ශ්‍රද්ධාව යනු මේ බුද්ධ ශාසනයේ තිබෙන අතිශයින් සුන්දර දෙයකි. වරක් ධර්මසේනාධිපති වූ, ප්‍රඥාවෙන් අග්‍රේෂ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ “ගුණයෙන් අග්‍ර වූ ඒ තථාගතයන් වහන්සේ ගැන යම් පැහැදීමක් වේ ද, උපන් චිත්ත ප්‍රසාදයක් වේ ද, පහන් බවක් වේ ද එය ම නිවන පිණිස මූලික අංගයක් වන්නේය” යනුවෙනි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ පහන් බව, ප්‍රසාදය, ඒ උතුම් අවබෝධය අදහා ගන්නා බව ශ්‍රද්ධාව යි. නමුත් අද බොහෝ දෙනා ශ්‍රද්ධාව පටලවාගෙන තිබේ. අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙන් ශ්‍රද්ධා දෙකක් තිබේ. අමූලිකා ශ්‍රද්ධාව යනු මුලක් නැති, වහා හටගන්නා, ආවේග ස්වරූපයෙන් එන පැහැදීම යි. ඉල්පෙන බවත් කරුණු නොවිමසන බවත් එහි තිබේ. එහි විපාක නැත්තේ නොවේ. නමුත් නුවණ නම් නූපදවයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“අනවට්ඨිත චිත්තස්ස – සද්ධම්මං අවිජානතෝ
පරිප්ලව පසාදස්ස – පඤ්ඤා න පරිපූරති

ධර්මයේ හැසිරෙන අදහස තුළ ස්ථිරව පිහිටන්නට බැරි සිතක් නම් තියෙන්නේ, සද්ධර්මය දන්නේ නැත්නම්, අවබෝධයක් නැතුව පහදින ඉල්පෙන ශ්‍රද්ධාවක් නම් තියෙන්නේ, ඔහුගේ ප්‍රඥාව වැඩෙන්නේ නෑ.”

ඒ නිසා යමක් දුටු පමණින් ඇසූ පමණින් ඒ මාත්‍රයෙන් ම සිතට එන ආවේගය ශ්‍රද්ධාව විදිහට තේරුම් ගැනීම නුවණට හුරු නොවේ. අයෙක් සෑම දිනම බුද්ධ පූජාව පූජා කරයි. දිනක් අතපසු උනොත් බිය වේ. එහිදී පූජාව මිස භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් බව ගැන ඔහුගේ හිතේ පහන් බවක් නැත. එය අමූලිකා ශ්‍රද්ධාවයි. තවත් අයෙක් බෝධීන් වහන්සේ අතපත ගෑමට, එහි කොඩි එල්ලීමට, සිවුරු පෙරවීමට පඬුරු ගැටගැසීමට ප්‍රියවෙත්. එනමුදු ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙතැන වැඩ සිටියා නම් මෙය සුදුසු දැයි අමතක වේ. ඒ ශ්‍රද්ධාව ද නුවණට උපකාර දැයි විමසනු වටී.

මහ බෝ – මහ සෑ අනේක මලින් සරසා අනේක පූජාවන් පවත්වා අනේක දෙයින් විසිතුරු කරන්නට අයෙක් මනාප වෙති. ඒ පූජාවන් පිදීම මිස බුදු ගුණ සිහිකිරීමට හෝ ධර්මය සජ්ඣායනා කිරීමට අවස්ථාවක් කාලයක් නොඑළඹෙයි. ඒ පූජාවන් පිදීමට බාධාවක් පැමිණයහොත් ඔවුහු කිපෙති. හඬති. වැලපෙති. ශාප කරති. මේ ශ්‍රද්ධාව ද නුවණ මේරීමට උපකාර දැයි විමසනු වටී. පහන් සිතට විපාක ගෙන දේ. විමසීමෙන් නුවණ ගෙන දේ. ඉඩකඩ අනුව සුළු උදාහරණ කිහිපයකි දැක්වූයේ. විමසා ධර්මය තුළින් උපදින පැහැදීම ආකාරවතී ශ්‍රද්ධාවයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ නුවණින් විමසීම ගැන ප්‍රශංසා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ මජ්ඣිම නිකායේ වීමංසක දහම් දෙසුමේදී මෙසේ වදාළ සේක.

