අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුද්ධත්වය වනාහී ලෝකයේ සිදුවූ අසිරිමත් ම සිදුවීමයි. සියලු ලෝකයන් ඉක්මවා ගිය, අවබෝධ කර ගත යුතු සියල්ල අවබෝධ කළ, ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණ, අද්විතීය වූ, අසහාය වූ, අසමසම වූ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ අපගේ ශාස්තෘන් වහන්සේ වරක් මෙසේ දේශනා කොට වදාළ සේක.

“පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි උපදින එකම පුද්ගලයෙක් ඉන්නවා. බොහෝ ජනයා හට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ම, හිතසුව පිණිස ම, සැපය පිණිස ම යි උපදින්නේ. ඒ එකම පුද්ගලයා වනාහී කවරහුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය.”

(ඒකපුග්ගල වර්ගය – අං.නි. 1)

සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලොවට පහළ වීමෙන් ම ය දෙව් මිනිස් ප්‍රජාවට සෙත සැලසෙන්නේ. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ උතුම් සම්බුද්ධත්වය පිණිස අප්‍රමාණ වෙහෙසක්, කැපකිරීමක් දැරූහ. එය සාමාන්‍ය කෙනෙකුට කළ නො හැකි ය. එය අසාමාන්‍ය කැපකිරීමකි. උන්වහන්සේ මේ ගමන පැමිණියේ සම්බුද්ධත්වය පිණිස ම සසරේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ය. අවුරුදු හයක් මහත් වූ දුෂ්කර ක්‍රියාවන්ගේ යෙදීමට උන්වහන්සේට සිදුවිය.

උන්වහන්සේ දුෂ්කර ක්‍රිියා අවසන් කොට ඒ උතුම් මධ්‍යම ප්‍රතිපදාව තමන් විසින් ම සොයාගෙන ඒ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට මාර යුද්ධයෙන් ජයගෙන ලොවේ අසහාය, අසමසම සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වූහ. ඒ සම්බුද්ධත්වය තුළ උන්වහන්සේ විසාරද බවට පත් වූහ.

“ගුරූපදේශ රහිත ව සම්‍යක් සම්බුද්ධත්වයට පත් වූ බවට ප්‍රතිඥා දෙන නමුත් ඔබ විසින් මේ මේ ධර්මයෝ අවබෝධ නොකරන ලද්දාහු ය’ වශයෙන් මහණෙනි, ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙකු හෝ කරුණු සහිත ව මා හට චෝදනා කරන්නේ ය යන කරුණ පිළිබඳ ව නිමිත්තක් වත් මම නොදකිමි. මහණෙනි, එබඳු නිමිත්තක් වත් මම නොදකින්නේ භය නැති තැනට පත් වී සිටිමි. නිර්භය ව සිටිමි. විශාරද බවට පත් වී වාසය කරමි.”

(වේසාරජ්ජ සූත්‍රය – අං.නි. 2)

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු බවට පත්වනවාත් සමඟ ම, එනම් චතුරාර්ය සත්‍යය ගුරු උපදේශ නොමැතිව අවබෝධ කරනවාත් සමඟ ම දස බල ඤාණ, සිව් විසාරද ඤාණ ආදී අසිරිමත් අද්විතීය අවබෝධයන් සියල්ල ම ද සාක්ෂාත් කරන ලදී. මේ සා මහා අසිරිමත් ශාස්තෘවරයෙක් සරණ යන්න ලැබීම අප ලද මහා වාසනාවකි. එම නිසා, අප ඉතා ආදරයෙන්, ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ ව සරණ යා යුතුයි.

බුදුරජාණන් වහන්සේ ඒ උතුම් සම්බුද්ධත්වය පිළිබඳ මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූපය පිළිබඳව… වේදනාව පිළිබඳව… සංඥාව පිළිබඳව… සංස්කාර පිළිබඳව… විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන් යුතුව කලකිරීමෙන්, ඇල්ම දුරුකිරීමෙන්, ඇල්ම නිරුද්ධ කිරීමෙන්, උපාදාන රහිතව නිදහස් වූ හෙයින් සම්මා සම්බුද්ධ යැයි කියනු ලැබේ.

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුවත් රූපය පිළිබඳව… වේදනාව පිළිබඳව… සංඥාව පිළිබඳව… සංස්කාර පිළිබඳව… විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන් යුතුව කලකිරීමෙන්, ඇල්ම දුරුකිරීමෙන්, ඇල්ම නිරුද්ධ කිරීමෙන්, උපාදාන රහිතව නිදහස් වූ හෙයින් පඤ්ඤාවිමුත්ත (රහතන් වහන්සේ) යැයි කියනු ලැබේ.”

ඉන් අනතුරුව සම්මා සම්බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේත් අතර ඇති වෙනස භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන්නේ මේ අයුරිනි.

“තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා. පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි නූපන්නා වූ නිවන් මඟ උපදවන්නේ. අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනේතා හට නොගත්තා වූ නිවන් මඟ හටගන්වන්නේ. අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා නොපවසන ලද්දා වූ නිවන් මඟ පවසන්නේ. මග්ගඤ්ඤූ නිවන් මඟ ඉතා හොඳින් දන්නවා. මග්ගවිදූ නිවන් මඟ මැනවින් ප්‍රකට කරනවා. මග්ගකෝවිදෝ නිවන් මඟ පිළිබඳ ව අතිශයින් ම දක්ෂයි. මග්ගානුගා ච භික්ඛවේ ඒතරහි සාවකා විහරන්ති, පච්ඡා සමන්නාගතා ඒ නිවන් මඟ අනුව පසුපස යමිනුයි මෙකල ශ්‍රාවකයන් වාසය කරන්නේ.”

(සම්බුද්ධ සූත්‍රය – සං.නි. 3)

මේ ලෝක සත්වයා ආරම්භක කෙළවරක් නොපෙනෙන අනවරාග්‍ර වූ සංසාර ගමනක ඉපදෙමින් මැරෙමින් දුක විඳ විඳ යන්නේ කරුණු සතරක් අවබෝධ නොකළ නිසාවෙනි. ඒ කරුණු සතර නම් දුකත්, දුකේ හටගැනීමත්, දුකේ නිරුද්ධ වීමත්, දුක් නිරුද්ධ වන මාර්ගයත් ය. මෙම කරුණු සතර හඳුන්වන්නේ චතුරාර්ය සත්‍යය නමිනි. ලොවෙහි කිසිවෙකු නොදන්නා, කිසිවෙකුගෙන් අසන්නට නොලැබෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් බාහිර කෙනෙකුගේ උපකාරයකින් තොරව තමන් වහන්සේගේ ම ප්‍රඥාවෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීමෙනි භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළේ.

ඒ එක් එක් ආර්ය සත්‍යයන් අවබෝධ වන පිළිවෙළවල් තුනක් තිබේ. එනම් සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ හා කෘත ඤාණ වශයෙනි. සත්‍ය ඤාණය යනු මේ එක් එක් ආර්ය සත්‍යයන් ඒකාන්ත සත්‍යයක් බවට ඇති මූලික අවබෝධය යි. කෘත්‍ය ඤාණය යනු මේ එක් එක් ආර්ය සත්‍යයන් පිළිබඳ කළයුතු දේ ගැන ඇති අවබෝධය යි. එනම්, දුක්ඛාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළයුතුයි, දුකේ හටගැනීම නම් වූ තෘෂ්ණාව ප්‍රහාණය කළයුතුයි, දුක නිරුද්ධ වීම නම් වූ අමා මහ නිවන සාක්ෂාත් කළයුතුයි, දුක නිරුද්ධ වන මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි කියා ඇති අවබෝධයයි. කෘත ඤාණ යනු මේ එක් එක් ආර්ය සත්‍යයන් පිළිබඳ කළයුතු දේ කොට අවසන් වූ බවට ඇති අවබෝධය යි. එනම්, දුක්ඛාර්ය සත්‍යය මා විසින් පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා, දුකේ හටගැනීම මා විසින් ප්‍රහාණය කළා, දුකේ නිරුද්ධ වීම මා විසින් සාක්ෂාත් කළා, දුක නිරුද්ධ වන මාර්ගය මා විසින් ප්‍රගුණ කළා යනුවෙන් ඇති අවබෝධය යි.

මේ සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ හා කෘත ඤාණ යන පරිවර්ත තුනෙන් ම ආර්ය සත්‍යයන් සතර කෙරෙහි ඇති වන අවබෝධය එවිට දොළොස් ආකාර වේ. මේ අයුරින් ගුරූපදේශ රහිතව පරිපූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනා තාක් භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් වහන්සේ සම්මා සම්බුද්ධ යැයි කියා ලෝකයට ප්‍රතිඥා නොදුන් සේක.

“යතෝ ච ඛෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහෝසි යම් කලෙක පින්වත් මහණෙනි, මා හට චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව, ආකාර දොළොසකින් යුතුව සැබෑ තත්ත්වය නම් වූ ඤාණ දර්ශනය සුවිසුද්ධ ලෙසට ම අවබෝධ වූයේ වේ ද, අථාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං එකල්හී පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ ලෝකයේ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුළ මම වනාහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා දුන්නෙමි.”

(ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සං. නි. 5)

මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඤාණයකින් අවබෝධ කොට දේශනා කරන කල්හි ලෝකයාට කලාතුරකින් දක්නට ලැබෙන අසිරිමත් ම පිරිස වන ශ්‍රාවක සංඝරත්නය ලොවට පහළ විය. උපාසක උපාසිකා පිරිස බිහි විය. අප්‍රමාණ දෙව් බඹුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වූහ. ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් ගෞතම බුද්ධ ශාසනය පිහිටුවා වදාළ සේක. මෙය උතුම් සම්බුද්ධ ගුණයේ මහිමය නිසා සිදුවන දෙයකි.

බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අසීමිත ය. එම අවබෝධයට කිසි ම සීමාවක් නැත. අසාමාන්‍ය අද්විතීය අවබෝධයක් උන්වහන්සේට තිබේ. දිනක් ඇට්ටේරියා වනාන්තරයක වැඩ වසන භාග්‍යවතුන් වහන්සේ ඇට්ටේරියා කොළ ස්වල්පයක් ශ්‍රී හස්තයට ගෙන භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ වදාළ සේක.

“මහණෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? ඉතා වැඩි කුමක් ද? මා විසින් අතින් ගන්නා ලද ස්වල්ප වූ ඇට්ටේරිය කොළ ද? ඇට්ටේරියා වනයෙහි ගස්වල යම්තාක් ඇති කොළ ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද ඇට්ටේරියා කොළ ස්වල්පයකි. ටිකකි. එනමුත් යම් මේ ඇට්ටේරියා වනයෙහි ගස් මත කොළ ඇද්ද, ඒවා ම ඉතා බොහෝ ය.”

“ඒවමේව ඛෝ භික්ඛවේ ඒතදේව බහුතරං යං වෝ මයා අභිඤ්ඤා අනක්ඛාතං එසෙයින් ම මහණෙනි, මා විසින් විශිෂ්ට නුවණින් අවබෝධ කොට ඔබලාට නොපවසන ලද යමක් ඇද්ද, එය ම ඉතා බොහෝ ය. අප්පමත්තකං අක්ඛාතං පවසන ලද්දේ ස්වල්ප දෙයකි.

(සිංසපා සූත්‍රය – සං.නි. 5)

දිනක් සේල නමැති බ්‍රාහ්මණයා තමාගේ තුන්සීයක් පමණ තරුණ ශිෂ්‍යයන් සමඟ බුදුරජාණන් වහන්සේ මුණගැසීමට පැමිණියේ ය. මෙහි දී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ලද සම්බුද්ධත්වය ගැන සේල බ්‍රාහ්මණයාට මෙසේ පවසා සිටියහ.

“රාජා හමස්මි සේල ධම්මරාජා අනුත්තරෝ”
පින්වත් සේල, මම ද රජෙක්මි. අනුත්තර වූ ධර්මරාජයාණන් වෙමි.

“ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පතිවත්තියං”
ලොව කිසිවෙකුටවත් කිසිසේත් ආපස්සට කරකවන්නට බැරි චක්‍රය ධර්මයෙන් කරකවමි.

“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං”
විශිෂ්ට ඤාණයෙන් යුතුව දත යුතු දෙය මවිසින් විශිෂ්ට ඤාණයෙන් දන්නා ලද්දේ ය.

“භාවේතබ්බං ච භාවිතං”
ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් වැඩිය යුතු දෙය මවිසින් වඩන ලද්දේ ය.

“පහාතබ්බං පහීනං මේ”
ප්‍රහීන කළ යුතු ත්‍රිවිධ තෘෂ්ණාව මවිසින් ප්‍රහාණය කරන ලද්දේ ය.

“තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ”
එහෙයින් පින්වත් බ්‍රාහ්මණය, මම ‘බුද්ධ’ වෙමි.

“යේසං වේ දුල්ලභෝ ලෝකේ – පාතුභාවෝ අභිණ්හසෝ”
ලෝකයෙහි හැම තිස්සේ ම දකින්නට පුළුවන් විදිහට බුදු කෙනෙක් පහළව සිටීම අතිශයින් ම දුර්ලභ දෙයක්.

“සෝ’හං බ්‍රාහ්මණ සම්බුද්ධෝ – සල්ලකත්තෝ අනුත්තරෝ”
පින්වත් බ්‍රාහ්මණය, අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයා වන ඒ මම සම්මා සම්බුද්ධ වෙමි.

(සේල සූත්‍රය – ම.නි. 2)

මේ සා මහා අසිරිමත් වූ සම්බුදු ගුණ දරා වැඩ සිටිමින් තුන් ලෝකය ම ඒකාලෝක කළ, තුන්ලොවේ අසහාය වූ, අසමසම වූ, අග්‍ර වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා…! බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ උතුම් ශ්‍රී ධර්මයට අපගේ නමස්කාරය වේවා…! බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා…!

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.