නොසිතූ විරූ දියුණුවක් ලබන ව්‍යාපාරයකට මඟ

‘කිරි ගහට ඇන්නාක් මෙන්’ යැයි කියා ව්‍යවහාරයක් අපට තිබේ. එයින් කියැවෙන්නේ අපේක්ෂිත ප්‍රතිඵලය නිසැක බව ය. මෙකී ව්‍යවහාරය අප අතර තිබෙන්නේ වුව ද කිරි ගහට ඇන්නාක් මෙන් නිසැක ප්‍රතිඵල ලැබෙන ආකාරයේ කටයුතු අපට තිබෙන්නේ අඩුවෙනි. විශේෂයෙන් ම ව්‍යාපාරවල දී කිරි ගහට ඇන්නාක් මෙන් සාර්ථක ප්‍රතිඵල ලබන්නට සියල්ලෝ කැමති වුව ද ලබන්නෝ විරල ය. සාර්ථක ව්‍යාපාරයක් තුළ නිසැක සාර්ථකත්වයක් ලද හැකි සොඳුරු ධර්ම පර්යායක් මෙම ලිපියෙහි ලා ඉදිරිපත් කරන්නට සිතුවේ මෙකී පදනම සකසාලිය හැකි පසුබිමක අප ජීවත් වන හෙයින් මේ ජීවිතයේ දී ම නොසිතූ විරූ දියුණුවක් ලබන සාර්ථක ව්‍යාපාරයක උරුමය ලබන්නට වාසනාව ඇති හෙයිනි. එකී වාසනාව අපට ද අත්පත් වනවා නම් කොතරම් හොඳ ද…

මේ වනාහී සාර්ථක ව ව්‍යාපාර කටයුතු සිදු කිරීම පිණිස වන ක්‍රමෝපායන් සම්පාදනය ගැන මහාමේඝයෙහි තැබෙන සටහන් පෙළෙන් අප උගන්නා හතරවන පාඩම යි…

ව්‍යාපාරයන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් අප අත්දකිනා ස්වභාවයන් හතරක් තිබේ. ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ ව්‍යාපාර කඩාකප්පල් වී යන්නේ වෙයි. තවත් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ ව්‍යාපාරයන් සිතූ පරිදි දියුණු නොවන්නේ වෙයි. ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ ව්‍යාපාර අදහස් කළ අයුරින් ම දියුණු වෙයි. ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ ව්‍යාපාරයන් තමාවත් නොසිතූ අයුරින් අතිශයින් ම දියුණුවට පත් වෙයි. මේ සතර ආකාරය ම අප විසින් සමාජයේ අත්දැක තිබේ. ඇතැම් විට, එසේ වන්නේ ඇයි කියා අප විසින් ම ප්‍රශ්න කළ අවස්ථා ද තිබේ. මේ සොඳුරු ධර්ම පර්යායෙන් ‘එසේ වන්නේ ඇයි?’ යන්න හෙළිදරව් කෙරේ.

අප විසින් ද විමසා ඇති, එහෙත් නිසැක පිළිතුරක් නොලත් මෙම පැනයන් සම්බුදුරජාණන් වහන්සේගෙන් විමසා වදාළේ ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ය.

“ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළෙඳාමක් කඩාකප්පල් වී යන්නේ නම් එයට හේතුව කුමක් ද? එයට කාරණය කුමක් ද?”

තුන්ලොව ම වැසී ආවරණය වූ කිසිවක් නැති මහා නුවණින් යුතු වූ සම්බුදුරජාණන් වහන්සේ එයට මෙසේ පිළිතුරු වදාළ සේක.

“සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවයක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද එය නොදෙයි. ඉදින් එය නොදුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම්, ඔහු යම් ම වෙළෙඳාමක් පටන් ගනියි ද ඔහුගේ ඒ වෙළෙඳාම කඩාකප්පල් වෙයි.”

ව්‍යාපාර කඩාකප්පල් වනු අකැමැත්තෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට පොරොන්දු වූ දෙය නොදී සිටීමෙන් වළකිත්වා!

සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ දෙවැනි පැනය විමසූ සේක.

“ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළෙඳාමක් සිතූ පරිද්දෙන් දියුණු නොවන්නේ නම් එයට හේතුව කුමක් ද? එයට කාරණය කුමක් ද?”

සම්බුදුරජාණන් වහන්සේ වදාළ පිළිතුර මෙයයි.

“සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවයක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද එය අදහස් වූ පරිදි නොදෙයි. ඉදින් එය අදහස් වූ පරිදි නොදුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම්, ඔහු යම් ම වෙළෙඳාමක් පටන් ගනියි ද ඔහුගේ ඒ වෙළෙඳාම සිතූ පරිද්දෙන් දියුණු නො වෙයි.”

