බොජ්ඣංග යන වචනය මීට පෙර ඔබ ශ්‍රවණය කර තිබෙනවා විය හැකිය. එසේත් නැතිනම් සප්ත බොජ්ඣංගන් පිළිවෙළින් මතක තබාගෙන සිටිනවා විය හැකිය. එසේත් නැතිනම් සප්ත බොජ්ඣංගන් පුරුදු කිරීමට කැමැත්තෙන් සිටිනවා විය හැකිය. සප්ත බොජ්ඣංග තමා තුළ උපදවා ගැනීමට කැමති ශ්‍රාවකයා විසින් දැන සිටිය යුත්තේ බුද්ධ දේශනාවට අනුව අප ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් බොජ්ඣංගන් පිළිබඳ වදාළ විග්‍රහයන් ම ය. එනිසා බුද්ධ දේශනා ඇසුරින්ම අප මේ ලිපිය සකස් කළෙමු. මෙහිදී සප්ත බොජ්ඣංගන් පිළිබඳ යම් දැනුමක් ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.

බොජ්ඣංග යනු කුමක් දැයි අපගේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් විමසූ කල්හී මෙසේ වදාළ සේක. “භික්ෂුව, අවබෝධය පිණිස පවතින්නේ යන කරුණින් බොජ්ඣංග යැයි කියනු ලැබේ.” ඉන්පසු එම භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සප්ත බොජ්ඣංගයන් වඩන භික්ෂුවගේ සිත මනාකොට කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජා ආශ්‍රවයන්ගෙන් නිදහස් වන බවයි.

කුණ්ඩලිය නම් වූ තාපසයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ විමසීය. “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහී ආරාමවල වාද විවාද කරමින් සිටින ශ්‍රමණ කණ්ඩායමකට අයත් කෙනෙක් වෙමි. ඉතින් මා හීලදානය ගත් පසු ශ්‍රමණයන් බහුලව හැසිරෙන ආරාමයෙන් ආරාමයටත්, උද්‍යානයෙන් උද්‍යානයටත් ඇවිදගෙන යමි. ඔවුන් සමඟ කථා කරමි. එවිට වාද විවාද කිරීමේ ආනිශංස ගැන කතා කරමින් වාසය කරන ශ්‍රමණවරුන් මට දැක ගන්නට පුළුවනි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වාසය කරන්නේ කවර දෙයක ආනිශංස දකිමින් ද?”
“කුණ්ඩලිය, තථාගතයන් වහන්සේ විද්‍යා (අවබෝධ ඤාණයත්) විමුක්ති (දුකින් නිදහස් වීමත්) ඵල ආනිශංස කොටගෙන වාසය කරයි.”
එවිට කුණ්ඩලිය තවුසා මෙසේ ඇසීය.

“භවත් ගෞතමයන් වහන්ස, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද බහුල කිරීමෙන් ද විද්‍යා විමුක්ති සම්පූර්ණ වන්නේ?”

“කුණ්ඩලිය, සප්ත බොජ්ඣංග භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් විද්‍යා විමුක්ති සම්පූර්ණ වන්නේය.”

“භවත් ගෞතමයන් වහන්ස, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද බහුල කිරීමෙන් ද සප්ත බොජ්ඣංග සම්පූර්ණ වන්නේ?”

“කුණ්ඩලිය, සතර සතිපට්ඨානයන් භාවිත කිරීමෙන් බහුල කිරීමෙන් සප්ත බොජ්ඣංගන් සම්පූර්ණ වන්නේය.”

“භවත් ගෞතමයන් වහන්ස, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද බහුල කිරීමෙන් ද සතර සතිපට්ඨානය සම්පූර්ණ වන්නේ?”

“කුණ්ඩලිය, ත්‍රිවිධ සුචරිතය භාවිත කිරීමෙන් බහුල කිරීමෙන් සතර සතිපට්ඨානය සම්පූර්ණ වන්නේය.”

“භවත් ගෞතමයන් වහන්ස, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද බහුල කිරීමෙන් ද ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වන්නේ?”

“කුණ්ඩලිය, ඉන්ද්‍රිය සංවරය භාවිත කිරීමෙන් බහුල කිරීමෙන් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වන්නේය.”

අනතුරුව අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතා විස්මිත අයුරින් ඉන්ද්‍රිය සංවරය විස්තර කළ සේක. සාමාන්‍යයෙන් අනෙක් බුද්ධ දේශනාවල ඉන්ද්‍රිය සංවරය විස්තර කරන පිළිවෙළට වඩා විශේෂ අයුරකින් මෙම දෙසුමේදී ඉන්ද්‍රිය සංවරය ගැන පවසන ලදී. එය මෙසේය.

