සුජීව හා වරුණි විවාහ වීමට පෙර සිට ම තම ආදර සිහින අතරට අනාගත දරු සම්පත් ගැන සිහින මැව්වෝ ය. නෑ හිත මිතුරන්ගේ ආශීර්වාද මැද්දේ මහ ඉහළින් විවාහ මංගල උත්සවය සිදු කිරීමට ඔවුන්ට හැකි විය. විවාහයෙන් පසුව කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යද්දී තෙමසක් ළංවත් ම ඔවුන් මැවූ සිහින සැබෑවන ලකුණු පහළ විය. එනම් වරුණි ආදරණීය මවක් වීමට යන බව ය. කුමක්දෝ විස්තර කළ නොහැකි දරු පෙමකින් හදවත වෙලී යන සෙයක් සුජීවට දැනෙන්ට විය. ඉබාගාතේ ගිය ජීවිතය වෙනුවට තමා වගකීම් හා යුතුකම් පිරුණු පියෙකු වන්නේ යයි සියුම් අභිමානයක් දැනෙන්නට විය. දෙමාපියන් නෑ හිත මිතුරන් අතරට ආ මේ ආගන්තුක කතා බහ සියලු දෙනා සතුටින් කුල්මත් කළහ. සුජීව වඩ වඩාත් අනාගත බලාපොරොත්තු තුළ ම ගිලෙන්නට විය.

පැතුම් පොදි බැඳ

සුජීව වඩාත් කැමති වූයේ දියණියකට ය. වරුණි වඩාත් කැමති වූයේ පුතෙකුට ය. කවුරු ඉපදුණත් ඔවුන්ට ඔහු හෝ ඇය මහමෙරක් සේ ය. තවමත් නූපන් දරුවා දියණියකැයි සිතා රෝස පාටින් ඇඳුම් ආයිත්තම් සැකසිණි. පුතෙකු යැයි සිතා නීල වර්ණ ඇඳුම් ආයිත්තම් ද සැකසිණි. වරුණි ගත වූ මාස නවය පුරාවට ප්‍රත්‍ය ආහාර පමණක් ගත්තා ය. අත්‍යාවශ්‍ය ගමන් බිමන් පමණක් ගියා ය. ඇයට රාත්‍රිය පුරා සුවපහසු නින්දක් නො වී ය. ඇය සෑම සති අන්තයක ම විහාරයට ගොස් බෝධි පූජා පවත්වා පිරිත් සජ්ඣායනා කළා ය. මේ සෑම කැප කිරීමක ම අභිප්‍රාය වූයේ නුදුරේ ම තම ලෙයින් උපදින දරුවා රජෙක් වනු දැකීමේ ආශාව ම ය.

මේ කාලය තුළ සුජීවගේ කැප කිරීම ද මීට නොදෙවෙනි විය. වරුණි නියමිත දිනදී ම කරදරයකින් තොරව සුදෝ සුදු පුතෙකු වැදුවා ය. සියලු දෙනාගේම සිත් සතන් නිම්හිම් නැති සතුටින් ඉපිල ගියහ. සුජීව වෙනදාටත් වඩා යුහුසුළුව සියලු ඕනෑ එපාකම් සපුරාලන්නට මහන්සි ගත්තේ ය.

සිතු දේ නොම වේ, නො සිතු දේ ම සිදු වේ

මෙසේ කාලය ගෙවී යද්දී ටික කලෙකින් ම දරුවාගේ යම් අසාමාන්‍ය වෙනස්කම් දුටු හෙයින් ඔවුන් ඒ සඳහා වෛද්‍ය උපදෙස් පතන්නට විය. එහිදී වෛද්‍යවරුන් පැවසුවේ දරුවා මානසික බෙලහීනතාවයකින් පෙළෙන්නකු බව ය. මේ අතිශය ශෝචනීය ඉරණමට පත් වූවෝ සුජීව හා වරුණි පමණක් නොවන බව ඔබ දන්නවා ද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකය පුරා මිලියන තුන්සිය පනහක්, එනම් කෝටි තිස්පහකට වැඩි ජනගහණයක් මානසික අවපීඩන තත්ත්වයෙන් පෙළෙන බව වාර්තා වේ. එනම් සුජීවගේ හා වරුණිගේ ජීවිත ඉරණම ඒ සියලු දෙනාගේම ජීවිත ඉරණමට සාධාරණ විය. එපමණක් නොව එම සංවිධානයේ වාර්තාවලට අනුව ලෝක ජනගහනයෙන් 10% – 20% අතර ප්‍රතිශතයක් යම් යම් මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙති.

විසඳුම් කෙසේ ද…?

සුගති ලෝකයක් වූ මනුෂ්‍ය ලෝකයේ ම උපන් මේ අසරණයන් ද දෙමාපියන් ද ඤාතීන් ද සමස්ත ලෝක ජනතාව ම ද මේ විසඳුමක් නැති අර්බුදය හමුවේ විඳින දුක් පීඩා අපමණ ය. ඔවුන් සඳහා වෛද්‍ය පහසුකම්, විවිධ සුභසාධන වැඩපිළිවෙළවල්, ආරක්ෂණ සේවා සඳහා ඩොලර් ටි්‍රලියන ගණන් වැය කිරීමට සිදුවී තිබේ. මේ සඳහා දහසකුත් ප්‍රතිකාර ක්‍රම වර්තමාන ලෝකයා සොයා ගත්ත ද මීට හේතුවන මූලික නිදානය ඔවුනට අදටත් රහසකි.

අපරිමිත අවබෝධයක අසිරිය

කිසිවකට නොවැසුණු ප්‍රඥාවක් ඇති භාග්‍යවතුන් වහන්සේ එහි නිදානය පිළිබඳ මෙසේ වදාළ සේක.

“සුරාමේරයපානං භික්ඛවේ, ආසේවිතං භාවිතං බහුලීකතං නිරයසංවත්තනිකං, තිරච්ඡානයෝනිසංවත්තනිකං, පෙත්තිවිසයසංවත්තනිකං, යෝ සබ්බලහුසෝ සුරාමේරයපානස්ස විපාකෝ මනුස්සභූතස්ස උම්මත්තක සංවත්තනිකෝ හෝති.”

“මහණෙනි, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය සේවනය කිරීමෙන්, නැවත නැවත සේවනය කිරීමෙන්, බහුලව භාවිත කිරීමෙන් නිරයෙහි උපතට හේතුවෙයි. තිරිසන් අපායේ උපතට හේතුවෙයි. ප්‍රේත ලෝකයේ උපතට හේතුවෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇත්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තා හට උම්මත්තක බවට පත් වීමට හේතු වෙයි.”

(අපාය සංවත්තනික සූත්‍රය – අං. නි. 5)

එසේ නම් වර්තමානයේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නා අනාගතයේ අවම වශයෙන් මනුස්ස ලෝකයේ ඉපදුණ ද උමත්තකයෙකු, එසේ නොමැති නම් මානසික රෝගියෙකු වීමට අවැසි පසුබිම වර්තමානයේ ම සකස් කරන බව පැහැදිලි ය. එපමණක් නොව මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ වසර 10ක් 15ක් වන්නට පුළුවන. නමුත් එහි විපාකය පරලොව දී වසර 10කින් 15කින් ගෙවා නිම නො වේ. ඇතැම් විට ආත්ම භාව පන්සියයක් දහසක් විපාක දෙනු ඇත. ඒ සෑම ජීවිතයක ම ඔහුගේ දෙමාපියන්ගේ ඉරණම සුජීව හා වරුණිගේ ඉරණම ය. කර්මය ගෙවී ගොස් ආත්ම 500ක් 1000ක් ගෙවී ගිය ද සසරේ බොහෝ කල් කරුණු කාරණා වැටහෙන නුවණක් නැති, සියලු දෙනාගෙන් මෝඩයෙකු, දුබලයෙකු යැයි නින්දාවට පාත්‍රවන ජීවිතයක් ලැබෙනු ඇත. ඉතා සුළු කාලයකට ජීවිතය වරද්දා ගැනීම සසරේ කොපමණ කලක් තමන්ටත් අනුන්ටත් හිංසාකාරීව බලපානවා ද යන්න මින් පැහැදිලි ය.

මෙලොවදී මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නාගේ ධනය හානි වේ. විවිධ දරුණු රෝගී තත්ත්වයන්ට ගොදුරු වේ. සමාජයෙන් නොයෙකුත් නින්දා, අපහාස ලැබේ. විවිධ කලකෝලාහලවලට පැටලේ. සමාජයෙන් අගෞරව ලබන අවිශ්වාසී පුද්ගලයෙකු බවට පත්වේ. අනුන්ට වැරදි ආදර්ශයක් ලබාදෙයි. පෞරුෂත්වය හීන කායික, මානසික දුබලයෙකු බවට පත්වේ. ලැජ්ජා භය ආදී මූලික මිනිස් ගුණ හීන බේබද්දෙකු බව ප්‍රකට වේ. බොහෝ අයගේ සිත් රිදවන කායික මානසික චර්යාවන්ගෙන් යුක්ත වේ.

මේ සෑම දෙයක් ම නිසා අප්‍රමාණ පව් රැස්කර ගනී. අවසානයේ දුලබ ව ලද වටිනා මිනිස් ජීවිතයෙන් අකාලයේ සමුගෙන දුගතියේ ඉපදීමට ඔහුට සිදුවනු ඇත.

වර්තමාන ලංකාවේ තත්ත්වය…

මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය මෙසේ මෙලොව පරලොව දහසකුත් ආදීනවයන් ප්‍රකට වෙන අපායගාමී අකුසලයක් බව පැහැදිලි ය.

වර්තමානයේ ලංකාව පුරා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මඟින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් කොතෙකුත් ක්‍රියාත්මක කරමින් පවතින නමුත් ශ්‍රී ලාංකිකයන් වර්තමානයේ දිනකට මිලියන 197ක් අරක්කු සඳහා ද මිලියන 100ක් බියර් සඳහා ද මිලියන 332ක් සිගරට් සඳහා ද වැය කරන බව ඔබ දන්නවා ද? ඒ අනුව නීත්‍යානුකූල නිෂ්පාදිත මත්ද්‍රව්‍ය සඳහා දිනකට ශ්‍රී ලාංකිකයන් මිලියන 600කට අධික මුදලක් වැය කරමින් අනාගත උමතු බව පතන බව ඔබ දන්නවා ද? අප දන්නා තරමින් ලංකාවේ නීත්‍යානුකූල මත්පැන් මත්ද්‍රව්‍යවලට වඩා වැඩි ප්‍රතිශතයක් නීත්‍යානුකූල නොවන මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරයි. එසේ නම් දුප්පත්කම නිසා දහසකුත් අගහිඟකම්වලින් මිරිකෙමින් සිටින ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් මිලියන 1000කට වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සඳහා වැය කරමින් සිටියි.

අපට මොකද මේ උනේ…

මෙසේ අභිමානවත් ජාතියක පිටකොන්ද එහෙම පිටින් ම බිඳහෙළමින් ජාතිය වෙලා පවතින මේ විනාශකාරී පිළිලයට විසඳුම් සෙවීම පුද්ගලයෙකු, දෙදෙනෙකු මත පමණක් පැවරෙන රාජකාරියක් නොවන බව පැහැදිලි ය. ඒ සඳහා සාකච්ඡා, සම්මන්ත්‍රණ, ක්‍රම උපායන් අඛණ්ඩව දියත් කිරීම අත්‍යාවශ්‍ය ය. මෙහිලා ඇති ශෝචනීය ම කරුණ වන්නේ වර්තමානයේ ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධානම ඉලක්කය වනුයේ පාසල් දරුවන් වීම ය. අගනුවර පමණක් නොව අනුරාධපුර වැනි දුර බැහැර ප්‍රදේශවල පවා දැනටමත් වයස 12/13 වැනි කුඩා ගැහැණු දරුවන් පවා මත්රකුසන්ට ගොදුරු වී හමාර ය.

වගකිව යුත්තෝ කවුරුන් ද…?

මෙම අනතුර පිළිබඳව මනා දැනුම්වත් භාවයක් ගුරුවරුන් හා දෙමාපියන් තුළ තිබීම අත්‍යාවශ්‍ය ය. දෙමාපියන්, ගුරුවරුන් බොහෝවිට දරුවන් අධ්‍යයන කටයුතුවලට පමණක් සීමාකර තිබේ. ඔවුන් ඊට නිදහසට කරුණු ලෙස දක්වන්නේ වර්තමාන අධ්‍යාපන රටාව තුළ එසේ නොකර බැරි බව ය. ඒ නිසා බොහෝ විට දන්දීම, සිල් සමාදන් වීම් ආදී ආගමික කටයුතු සඳහා පැමිණෙන්නේ වැඩිහිටියන් පමණි. නමුත් අනෙකුත් බාහිර උත්සව කටයුතුවලදී දින සති ගණන් දරුවන් ඒ සඳහා යොමු කරති. බොහෝ දෙමාපියන් ද දරුවන්ට ලබා දිය යුතු සැබෑ වටිනා දෙය තේරුම් ගැනීමට අදක්ෂ ය. විශේෂයෙන් ම කුඩා වයසේ දරුවන්ගේ ඇසුරට පත්වන හොඳ නරක දෙක ම වහා ග්‍රහණය කර ගන්නා ස්වභාවය දරුවන් තුළ තිබේ. එමෙන් ම මුළු ජීවිත කාලය පුරාවට තම ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ලෙස කුඩා අවධියේ තමා ඇසුරු කරන පුද්ගලයන්, ජීවත්වන පරිසරය හේතු වේ.

මෙන්න විසඳුම….

මේ නිසා දෙමාපියන් අත්‍යාවශ්‍යයෙන් ම කුඩා කල සිට ම යහපත් කලණ මිතුරු ඇසුරක් දරුවන්ට ලබා දීමට උත්සුක විය යුතු ය. එය තරුණ වයසට පැමිණි පසු කිරීම අපහසු ය. කුඩා කළ පටන් ම යහපත් ඇසුරක් ලැබීම තුළ තරුණ වයසේදී ජීවිතය නොමග ගිය ද වහා වරද තේරුම් ගැනීමට හැකියාව ලැබේ. ඒ නිසා දන් දීම්, සිල් සමාදන් වීම්, ධාතු වන්දනා, චෛත්‍ය වන්දනා, බෝධි වන්දනා, බුද්ධ වන්දනා, පිරිත් සජ්ඣායනා, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා ආදී ආගමික කටයුතුවලට කුඩා වයසේ දරුවන් යොමු කළ යුතු ය. එහි ඇති වටිනාකම ඔවුන්ට ආදරයෙන් පෙන්වා දිය යුතු ය.

එවිට තෙරුවන් සරණ ගිය, සිල්වත් වූ කල්‍යාණ මිත්‍ර ඇසුර ඇති, සසර බිය ඇති, දෙමාපියන්ට සලකන, ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරන සත්පුරුෂ මිනිසෙක් ලොවට බිහිවනු ඇත. ඔහු සසර පුරා උමතු බවෙන් තොර ප්‍රඥාවන්ත ජීවිතයක් ලබනු ඇත. ලොවට එවැනි සුන්දර මිනිසුන් බිහි වීම බුදු සසුනෙන් බැහැරව, කලණ මිතුරු ඇසුරින් බැහැරව කිසිදා අපේක්ෂා කළ නොහැක්කකි. මේ නිසා සියලු ලෝ වැසියෝ කලණ මිතුරු ඇසුරේ වටිනාකම ම වටහා ගනිත්වා..! උමතු බවෙන් නිදහස් වන ප්‍රතිපදාව ම වඩත්වා….!

(මෙහි ඇති නම් මනඃකල්පිත ය)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි