‘ඇහේ ඉහේ තබාගෙන දරුවන් හැදිය යුතු ය’ යැයි යන ව්‍යවහාරය ජන සමාජයේ පවත්නේ අතීතයේ පටන් ය. දරුවන් යනු ප්‍රවේශමෙන් රැක බලා ගත යුත්තවුන් ය යන්න එයින් පිළිඹිබු කෙරිණ. ඒ ව්‍යවහාරය එදාටත් වඩා සුදුසු වන්නේ අදට ය. මන්ද, පෙර නොවූ විරූ තරමින් දිනෙන් දින ම නොයෙකුත් දුරාචාරයන්ගෙන් අප සමාජය ආක්‍රමණය කෙරෙන හෙයිනි. ඒ සියල්ල අතරින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කරවීම පිණිස තරම් කූට වෙළඳ උපක්‍රම අන් කිසිවකට භාවිත නො වේ. අද රට හමුවේ ඇති ප්‍රබල ම අභියෝගය ව පවත්නේ මේ මත් උවදුර ය කියා කීව ද වරදක් නැත.

පසුගිය වසර කිහිපය පුරා ම පාසල් වියේ දරු දැරියන් හා තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, භාවිත කිරීම ආදී චෝදනාවලට ලක් වූ අයුරු වාර්තා විණි. ඒවා හුදු චෝදනා වීමෙන් පමණක් නොනැවතී සත්‍යතාව තහවුරු වූ අවස්ථා ම බහුල විය. පාසල් ගුරුවරුන් විසින් මත් උවදුර විසින් පාසල් සමාජය බලවත් ව ආක්‍රමණය කරන අයුරු පැහැදිලි ව අත්දකී. ඔවුන් හා කථාබහේ යෙදෙද්දී පෙනී යන්නේ අද පාසල් තුළ අකුරු කරන්නට පැමිණෙන්නේ පියවි සිහි ඇති දරුවන් පමණක් නොව මතින් සිහි විකල් වූවන් ද එහි වන බව ය. ඇහේ ඉහේ තබාගෙන හදාවත් දරුවන් රැක ගත නොහැකි තරමට බලවත් අනතුරුදායක ස්තරයක අද අප සිටින බවට ඊට වඩා සාක්ෂ්‍ය වුවමනා නැත.

අතීතයේ පටන් වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසින් ලෝක ප්‍රජාවේ අවධානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ද බලවත් සැලකිල්ලට බඳුන් වීම රටේ අවාසනාවකි. අද වන විට ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තිප්පළකි. මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වීමෙන් නොනැවතී රට ඔස්සේ සංසරණය වන මත්ද්‍රව්‍ය ජාලයක පැටලෙන්නට ද අපට සිදු ව ඇත්තේ එනිසා ය.

මේ ජාවාරම් ඔස්සේ උපයන කළු සල්ලි නිසා බලවත් භාවයන් ගොඩනගා ගත්තවුන් ගැන නම් ගම් කියැවෙමින් හෙළිදරව් කිරීම් සිදු කෙරුණ ද ඔවුන් වෙත නීතිය බලපවත්වන බවක් දක්නට වූයේ නැත. එනිසා ම ඔවුන් සමාජ ආර්ථිකය ද දේශපාලනය ද ස්වකීය අභිමතාර්ථයන් ඔස්සේ හසුරුවන තරමට බලාධිකාරයන් ගොඩනගා ගත් ලෙසක් ද දිස් විය. ඒ සියල්ල ක්‍රියාත්මක වන්නේ ද පාලනය වන්නේ ද බලවත් අදිසි හස්තයන්ගෙන් යැයි සැක උපදනා තරමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමෙහි ලා කටයුතු සම්පාදනය කලක් පුරා ම තිබුණේ දුර්වල අඩියක ය. එහෙත් දැන් දැන් එකරුණෙහි ලා සාධනීය ප්‍රගමනයක් ඇති ව තිබෙන බවක් දක්නට හැකි ය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, පොලිස් නිලධාරීන්ගේ කාර්යක්ෂම මැදිහත් වීමෙන් පසුගිය දිනවල රට තුළ මත්ද්‍රව්‍ය වැටලීම් සාර්ථක ව ක්‍රියාවේ යෙදවිණ. එසේ ම මෙකී ව්‍යසනයෙන් රටවැසියන් ගලවා ගැනීම පිණිස දැනුම්වත් කිරීම් ද අඛණ්ඩ ව ම සිදු කෙරිණ. එය ප්‍රශංසා කටයුතු ය. උතුම් තිසරණ සරණින් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ඉදිරියට ද වඩාත් සාර්ථක ව සිදු කරලීමට පාලක කාරකාදීන්ට සියලු ආශීර්වාද සැලසේවා!

ඔවුන් විසින් සිදු කරනා මේ සද්කාර්යයට සිහිනුවණින් යුතු ජන සමාජයක් දකිනු රිසි සියල්ලෝ ශක්ති පමණින් උපරිම දායකත්වය දැක්විය යුතුව තිබේ. දුරාචාරයන්ගේ ගොදුරක් නො වී ශිෂ්ට ජීවන සම්ප්‍රදායේ අක්මුල් පැතිර ගිය හෙළ බොදු සමාජය සුරක්ෂිත කළ යුත්තේ ඔවුන් පමණක් නො වේ; එය අපගේ ද යුතුකමකි, පැහැර නොහැරිය යුතු වගකීමකි. දරුවන් යනු දැය සුවඳවත් කෙරෙමින් පිපෙන සොඳුරු මල් ය. මතින් විකල් ව මිලින වන අවාසනාවන්ත ඉරණමින් ඔවුන් මුදවා ගැනීම පිණිස එකාවන් ව එක්සිත් ව අපිදු පෙළගැසෙමු. මතින් තොර රටක් ගොඩනගමු.