විස්මිත ප්‍රඥාවෙන් යුතු වූ නිකෙලෙස් හද මඬලක් දරා වැඩ සිටි අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ මූලික වශයෙන් ඉලක්ක කිහිපයක් පිණිස යි. එනම් සතර අපායේ වැටෙමින් යන බිහිසුණු දුක්ඛිත දුක්ඛිත සසර ගමනක් උරුම කර ගත් සත්වයන් දුගතියෙන් මුදවාලීම පිණිස යි. දෙව් මිනිස් සුගතිය තුළ රැකවරණය සලසා දීම පිණිස යි. සසර ගමන කෙටි කොට අමා නිවන් සුව සාක්ෂාත් කරලීම පිණිස යි. එම නිසා තිසරණ සරණගත ශ්‍රාවකයන්ගේ අර්ථවත් අපේක්ෂාවක් විය යුත්තේ මරණින් මතු සුගතියේ ඉපදීමේ අවස්ථාව ලබා ගැනීම යි.

වරක් භාග්‍යවතුන් වහන්සේ මෙවන් ගාථා රත්නයක් වදාළා.

“යේ කේචි බුද්ධං සරණං ගතාසේ
න තේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේව කායං පරිපූරෙස්සන්තී’ති”

“බුදු සමිඳුගෙ සරණ ලැබූ – කෙනෙක් සිටිත් නම් මෙලොවේ
සතර අපායට නොවැටෙති – ගිය විට ඒ අය එලොවේ
මිනිස් සිරුර අත්හළ විට – ඔවුන් පිරෙත් ම ය දෙව්ලොව”

ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂා කෙරේ

තව ද ධර්මයේ හැසිරීමෙන් ලැබෙන ආනිශංස ගැන වදාරා ඇත්තේ මෙලෙසින්.

“ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් ආරක්ෂා කරනු ලැබෙයි. වැසි කාලයේ මහත් වූ කුඩයක් යට සිටින කෙනා නොතෙමෙන්නාක් මෙනි. ධර්මයේ හැසිරීමේ ආනිශංසය මෙයයි. ධර්මයේ හැසිරෙන කෙනා දුගතියට නොයයි.”

එසේ නම්, තිසරණ සරණ ගොස් ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයාට පරලොව සුරක්ෂිත භාවය උතුම් ම ලාභයක්.

වරෙක මහානාම නම් ශාක්‍ය රජතුමා, උපාසකයකු හෙවත් ශ්‍රාවකයකු වන්නේ කෙලෙසින් දැයි භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ ගුණ දැනගෙන සිත පහදවාගෙන මනා කොට බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්, ශ්‍රී සද්ධර්මය සරණ යෑමෙන්, ආර්ය ශ්‍රාවක සංඝරත්නය සරණ යෑමෙන් උපාසකයකු වන බවයි. ඒ උතුම් ශ්‍රද්ධා සම්පත්තිය උපදවා ගත් ශ්‍රාවක-ශ්‍රාවිකාවන් තිසරණ සරණේ අනුහසින් සුගති රැකවරණය ලබා ගත් අයුරු අසිරිමත්.

නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි

නක් අපගේ මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ ඡත්ත නම් මානවකයා ගැන උපන් අනුකම්පාවෙන් ඔහු ඉදිරියට වැඩි සේක. කර්මානුරූපව විශාල කරදරයකට මුහුණ පා මරණයට පත් වීමට ඔහුට සිද්ධ වන බව දන්නා තථාගතයන් වහන්සේ, ඡත්ත මානවකට පරලොව සුගති සම්පත් සලසාලමින් මෙම ගාථාවන් උගන්වා තිසරණයෙහි පිහිටවූ සේක.

“යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බලවිරිය සමංගී – තං සුගතං සරණත්ථමුපේමි”

“කතා කරන මිනිසුන්ට උතුම් වූ – සක්‍යමුනී භගවත් මුනිඳුන් වූ
බුදු කිස නිම කළ – බල වෙර පළ කළ
සසරින් එතෙරට වැඩි නිදුකාණන් – සුගත තථාගත බුදු සමිඳාණන්
සාදරයෙන් මම සරණ යමි”

“රාග විරාග මනේජ මසෝකං – ධම්ම ම සංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථමුපේමි”

“රාග කිසිත් නැති – සෝක කෙලෙස් නැති
පිළිකුල් බව නැති – අසංඛතයි සදහම්
මැනවින් පවසන – හොඳින් ප්‍රගුණ වන
මිහිරි උතුම් සදහම් – සාදරයෙන් මම සරණ යමි”

“යත්ථ ච දින්න මහප්ඵල මාහු – චතුසු සුචීසු පුරිසයුගේසු
අට්ඨ ච පුග්ගල ධම්මදසාතේ – සංඝමිමං සරණත්ථමුපේමි”

“යමෙකුට පිදුවොත් මහ ඵල ලැබ දෙන
සදහම් තුළ සිටි බුදු සව් සැම දෙන
උතුම් පුරුෂයෙන් යුගල සතර දෙන
පුද්ගලයින් ලෙස වෙත් ම ය අටදෙන
ඒ උත්තම ශ්‍රාවක සඟරුවන ද – සාදරයෙන් මම සරණ යමි”

මේ අයුරින් තිසරණයේ ද පංචසීලයෙහි ද පිහිටි ඡත්ත මානවක ටික වේලාවකට පසු සොරුන්ගෙන් පහර කා අවාසනාවන්ත ලෙස මිය ගියත්, නිදා පිබිදියාක් මෙන් දෙව්ලොව දිව්‍ය කුමාරයෙක් ව උපත ලැබුවා. ඉන් පසු දිව්‍ය වේශයෙන් මනුලොව පහළ වී බුදුරජාණන් වහන්සේට සැදැහැ සිතින් වන්දනා කළා.

යමෙක් ලොවේ යහපත ලැබුවා නම්
ඒ හැම තෙරුවන් සරණ ගියෝ…

ඉතිවුත්තක පාළියට අයත් අග්ගප්පසාද නම් සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් වදාළා.

“ඒකාන්තයෙන් ම පැහැදීම් අතරින් අග්‍ර වූ පැහැදීම ඇති වන්නේ අවබෝධයෙන් ම ගුණ දැනගෙන දක්ෂිණාවන්ට අග්‍ර වූ අනුත්තර වූ බුදුරජුන් ගැන පැහැදීම ම යි.

විරාගයෙනුත්, සන්සිඳීමෙනුත් සැපවත් වූ අග්‍ර ධර්මයට ම යි පහදින්නට ඕනෑ. එමෙන් ම ලොවට අනුත්තර පින්කෙත වූ, අග්‍ර වූ ශ්‍රාවක පිරිස ගැනත් පහදින්නට ඕනෑ.”

ඒ ආකාරයෙන් තෙරුවන් කෙරෙහි ඇතිකර ගන්නා අවබෝධාත්මක චිත්තප්ප්‍රසාදය නිසා ජීවිතයකට සැලසෙන අප්‍රමාණ සෙත ශාන්තිය ගැනත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා.

“යමෙකු තුළ තථාගතයන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් මනාව පිහිටා තියෙනවා නම්, ඒ වගේ ම යමෙකු තුළ ගුණවතුන්ගෙන් ප්‍රශංසා ලබන කල්‍යාණ වූ ආර්යකාන්ත සීලයකුත් තියෙනවා නම්,

ඒ වගේ ම යමෙකු තුළ ආර්ය සංඝයා කෙරෙහි චිත්තප්ප්‍රසාදයක් තියෙනවා නම්, ජීවිත දැක්ම පිළිබඳ ව ඍජු බවක් හෙවත් ආර්ය සම්මා දිට්ඨිය තියෙනවා නම් ඔහු නොදිළිඳු කෙනෙක් කියලයි කියන්නේ. ඔහුගේ ජීවිතය හිස් නැහැ.”

ඒ නිසා බුද්ධිමත් තැනැත්තා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරමින් ශ්‍රද්ධාවත්, සිල්වත් බවත්, සංඝයා කෙරෙහි ප්‍රසාදයත්, ධර්මානුකූල දැක්මත් ඇතිව නැවත නැවත ධර්මයේ හැසිරිය යුතුයි.

නමදිමින් සම්බුදුරජාණන් – පවසමින් දම් රස අමාවන්…

වරක් මහා කච්චායන මහරහතන් වහන්සේ සුජාත නම් රජ කුමරුට ධර්මය දේශනා කොට වදාළා. ඒ දම්දෙසුම කෙරෙහි අතිශයින් ම පැහැදුණු රජ කුමරු මහා කච්චායන මහරහතන් වහන්සේට මෙසේ පවසා සිටියා.

“මහා මුනිඳාණෙනි, ඔබවහන්සේ විසින් ඔය අර්ථවත් ගාථාවන් ඉතා ම හොඳින් වදාළා. ඒ යහපත් දේශනාව නිසා මට ධර්මය තේරුණා. මම ඔබ වහන්සේ ව සරණ යනවා. මට පිළිසරණ වනු මැනව.” කියා. එවිට තථාගත ළය මඬලින් උපන් උත්තම රහතන් වහන්සේ රජ කුමරු ව ශාස්තෘ සම්පත්තියෙහි පිහිටුවමින් මෙසේ පවසා සිටියා.

“පින්වත් කුමරුනි, ඔබ මාව සරණ යන්න ඕනෑ නැහැ. මං සරණ ගිය ශාක්‍යපුත්‍ර වූ මහා වීරයාණන් වහන්සේනමක් වැඩ ඉන්නවා. අන්න ඒ උත්තමයන් වහන්සේ ව සරණ යන්න.”
එවිට සුජාත කුමරු මෙසේ විමසා සිටියා.

“අනේ නිදුකාණන් වහන්ස, ඔබගේ ඒ ශාස්තෘන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද? වෙන කිසිවෙක් හා සමාන නො වූ ඒ ජිනයන් වහන්සේ බැහැදකින්නට මාත් යනවා.”
එවිට රහතන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළා.

“කුමරුනි, ඔක්කාක වංශයෙහි උපන් ඒ අජානීය පුරුෂෝත්තමයන් වහන්සේ වැඩසිටියේ පෙරදිග ජනපදයේ. උන්වහන්සේ පිරිනිවන් පා වදාළා.”

සුජාත කුමරුන් එවිට මෙලෙසින් පවසා සිටියා.

“නිදුකාණන් වහන්ස, ඔබගේ ඒ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටින සේක් නම්, උන්වහන්සේ සමඟ උතුම් දහම් ඇසුර ලබන්නට මං දහසක් යොදුන් හරි ගෙවාගෙන යනවා.” කියා.

සාදු සාදු මම සම්බුදු සමිඳු සරණ යන්නේ…

ඉන් පසු රජ කුමරු උතුම් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටා, තෙරුවන් සරණ යමින් මෙලෙසින් ද පවසා සිටියා.

“මං බුදුරජාණන් වහන්සේ ව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. නරදේවයන් වහන්සේගේ ශ්‍රාවක වූ සංඝරත්නයත් සරණ යනවා. මං වහ වහා සතුන් මැරීමෙන් වළකිනවා. ලෝකයෙහි සොරකම් කිරීම මං කරන්නේ නෑ. මත්පැන් බොන්නෙත් නෑ. බොරු කියන්නෙත් නෑ. තමන්ගේ බිරිඳ සමඟ පමණයි සතුටු වෙන්නේ.”

මෙසේ තිසරණ පන්සිල්හි පිහිටි කුමරුන් සර්වඥ ධාතු වන්දනා කරමින් පින් රැස් කරගෙන, සිව් මසකින් පසු ආයුෂ අවසන් වීමෙන් මිය පරලොව ගියා. එනමුත් තිසරණ පන්සිල් රැකි අනුහසින්, රැස් කළ පින් බලයෙන් නිදා පිබිදියාක් මෙන් තව්තිසා දෙව්ලොව උපත ලැබුවා. කෙළෙහිගුණ සිහිකරමින් දිව්‍ය විමානයත් සමඟින් පැමිණ මහා කච්චායන මහරහතන් වහන්සේට වන්දනාමාන කරමින් මෙසේ පවසා සිටියා.

“ස්වාමීනි, මං ඉස්සර මිනිස් ලෝකයේ සුජාත කියා රාජ කුමාරයෙක් වෙලා හිටියා. ඔබ වහන්සේ තමයි මා කෙරෙහි අනුකම්පාව උපදවා ජීවිතය සංවර කරන උතුම් ධර්මයෙහි පිහිටෙව්වේ. මගේ ආයුෂ පිරිහී තිබුණු බව ඔබ වහන්සේ දැනගත්තා. ‘සුජාත, මෙයට පුද පූජා කරන්න, ඒක ඔබට යහපත පිණිස ම යි හේතු වෙන්නේ’ කියා මට ශාස්තෘන් වහන්සේගේ ධාතුන් වහන්සේනමකුත් ලබා දුන්නා. මං ඒ ධාතූන් වහන්සේට සුවඳින්, මලින් පුද පූජා පැවැත්වූවා. හරි පිළිවෙළට ම මං ධාතු වන්දනාව කළා. මිනිස් ශරීරය අත්හැරියට පස්සෙ මං නන්දන වනයෙහි උපන්නා. මේ රම්‍ය වූ නන්දන වනයෙහි නොයෙක් වර්ගයේ කුරුලු කොබෙයියන් ඉන්නවා. මං මෙහි දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නැටුම් ගැයුම්වලින් සතුටු වෙවී ඉන්නවා.”

සිව් මසක් තිසරණ පන්සිල්හි පිහිටා පින් රැස් කිරීමෙන් එපමණ යහපතක් සැලසුණේ නම්, දිවිය පුරාවට තෙරුවන් සරණ ගොස් සීල සම්පත්තියෙහි පිහිටා පින් රැස් කරන්නේ නම්, ගුණ දම් වඩන්නේ නම් ජීවිතයකට මොනතරම් සෙත සැලසෙන්නේ ද?

යමෙක් ලොවේ ඇති දුක් නිවුවා නම්
ඒ  හැම තෙරුවන් සරණ ගියේ…

බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයේ එක්තරා උපාසකයෙකු දන්පැන් පුදා හත්සීයක පිරිසක් ද සමඟින් නැව් නැගී වෙළඳාම පිණිස පිටත් වුණා. එම පිරිසේ තෙරුවන් සරණ ගිය එක ම කෙනා එම උපාසක පමණක් වූ අතර අනිත් සියලු දෙනා වෙනත් ආගම් ඇදහූ පෘථග්ජන පිරිසක් ව සිටියා. මුහුද මැද දී භයානක කුණාටුවකට හසුවූ නෞකාව කැඩී මුහුදුබත් වන්නට ආසන්න වූ අතර සියලු දෙනාගේ ම ජීවිත බරපතළ අනතුරකට පත් වුණා. ඒ මොහොතේ අනෙකුත් සියලු දෙනා බියපත් ව කෑ කෝ ගසමින්, එහෙ මෙහෙ දිව යමින් තමන් අදහන දෙවිවරුන්ට, ආගමික නායකයන්ට කන්නලව් කරන්නට පටන් ගත්තා. එනමුත් අර සැදැහැති උපාසක නිශ්ශබ්ද ව පසෙක වාඩි වී ධර්ම මනසිකාරයෙන් යුතුව සන්සුන් ව සිටියා. කලබල වී සිටි අන් අය ඒ ගැන විමසද්දී තමන් බොහෝ කලෙක පටන් තෙරුවන් සරණ ගොස් සිල් පද ආරක්ෂා කළ බවත්, දන් පින් කර ගත් බවත්, එම නිසා මරණයට බියක් නොමැති බවත් පවසා සිටියා. එවිට පුදුමයට පත් වූ සෙසු පිරිස තමාව ද එම උතුම් තිසරණයෙත්, සීලයේත් පිහිටවන ලෙස එම උපාසකගෙන් ඉල්ලා සිටියා.

එකවර හත්සිය දෙනා ම රැස් කිරීමට නැව් බඳ තුළ ඉඩ නොතිබූ හෙයින් සියය බැගින් පිරිස හතකට බෙදා තිසරණ සමාදන් කරවා සිල්පද සමාදන් කරවූවා. පළමු සියදෙනා සරණ සීලයේත්, පන්සිල්හිත් පිහිටද්දී පාදයේ ගොප් ඇටය දක්වා නැව තුළට වතුර ගලා ආවා. දෙවන පිරිසේ දී කෙණ්ඩා දක්වාත්, තෙවැනි පිරිසේ දී දණහිස් දක්වාත්, සිව්වැනි පිරිසේ දී ඉණ දක්වාත් වතුර මට්ටම වැඩි වුණා. පස්වැනි පිරිසේ දී කුස දක්වාත්, හයවැනි පිරිසේ දී පපුව දක්වාත් ජලය පිරුණ අතර හත්වෙනි පිරිස තිසරණ සමාදන් වුණේ ගෙල දක්වා ම නැවේ වතුර පිරී පවතිද්දීයි.

වාසනාවන් සබඳ කලණ මිතුරන් ඇසුර…

අනතුරුව නෞකාව සම්පූර්ණයෙන් ම මුහුදුබත් වූ අතර සියලු දෙනාම වතුරේ ගිලී මරණයට පත් වුණා. එනමුත් තිසරණ පන්සිල්හි පිහිටා සිටි අනුහසින් හත්සිය දෙනා ම අසිරිමත් ලෙස නිදා පිබිදියාක් මෙන් දෙව්ලොව උපත ලැබුවා. ඉන් පසු සියය බැඟින් වූ දිව්‍ය පිරිස් ලෙස භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ජේතවනාරාමයට පැමිණ, ශාස්තෘන් වහන්සේ වන්දනා කොට දහම් පිළිසඳරෙහි යෙදුණා. එහි දී මුලින් ම තිසරණ පන්සිල්හි පිහිටි පිරිස අනිත් දෙවිවරුන්ට වඩා දීප්තිමත් පැහැයෙන් යුක්ත වුණා. අනිත් දිව්‍ය පිරිස් ද තිසරණ පන්සිල්හි පිහිටි අනුපිළිවෙළ අනුව අනුක්‍රමයෙන් පැහැපත් බව ලබා තිබුණා. ඉතා සුළු වෙලාවක් මරණය අබියස රැකි සරණ සීලයත්, සිල්පදත් එතරම් ම ආනුභාව සම්පන්න වුණා. එසේනම් දිවි හිමියෙන් තෙරුවන් සරණ යාමත්, සිල්පද සුරැකීමත් කෙතරම් ආශීර්වාදයක් ද?

වරක් දෙව්ලොව චාරිකාවේ වැඩි මොග්ගල්ලාන මහරහතන් වහන්සේට සුන්දර දිව්‍ය විමානයක සිටින මහානුභාව සම්පන්න දෙව්දුවක් දක්නට ලැබුණා. ඒ පිණිස රැස් කළ පුණ්‍ය සම්පත්තිය කෙබඳුදැයි විමසූ විට එම දෙව්දුව මෙලෙසින් පවසා සිටියා.

“නිදුකාණන් වහන්ස, මම රජගහ නුවර හිටපු සුනන්දා කියන උපාසිකාව. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා. මං සිල්පද රැක ගත්තා. හැම තිස්සෙම දන් දෙන්න ම යි කැමති වුණේ. ඍජු සිත් ඇති ආර්යන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මං වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේ ම ආහාරපාන, සේනාසන, තෙල් පහන් පූජා කර ගත්තා. චාතුද්දසී දවසට, පුන් පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසථ සිල් රැක ගත්තා. කාටත් දන් පැන් දුන්නා. මං ඒ විදියටයි ගෙදර ජීවත් වුණේ.

මං සතුන් මැරීමෙන් වැළකුණා, බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කර ගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල් පද පහ රැක ගත්තේ කැමැත්තෙන් ම යි. චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුණා. ඒ නිසා ම යි පැතිරුණු යශෝරාවය ඇති, සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසා ම යි.”

බලන්න තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්ත උපාසිකාවගේ අභිමානය කොතරම් උදාර ද කියා…

තුන්ලොවට ම අග්‍ර උතුම් ම පිළිසරණ ලබමු…

මෙලොව යහපත සදන, පරලොව සුගතිගාමි කරන, අමා නිවනට පමුණුවන ඒ උතුම් තිසරණය ගැන අග්ගප්පසාද නම් සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් වදාළා.

“පින්වත් මහණෙනි, සියලු ම සත්වයන් අතුරින් අග්‍රයි කියා පවසන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට ම යි. යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම්, ඔවුන් අග්‍ර වූ උත්තමයෙකුට ම යි පැහැදුනේ. සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනු අයට අග්‍ර වූ විපාක ලැබෙනවා.”

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් ද වදාළා.

“පින්වත් මහණෙනි, මානය නැති කර දමන, කෙලෙස් පිපාසය නිවා දමන, නොඇල්ම ඇති කරන, සසර ගමන නවතන, තණ්හාව ගෙවා දමන, කිසිවක නොඇලීමෙන් විරාගී වූ, දුක් නැති කරන ඒ අමා නිවන සියල්ල අතරින් අග්‍රයි. යම් කෙනෙක් මේ විරාගී දහම ගැන පැහැදුනොත්, ඔවුන් ඒ පැහැදුනේ අග්‍ර දෙයටයි. අග්‍ර වූ උත්තම ධර්මයට පැහැදුන අයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.”

එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළා.

“පින්වත් මහණෙනි, ලෝකයේ යම්තාක් පිරිස් වේවා, ජන සමූහයන් වේවා, මේ තථාගත ශ්‍රාවක සඟ රුවන ම යි ඒ සියලු පිරිස්වලට වඩා අග්‍ර වෙන්නේ. උන්වහන්සේලා උතුම් පුද්ගල යුගල වශයෙන් හතරක් වෙනවා. වෙන් වෙන් වශයෙන් උතුම් පුරුෂ පුද්ගලයෝ අට දෙනයි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඟ රුවන දුර සිට දන්පැන් ගෙනවුත් පිදීමට තරම් ගුණවත් නිසා ආහුණ්‍යේයයි. ආගන්තුක සත්කාර කිරීමට තරම් ගුණවත් නිසා පාහුණ්‍යේයයි. පින් සලකාගෙන දන්පැන් පිදීමට තරම් ගුණවත් නිසා දක්ඛිණ්‍යේයයි. වැඳුම් පිදුම් කිරීමට තරම් ගුණවත් නිසා අංජලිකරණීය යි. ලොවට උතුම් පින්කෙතයි. එබඳු ශ්‍රාවක පිරිසක් කෙරෙහි පැහැදුනේ නම් ඔවුන් පැහැදී තිබෙන්නේ අග්‍ර වූ පිරිසකටයි. අග්‍ර වූ පිරිසකට පැහැදුන විට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.”

එම නිසා පින්වත්නි, අපිත් අවබෝධයෙන් ම ගුණ දැනගෙන ම ඒ උතුම් තිසරණය සරණ යමු. උතුම් සිල්පද සුරකිමින් ගුණ දම් වඩමු. දන්පැන් පුදමින් දාගැබ්, මහබෝ නමදිමින් පින් රැස් කර ගනිමු. මෙලොව යහපත සලසාගෙන, මතු ජීවිත සුගතිගාමී කරගෙන නිවන් මගේ පිළිවෙත් පුරමු. සීල, සමාධි, ප්‍රඥා වඩා මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි!

– මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.