“කුණ්ඩලිය, මෙහිලා භික්ෂුවක් ඇසින් රූපයක් දැක මනාප අරමුණට ආශා නොකරයි. එයින් ලැබෙන සතුටින් නොපෙලයි. රාගය නූපදවයි.

කය වෙනස් නොවී සිටියේ වෙයි. (තස්ස ඨිතෝ ච කායෝ හෝති). සිත (ඒ වෙනුවෙන් සසල නොවී) සිටියේ වෙයි. (ඨිතං චිත්තං) අධ්‍යාත්මයේ මැනවින් පිහිටියේ වෙයි. (අජ්ඣත්තං සුසණ්ඨිතං). (ඒ රාග අරමුණින්) මනාව මිදුනේ වෙයි (සුවිමුත්තං).

එමෙන්ම ඇසින් අමනාප රූපයක් දැක නොහැකිලෙයි. නොසන්සුන් සිත් නැත්තේ වෙයි. බැගෑපත් සිත් නැත්තේ වෙයි. දුෂ්ට සිත නැත්තේ වෙයි. ඔහුගේ කය සිටියේ වෙයි (සසල නොවෙයි). සිතත් සිටියේ වෙයි. අධ්‍යාත්මයේ මැනවින් පිහිටියේ වෙයි. මැනවින් මිදුනේ වෙයි. මේ අයුරින් කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන්ගේ සංවරයත් වදාරන ලද්දේය. මේ ආකාරයෙන් බහුල වශයෙන් වඩන ලද ඉන්ද්‍රිය සංවරය ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරයි. බහුල වශයෙන් වඩන ලද ත්‍රිවිධ සුචරිතය සතර සතිපටිඨානය සම්පූර්ණ කරයි. ත්‍රිවිධ සුචරිතයේ පිහිටා වඩන ලද සතර සතිපට්ඨානයෝ සප්ත බොජ්ඣංග සම්පූර්ණ කරති.

මෙහිදී අපට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ සප්ත බොජ්ඣංග වැඩීමට කැමති ශ්‍රාවකයා විසින් පූර්වාංග ලෙස ඇති කර ගතයුතු කරුණු ගැනයි. මෙම දේශනාවට අනුව විමසා බලන විටදී ඉන්ද්‍රිය සංවරයත්, ත්‍රිවිධ සුචරිතයත් සම්පූර්ණ නොවී සතිපට්ඨානය මනාකොට සම්පූර්ණ වීමක් නැති බව අපට මැනවින් පැහැදිලි වේ. සතර සතිපට්ඨානය මැනවින් භාවිත කිරීමෙන් බහුල වශයෙන් වැඩීමෙන් ශ්‍රාවකයා හට සති සම්බොජ්ඣංගය පිණිස උත්සාහ කළ හැක. එය බොජ්ඣංග සංයුත්තයේ ආහාර සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.

“මහණෙනි, නූපන් සති සම්බොජ්ඣංගය ඉපදීම පිණිසත්, උපන් සති සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් ආහාරය වන්නේ කුමක්ද? මහණෙනි, සති සම්බොජ්ඣංගයට හිතවූ කරුණු (සතර සතිපට්ඨානය) ඇත්තේය. ඒ පිළිබඳව නුවණින් යුක්තව බහුලව මෙනෙහි කිරීමක් ඇද්ද නූපන් සති සම්බොජ්ඣංගය ඉපදීම පිණිසත් උපන් සති සම්බොජ්ඣංගය භාවනා වශයෙන් සම්පූර්ණ වීම පිණිසත් මෙය ආහාරය වෙයි”

මෙම සූත්‍රයේදී නීවරණයන්ට ආහාර වන කරුණු ගැනත් සප්ත සම්බොජ්ඣංගයන්ට ආහාර වන කරුණු ගැනත් විස්තර වශයෙන් දේශනා කොට ඇත. බුදුරජාණන් වහන්සේ පංච නීවරණයන් අකුසල රාශිය (අකුසල් රැස) යනුවෙන් ද හඳුන්වා ඇත. නීවරණ පෝෂණය වීමට සෘජුව ම (සීලයේ) ත්‍රිවිධ සුචරිතයේ ඇති දුර්වලතාත්, ඉන්ද්‍රිය සංවරයේ ඇති දුර්වලතාත් බලපායි. සතර සතිපට්ඨානය කුසල රාශිය (කුසල් රැස) යනුවෙන් හඳුන්වා ඇත.

සිතක් තුළ බොජ්ඣංගයන් වැඩෙන පිළිවෙළ සීල සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.

“මහණෙනි, යම් කලක භික්ෂුවක් කාය විවේකයෙන් හා චිත්ත විවේකයෙන් වසමින් ඒ ධර්මය සිහි කරයි ද, අනුවිතර්ක කරයි ද, එකල ඒ භික්ෂුව විසින් සති සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලක භික්ෂුව සතිසම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුවගේ සතිසම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. ඔහු එසේ සිහියෙන් වාසය කරන්නේ ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසයි. ප්‍රඥාව හසුරුවයි. මැනැවින් විමසීමට පැමිණෙයි. එකල ඒ භික්ෂුව විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි.

යම් කලක භික්ෂුව ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුවගේ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසන, ප්‍රඥාව හසුරුවන, මැනැවින් විමසීමට පැමිණෙන ඔහු තුළ වීර්යය පටන් ගන්නා ලද්දේ වෙයි. නොහැකිළුණේ වෙයි. එකල ඒ භික්ෂුව විසින් විරිය සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි.

යම් කලෙක භික්ෂුව විරිය සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ විරිය සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. පටන්ගත් වීරිය ඇත්තහුට නිරාමිස ප්‍රීතිය උපදියි. එකල භික්ෂුව විසින් ප්‍රීති සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව ප්‍රීති සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ ප්‍රීති සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. ප්‍රීති මනස ඇත්තහුගේ කය ත් සැහැල්ලු වෙයි. සිත ත් සැහැල්ලු වෙයි. එකල භික්ෂුව විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි.

යම් කලෙක භික්ෂුව පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. සැහැල්ලු කය ඇත්තහුට සැපයක් ඇත්තේ ය. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. එකල භික්ෂුව විසින් සමාධි සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව සමාධි සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ සමාධි සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණත්වයට යයි.

ඔහු එසේ සමාධිමත් වූ සිත දෙස මනාකොට මැදහත් ව බලන්නේ වෙයි. එකල භික්ෂුව විසින් උපේක්ෂා සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ උපේක්ෂා සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට පත්වෙයි.

සප්ත බොජ්ඣංගයන් මෙසේ වැඩූ කල්හී, මෙසේ බහුල කළ කල්හි මෙලොවදී ම අනාගාමී වීම හෝ අරහත්වයට පත්වීම කැමති විය යුතු යැයි අපගේ අති උත්තම ශාස්තෘන් වහන්සේ වදාළ සේක.

බොජ්ඣංගයන් පුරුදු කරගැනීමට නම් තමා තුළ (යෝනිසෝ මනසිකාරය) නුවණින් විමසීමේ හැකියාව ඒකාන්ත වශයෙන්ම තිබිය යුතුය.
“මහණෙනි, බොජ්ඣංග ධර්මයන්හි හටගැනීම පිණිස තමා තුළ පවතින නුවණින් සැලකීමේ හැකියාව තරම් වටිනා වෙන කිසිදු අභ්‍යන්තරික අංගයක් මම නොදකිමි” යනුවෙන් අපගේ භග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

අපේ ජීවිත තුළ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී අප හිතනා පතනා වේගයෙන් මෙම බොජ්ඣංග ධර්මයන් අප තුළ නොවැඩීමට ප්‍රධානතම හේතුව බවට පත් වී ඇත්තේ අපේම (යෝනිසෝ මනසිකාරයේ) නුවණින් විමසීමේ ඇති දුර්වලතා යි. ඒ නිසා අප මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ඉවසීමෙන් යුක්තව අඛණ්ඩව ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය, සතිපට්ඨානය, පුරුදු පුහුණු වීම ආදී මූලික කාරණාවන් පුරුදු කිරීමෙන් කෙමෙන් කෙමෙන් බොජ්ඣංග ධර්මයන් පුරුදු පුහුණු කරගැනීමට සුදුස්සන් බවට පත්විය හැක.

අහෝ..! මෙබඳු වූ ගම්භීර ධර්මයන් ගැන අසන්ට ලැබීම පවා අපගේ භාග්‍යයක් නොවේද? ඒ සියල්ල අපට ලැබුණේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා ම ය. අවබෝධයට උපකාරී වන මේ සප්ත බොජ්ඣංග ධර්මයන් ගැන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමෙන් ම මිස අබුද්ධෝත්පාද කාලවලදී අසන්නටවත් නොලැබේ.

යේසං සම්බෝධි අංගේසු – සම්මා චිත්තං සුභාවිතං
ආදානපටිනිස්සග්ගේ – අනුපාදාය යේ රතා
ඛීණසවා ජුතීමන්තෝ – තේ ලෝකේ පරිනිබ්බුතා

යම් කෙනෙකුගේ සිත බොජ්ඣංග ධර්මයන්හි මැනවින් වඩන ලද්දේ ද, අල්ලාගත් දේ දුරු කිරීමෙන් උපාදාන රහිත වූ නිවනෙහි ඇළුණු යම් කෙනෙක් වෙත්ද, ඒ ලොව බබුළුවන ක්ෂීණාශ්‍රව රහත්හු ලෝකයෙහි පිරිනිවී ගියාහුය.”

(අපාර සූත්‍රය – සං. නි. 5)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි