එහි යම් ශාස්තෘන් වහන්සේ නමක් දහම් දෙසන සේක් ද, ඒ දසබලයන් වහන්සේ අවවාද දීම් වශයෙන් සිය ශ්‍රාවකයන් නොරවටන සේක. උන්වහන්සේ තුන් අයුරකින් අවවාද කරන සේක. (1) (සරණාගමන, සීල, සමාධි ආදී) මෙය කරව්! (2) (සමථයෙන් විදර්ශනාවෙන්) මේ උපායෙන් කරව්! (3) මෙය කරන්නා වූ ඔබලාට හිතසුව පිණිස වන්නේ ය යනුවෙනි.

එසේ අවවාද ලද ඒ ශ්‍රාවකයා ඒ අයුරින් කරන විට, ඒ අයුරින් පිළිපදින විට, ඒ භූමියට නොපැමිණෙන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙන දෙයකි. එසේ අවවාද ලද, එසේ අනුශාසනා ලද ඒ ශ්‍රාවකයා සීල ස්කන්ධය සම්පූර්ණ නොකරන විට ඒ භූමියට පැමිණෙන්නේ ය යන කරුණ ත් දකින්නට නොලැබෙන දෙයකි. එසේ අවවාද ලද, එසේ අනුශාසනා ලද ඒ ශ්‍රාවකයා සීල ස්කන්ධය සම්පූර්ණ කරන විට ඒ භූමියට පැමිණෙන්නේ ය යන කරුණ ත් දකින්නට ලැබෙන දෙයකි.

‘සම්මා සම්බුදු බව ප්‍රතිඥා දෙන ඔබ විසින් මේ මේ ධර්මයෝ අවබෝධ නොකරන ලද්දාහ’ යි කරුණු සහිත ව ශාස්තෘන් වහන්සේට චෝදනා කළ හැක්කේ ය යන කරුණ දකින්නට නොලැබෙයි.

‘ආශ්‍රවයන් ක්ෂය කළ බව ප්‍රතිඥා දෙන ඔබ විසින් මේ මේ ආශ්‍රවයෝ ක්ෂය නොකරන ලද්දාහ’ යි කරුණු සහිත ව ශාස්තෘන් වහන්සේට චෝදනා කළ හැක්කේ ය යන කරුණ දකින්නට නොලැබෙයි.

‘යම් දුක් ක්ෂය වීමක් උදෙසා ඔබ විසින් ධර්මය දෙසන ලද්දේ ද, ඒ ධර්මය පිළිපදින්නහුට මැනැවින් දුක් ක්ෂය වීම පිණිස එය නොපවතින්නේ ය’ යි කරුණු සහිත ව ශාස්තෘන් වහන්සේට චෝදනා කළ හැක්කේ ය යන කරුණ දකින්නට නොලැබෙයි.

‘ඔබගේ ශ්‍රාවකයෙක් වනාහී ඔබ විසින් දෙසන ලද ධර්මයට අනුකූල ව හැසිරෙන විට, නිවැරදි ප්‍රතිපදාවෙහි හැසිරෙන විට, ධර්මයට අනුව ම හැසිරෙන විට ඔහු කලින්ට වඩා පසුවට උදාර වූ විශේෂ අධිගමයන් සාක්ෂාත් නොකරන්නේ ය’ යි කරුණු සහිත ව ශාස්තෘන් වහන්සේට චෝදනා කළ හැක්කේ ය යන කරුණ දකින්නට නොලැබෙයි.

‘ඔබ විසින් මාර්ගඵලාවබෝධයට අන්තරායකර යැයි පවසන ලද යම් ධර්මයෝ වෙත් ද, ඒවා සේවනය කරන කෙනෙකුට මාර්ගඵලාවබෝධයට අන්තරායක් නැත්තේ ය’ යි කරුණු සහිත ව ශාස්තෘන් වහන්සේට චෝදනා කළ හැක්කේ ය යන කරුණ දකින්නට නොලැබෙයි.

‘නිවනට පැමිණීමට හේතු නොවන යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් සේවනය කරන තැනැත්තහුට ඒවා මැනැවින් දුක් ක්ෂය කිරීම පිණිස පවතින්නාහ’ යි යන කරුණ දකින්නට නොලැබෙයි.

‘නිවනට පැමිණීමට හේතු වන යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් පිළිපදින තැනැත්තහුට ඒවා මැනැවින් දුක් ක්ෂය කිරීම පිණිස පවතින්නාහ’ යි යන කරුණ දකින්නට ලැබෙයි.

‘ශ්‍රාවකයෙක් වනාහී උපාදිශේෂ සහිත වූයේ, අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට පැමිණෙන්නේ ය’ යන කරුණ දකින්නට නොලැබෙයි.

‘ආර්ය සම්මා දිට්ඨිය ලද සෝවාන් ශ්‍රාවකයා සිය මව ජීවිතයෙන් තොර කරන්නේ ය. සිය මවට අතින් හෝ පයින් හෝ අධික ව හිංසා කරන්නේ ය’ යන කරුණ දකින්නට නොලැබෙයි.

‘පෘථග්ජනයා මව ජීවිතයෙන් තොර කරන්නේ ය. සිය මවට අතින් හෝ පයින් හෝ අධික ව හිංසා කරන්නේ ය’ යන කරුණ දකින්නට ලැබෙයි.

‘ආර්ය සම්මා දිට්ඨිය ලද සෝවාන් ශ්‍රාවකයා සිය පියා ජීවිතයෙන් තොර කරන්නේ ය. සිය පියාට අතින් හෝ පයින් හෝ අධික ව හිංසා කරන්නේ ය’ යන කරුණ දකින්නට නොලැබෙයි.

‘පෘථග්ජනයා පියා ජීවිතයෙන් තොර කරන්නේ ය. සිය පියාට අතින් හෝ පයින් හෝ අධික ව හිංසා කරන්නේ ය’ යන කරුණ දකින්නට ලැබෙයි.

‘ආර්ය සම්මා දිට්ඨිය ලද සෝවාන් ශ්‍රාවකයා රහතුන් ජීවිතයෙන් තොර කරන්නේ ය. රහතුන්ට අතින් හෝ පයින් හෝ අධික ව හිංසා කරන්නේ ය’ යන කරුණ දකින්නට නොලැබෙයි.

‘පෘථග්ජනයා රහතුන් ජීවිතයෙන් තොර කරන්නේ ය. රහතුන්ට අතින් හෝ පයින් හෝ අධික ව හිංසා කරන්නේ ය’ යන කරුණ දකින්නට ලැබෙයි.

‘ආර්ය සම්මා දිට්ඨිය ලද සෝවාන් ශ්‍රාවකයා සංඝභේද කරන්නේ ය හෝ සංඝයා අතර සංඝභේදයට උත්සාහ කරන්නේ ය හෝ’ යන කරුණ දකින්නට නොලැබෙයි.

‘පෘථග්ජනයා සංඝභේද කරන්නේ ය හෝ සංඝයා අතර සංඝභේදයට උත්සාහ කරන්නේ ය හෝ’ යන කරුණ දකින්නට ලැබෙයි.

‘ආර්ය සම්මා දිට්ඨිය ලද සෝවාන් ශ්‍රාවකයා දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සොලවන්නේ ය යන කරුණ ත්, පිරිනිවන් පෑ තථාගතයන් වහන්සේගේ ස්ථූපය දුෂ්ට සිතින් බිඳින්නේ ය’ යන කරුණ ත් දකින්නට නොලැබෙයි.

‘පෘථග්ජනයා දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සොලවන්නේ ය යන කරුණ ත්, පිරිනිවන් පෑ තථාගතයන් වහන්සේගේ ස්ථූපය දුෂ්ට සිතින් බිඳින්නේ ය’ යන කරුණ ත් දකින්නට ලැබෙයි.

‘ආර්ය සම්මා දිට්ඨිය ලද සෝවාන් ශ්‍රාවකයා සිය පණ රැක ගැනීම උදෙසාවත් අන්‍ය ශාස්තෘවරයෙකු ‘මේ මාගේ ශාස්තෘවරයා ය’ කියා අදහාගෙන පෙන්වන්නේ ය’ යන කරුණ දකින්නට නොලැබෙයි. ‘පෘථග්ජනයා අන්‍ය ශාස්තෘවරයෙකු ‘මේ මාගේ ශාස්තෘවරයා ය’ කියා අදහාගෙන පෙන්වන්නේ ය’ යන කරුණ දකින්නට ලැබෙයි.

‘ආර්ය සම්මා දිට්ඨිය ලද සෝවාන් ශ්‍රාවකයා පින් සළකා දන් දීම පිණිස මේ බුදු සසුනෙන් බාහිර අන් කෙනෙකු සොයන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙයි.

‘පෘථග්ජනයා පින් සළකා දන් දීම පිණිස මේ බුදු සසුනෙන් බාහිර අන් කෙනෙකු සොයන්නේ ය’ යන කරුණ දකින්නට ලැබෙයි.

‘ආර්ය සම්මා දිට්ඨිය ලද සෝවාන් ශ්‍රාවකයා ගුප්ත ඇදහිලිවල ඇති මංගල කරුණු වලින් පිරිසිදු බව අදහන්නේ ය’ යන කරුණ දකින්නට නොලැබෙයි.

‘පෘථග්ජනයා ගුප්ත ඇදහිලිවල ඇති මංගල කරුණු වලින් පිරිසිදු බව අදහන්නේ ය’ යන කරුණ දකින්නට ලැබෙයි.

ස්ත්‍රියක් සක්විති රජු වන්නී ය යන කරුණ දකින්නට නොලැබෙයි. පුරුෂයෙක් සක්විති රජු වන්නේ ය යන කරුණ දකින්නට ලැබෙයි.

ස්ත්‍රියක් සක් දෙවිඳු වන්නී ය යන කරුණ දකින්නට නොලැබෙයි. පුරුෂයෙක් සක් දෙවිඳු වන්නේ ය යන කරුණ දකින්නට ලැබෙයි.

ස්ත්‍රියක් පවිටු මාරයා වන්නී ය යන කරුණ දකින්නට නොලැබෙයි. පුරුෂයෙක් පවිටු මාරයා වන්නේ ය යන කරුණ දකින්නට ලැබෙයි.

ස්ත්‍රියක් මහා බ්‍රහ්මයා වන්නී ය යන කරුණ දකින්නට නොලැබෙයි. පුරුෂයෙක් මහා බ්‍රහ්මයා වන්නේ ය යන කරුණ දකින්නට ලැබෙයි.

ස්ත්‍රියක් තථාගත අර්හත් සම්මා සම්බුදු වන්නී ය යන කරුණ දකින්නට නොලැබෙයි. පුරුෂයෙක් තථාගත අර්හත් සම්මා සම්බුදු වන්නේ ය යන කරුණ දකින්නට ලැබෙයි.

තථාගත අර්හත් සම්මා සම්බුදුවරු දෙනමක් පෙර පසු නොවී එක් අවස්ථාවෙහි එක් ලෝකධාතුවක උපදින්නාහ. ධර්මය හෝ දෙසන්නාහ යන කරුණ දකින්නට නොලැබෙයි.

එක් තථාගත අර්හත් සම්මා සම්බුදුවරයෙක් පමණක් එක් ලෝකධාතුවක උපදින්නේ ය. ධර්මය දේශනා කරන්නේ ය යන කරුණ දකින්නට ලැබෙයි.

සිත, කය, වචනය යන තුනෙන් කරන දුෂ්චරිතයන්ගේ ඉෂ්ට, කාන්ත, ප්‍රියමනාප විපාක ලැබෙන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙයි.

සිත, කය, වචනය යන තුනෙන් කරන දුෂ්චරිතයන්ගේ අනිෂ්ට, අකාන්ත, අප්‍රිය අමනාප විපාක ලැබෙන්නේ ය යන කරුණ දකින්නට ලැබෙයි.

සිත, කය, වචනය යන තුනෙන් කරන සුචරිතයන්ගේ අනිෂ්ට, අකාන්ත, අප්‍රිය අමනාප විපාක ලැබෙන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙයි. සිත, කය, වචනය යන තුනෙන් කරන සුචරිතයන්ගේ ඉෂ්ට, කාන්ත, ප්‍රිය මනාප විපාක ලැබෙන්නේ ය යන කරුණ දකින්නට ලැබෙයි.

එක්තරා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, නැතිගුණ පෙන්වන කුහකයෙක් වූයේ, ලාභාපේක්ෂාවෙන් විස්මිත දේ කියන ලපකයෙක් වූයේ, නිමිති කියන නේමිත්තකයෙක් වූයේ, ඒ කුහක, ලපක, නේමිත්තක ගති පෙරටුකොට සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණ ප්‍රහාණය නොකොට සතර සතිපට්ඨානය තුළ සිහිය නොපිහිටුවාගෙන වාසය කරන්නේ, සප්ත බොජ්ඣංග දියුණු නොකොට, අනුත්තර වූ සම්මා සම්බෝධියෙන් අභිසම්බෝධිය කරන්නේ ය යන කරුණ දකින්නට නොලැබෙයි.

එක්තරා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, සියළු දොස් බැහැර කොට, සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවාගෙන වාසය කරන්නේ, සප්ත බොජ්ඣංග දියුණු කොට, අනුත්තර වූ සම්මා සම්බෝධියෙන් අභිසම්බෝධිය කරන්නේ ය යන කරුණ දකින්නට ලැබෙයි. මෙහි හේතු වශයෙන් විය හැකි තැන් වශයෙන් පරිපූර්ණ වශයෙන් ලබන යම් ඤාණයක් ඇද්ද මෙය ප්‍රථම තථාගත බලය වූ ‘ඨානාඨාන ඤාණය’ යැයි කියනු ලැබේ.