“මහණෙනි, ඇසින් හොඳට බලද්දී, කනින් හොඳට අහද්දී සොයාගන්න පුළුවන් කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට තියෙනවාද නැද්ද කියලා හොඳින් විමසන්න ඕනෑ….. ඒ වගේම ඇසින් හොඳට බලද්දී කනින් හොඳට අහද්දී කලින් කලට හොයාගන්න පුළුවන් කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට තියෙනවාද නැද්ද කියලා හොඳින් විමසන්න ඕනෑ…… ඇසින් හොඳට බලද්දි කනින් හොඳට අහද්දි දැනගන්න පුළුවන් ඉතා හොඳ දේවල් තියෙනවා. ඒ පිරිසිදු දේවල් තථාගතයන් වහන්සේ තුළ තියෙනවාද නැද්ද කියලා හොඳින් විමසන්න ඕනෑ….. තවත් විමසන්න ඕනෑ මේ කුසල් දහම් ඇතුව ඉන්නේ ළඟදී ඉඳල ද නැත්නම් බොහෝ කාලයක ඉඳල ද කියලා…..

තවත් විමසන්න ඕන තථාගතයන් වහන්සේ ගොඩාක් ප්‍රසිද්ධ වෙලා කීර්තිමත්වයි ඉන්නේ. නමුත් ඒ තුළින් උන්වහන්සේ තුළ යම්කිසි පිරිහීමක් දක්නට ලැබෙනවා ද කියලා….. තවත් විමසන්න ඕනෑ තථාගතයන් වහන්සේ බිය රහිත භාවයට පත්වෙලා කාමයෙන් වැළකී සිටින කෙනෙක් ද? බියට පත්වී කාමයෙන් වැළකී සිටින කෙනෙක් ද? රාගය ක්ෂය වීම නිසා වීතරාගී බව තුළින් කාමයෙන් වැළකී සිටින කෙනෙක් ද කියලා….. මේ විදිහට විමසද්දී විමසද්දී තථාගතයන් වහන්සේගේ පිරිසිදු බව ම යි නිකෙලෙස් බව ම යි පේන්න ගන්නේ. ඔය කරුණු තථාගතයන් වහන්සේගෙන් විමසා සිටියත් පිරිසිදු නිකෙලෙස් බව ම යි දැනගන්න ලැබෙන්නේ.

මහණෙනි, මේ විදිහට කතාබස් කරන ශාස්තෘන් වහන්සේ නමක් ළඟට ශ්‍රාවකයෙක් බණ අසන්න එන එක සුදුසුයි. එතකොට ශාස්තෘන් වහන්සේ තව තවත් උසස් අයුරින් රසවත් රසවත් විදිහට දහම් දෙසනවා. පින් පව් ගැන මතුකොට පෙන්වා දෙනවා.

මහණෙනි, ශාස්තෘන් වහන්සේ භික්ෂුවට ඒ විදිහට උසස් අයුරින් රසවත් රසවත් විදිහට පින් පව් ගැන විස්තර කරමින් දහම් දෙසන කොට ඒ භික්ෂුවත් ඒ ධර්මය කරුණු විමසමින් අවබෝධ කරගන්නවා. එතකොට ඒ ධර්මය තුළ ඇති ඇතැම් කරුණු ඔහුට අවබෝධ වෙනවා.ශාස්තෘන් වහන්සේ ගැන පැහැදීම ඇතිවෙනවා. ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සඟරුවන ද සුපටිපන්නයි’ කියලා.

මහණෙනි, යම්කිසි කෙනෙකුට ඔය විදිහට දැන් මේ විස්තර කරපු අදහස්වලින් වචනවලින් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් පිහිටියා නම්, ඒ ශ්‍රද්ධාව මුල්බැසගෙන පිහිටියා නම් මහණෙනි, අන්න ඒ ශ්‍රද්ධාවට කියන්නේ ආකාරවතී ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව අවබෝධය මුල්කරගත්තු දැඩි එකක්. මේ ලෝකයේ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ කිසිවෙකුට හෝ ඔහුව ඒ ශ්‍රද්ධාවෙන් බැහැර කරන්න බැහැ.”

එසේ නම් ආකාරවතී ශ්‍රද්ධාව යනු කරුණු විමසමින් ධර්මය තුළින් ඇතිවන පැහැදීම යි. ඒ පැහැදීම ඇතිවන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සඟරුවන සුපටිපන්නයි’ යන කරුණ මුල්කරගෙන යි. ඒ තුළින් ම යි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන අදහාගැනීම සිදුවන්නේ. ඒ ශ්‍රද්ධාවට ම යි සත්පුරුෂයෝ ප්‍රශංසා කරන්නේ. ඒ ශ්‍රද්ධාව ම යි නුවණ මෝරවන්නේ. ඒ ශ්‍රද්ධාව ම යි නිවන් මගට මුල්වන්නේ. ඒ ශ්‍රද්ධාව ම යි ධම්ම චේතියක් වන්නේ.

