සුදොවුන් නිරිඳුගේ පියරජු වූයේ සිංහහනු රජ ය. ඔහුට කාලදේවල අසිත නමින් පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටියේ ය. සිංහහනු රජුගේ අභාවයෙන් පසු කාලදේවල තෙමේ පුරෝහිත පදවිය අත්හළේ.ය. වනගත ව තවුස්දම් පිරීය. අභිඥාලාභී ඍෂිවරයෙකු බවට පත් වූයේ ය. හේ වරින්වර විවේක ගැනීම පිණිස රාජ උද්‍යානයට පැමිණෙයි.

මහා පුණ්‍ය මහිමයෙන් යුතු බෝසත් බිළිඳුන්ගේ පින් සිරුර දෙස බලා ප්‍රථම අනාගත වාක්‍යය පැවසුවේ මේ අසිත තවුසා ය. එදා සුදොවුන් නිරිඳුට තම පුත්කුමරු ලවා අසිත තවුසා වන්දවන්ට ඕනෑකමක් තිබුණි. නිරිඳු තෙමේ පුතු දෝතට ගෙන පහතින් තබන්ට සැරසුණේ.ය. එහෙත් සිදු වූයේ වෙනෙකකි. පහතින් තබන්ට පළමු කුමරුගේ පා පෙරළී මහා ඉර්ධිමත් ඍෂිහුගේ ජටායෙහි පැටලී ගියේ ය.
තවුස් තෙමේ වහා අසුනෙන් නැගිට කුමරුට වන්දනා කළේ ය. සුදොවුන් නිරිඳුට මෙය මහා පුදුමයකි. ‘මේ සා මහානුභාව ඇති ඍෂිතෙමේ මපුතුට වඳියි. එසේ නම් මා ද මපුතු වැන්ද මනා ය’ යි කියා සුදොවුන් නිරිඳු සිය පුත්කුමරුට වැන්දේ ය. එකල්හි එහි සිටි සියලු ශාක්‍යයෝ කුමරහුට වැන්දෝ ය.

බුදු බව ලබන මහාපුරුෂයා තවම එක් දිනැති සිඟිත්තෙකි. එහෙත් ඒ ආනුභාවය නම් සිතාගත නොහැකිය. අසිත තෙමේ මාලිගයෙන් නික්ම කෙළින් ම ගියේ සිය සොයුරියගේ නිවෙස්නට ය. ඇයට නාලක නමැති නව යොවුන් පුත්‍රයෙක් සිටියේ ය. තවුස්තෙමේ ඔහු ඇමතී ය.
“දරුව නාලක, මෙහි එව. මහා අසිරිමත් පුරුෂෝත්තමයා අද මනුලොව උපන්නේ ය. හේ අන් කිසිවෙකු නොව සුදොවුන් නිරිඳුගේ පුත්කුමරු ය. මහා නුවණින් හා මහා වීර්යයෙන් හෙබි ඒ කුමරහු නිසි කල්හි සම්බුදු බව ලබන බව මට නම් නිසැක ය.

දරුව, ‘බුද්ධ’ යන මිහිරි ඝෝෂාව හැම තැන රැව් දෙන කලක් එන්නේ.ය. ඒ මුනිඳු අමනිවන් මග දෙසමින් හැසිරෙන කලක් එන්නේ ය. එවිට තෙපි ඒ මුනිඳු කරා ගොස් බණ අසව. මේ බිහිසුණු සසරින් මිදෙව. එහෙයින් පුත, අද ම ගිහිගෙයින් නික්ම පැවිදි වෙව.”
නාලක යොවුන් මාණවකයා වහා ගිහිදිවිය අත්හළේ ය. කසාවත් පොරවා ශ්‍රමණයෙකු බවට පත් වූයේය. සුදොවුන් මාලිගය දිසාවට හැරී වන්දනා කරමින් ‘මාගේ පැවිද්ද මතු බුදුවන උතුමා කෙරෙහි වේවා!’ යි කියා සංවර ඉඳුරන් ඇති දිවියක් පුරුදු කිරීමට පිටත් ව ගියේ ය.

බොහෝ කල් ගෙවුණේ ය. නාලක මග බලමින් සිටියේ බුද්ධ යන නාමය ඇසේවි කියා ය. සිතූ පරිදි ම බුද්ධ යන වචනය රැව්දෙන අයුරු ඔහුට අසන්ට ලැබුණේ ය. නාලක ශ්‍රමණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උතුම් මුනි ප්‍රතිපදාව ඇසී ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෝනෙය්‍ය ප්‍රතිපදාව වදාළ සේක.

ඒ ගැන සඳහන් වන්නේ මෙසේ ය.

පින්වත් ගෞතම මුනිඳුනි – දැන ගත්තෙමි මම මුලින් ම
අසිත ඉසිතුමා මා හට – පැවසූ ඒ සැබෑ වදන්
හැම දහමේ පරතෙර වැඩි – මුනිඳාණන්ගෙන් විමසමි

පැවිදි දිවිය ලැබුව කෙනා – පිණ්ඩපාතයෙන් යැපෙනා
හැසිරෙන උත්තම ‘මුනිවත’ – කියා දෙන්න මුනිඳාණනි

භාග්‍යවතුන් වහන්සේ –

පවසන්නෙමි මම ඔබ හට – සැබෑ ලෙස ම එම මුනිවත
අපහසුවෙන් කළ යුතු වූ – අපහසුවෙන් ලැබ ගත යුතු
ඒ මුනිවත කරා යන්ට – හිතට මහත් දිරිය ගන්න
දැඩි ලෙස අදිටන් කරන්න

ගමකදි නින්දා කළ විට – වැඳුම් පිදුම් කළ විට හෝ
කුමන අයුරකින් ලැබුණ ද – එය සම ලෙස සලකගන්න
තරහ සිතට ඉඩක් නොදී – සන්සුන් සිත සුරැක ගන්න
මාන්නයෙන් උඩඟු නොවී – ශාන්ත ලෙස කල් ගෙවන්න

වසනා විට වන ගැබ තුළ – ඔබ හමුවට එයි අරමුණු
කුඩා මහත් නොයෙක් ලෙසට – දිලිසෙන ගිනිසිළු විලසට
මායා ඇති වනිතාවෝ – මුනිවරුන් ව රවට ගනිත්
එනමුදු ඒ වනිතාවෝ – ඔබ නම් නොමරවටත්වා!

මෛථුනයෙන් වෙන් වීමෙන් – ලස්සන, කැත කාමයන් ද දුරලීමෙන්
තැති ගන්නා, තැති නොගන්න – ලොවේ සියලු සතුන් කෙරෙහි
නොගැටෙන්නෙ ය – නො ඇලෙන්නෙ ය

මා යම් සේ සැප කැමති ද – මේ පිරිසත් මා වගේ ය
මේ අය දුක නොම කැමති ද – මාත් මෙබඳු අය වගේ ය
තමා ගැන ම උපමා කොට – අනුන්ගෙ පණ නොනසන්නේ
වෙන කෙනෙකුන් යොදවා හෝ – ඝාතනයක් නොකරන්නේ

ලොව පුහුදුන් දන ඇලෙනා – ළාමක ආශා ලෝභය
දුරින් ම දුරු කර දමමින් – දහම් ඇසින් ලොව දකිමින්
මේ මුනිවත පිළිපදිමින් – තරණය කරන්නේ ය මේ නරකය

කුසේ පමණට අහර පිළිගෙන – මනා නුවණින් යුතුව වළඳන
අල්ප දෙයකින් සතුට ලැබගෙන – ලොල් නොවී ඒ කිසිම දෙයකට
සැබැවින්ම තණ්හාව දුරු කළ – කෙනා කිසිවක් කැමති නොම වී
නිවී ගිය සිත් ඇති කෙනෙක් වේ

වනේ වසනා එබඳු සමණා – පිණ්ඩපාතය ලබා වළඳා
යළිත් වනයට වැඩමකොට එහි – රුක් සෙවණෙ හිඳ බවුන් වඩමින්

දැහැන් වඩනා ඒ නැණැති සමණා – සතුටු වෙයි අරණෙ වසමින්
සමවතේ සිත පිනා යවමින් – සමාහිත වෙයි රුකක් සෙවණේ

මෙලෙස ගතකොට රෑ ගෙවුන විට – පිඬු පිණිස හේ ගමට යන්නේ
ඇරයුමක් කිසි නොපිළිගන්නේ – ගමෙන් කිසිවක් නොම පතන්නේ

මුනිවරුන් ගම තුළට වැඩි කල – නොහැසිරේ සැහැසි ව නිවෙස්වල
පිණ්ඩපාතය නොම ලැබුණ විට – පිණ්ඩපාතය ලැබෙන විලසට
කිසිම රැවටිලි බසක් නොකියයි

පිණ්ඩපාතය ලැබේ නම් මට – එය ද කම් නැත
යම් විටක පිඬු නොම ලැබේ නම් – එය ද කම් නැත
ලැබෙන හෝ නොම ලැබෙන විට හෝ – සිතේ කම්පාවක් නොමැත්තේ
ගසක පලතුරු සොයා ගිය අය – හැර දමා යන ලෙසට ඒ ගස
මැදහත්ව කල් ගෙවයි හෙතෙමේ

පාත්‍රය අතට ගෙන – පිඬුසිඟා වඩින විට
ගොළු නොවී සිටින හේ – ගත කරයි ගොළුවෙකු ලෙසින්
“ලැබුණේ මේ දන් ටිකක් නේදැ” යි- කිසිවිට හෙළා නොදකී
තමා හට දන් පුදන පිරිසට – කිසි අවමනක් නොකරයි

පවසන ලදි ඒ සමණිඳු – උසස් පහත් හැම පිළිවෙත්
පිළිවෙත් සොඳ ලෙස පුරමින් – දෙවරක් එතෙරට නොම යත්
එක ගමනින් යන මේ මග – ලොවේ බොහෝ අය නොදනිත්

තදින් ගලන කෙලෙස් වතුර – සිඳහළ යම් සමණෙකු හට
තණ්හාවක් නැත්තේමය – හැම කටයුතු නිමා කෙරුව
ඒ සමණා හට කිසිවිට – කිසිම දාහයක් නැත්මය

පැවසූයෙමි මම ඔබ හට – සැබෑ ලෙස ම එම මුනිවත
දැළි පිහියක මුවහත සේ – ඉතා තියුණු ලෙස පවතින
දිවෙන් තල්ල මැඩලාගෙන – සංවර කළ මැන උදරය

කම්මැලි නැති සිතින් යුතුව – බාහිර සිතිවිලි නොසිතා
පිළිගඳ ඇති කෙලෙස් නැතිව – නිකෙලෙස් වූ සිතක් ඇතිව
කල් ගෙවන්න නිරතුරුව ම – බඹසර පිළිසරණ ඇතිව

සමණුන්ගේ දහම් මගේ – හික්මෙව් හුදෙකලා බවේ
නිවන් පිණිස සිත යොමුකොට – ඇල්ම කරව් තනිකමට ම
දහමේ හුදෙකලා වීම – ‘මුනිවත’ වේ එයට කීම

කාම සැපය බැහැරට කළ – දැහැනේ සිත දමනය කළ
මුනිවරුනගෙ යහගුණ කඳ – දස දිසාව තුළ පැතිරෙන
හඬ අසනා සමණ තෙමේ – ලැජ්ජා වී සියලු පවට
සද්ධා වඩමින් හද තුළ – සසුන් පිළිවතේ යෙදෙනා
මගෙ සව්වෙක් වේ

එය දත හැක ගංගාවල – විල්වල ජල දහරාවල
පොඩි පොඩි දිය කඩිතිවලින් – හඬ නගමින් ගලයි ජලය
මහ ගංගාවලදී නම් – ගලා ගලා යයි නිහඬව

යමක තිබේ නම් අඩු බව – එනිසා එය නගයි හඬ ම
යමක් පිරී පවතින විට – ශාන්ත බවකින් යුතු වේ
අසත්පුරුෂයා මෙලොවේ – අඩක් පිරුණු කළය ලෙසේ
නුවණින් සපිරුණු උතුමා – දිය පිරි මහ විල බඳු වේ

ඒ සම්බුදු සමණ තෙමේ – බොහෝ දහම් දෙසන නමුදු
අරුත් දහම් යුතු සදහම් – දැනගෙන ම ය පවසන්නේ
ඒ ගැන දන්නා නිසා ය – හේ බොහෝ දේ පවසන්නේ

සදහම් දැනගත්ත යමෙක් – සංවර වී පවතී නම්
හේ දන්නා නමුත් දහම් – බොහෝ කොට නොම පවසයි නම්
හෙතෙමේ ‘මුනි’ වේය ලොවේ – හේ සුදුසු ය ‘මුනි’ බවට ම
ඒ මුනි තෙම සැබෑ ලෙස ම – පත් වූයේ ‘මුනි’ බවට ම

බුදුරජාණන් වහන්සේනමකගේ ශාසනයක මෙවැනි වීර්යවන්ත උත්තම ශ්‍රාවකයින් පහළ වන්නේ එකනමකි. මේ නාලක තෙරුන්ගේ චරිතය අතිශයින් චමත්කාරජනක ජීවන රටාවකින් යුතු එකකි. එනිසා ම මේ දෙසුම ‘නාලක ප්‍රතිපදාව’ වශයෙන් හඳුන්වයි.

මේ දෙසුමට සවන් දුන් නාලක තෙරණුවෝ කරුණු තුනකින් අතිශයින්ම අල්පේච්ඡ වූ සේක. ‘අනේ! අපගේ භාග්‍යවතුන් වහන්සේ ව යළිත් දැකගන්ට ඇත්නම්’ යන සිතිවිල්ලට ඉඩ නොතබා ම පළමු දැකුමෙන් ම මුළුමනින්.ම සෑහීමට පත් වූ සේක. ‘අනේ ඒ සදහම් යළිත් අසන්නට ඇත්නම්’ යන සිතිවිල්ලට ඉඩ නොතබා ම පළමු දෙසුමෙන් ම මුළුමනින් ම සෑහීමට පත් වූ සේක. ‘අනේ ඒ මුනිවත ගැන යළිත් විමසන්ට ඇත්නම්’ යන සිතිවිල්ලට ඉඩ නොතබා ම පළමු විමසුමෙන් ම මුළුමනින් ම සෑහීමට පත් වූ සේක.

මේ නාලක තෙරණුවෝ ගත කළේ පුදුමාකාර ජීවිතයකි. එක් ගමක පිඬුසිඟා වඩිනුයේ එක ම වතාවකි. යළි ඒ ගමට කිසිදා නොවඩියි. නිවසකට පිඬුසිඟා වඩිනුයේ එක ම වතාවකි. යළි ඒ නිවසට පිඬුසිඟා නොවඩියි. රුක් සෙවණෙක වේවා, එළිමහනෙක වේවා වැඩහිඳ බවුන් වඩන්නේ එක.ම දිනයකි. යළි කිසිදා එතැනට නොවඩියි. මේ විස්මිත මුනි පිළිවෙත තුළ සිටි නාලක තෙරණුවෝ සැබෑ ම මුනිවරයෙකි. සත් මසෙකින් අර්හත්වය සාක්ෂාත් කළ නාලක තෙරණුවෝ හිංගුල නම් පර්වතය අසල පිරිනිවන් පෑහ.

අහෝ! බුදුරජාණන් වහන්සේලා අසිරිමත් වන සේක…!
අහෝ! ශ්‍රී සද්ධර්මය ද අසිරිමත් වන සේක…!
අහෝ! ඒ ශ්‍රාවක සංඝරත්නය ද අසිරිමත් වන සේක…!

සාදු! සාදු!! සාදු!!!