මින් වසර 2600කටත් අපගේ බෝසතාණන් වහන්සේ ගයාවේ ඇසතු බෝ සෙවණේදී දස බිම්බරක් මාර සේනා පරාජය කරමින් දස දහසක් ලෝක ධාතුව ම කම්පා කරවමින් වෙසක් සඳ රැසින් මිහිකත සැනසෙද්දී රාග ද්වේශ මෝහාදී සකල ක්ලේශයන් ප්‍රහාණය කොට, පරම ශාස්තෘවර ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෙස සම්බුද්ධත්වයට පත් වී වදාළ සේක.

සුගත වූ බුදුරජාණන් වහන්සේට වැටහී ගියේ තමන් වහන්සේ අවබෝධ කරගත් ගම්භීර වූ, දැකීමට දුෂ්කර වූ, අවබෝධයට දුෂ්කර වූ, මේ උතුම් දහම කවරෙක් නම් අවබෝධ කරයි ද යන්නයි. ඒ වනවිට බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ සිටි පස්වග මහණුන් කරා සුගතයන් වහන්සේ පියවර තැබූයේ සොයාගත් නිවන් මග දේශනා කිරීමේ මහා කරුණාවෙනි.

(ඒතේ තේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති.) “මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ (කාමසුඛල්ලිකානුයෝගය, අත්තකිලමථානුයෝගය) තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදී. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබා දෙයි, නුවණ උදා කරයි, සංසිඳීම ඇති කරයි, විශේෂ ඤාණය ඇති කරයි, අවබෝධය ඇති කරයි, නිවන පිණිස පවතින්නේය.

“මහණෙනි, ඒ මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක්ද? (අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථීදං; සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි) ඒ මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ම ය. එනම්; සම්මා දිට්ඨිය ද, සම්මා සංකල්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙයයි.”

ලෝක සත්වයා දීර්ඝ වූ සසර ගමනට වැටී කෙළවරක් සොයා ගත නොහැකිව අසරණ වූයේ මිථ්‍යා වැඩපිළිවෙළ තුළ ම සිටිමින් රැස්කර ගන්නා අකුසල් නිසා බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. “මහණෙනි, පාපය කෙරෙහි ලැජ්ජාව නැති බවත්, භය නැති බවත් එකතු වී ඇති අකුසල ධර්මයන්ගේ පැවැත්මට මුල් කරුණ වන්නේ අවිද්‍යාවයි. මහණෙනි, අවිද්‍යාවෙන් යුක්ත වූ කෙනා අවිද්‍යාව තුළින් දකින විට වැරදි දෘෂ්ඨිය උපදී. වැරදි දෘෂ්ඨිය නිසා වැරදි වචන, වැරදි කායික ක්‍රියා, වැරදි දිවි පැවැත්ම, වැරදි උත්සාහය, වැරදි වීර්යය, වැරදි සිහිය, වැරදි සමාධිය (චිත්තඒකාග්‍රතාවය) හටගනී.”

(අවිජ්ජා සූත්‍රය – සං.නි. 5)

“මහණෙනි, ආධාරකයක් නොමැති කළය පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි ද, ආධාරකයක් මත තිබෙන කළය පහසුවෙන් පෙරළිය නොහැක්කේ වෙයි ද, එසෙයින්ම මහණෙනි, ආධාරකයක් රහිත වූ සිත පහසුවෙන් ම පෙරළිය හැකි වන්නේය. ආධාරකයක් සහිත වූ සිත පහසුවෙන් ම පෙරළිය නොහැකි වන්නේය. මහණෙනි, සිතට ඇති ආධාරකය කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය.”

(කුම්භ සූත්‍රය – සං. නි. 5)

උරුවේලාව බලා පිටත්ව ගිය භාග්‍යවතුන් වහන්සේ, අරහත් බවට පුණ්‍ය සංස්කාර සකස් වූ නමුත් ශ්‍රී සද්ධර්මය මුණ නොගැසීමෙන් මිථ්‍යා අදහස්වල පැටලී සිටින උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ආදීන්ට දහම් පවසා දහසක් වූ එම පිරිසට බුදු සසුනේ පිහිට සලසා දුන් සේක.

“මහණෙනි, යම් රාගයක ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂයක ක්ෂය වීමක් ඇද්ද, මෝහයක ක්ෂය වීමක් ඇද්ද, මෙය අමෘතය යැයි කියනු ලැබේ. යම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇද්ද, මෙය අමෘතය කරා ගෙන යන මාර්ගයයි.”

(භික්ඛු සූත්‍රය – සං.නි. 5)

“මහණෙනි, මේ උතුම් ධර්මයන් අට තමා තුළ දියුණු කරගත් විට, බහුල වශයෙන් පුරුදු කරගත් විට නිවන කරා යන්නේය. නිවන් පිහිට සැලසෙන්නේය. නිවනින් සමාප්ත වන්නේය. ඒ කවර අටක් ද? සම්මා දිට්ඨියෙන් ඇරඹි සම්මා සමාධියෙන් අවසන් වන්නා වූ මේ උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

(නන්දිය සූත්‍රය – සං.නි. 5)

වරෙක අප භාග්‍යවතුන් වහන්සේ ආනන්දයන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක. “මේ නිවන් මඟ මුළුමනින් ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් මත ය. කල්‍යාණ සහායකයන් ඇති බව මතය. කලණ මිතුරන්ගේ ඇසුරට ඇති නැඹුරුවීම මතය. මෙසේ වාසය කරන භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ දියුණු කරන්නේය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේය යන කරුණ කැමති විය යුතුය.”

(උපඞ්ඪ සූත්‍රය – සං.නි. 5)

“මහණෙනි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් යම්තාක් දේ ඇද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ සියල්ලට ම වඩා අග්‍ර වන්නේ යැයි කියමි. යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සිත පහදවා ගන්නාහු ද, ඒ ප්‍රසාදය ඇති වූයේ අග්‍ර තැන කෙරෙහි ය. අග්‍ර ස්ථානයේ පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර වෙයි.”

(අග්ගප්පසාද සූත්‍රය – අං. නි. 2)

“මහණෙනි, හිරු මඬල නැග එන විට මුල් ම සලකුණ මෙයයි. මුල්ම නිමිත්ත මෙයයි. එනම් අරුණෝදය ඇතිවීම යි. මහණෙනි, එසෙයින් භික්ෂුවට ආර්ය අෂ්ටාංගික මාර්ගය හටගැනීම පිණිස මුල් ම සලකුණ මෙයයි. නිමිත්ත මෙයයි. එනම් කල්‍යාණ මිත්‍රයන් ඇති බවයි. සීල සම්පත් ඇති බවයි. දුකින් මිදීමට කැමැත්ත ඇති බවයි. දුකින් මිදීමට සිත පිහිටුවීමයි. නිවැරදි දැක්ම නමැති සම්පත්තියයි. නුවණ යොදා මෙනෙහි කිරීමයි.

(මග්ග සංයුත්තය – සං. නි. 5)

යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වරද්දා ගත්තේ නම් ඔවුන්ට වැරදී ගියේ මැනවින් දුක් ක්ෂය කරන්නා වූ මාර්ගය යි යනුවෙන් වරෙක අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට උපනූපන් පාපී අකුසල් අතුරුදහන් කළ හැකිය.

“මහණෙනි, හටගත් මහා වැස්ස මහා සුළඟකින් අතරමඟදී අතුරුදහන් කරවයි, සංසිඳුවයි. එලෙසින්ම මහණෙනි, භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ, බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේ උපනූපන් පාපී අකුසල ධර්මයන් හටගත් අතරමඟදීම අතුරුදහන් කරවයි. සංසිඳවයි.”

(මග්ග සංයුත්තය – සං. නි. 5)

දෙව් මිනිස් ලෝ සතුන් සසර දුකින් නිදහස් කරවන්නා වූ ඒ උතුම් ආර්ය මාර්ගයට අයත් වූ සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෙස දෙයාකාර වේ. ලෞකික සම්මා දිට්ඨිය යනු, මිථ්‍යා දෘෂ්ඨිය බැහැර කිරීමෙන් ලබන්නකි. මිථ්‍යා දෘෂ්ඨිය යනු කුමක්ද, සම්මා දිට්ඨිය යනු කුමක්ද ලෙස දැන සිටීම සම්මා දිට්ඨියයි. දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨිය යනු: දානයෙහි විපාක නැත, ඇප උපස්ථානවල විපාක නැත, පුද පූජාවන්හි විපාක නැත, යහපත් වේවා අයහපත් වේවා කරන ලද කර්මයන්ගේ විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මව් නැත, පියා නැත, ඕපපාතික සත්වයෝ නැත, යමෙක් මෙලොව පරලොව පිළිබඳ තමා තුළ ඇති කරගත් විශිෂ්ඨ ඤාණයෙන් යුතුව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන පැවසීමක් ඇද්ද එබඳු මහණ බමුණන් නැත ආදියයි.

මෙම මිථ්‍යා අදහස්වලින් බැහැරව සිටින, ලෞකික සම්මා දිට්ඨියට පැමිණි කෙනා ලෝකෝත්තර දියුණුව කරා යෑම පිණිස ශ්‍රී සද්ධර්මය මනාව ශ්‍රවණය කරමින් නුවණින් විමසීමේහි යෙදී වාසය කරයි. දුක පිළිබඳ, දුක හටගැනීම පිළිබඳ, දුක නිරුද්ධ වීම පිළිබඳ, දුක නිරුද්ධ වන මාර්ගය පිළිබඳ අවබෝධ ඤාණයෙන් යුතුව ආර්ය වූ, ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් ලෙස සම්මා දිට්ඨිය වඩයි. මිථ්‍යා දෘෂ්ඨිය ප්‍රහාණය කරමින් සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස සිදු කරන වෑයම සම්මා වායාමය වේ. සිහියෙන් යුතුව මිථ්‍යා දෘෂ්ඨිය අත්හරිමින්, සිහියෙන් යුතුව සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරයි. එම සිහිය සම්මා සතිය වේ.

ධර්ම තුනක් සම්මා දිට්ඨියට අනුව වේගවත්ව සකස් වෙයි. ඒ අනුව පවතියි. එනම්, සම්මා දිට්ඨිය, සම්මා වායාමය හා සම්මා සතිය යන තුනයි. මෙම කරුණු තුන පෙරටු කොටගෙන විදර්ශනා අරමුණෙහි සිත පිහිටුවා, නංවා, සිදු කරන විතක්ක විචාර ඇද්ද, එය සම්මා සංකල්පයයි. (සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය ) මෙම කරුණු තුන පෙරටු කොටගෙන වචී දුශ්චරිතයට (බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම) නොඇලී, වෙන් වී, දුරු වී, නවතා, ඒවායෙන් වැලකී සිටිත් ද, එය සම්මා වාචා වේ. මෙම කරුණු තුන පෙරටු කොටගෙන කායික දුශ්චරිතයට (ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාමසේවනය) නොඇලී, වෙන්වී, දුරු වී, නවතා, වැලකී සිටිත් ද, එය සම්මා කම්මන්තය වේ.

මෙම කරුණු තුන පෙරටු කොටගෙන මිථ්‍යා ආජීවයට නොඇලී, වෙන් වී, දුරු වී, නවතා, වැලකී සිටිත් ද, එය සම්මා ආජීවය වේ. මේ අයුරින් සම්මා දිට්ඨියෙහි පිහිටි කෙනා තුළ සම්මා සංකල්පය ද සම්මා වාචා ද සම්මා කම්මන්තය ද සම්මා ආජීව ද සම්මා වායාමය ද සම්මා සතිය ද සම්මා සමාධිය ද සම්මා ඤාණය හා සම්මා විමුක්තිය ද ඇති වේ. ධර්මයෙහි හික්මෙන සේඛ පුද්ගලයා මාර්ග අංග අටකින් ද රහතන් වහන්සේ මාර්ග අංග දහයකින් ද යුක්ත වෙයි.

(මහා චත්තාරීසක සූත්‍රය – ම. නි. 3)

“මහණෙනි, මේ අෂ්ට ධර්මයන් භාවිතා කරන ලද්දේ, බහුලව ප්‍රගුණ කරන ලද්දේ මෙතෙරින් එතෙර යෑම පිණිස පවතින්නේය.”

“මහණෙනි, මහණකම හා මහණකමේ ප්‍රතිඵල යනු මොනවාද? මහණකම යනු මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මහණකමේ ප්‍රතිඵල යනු සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් ය.”

“මහණෙනි, පිරිසිදුව බබළන්නා වූ, කෙලෙස් රහිත වූ, උපක්ලේෂ රහිත වූ මේ ධර්මයන් අට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් විනා කිසිකලෙක ඇති නොවූත්, අන් කිසි කලෙක ඇති නොවන්නා වූත් දෙයකි. එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.”

(මග්ග සංයුත්ත – සං. නි. 5)

කෙළවරක් නොපෙනන දිගු සසර ගමනක නැවතුම අරඹන මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි ම යි අප හිත පහදවාගත යුත්තේ. දෙව් මිනිස් ලෝ සතුන් සසරින් එතෙර කරවන සම්බුදු සසුන වෙත ඔබත් පැමිණෙන්න. ඒ විශ්මිත වූත් අද්විතීය වූත් උතුම් ධර්මය ජීවිතයට පමුණුවා ගන්න. සතර අපා දුකින් නිදහස් වෙන්න ලැබුණු දුර්ලභ අවස්ථාව මඟ හැර නොගන්න. ඔබටත් මේ උතුම් නිවන් මඟ සුවසේ දියුණු කර ගැනීමට වාසනාව උදා වේවා!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි