ලොව දකිමින් සියලු යහපත කරා රැගෙන යන ඒ සොඳුරු ප්‍රතිපදාව මෙය යි.

“මහණෙනි, ඇස් දෙක ම ඇති පුද්ගලයා කව්ද..? මහණෙනි, මෙහි සමහර කෙනෙකුට මෙන්න මේ වගේ ඇසක් තියෙනවා. ඒ කියන්නේ යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබුණු භෝග සම්පත්වල වැඩීමකට පත් වෙනවා නම් එවැනි ඇසකුත් ඔහුට තියෙනවා. ඒ වගේ ම යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී කුසල් – අකුසල් දන්නවා නම්, වැරදි – නිවැරදි දේ දන්නවා නම්. උසස් – පහත් දේවල් දන්නවා නම් එකිනෙකට වෙනස් වූ අයහපත් යහපත් දේවල් ගැන දැන ගන්නවා නම් ඒ වගේ ඇසකුත් ඔහුට තියෙනවා. මහණෙනි,මොහුට තමයි කියන්නේ ඇස් දෙක ම ඇති පුද්ගලයා කියලා. මහණෙනි, මේ තමයි ඇස් දෙක ම ඇති පුද්ගලයා.”

ගාථා
“තථාගතයන් වහන්සේ විසින් දෑස් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ගැන වදාරන ලද්දේ ඔහු නැගී සිටි වීර්යයෙන් යුක්තව ධාර්මිකව ලැබෙන්නා වූ ධනය උපයා ගන්නා බවයි.
ඔහු ශ්‍රේෂ්ඨ අදහස් ඇති කෙනෙක්. ධර්මය කෙරෙහි සැක රහිත සිත් ඇති කෙනෙක්. ඔහු පින් රැස් කිරීම නිසා යම් තැනකට ගොස් ශෝක නොකරයි නම්, එබඳු සොඳුරු ලොවකට පැමිණෙනවා.”

මෙලොව පරලොව යහපත ඇතිකරමින් භෞතික ලෝකෝත්තර යන දෙඅංශයෙන් ම දියුණුව කරා රැගෙන යන ඒ සොඳුරු ප්‍රතිපදාවයි නුවණැති කෙනා සේවනය කළ යුත්තේ. එවිට මිල මුදලින් භවභෝග සම්පත්වලින් පමණක් නොවෙයි, පසුනොතැවීම, මානසික සහනය, තෘප්තිමත් භාවය රැඳි පරිපූර්ණ සතුටක් සමඟින් මෙලොව ජයගන්නා ඔබ පරලොවත් සුගතිය උරුම කර ගනු ඇති.

එහෙම නම් දැන් ඔබ ම තීරණය කරන්න, දියුණු වීමට කැමති ඔබට උපරිම ප්‍රතිලාභ සලසන සාර්ථක ම ප්‍රතිපදාව කුමක්ද යන වග. ඔබට නුවණින් කල්පනා කිරීමේ හැකියාව තිබේ නම් ඒකාන්තයෙන් ම ඔබ තෝරාගන්නේ තුන්වන ප්‍රතිපදාවයි. මෙලොවත් පරලොවත් යහපත ඇති කරන යම් දියුණුවක් වේ ද නුවණැත්තෙක් ඊට අකමැති වෙන්නේ කෙසේ ද..? ඒ නිසා පළමුවෙන් ඔබ කළ යුත්තේ දියුණුව සම්බන්ධයෙන් ඔබේ ආකල්පය නිවැරදි කර ගැනීම යි.

ඉන් පසු ඔබ තව දුරටත් සොයා බැලිය යුතුයි, මෙලොව පරලොව ජය ගැනීමට හේතු වන ධර්මයේ විස්තර වන ආශ්චර්යවත් දහම් කාරණා. මේ උතුම් දේශනාව පමණක් නොවෙයි, ගිහිගෙදර වසමින් දෙලොව ජය ගැනීමට උපකාරී වන අයුරින් දේශනා කළ බුද්ධ දේශනා ඕනෑ තරම් තියෙනවා. ඉවසීමෙන් යුතුව ඒ උතුම් බුද්ධානුශාසනා ඉගෙනගෙන ඒ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන ක්‍රම ක්‍රමයෙන් දෑසින් ම ලොව දකින්නට ඔබ පුරුදු වුවහොත් ඒකාන්තයෙන් ම ඔබ දියුණුවට පත් වූ අයෙක්. සැබෑවට ම දියුණුවට පත් කෙනා ලබන සියලු ප්‍රතිලාභ හිමි වන්නේ ඔබටයි.

එම නිසා ඔබගේ ආකල්පය ධර්මය තුළින් ඔපමට්ටම් කර ගන්න. ශ්‍රේෂ්ඨ අදහස් ඇති, නැගී සිටි වීර්යයෙන් යුතු, දෙලොව ම ජය ගත් උදාර මනුෂ්‍යයෙකු වන්නට ඔබට වාසනාව උදා වේවා!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි