highlights of the week
Home » NEW ARTICLES » දෙව් ලොවේ රැව් නැගූ කළගුණ වරුණ

දෙව් ලොවේ රැව් නැගූ කළගුණ වරුණ

“මේ දිව්‍ය විමානය අහසෙහි බබළන හැටි බැලුවහම හිරු මඬලවත් මේ තරම් බබළන්නේ නෑ. සඳ මඬලවත් මේ තරම් බබළන්නේ නෑ. ථුස කියන තාරුකාවවත් මේ තරම් බබළන්නේ නෑ. එතරම් ම සුවිශාලයි. ප්‍රභාෂ්වරයි. දෙව් ලොවින් මෙලොවට පැමිණි ඔබ කවුද?

ඒ විමානයෙන් විහිදෙන ආලෝකය හිරු රැස් පරදවනවා. යොදුන් විස්සක් විතර දුරට රැස් විහිදෙනවා. දවල් කාලේ වගේ ම රෑටත් රැස් විහිදෙනවා. ඒ විමානය පිරිසිදුයි. නිර්මලයි. සුන්දරයි.

විචිත්‍ර වූ සුදු නෙළුම්, රතු නෙළුම් වගේ බොහෝ නෙළුම් තියෙනවා. නොයෙක් වර්ගයේ මල් පිරිලා තියෙනවා. නොයෙක් විසිතුරු කැටයම් තියෙන ඉතා පිරිසිදු රත්තරනින් හැදුනු දැල් ඒ විමානේ වටේට තියෙනවා. හිරු මඬලක් වගෙයි අහසේ බබළන්නේ.

රතුපාට, කහ පාට දිව්‍ය සළුවලින් සරසල තියෙන්නේ. අගිල්, පුවඟු, සඳුන් වගේ සුවඳින් යුක්තයි. රන්වන් පාටින් බබළන දිව්‍ය අප්සරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නේ තාරකාවන් පිරිවරාගත් ගගන තලය වගේ.

මෙහි ඉන්න දිව්‍ය ස්ත්‍රී පුරුෂයන් එක එක පැහැයෙන් යුක්තයි. මල්වලින් සැරසිලා දිව්‍ය ආභරණවලින් සැරසිලා සතුටු සිතින් ඉන්නේ. ඒ දිව්‍ය ස්ත්‍රී පුරුෂයන් බොහෝ දෙනෙකුගේ කේශ කලාපයන් ලස්සනට සරසලයි තියෙන්නේ. මඳ සුළඟින් සෙලවෙන දිව්‍ය රන්වන් මල්වලින් සුවඳ විහිදෙනවා.

මේ පුණ්‍ය විපාක ලැබුණේ මොන වගේ සංවරකමක්, දමනය වීමක් නිසා ද? මෙහි ඔබ උපන්නේ මොන වගේ පුණ්‍ය විපාකයකින් ද? මේ විමානය ඔබට ලැබුණේ කොයි විදියට ද? මා මේ අසන කරුණට පිළිතුරු දෙන්න.”

(විමාන වත්ථු – ඡත්ත මානවක විමානය)

මේ කතාබහ සිදුවුණේ ඡත්ත නම් තරුණ සිටු පුත්‍රයාගේ ආදාහන මොහොතේ දී. ධනවත් සිටු පවුල්වලිනුත්, අවට ප්‍රදේශවාසී ජනයාගෙනුත් ආදාහන භූමිය පිරී තිබුණා. මහා කරුණා ඇති ලෝකනාථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මහා පිරිස අතරට වැඩම කොට වදාළේ ඒ අවස්ථාවේ තමයි. එක්වර ම අහසින් මහා ආලෝකයක් මතු වුණා. විශාල දිව්‍යමය ප්‍රාසාදයක් ඉදිරියේ දිව්‍ය පිරිවර පෙරටුව ආනුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයෙක් පෙනී සිටියා. ඔහු ඉක්මනින් ම පොළොවට බැස සම්බුදු සිරිපා වන්දනා කළා. ඒ තමයි ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා.

රැස්ව සිටි විශාල පිරිස කෙරෙහි අනුකම්පා කළ බුදුරජාණන් වහන්සේ තමයි ඒ දිව්‍ය පුත්‍රයාගෙන් ඉහත ප්‍රශ්නය විමසා සිටියේ.

කළගුණ දන්නාකම කියන්නේ සුන්දර දෙයක්. ඒ කිව්වේ තමන්ට යමෙක් උදව්වක් උපකාරයක් කරනවා. ඒ උදව්ව උපකාරය ලබපු නිසා තමන්ට සුවපහසුවක් ඇතිවෙනවා. එතකොට ඒ කෙනා කල්පනා කරන්ට ඕන මට මේ සුව පහසුව ලැබුණේ කොහොම ද කියලා. එහෙම කල්පනා කරද්දි එයා දැනගන්නවා ‘ඔව් අසවලාගේ උපකාරය හින්දයි මට මේ පහසුව ලැබුණේ’ කියලා. ඒක තමයි කෙළෙහි ගුණ දැනගැනීම කියන්නේ.

ඉතිං මේ ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා ආනුභාවයෙන් බබළන දෙවියෙක් වුණා. ඔහු කල්පනා කළා මට කොහොම ද මේ දිව්‍ය ආනුභාවය ලැබුණේ කියලා. ඒ නිසා ම යි ඒ ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙබඳු පිළිතුරක් ලබා දුන්නේ.

“එක්තරා මානවකයෙක් මහමඟ යමින් හිටියා. ශාස්තෘන් වහන්සේ ඔහුට මුණ ගැහිලා අනුශාසනා කළා. ඒ මහානීය රත්නය වන ඔබ වහන්සේගේ ධර්මය අසා ඒ විදියට ම පිළිපදිනවා කියලා ඒ ඡත්ත නම් මානවකයා කිව්වා.”

(ඡත්ත මානවක විමානය)

ඔබට මතක ඇති මේ ඡත්ත මානවක කතාව. සම්බුදුරජාණන් වහන්සේ මුණගැසී සුළු මොහොතකින් සොරුන්ගෙන් පහර කා ඔහු ඝාතනය වුණා. හැබැයි සුළු මොහොතකට වුවත් තෙරුවන් සරණ යාම සහ පන්සිල් සුරැකීම නිසා ඔහු මහත් වූ දිව්‍ය සැපයකට යි පත්වුණේ. ඇත්තෙන්ම ඒ ඡත්ත මානවකයා නම් උතුම් සත්පුරුෂයෙක් ම යි. හිරු සඳුගේ අනුහස් පරදවන දිව්‍ය සැපයකට පත්වෙලත් ඔහු එයින් මුල අමතක කළේ නැහැනේ. තමන්ගේ මිනිස් දිවියේ මෘත ශරීරය දවාලන්ටත් පෙර ඔහු තමන්ට කළ උපකාරය දන්නා කෙනෙක් වුණා. ඒ උතුම් වූ උපකාරය කළ කෙනාව සිහිකරන කෙනෙක් වුණා. බලන්න, ඒ ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා තමාව ඉස්සරහට ගන්නේ නැතුව උපකාරය ම සිහිකරමින් කතාකරන අපූරුව.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ‘පරමෝත්තම ජිනයන් වහන්සේ ව සරණ යන්න. ධර්මයත්, භික්ෂු සංඝයාත් සරණ යන්න’ කියලා ශාස්තෘන් වහන්සේගේ වචනය අහලා මං ඒ විදිහට ම කටයුතු කළා.”
ඉතින් ඒ ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා අවසානයේ මේ විදියේ ප්‍රකාශයක් කළා.

“ශාස්තෘන් වහන්සේ මට බොහෝ උපකාර කොට වදාළා. අනුකම්පා කොට වදාළා. මහ මද්දහනේ මං ඉන්න තැනට වැඩමවා වදාළා. සත්‍යනාම වූ ඒ බුදුරජුන් කරා දැන් මම පැමිණුනේ. මට අනුකම්පා කරන සේක්වා. ආයෙමත් මං බණ අහන්නම්.”

කළගුණ දන්න, ඒ කළගුණ සිහිකරන පුද්ගලයා ලෝකයේ දුර්ලභ කෙනෙක්. හැබැයි ඔහුගේ ඒ සත්පුරුෂ බව නිසා නැණවත් සත්පුරුෂයන්ගේ ඇසුර ඔහුට ලැබෙනවා. බොහෝ දෙවිවරු තමන්ට කළ උපකාර සිහිකරන ආකාරය අපට මේ විමාන වත්ථුවල දැකගන්ට පුළුවනි. එහෙම නම් අපට හොඳට ම තේරෙනවා දෙවිවරු අතරට යන්නට නම් අපට ගොඩක් උපකාර වන දෙයක් තමයි සත්පුරුෂකම. ඒ සත්පුරුෂ බව ඇති කරගෙන කෙනෙක් දෙවියන් අතරට ගියොත් ඔහුට තවත් බොහෝ සත්පුරුෂ ගුණ ඇති උතුමන් ව ඇසුරු කරන්නට ලැබේවි.

මණ්ඩුක විමාන වස්තුවේ දී ගෙම්බෙක් වී සිටිය දී ඇසුණු මිහිරි දම් රසට හිත පැහැදී දෙව්ලොව උපන් මණ්ඩුක දෙවියා ඒ ධර්මය දේශනා කළ සම්බුදුරජුන් ව සිහිකරනවා. දුප්පත් කාන්තාවක ව සිටිය දී මහා කස්සප තෙරුන්ට පිදූ දානයෙන් දෙව් සැප ලබා ලාජා දෙව්දුවත් ඒ මහා කස්සප රහත් මුනිඳුන්ගේ ගුණ සිහිකරනවා. මේ විදියට කළගුණ සිහිකරන උතුම් දෙවිවරු සිටින ඒ දෙව්ලොව සත්පුරුෂ ගුණ උපදවන ශ්‍රී සද්ධර්මය ඇසෙන අයුරුත් මහා ගෝවින්ද සූත්‍රයේ සඳහන් වෙනවා.

ශක්‍ර දේවේන්ද්‍රයා කියන්නේ තව්තිසාවේ අධිපති. ඔහු ගෙවී ගිය ආයුෂ ඇතුව සිටිය දී ධර්මය අසා සෝවාන් වුණා. ඒ හින්දා ම යළිත් ශක්‍රයා වෙලා ම උපන්නා. ඒ සක් දෙවිඳු සුධර්මා දෙව් සභාවේ දී සනංකුමාර බඹු ප්‍රධාන තව්තිසාවැසි දෙව්වරුන්ට ඒ සම්බුදු ගුණ කඳ වර්ණනා කළේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ තිබෙන්නා වූ ම ගුණ අටක් ඉස්මතු කරමින්. ඒ සිදුවීම දීඝ නිකායේ මහා ගෝවින්ද සුත්‍රය තුළ සඳහන් වෙනවා.

මේ අයුරින් බලන කල තමන් ලද ජීවිතය සාර්ථක එකක් බවට පත් කර ගන්නට නම් ජීවිතයට අත්‍යවශ්‍ය ම ගුණයක් තමයි සත්පුරුෂ බව. ඒ සත්පුරුෂ භූමිය තමයි කළගුණ දන්නා බවත්, කළගුණ සිහි කරන බවත්. සුගති සැපයට පත් වූ දෙවිවරුන් පවා ඒ සත්පුරුෂ භූමියේ සුන්දර ඇසුර ලැබුවා. ඉතින්, හැමදෙනෙකුගේ ම ජීවිත තුළ සත්පුරුෂකම තියෙනවා නම් මේ ලෝකය කොතරම් නම් සුන්දර වේවි ද?

තෙරුවන් සරණයි!

One comment

  1. බූදු සරණයී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

සෝවාන් මාර්ගය සහ සෝවාන් ඵලය

".......යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම්, ඒ තාක් ම (සෝවාන් වනතුරු) ඔහුට කළුරිය කරන්න පුළුවන්කමක් නෑ.”