අනුපිළිවෙළින් ධර්මය පුරුදු කරන්න ඕන කියන අදහස කවදා හරි ඇති වෙලා තියෙනව ද? මේ අදහස සම්බුද්ධ ශ‍්‍රාවක අපි කාටත් තියෙන්න ඕන දෙයක්. අනුපිළිවෙළට ධර්මය පුරුදු කරන්න නම් කල්‍යාණ මිත‍්‍ර ඇසුර වුවමනා ම වෙනවා. අනුපිළිවෙළ හඳුනාගන්න බෑ කල්‍යාණ මිත‍්‍ර ඇසුරක් නැතිව. අනුපිළිවෙළ තමාට හිතෙන ආකාරයට සකසා ගන්නත් බෑ. එ්ක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට තමයි සකස් කර ගන්න ඕන.

අපි අපේ සිතේ ආරම්භක ධර්මයන් මනා කොට පිහිටුවා ගන්නේ නැතිව නිවන් මඟේ වෙනත් වෙනත් පියවරවල් පුරුදු කිරීම අනතුරු සහිත දෙයක් බව ශ‍්‍රද්ධාවෙන් ම පිළිගන්න ඕන. අපේ සිත කොහොම සැකසුණු එකක් ද කියන කාරණය අපට ප‍්‍රකට ද? කොහෙත්ම නෑ. කෙසේ කුසල් අකුසල් විපාක වශයෙන් තියේ ද කියන කාරණයත් පේන්නේ ම නෑ. මේ ජීවිතේ තව කොච්චර කල් ජීවත් වෙන්න තියනවා ද කියන කාරණයත් දන්නේ නෑ. එ්ත්, අපි කරන කියන සිතන දේ ධර්මයට අනුකූල නම් අන්න ඊට අනුව ධාර්මික ජීවිතය සකස් වනවා කියන පිළිගැනීම අපට තියෙන්න ඕන.

එ් පිළිගැනීමෙන් යුක්ත වුණ, එ් කියන්නෙ කර්ම – කර්ම ඵල විශ්වාස කරන කෙනා ධර්මය අහද්දී සසර බිය උපදවාගෙන නිවන අවබෝධ කරන්න ඕන කියන අදහස හිතේ ඇති කර ගන්නවා. අන්න එ් කෙනා අනුපිළිවෙළින් ධර්මය පුරුදු කරන්න සුදුසු කෙනෙක් වෙනවා. එ්ක වළක්වන්න කාටවත් බෑ.

සිතට රැවටිලා, තමා ඉන්න පරිසරයට රැවටිලා, ඇසුරු කරන අයට රැවටිලා, එහෙමත් නැති නම් ගැඹුරු ධර්ම කරුණු අහද්දී එ්වා එක පාරට පුරුදු කරන්න ඇතිවන කැමැත්තට රැවටිලා මේ ධර්ම මාර්ගයේ අනුපිළිවෙළින් පුරුදු කරන ගුණය නැති කර ගන්න බොහෝ අය නිවන් මඟ වරදවා ගන්නවා.

එ් නිසා ධර්මය වැළලී යමින් ඇති මෙවන් යුගයක, සුළු කාලයක් ධර්මය නිවැරදිව ඇසෙන පරිසරයක උපන් අපි සියලූ දෙනා ම භාග්‍යවතුන් වහන්සේ වදාළ නිවන් මගේ අනුපිළිවෙළ මොකක් ද කියල හඳුනාගන්න ඕන. මොකක් ද නිවන් මෙඟ් අනුපිළිවෙළ? කොතැනින් ද ආරම්භ වෙන්නේ? කල්‍යාණ මිත‍්‍ර ඇසුර තමයි නිවන් මෙඟ් ආරම්භය වන්නේ. මේ ආරම්භය රහිත ව ධර්මය පුරුදු කරන කෙනාට සද්ධර්ම ශ‍්‍රවණය සිද්ධ වෙන්නේ නෑ. ඔහුට ශ‍්‍රද්ධාව ඇති වෙන්නේ නෑ. ඔහු භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි ජීවිතේ ගැන මනසිකාර කරන්නේ නෑ. ඔහුට නිවනට නැඹුරු වන ලෙස සිහිනුවණක් උපදින්නේ නෑ. ඔහු ඉන්ද්‍රිය සංවරය කරන්නේ නෑ. ඔහුට ත‍්‍රිවිධ සුචරිතයක් ඇති වෙන්නේ නෑ. ඔහු සතර සතිපට්ඨානයට එන්නේ නෑ.

ඕනෑම කෙනෙකුට නිවන් මගේ ආරම්භයේ කරන්න තියෙන කාරණා මොනවා ද? කීකරු වෙලා, අවංක වෙලා, ගරුසරු භාවය ඇතිව කල්‍යාණ මිත‍්‍ර ඇසුරේ වාසය කරමින් වත් පිළිවෙත් කිරීම, සිල් පද තුළ හික්මීම, ධර්මය ඇසීම, එ්වා අවවාදවලින් නිරවුල් කර ගැනීම, බණ භාවනා කිරීම කියන මේ කටයුතු යි. මේ කටයුතුවලින් තොරව ගැඹුරු ධර්ම කාරණා එක්වර පුරුදු කරන්න යන කෙනාට සිදු වෙන්නේ පදනමක් නැතිව ගොඩනැගිල්ලක් හදන්න ගිහින් අනතුරේ වැටෙනවා වගේ වැඩක්.

රත් වෙච්ච යකඩයකට එකවර වතුර යෙදුවොත් මොකද වෙන්නෙ? එ්කට හානි වෙනවා නේ ද? අන්න එ් වගේ රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් රත් වූ සිත එකවර ම වීරියක් යොදල ධර්මයට යොමු කරවන්න හදන එක සිතට අනතුරු කර ගැනීමක් වෙනවා. රත් වූ යකඩයක් සිසිල් පරිසරයක තිබ්බොත් මොකද වෙන්නේ? එ්ක ඉක්මනට නිවිල යනවා. අන්න එ් වගේ රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් රත් වූ ජීවිතය කල්‍යාණ මිත‍්‍ර ඇසුරේ තිබ්බොත් ඔහු සසරින් නිදහස් වන මාර්ගයට එනවා.

අපි හොදින් මතක තියා ගන්න ඕන, තමාගේ ජීවිතය බැබළෙන්න මේ ධර්මය යොදා ගන්න හොඳ නැ. භාග්‍යවතුන් වහන්සේට අයිති මේ ධර්මය අරන් අපි සීලයෙන් බැබළෙන්න හදනවා නම්, ගුණධර්ම ඇති බව ලෝකයට පෙන්වා ලාභ සත්කාර ගන්නවා නම්, භාවනානුයෝගී බව දක්වා ප‍්‍රසිද්ධිය ඇති කර ගන්නවා නම් ඔහුට මේ ධර්මයේ පිහිටක් ලැබෙන්නේ නෑ. අනුන් සතු දෙයක් අනවසරයෙන් අරගෙන අපි බැබළෙන්න හදනවා වගේ දෙයක් තමයි එ්ක.

භාග්‍යවතුන් වහන්සේගේ සීලය අපි පුරුදු කරන නිසා අපිට වගකීමක් තියෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේගේ නිවන් මඟ අපි යන්න උත්සාහ කරන නිසා අපේ සිතේ එ් කෙරෙහි ගෞරවනීය පිළිගැනීමක් තියෙන්න ඕන. එහෙම නැති අය මේ ධර්මය ම යොදාගෙන තමා තුළින් ගෞරවනීය පිළිගැනීමක් හදාගන්න උත්සාහ කරනවා. ඔහු හිතෙන හිතෙන තැනින් ධර්මය පුරුදු කරනවා. කියා දෙනවා. අනුපිළිවෙළට ගරු කරන්නේ නෑ. එ්ක පුරුදු කරන්නේ නෑ. අනුන්ට අනුපිළිවෙළ ධර්මය පුරුදු කරවන්නෙත් නෑ… අවසානයේ සිද්ධ වෙන්න පරම සුන්දර, පරම ගම්භිර දහමක අග‍්‍ර ඵල නෙළන්න තිබුණ අවස්ථාව අහිමි වෙන එකයි. එවන් විපතකට මුහුණ නො පාන්න නම්, අනුපිළිවෙළින් ධර්මය පුරුදු කිරීමේ මහානීය අගය අප නිතර නිතර සිහිපත් කර ගත යුතු ම වෙනවා.

එ් නිසා, කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ නමක් පහළ වූ නිසාවෙන් ධර්මය මනා කොට අසන්නට ලැබෙන මේ යුගයේ අපට අවැසි අවැසි ආකාරයට ධර්මය පුරුදු කරන්න නො යා යුතුයි. ඇසූ දේ විමස විමසා දැනගෙන ක‍්‍රමක‍්‍රමයෙන් එ් අමා නිවන් සුවය කරා අපි අනුපිළිවෙළින් ධර්මය පුරුදු කළහොත්.. එය බොහෝ දුර නොවන බව කිව යුතු ම යි.

දහම වැඩෙන අනුපිළිවෙළ තුළ අභිවෘද්ධියට පත් වීමේ භාග්‍යය අපට ද හිමි වේවා!

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි