‘ණය’ කියන වචනය මේ සමාජයේ සුලභව ඇහෙන්න ලැබෙන වචනයක්. විශේෂයෙන් වර්තමානයේ රටක් වශයෙන් ලෝකයට ම ණය වෙලා, ආයතන වශයෙන් – පුද්ගලයෝ වශයෙන් විවිධ අයුරින් ණයකාරයෝ වෙලා… රටේ ආර්ථික පසුබිමත් එක්ක වර්තමාන සමාජයේ ණය නොවෙච්ච කෙනෙක් හොයාගන්න බැරි තරම්.

සමහරවිට මෙය කියවන ඔබත් එක්කෝ මූල්‍ය ආයතනවලින්; නැත්නම් විවිධ පුද්ගලයන්ගෙන් ණය ගත්ත කෙනෙක් වෙන්න ඇති. ‘ණය’
කියන්නේ ඇත්තටම කනට අමිහිරි වචනයක්. ගෙවන්න තියෙන ණය මතක් වෙද්දිත් හිත බර වෙනවා. පීඩාවට පත්වෙනවා. ‘කවදා නම් මේ ණය ගෙවලා ඉවර කරන්න ද? කවද ද ණයෙන් නිදහස් වෙන්නේ? අපරාදේ ණය ගත්තේ…’ ඔය විදිහට හිතෙන වාරත් ඕනතරම්. මේ කාලේ ආර්ථික ප්‍රශ්න මැද්දෙ එදිනෙදා ජීවත් වෙන්න කරන අරගලයත් එක්ක ණය ගෙවලා දාලා නිදහස් වීම හිතන්නත් දුෂ්කරයි. ණය ගෙවා දැමීම කෙසේ වෙතත් ආයෙ ආයෙමත් ණය ගන්න නම් ඕන තරම් කරුණු කාරණා යෙදෙනවා.

ඇත්තටම ඇයි ණය ගන්න සිද්ධ වෙන්නේ?

අපි කවුරුත් මනුස්ස ලෝකයට ආවට පස්සෙ යාන්තං දැනුම් තේරුම්කම් ඇති කාලේ ඉඳලම රසට කාල බීල ලස්සනට ඇඳල පැලඳල, යාන වාහන, ඉඩම් වතුපිටි ඇතිව හොඳ ගෙයක් දොරක් හදාගෙන සුවපහසුවෙන් ජීවත් වෙන්න ආසයි. හැමෝම ආස එහෙම. ඒත් හැමදෙනාටම ඒ විදිහට කැමති වෙච්ච පමණින් ලැබෙන්නේ නැහැ. මිනිසුන් හැටියට ඉපදුණත් සසරේ කරපු පුණ්‍ය පාප කර්මවල විපාක හැටියට අපි එකිනෙකා අතර විවිධාකාරයේ වෙනස්කම් තියෙනවා. දුප්පත් පොහොසත් වෙනස එයින් එකක්.

සමහරු දුගී දුප්පත් පවුල්වල ඉපදිලා ජීවිතය පුරාවටම දිළිඳුබවෙන් පීඩිතව වාසය කරනවා. සමහර අය පාරම්පරිකව උරුම වුණු ධන සම්පත් ඇතිව පොහොසත් පවුල්වල උපත ලබනවා. හැබැයි කාලයක් යනකොට එක්කෝ තමන්ගේ නොසැලකිල්ල නිසා, එහෙමත් නැත්නම් තමන්ගේ ධනය – වස්තුව අවභාවිත කිරීම (වැරදි විදියට පරිහරණය කිරීම) නිසා නිකරුණේ විනාශ වෙලා ගිහින් අන්තිමේදි කිසිවක් නැති දුප්පතෙක් බවට පත් වෙනවා. දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් මේ විදියේ ප්‍රශ්නයක් අසා වදාළා.

“පින්වත් මහණෙනි, මේ ලෝකයේ කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට දිළින්දෙක් හැටියට ඉන්න වුණොත් ඒ දිළිඳුකම කියන්නේ දුකක් නේද?”

“එහෙමයි ස්වාමීනි.”

ඇත්තෙන්ම කාල ඇඳල සැප සේ ගිහි ජීවිතයක් ගත කරන්න කැමැති කෙනෙකුට එදා වේලවත් හොයාගන්න බැරිව, හරිහමං විදියට ඇඳුමක් පැලඳුමක් – ඉන්න හිටින්න තැනක් නැතිව, අතේ මිටේ සතයක්වත් නැතිව ජීවත් වෙන්න සිදු වුණොත් ඒක මහා දුකක් ම යි.

දැන් බලන්න එතකොට තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගන්න තව කෙනෙක්ගෙන් ණය ගන්න සිදුවෙන්නේ එබඳු දුප්පත් අයට නේද? තමන්ට අවශ්‍ය කරන සුවපහසු ජීවිතය උදෙසා වැය කරන්න ඕන තරම් ධනය මිල මුදල් තියෙන කෙනාට ණය ගන්න ඕන වෙයි ද? එහෙනම් ණය ගන්න වෙන්නේ දුප්පතාට… දිළින්දාට… ධනය නැති කෙනාට…

ඊළඟට අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළා, “පින්වත් මහණෙනි, යම් හෙයකින් තමන්ට හිමි තමන්ගේ ම කියලා ධනයක් නැති ඒ දිළිඳු මනුෂ්‍යයාට ජීවත් වීම පිණිස ණය ගන්න සිද්ධ වුණොත් ඒක තවත් දුකක් නේද?”

එදිනෙදා කන්න බොන්න, ලෙඩකට බේත් ටිකක් ගන්න, දරුවන්ට උගන්වන්න වගේ අත්‍යවශ්‍ය දේවලටත් කීයක් හරි අමාරුවෙන් හොයා ගන්න මේ පුද්ගලයාට ණය ගන්න උනොත් සතුටින් ද ගන්නේ? කැමැත්තෙන් ද ආසාවෙන් ද ණය ගන්නේ? කිසිසේත්ම නෑ. සමහරවිට ගත්ත මුදල් නෝට්ටුවේ බර අතටවත් නොදැනුනාට ඒ මොහොතේ ඉඳලා ඒ ණය බර මහමෙරක් තරමට හිතට දැනෙන්න ගන්නවා. ඒත් බොහෝ අය ණයට ගන්න මුදල නිකරුනේ නාස්තිකර ගන්නවා. එහෙමත් කෙනෙක් තමා ප්‍රයෝජනවත් විදිහට මුදල පරිහරණය කරන්නේ.

කොහොම වුණත් ණය ගන්නකොට ඒත් එක්කම අදෘෂ්‍යමානව ඇවිත් හිතේ තැන්පත් වන බරක් තමයි පොලිය කියන්නේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළා, “පින්වත් මහණෙනි, ණයක් අරගත්තු අර දුප්පතාට ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන පොලිය තමන් පොරොන්දු වෙච්ච විදියට ගෙවාගන්න බැරි වෙනවා කියන්නේ, ඒක ඒ මනුස්සයාට මහා දුකක් නේද?”

“එහෙමයි ස්වාමීනි.”

මාසෙන් මාසෙට පොලියත් එක්ක එකතු වෙවී එන ණය මුදල ගෙවා ගන්න විදියක් නැත්නම් ඒ පුද්ගලයා ඒ හේතුවෙන් විඳින දුක සුළුපටු එකක් නෙමෙයි. අමාරුවෙන් හම්බකරන සොච්චම් මුදල ජීවත් වෙන්නවත් සෑහෙන්නෙ නැති කොට ණය ගෙවන්නෙ කොහොමද? ඒත් එහෙම කියලා ණය දුන්න අය; ඒ කියන්නේ ණය හිමියෝ මේ ගැන සානුකම්පිතව බලල අත්හැරලා දායි ද? කිසිසේත්ම නෑ. චෝදනා කරනවා. මූල්‍ය ආයතනවලින් ලිපි එවනවා. රතු නිවේදන එවනවා. ණය පොලිය ගෙවන්න තියෙන වාරික ගණන නිතර නිතර සිහිකැඳවීම් කරනවා.

ඒ විතර ද මේ ගැන දන්න ලෝකයාගෙන් එන චෝදනා, නින්දා… ඇයි වටේපිටේ දන්න අයත් කියනවා, “ඔය මනුස්සයා හතර අතේ ණය වෙලා.” කියලා. රැකියා ස්ථානයේ අයගෙන්, සමහර විට තමන්ගේ ම ඥාතීන්ගෙන් පවා වචන අහන්න වෙනවා. ණය ගෙවා ගන්න බැරිව, පොලිය ගෙවා ගන්නත් බැරිව, එදිනෙදා ජීවත් වෙන්න පිළිවෙළකුත් නැතුව දුක සේ ඉන්නවා. දිළින්දාට නිතර නිතර ණය හිමියන්ගෙන් ලැබෙන චෝදනාවලට ලක් වෙන්න වුණාම ඒ විඳින දුක, මානසික පීඩාව කොයිතරම් ද කියලා ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැහැ. ඒත් ණය ගෙවා ගන්න බැරි නම් අන්තිමේ දී එයාට කරගන්න දෙයක් නැහැ. පුළුවන් තරම් මගහැරලා ඉන්න උත්සාහ කරනවා. එක්කො යාළුවන්ගේ ගෙවල්වල යනවා. එක්කො දුර පළාත්වල ඥාතීන්ගේ ගෙවල්වල යනවා. සැඟවිලා අප්‍රකට ව ඉන්න උත්සාහ කරනවා. ණය ගත්තු තැන්වලින් දුරකථන ඇමතුම් එනවා. උත්තර දෙන එක මගඅරිනවා. ඒක සතුටින් කරන දෙයක් ද? නෑ. බියෙන්, තැතිගැනීමෙන්, පසුතැවීමෙන්, කනස්සල්ලෙන් කරන්නේ. හැමදාම හැංගි හැංගී ඉන්න බෑ. අර අය මෙයා ගැන හොයනවා. තොරතුරු හොය හොයා පස්සෙන් ලුහුබඳිනවා. කොහේ කියලා හැංගෙ-න්න ද? අන්තිමේ දී මෙයාව අල්ලගන්නවා. නීති මාර්ගයට පමුණුවනවා. බේරෙන්න විදිහක් නෑ. අවසානයේ දී ඛේදනීය විදිහට තමන්ගේ ඉරණම විසඳෙනවා. හිරේ විලංගුවේ වැටෙනවා. දැන් බලන්න දුප්පත්කම නමැති දුකත් එක්ක දුක් කීයකට මුහුණ දෙන්න වෙනව ද? එහෙම නම් මේ අවාසනාවන්ත ශෝකාන්තයට මුල මොකක්ද? දිළිඳු බව නේද?

මේ ලිපියේ මේ තාක් අපි කතා කළ දේවල් බොහෝමයක් ජීවිතවලට ප්‍රායෝගිකව ම මුණගැසෙන අත්දැකීම්. මේ සිදුවීම් පෙළ ඔබට ගොඩක් සංවේදී වන බව, ඒක හිතට දැනෙන බව අපි දන්නවා. ඒත් ඇත්තෙන්ම මෙතෙක් අපි කතා කළේ අපගේ භාග්‍යවතුන් වහන්සේ දහම් කරුණක් පැහැදිලි කරදෙන්න වදාළ උපමාවක්. මේ උපමාව හිතට දැනෙන නිසා ඒ ඔස්සේ කියා දෙන ජීවිත පාඩම අපට ග්‍රහණය කරගන්න පහසුයි.

බලන්න අපගේ ශාස්තෘන් වහන්සේගේ මහා කරුණාව. ජීවිතවලට ගොඩක් සමීප, ප්‍රායෝගික, පොදු අත්දැකීමක් මුල්කරගෙන ඒ ඔස්සේ විග්‍රහ කරමින් ධර්මය ම ප්‍රකට කරවන අයුරු… ශ්‍රාවකයා ජීවිතාවබෝධය කරා මෙහෙයවන අයුරු… අනතුර පෙන්වා ධර්මයේ සමාදන් කරවන අයුරු… අපගේ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් දයානුකම්පිත ද?

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළා, “පින්වත් මහණෙනි, මිනිස්සුන්ට සිද්ධවෙන ඔය මානසික හානිය වගේ ම යි යම්කිසි කෙනෙකුට ශ්‍රද්ධාවක් නැත්නම්, පව්වල විපාකයනට බයක් නැත්නම්, පව්වලින් මිදෙන්න වීරියක් නැත්නම්, කුසල් අකුසල් තෝරබේරග-න්න තරම් ප්‍රඥාවක් නැත්නම් අන්න ඒක තමයි මේ ශාසනයේ අන්ත දුගී දුප්පත්කම කියලා කියන්නේ. සමහර විට මේ සාමාන්‍ය ලෝකය තුළ මුදල්, භවභෝග, සැප සම්පත් යහමින් තියෙන කෙනා පෝසත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ කෙනා තුළ ශ්‍රද්ධා, හිරි ඔත්තප්ප, වීර්යය, ප්‍රඥා කියන ගුණධර්ම පහ නැත්නම්, මේ ආර්ය විනය තුළ, බුද්ධ ශාසනය තුළ එයාට කියන්නේ දිළින්දා කියලා, දුප්පතා කියලා. එහෙම නම් ශ්‍රද්ධාව කියන්නේ ධනයක්. පවට ලැජ්ජාව කියන්නේ ධනයක්. පවට බය කියන්නේ ධනයක්. පව් දුරු කරන්න වීරිය ගැනීම ධනයක්. නුවණ, ප්‍රඥාව කියන්නේ ධනයක්. මේ බලන්න ඒ වගේ කෙනෙකුට අත්වන ඉරණම කොයි වගේ ද කියලා. මේ පුද්ගලයා කාය දුෂ්චරිතයේ යෙදෙනවා. වචී දුෂ්චරිතයේ යෙදෙනවා. මනෝ දුෂ්චරිතයේ යෙදෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අහල පැහැදීමක් නෑ. විශ්වාසයක් නෑ. මෙලොව පරලොව, පින් පව්වල විපාක, සසර ගමන, සතර අපාය කියන මේවා ගැන ධර්මය තුළින් උපදවා ගත් දැනුමක්, අවබෝධයක් නෑ. ඒ නිසා පව් කරන්න කිසිම ලැජ්ජාවක් බයක් නෑ. අවස්ථාව ලද තැන සත්තු මරනවා, සොරකම් කරනවා, අල්ලස් ගන්නවා, වංචා දූෂණවලට සම්බන්ධ වෙනවා, තමන්ගේ ස්වාමියා බිරිඳ හැර අන් අය සමඟ එක්වී වැරදි කාම සේවනයේ යෙදෙනවා, නොයෙක් විදිහට කාය දුෂ්චරිතයේ යෙදෙනවා. ඊළඟට වචනයෙන් බොරු කියලා ලෝකයා ව රවට්ටනවා, මුළා කරනවා, කේළාම් කියලා සමඟිය බිඳවනවා, අමනාපයෙන් ඉන්න අය ගැන කේළාම් කියලා අභූත චෝදනා කරනවා, බොරු කියලා අනිත් අයව ඒ ඉන්න තැන්වලින් – උසස් තනතුරුවලින් පහළට ඇදලා දානවා. අන් අයගේ හිත රිදෙන කටුක පරුෂ වචනයෙන් බැණ වදිනවා. නින්දා අපහාස කරනවා. ගරහනවා. ඊළඟට මෙලොවට වැඩකුත් නැති, පරලොවට වැඩකුත් නැති, තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනයක් නැති හිස්සල්ලාප – විහිලු කතා කියනවා. මේ ඔක්කොම වචනයෙන් කරන වැරදි. එමෙන්ම රාග ද්වේෂ ආදී අකුසල් සිතිවිලි හටගද්දී ලැජ්ජා බයක් නෑ. නුවණින් කල්පනා කරන්න වීරියත් නෑ. ඒවා හිත හිතා මනෝලෝකයක සැරිසරනවා. මිථ්‍යා ආකල්පවල ගැලි ගැලී සිටින, වරදේ බැඳෙන, මේ විදිහට සිතින් කයෙන් වචනයෙන් වැරදි කරනවා කියන එකට මේ බුදු සසුන තුළ – ආර්ය විනය තුළ කියන්නේ “ණය ගන්නවා” කියලා. මේ ණයත් ගෙවන්න වෙනවා කවද හරි.

ඊළඟට ණයත් එක්කම පස්සෙන් එන දේ පොලිය. අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේත් වදාළා. ඔන්න මේ පුද්ගලයා වැරදි කරනවා. හැබැයි මෙයා හිතනවා, ‘මං මේව කරනවා කියලා කවුරුත් දන්නැත්නම් හොඳයි, දකින්නැත්නම් හොඳයි.’ කියලා. ලෝකයාට හොර රහසේ වැරදි කරනවා. පිටට පෙන්නන්නෙ මං කාටවත් වරදක් නොකරන හොඳ කෙනෙක් කියලා. පිරිස් අතර බොහොම වැදගත්, ගුණගරුක කෙනෙක් හැටියට රඟපානවා. හැබැයි ඇත්ත ජීවිතේ සිතින් කයින් වචනයෙන් වරදේ බැඳෙනවා. ඒ කෙනා දන්නෙ නෑ ඒ එකතු වෙන්නෙ පොලිය බව. ණය විතරක් නෙමෙයි; ගෙවනකොට පොලියත් එක්කමයි ගෙවන්න වෙන්නේ.

දන්නෙම නැතුව ණයත් පොලියත් එකතු වෙවී යම් දවසක සීමාව ඉක්මවා යනවා. ඔන්න එතකොට චෝදනා එන්න පටන් ගන්නවා. ඒ මෙහෙමයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. සමාජයේ හොඳ මිනිස්සු එක්රැස් වන අවස්ථා තියෙනවා. ඔන්න ඒ අය කතා වෙනවා සමාජයේ වැරදි කරන මිනිස්සු ගැන, “අසවලා මෙහෙමයි” කියලා. මේ පුද්ගලයාටත් මේවා අහන්න ලැබෙනවා. හොඳ මිනිස්සු ගොඩේ තමනුත් යහපත් කෙනෙක් හැටියටනේ පෙනී සිටින්නේ. ඒත් මේවා ඇහෙනකොට තමන්ගේ ම හිත තමන්ට චෝදනා කරනවා, ‘නුඹත් මෙහෙම වැරදි කරන කෙනෙක්’ කියලා. ලෝකයාට හැංගුවට හෘදසාක්ෂියට හංගන්නේ කොහොමද? වරින් වර තමන්ගේම හෘදසාක්ෂිය තමන්ට චෝදනා කරනවා, ‘උඹ මෙහෙම කෙනෙක්… උඹ මෙහෙම කළා…’ කියලා. කොහේ ගිහින් හැංගෙන්න ද? බලවත් මානසික අසහනයෙන් පෙළෙනවා. හිතේ පීඩාවෙන්, තැවුලෙන් විඳවනවා. කාට කියල කියන්න ද? ඇයි ලෝකයාට පෙනී හිටියේ තමන් යහපත් කෙනෙක් කියලා. තමන්ගේ ප්‍රතිරූපයට හානි කර ගන්නේ කොහොමද… ඉතින් තනියම විඳව විඳව ඉන්නවා. පලා යන්න දිශාවක් නෑ. හෘදසාක්ෂිය තමන් ව ලුහුබැඳගෙන එනවා. අමතක වෙච්ච ණය (තමා අතින් සිදු වුණ වැරදි) මතක් කරනවා. ලෙඩක් දුකක් හැදිල හරි, වයසට ගිහිල්ලා හරි තමන් තනිවන වෙලාවක් එනවා. අමතක වෙච්ච ණයත් මතක් වෙනවා. චිත්‍රපටියක් වගේ තමන් ඉදිරියේ පේන්න ගන්නවා. පැනලා යන්න බෑ අල්ල ගන්නවා.

අන්තිමේ දී තමන්ගේම ක්‍රියාවෙන් හැදුන කර්මය නමැති විනිශ්චයකාරයා අවසාන තීන්දුව දෙනවා. මරණින් මතු නිරයේ හෝ තිරිසන් ලෝකයේ හෝ ගිහින් වැටෙනවා. හිරේ විලංගුවේ වැටුන වගේ.

මනුස්ස ලෝකේ ණයක් ගෙවා ගන්න බැරිව හිරේ වැටුනොත් දන්න කියන ඥාතියෙක් හිතවතෙක් හරි ඇවිත් ණය ටික ගෙවලා බේර ගනී. ඒත් බුද්ධ ශාසනය තුළ දුප්පතෙක් හැටියට ජීවත් වෙලා සිතින් කයින් වචනයෙන් වැරදි කරලා මරණින් මතු නිරයේ හෝ තිරිසන් ලෝකයේ වැටුණොත් කවුද ඇවිත් බේර ගන්නේ?

අපගේ බුදුරජාණන් වහන්සේ වදාළා,

“පින්වත් මහණෙනි, යම් කරුණක් නිවන් අවබෝධයට මෙතරම් ම දරුණු ද මෙතරම් කටුක ද මෙතරම් අන්තරායක ද අතිශයින් ම භයානක ද නිරයේ ඉපදීමත්, තිරිසන් අපායේ ඉපදීමත් තරම් වූ අන් එකම ධර්මයක්වත් මම බුදු ඇසින් නොදකිමි.” කියා.

මේ අවාසනාවන්ත ඉරණමට ලක්වෙන කෝටි සංඛ්‍යාත මිනිස්සු ඉන්න ලෝකයේ කෙනෙකුට පුළුවන් නම් බේරෙන්න; කොහොමද ඒක කරන්නේ?

අපිට ණය ගන්න සිද්ධ වෙන්නේ දුප්පත්කම නිසානේ. මහන්සි වෙලා, කැපවෙලා ධනය උපයා ගත්තා නම් දම්වැලක් වගේ එකිනෙකට බැඳී පවතින දුක් ගොන්න ම අවසන් නේද? එහෙනම් කළ යුත්තේ අප ධනවත් වීම ම යි.

ශ්‍රද්ධාව (තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන ඇති පැහැදීම),

හිරි (පාපී ක්‍රියාවල යෙදෙන්න ඇති ලැජ්ජාව),

ඔත්තප්ප (පව් කිරීමෙන් ලැබෙන කටුක විපාක ගැන ඇති බය),

වීර්යය (අකුසලයෙන් මිදෙන්නත්, කුසල් උපදවා ගන්නත් ඇති උත්සාහය),

ප්‍රඥාව (ධර්මයට අනුව නුවණින් විමසා කුසල්-අකුසල් තෝරාබේරා ගැනීමේ හැකියාව)… මේ තමයි සැබෑ ධනය.

ඔබ තුළ මේ ආර්ය ධනය තියෙනවා නම්…, ඔබ සාමාන්‍ය ලෝකයේ මිල මුදල් නැති කෙනෙක් වෙන්න පුළුවන්; ඒත් සත්පුරුෂයන්ගේ ලෝකෙ ඔබ සැබෑම ධනවතෙක්…!

අවාසනාවන්ත ඉරණමට ගොදුරු නොවී සුගති රැකවරණය ලබන්න ඔබට පුළුවන්.

ඒ සඳහා මේ සදහම් පඬුර ඔබට උපකාරී වේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.