සිතූ පරිදි ව්‍යාපාර දියුණුව ලැබීම කැමැත්තෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට ඒ ඒ දේ පොරොන්දු වූ ආකාරයෙන් ලබා නොදීමෙන් වළකිත්වා!

සිතූ අයුරින් ම දියුණුවට පත් වන ව්‍යාපාරයන් පිළිබඳ සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසූ පැනය ද එයට සම්බුදුරජාණන් වහන්සේ වදහළ පිළිතුර ද මෙපරිදි ය.

“ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළෙඳාමක් තමා අදහස් කළ අයුරින් දියුණු වෙයි නම් එයට හේතුව කුමක් ද? එයට කාරණය කුමක් ද?”

“සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවයක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද එය අදහස් වූ පරිදි දෙයි. ඉදින් එය අදහස් වූ පරිදි දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම්, ඔහු යම් ම වෙළෙඳාමක් පටන් ගනියි ද ඔහුගේ ඒ වෙළෙඳාම සිතූ පරිද්දෙන් දියුණු වෙයි.”

සිතනා අයුරින් ම ව්‍යාපාර දියුණුව ලබනු කැමැත්තෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට පොරොන්දු වන්නේ යමක් ද ඒ ඒ දේ ඒ ආකාරයෙන් ම පවරත්වා!

සිතුවාටත් වඩා දියුණුවට පත්වන ව්‍යාපාරයකට උරුමකම් කියන්නට අකමැති වන්නවුන් නැත. මේ උතුම් ධර්ම පර්යායේ අවසන් කරුණින් එයට මඟ හෙළි වේ.

“ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළෙඳාමක් තමා නොසිතූ අයුරින් අතිශයින් ම දියුණුවට පත් වෙයි නම් එයට හේතුව කුමක් ද? එයට කාරණය කුමක් ද?”

“සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවයක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද එය අදහස් කළ ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දෙයි. ඉදින් එය අදහස් කළ ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම්, ඔහු යම් ම වෙළෙඳාමක් පටන් ගනියි ද ඔහුගේ ඒ වෙළෙඳාම නොසිතූ අයුරින් ඉතාමත් වැඩිදියුණු වෙයි.”

මේ පාඩම මැනැවින් සිහි තබා ගනිත්වා! මන්ද සම්බුදුරජාණන් වහන්සේ මෙකරුණින් ද ‘තථාගත’ වන හෙයිනි.

“පින්වත් මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක් ද යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානා සේක් ද ඒ අතර කාලය තුළ දී තථාගතයන් වහන්සේ යමක් පවසන්නාහු ද ප්‍රකාශ කරන්නාහු ද නිර්දේශ කරන්නාහු ද ඒ සියලු දෙය ම ඒ අයුරින් ම වන්නේ ය. අන් අයුරකින් නොවන්නේ ම ය. එම නිසා තථාගත යැයි කියනු ලබන්නේ ය.”

(ලෝකාවබෝධ සූත්‍රය)

යමෙකුට පිදුවොත් මහත් වූ ඵල ලැබ දෙන උතුමන් වනාහී පින් සලකා දීමට සුදුසු වූ සුගතයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ය. ඒ පාඩම අපි පෙර උගත්තෙමු. ඒ වනාහි ලොව පවත්නා පරම සත්‍යයකි. බුදුරජාණන් වහන්සේ ඒ පරම සත්‍යය වදාරා ලොවට යහපත සැලසේවා කියා සත්‍යක්‍රියා කළ සේක. මේ ධර්ම පර්යාය දරා ගන්න වාසනාව ලද අපට පින් ඵල උපදවන අනුත්තරීය පින්කෙත වූ ශ්‍රාවක සඟ රුවන විෂයෙහි අවශ්‍යතා ඉටු කර දෙන්නට මහානීය අවස්ථාව හිමිව තිබේ. ඉදින් උන්වහන්සේලා විෂයෙහි පොරොන්දු වන්නේ යමක් ද එපමණටත් වඩා පවරන්නට ම උත්සුක වෙත්වා! දන්පැන් පුදන්නවුන් විෂයෙහි මෙලොව දී ම ලැබෙන ආනිශංසයක් ලෙසින් නොසිතූ විරූ දියුණුවක් ලබන අතිශයින් සාර්ථක ව්‍යාපාරයක උරුමකරුවෙකු බවට ඔබ පත් කරලන රහස එය යි…!

අංගුත්තර නිකාය දෙවන පොත් වහන්සේගේ අන්තර්ගත උතුම් වණිජ්ජා සූත්‍ර දෙසුමෙන් අප උගත් මේ පාඩම මෙලොව පරලොව දියුණුව පිණිස උපකාර කොට ගන්නට අපිදු බලවත් ව අදිටන් කර ගනිමු.
තෙරුවන් සරණයි!

සටහන – සරත් එම්. හේවාවිස්ස