ධම්මචේතිය සූත්‍රය ඔබ කියවා ඇති. කොසොල් රජු අසූවැනි වියෙහි පසුවෙද්දී සිදුවූ සිද්ධියකි එහි සඳහන් වන්නේ. නිහඬ, භාවනාව සුදුසු තැනක් දකින රජුට භාග්‍යවතුන් වහන්සේව මතක් වූයේය. භාග්‍යවතුන් වහන්සේ සොයාගිය කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා සඟල මත වැඳ වැටී තමාගේ බලවත් ප්‍රසාදය වචනවලින් ප්‍රකාශ කළේය. ඒ විස්තරය භාග්‍යවතුන් වහන්සේ වදාළේ ධම්මචෛත්‍යයන් ලෙසයි. මක් නිසාද යත්, රජුගේ පැහැදීම ආකාරවතී ශ්‍රද්ධාව ම ප්‍රකට කරවන නිසා. ඒ උතුම් දේශනාවේදී කොසොල් රජතුමා තමන් තුළ ශාස්තෘන් වහන්සේ කෙරෙහි පැහැදීම තීව්‍ර කළ සිද්ධි කිහිපයක් ප්‍රකාශ කරයි.

ඒ සෑම සිද්ධියකදී ම රජුගේ සිතේ ‘ධම්මචේතිය’ ම නිර්මාණය විය. කුමන ධම්මචේතියක් ද යත්, (හෝති සම්මා සම්බුද්ධෝ භගවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ) යනාදී වශයෙනි. එය කරුණු රහිතව ඇතිවූ පැහැදීමක් නොව ධර්මය අනුව ගිය පැහැදීමක් ය. කරුණු සහිත ය. නුවණින් යුක්ත ය. ඇසින් දැක කනින් අසා විමසා බලා ඇතිවූ පැහැදීමක් ය. එනිසා ඒ පැහැදීම මුල් සහිතය. ආකාරවතී ශ්‍රද්ධාව තේරුම් ගන්නට ධම්මචේතිය දහම් පරියාය කදිම නිදසුනක් වන්නේ ඒ නිසාය.

ඔබත් ධම්මචේතිය සූත්‍රය කියවා බලන්න. අහන දකින හැමදෙයක් ම සිතින් විමසා එක් කේන්ද්‍රයකට සිත සකස් වෙනවා නම් ඒ හැඟීම ම මතුවෙනවා නම් ඒ තමයි ධර්මයට අනුව විමසන කෙනාට එන පැහැදීම. “ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේ මැනවින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි” කියන බලවත් පැහැදීම යි. ඒ තුළින් ම යි ධම්මචේතිය ගොඩනැගෛන්නේ. ඒ ආකාරවතී පැහැදීම ඔහුව නිවන කරා ගෙන යනවා.

ඔබත් කල්පනා කරන්න. මේ උතුම් ධර්මය අසද්දී, දහම් පොත්පත් කියවද්දී, ධර්ම සාකච්ඡා කරද්දී, පිංකම් කරද්දී ඔබේ සිතේත් මෙවැනි අදහස් පහළ වෙනවා ද කියා. එනම් “අහෝ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය නම් පුදුමයි නොවැ. ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ ධර්මය නම් හරිම නිරවුල් පිවිතුරු දෙයක් නොවැ. හරියට ම හරි නොවැ. ඒ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි. මේ දහම පුරුදු කළ සංඝයාගේ නිකෙලෙස් ප්‍රතිපදාව සිතා ගන්න බැහැ නොවැ. ඒකාන්තයෙන් ම සඟරුවන සුපටිපන්නයි” යනාදී වශයෙන් ත්‍රිවිධ රත්නයේ ම ගුණ, ආනුභාවය, පවිත්‍ර බව සිතට නැගෙනවා ද කියා විමසන්න.

ධර්මය තුළින් බලද්දී ඒ විදිහට ම ත්‍රිවිධ රත්නය ගැන ප්‍රසාදය ඉපදෙනවා නම් එය ආකාරවතී ශ්‍රද්ධාවයි. එය නිවනට යොමු කරනවා. එය පවිත්‍ර දෙයක්. ධම්ම චේතියක්. එවැනි ප්‍රසාදයක් හටගැනීම පවා මහා භාග්‍යයක්. එනිසා එතනින් මෙහා යමකින් සිත පිනා ගිය පමණින් මටත් නොසෙල්වෙන ශ්‍රද්ධාව පිහිටා තිබෙනවා නොවැයි කියා රැවටෙන්ට එපා. යම් දවසක ඉහත සඳහන් පරියායෙන් පැහැදීම ඇතිවෙයි ද එතෙක් උත්සාහ කළ යුතු ම ය. නුවණින් විමසිය යුතු ම ය. පහන් සිතින් මේරිය යුතු ම ය. වතාවත් කළ යුතු ම ය. නුවණ පෙරදැරිව පිංකම් කළ යුතුය. නොරැවටිය යුතුය. නිහතමානී විය යුතු ම ය. ආකාරවතී ශ්‍රද්ධාව උපදින්නේ ධර්මයට අනුව විමසීමෙන් බව පෙරදැරි කරගත යුතු ම ය. ඒ සඳහා අප කාටත් භාග්‍යය උදාවේවා!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි