නිරන්තරයෙන් සමාජයේ හැසිරෙන කාන්තාවක් භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට කටයුතු කරනවා නම්, ඇයගේ ජීවිතයට මෙලොව දී මහත් වූ සැපයක් ලැබෙනවා. පරලොවදීත් මහත් වූ සැපයක් ලැබෙනවා. හැම අතින් ම වැඩ වැඩිවෙද්දී කාන්තාව නිතර ම පීඩාවට පත් වෙනවා. ඇයට ඒ කරදර සමහර විට දරන්නට බැරි වෙන්නත් පුළුවන්. ඇයට හිතෙන්න පුළුවන්, ‘මම තමයි මේ ලෝකයේ අවාසනාවන්ත ම කාන්තාව. කොතරම් වැඩ කළත් හොඳක් නැහැ. වැඩවල ඉවරයක් නැහැ.’ කියලා. නමුත් ඇය දන්නේ නැහැ ජීවිතයක හැමදාම දුක ම පමණක් පවතින්නේ නැහැ. ඒ වගේ ම දුකක් විඳිද්දී ඇය ඒ දුක මත ම ගිලී සිටියොත් ඇයට එයින් නිදහස් වීමකුත් නැහැ.

රැකගත යුත්තේ තමාව යි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන කාන්තාවකට වේවා පුරුෂයෙකුට වේවා ප්‍රශ්න, ගැටලු එද්දී ඒවාට ධර්මයෙන් පිළිසරණ සෙව්ව පිරිස් එදත් මේ සමාජයේ සිටියා. අදත් සිටිනවා.

සාමාන්‍ය සමාජයේ හැසිරෙන කාන්තාවකට තමන්ගේ ස්වාමියාගෙන් වේවා, දරුවන්ගෙන් වේවා, ඥාති හිත මිතුරන්ගෙන් වේවා නිතර නිතර අසන්නට වෙන්නේ, දකින්නට වෙන්නේ සිත් සතුටුවෙන දේ නොවේ නම් ඒ පීඩාවන් සමහර විට දරා ගන්නට බැරිතරම් දරුණු වෙනවා. නමුත් ඒ දේ සිදු වූ පළමු කෙනා තමන් නොවේ කියා පළල් වූ බුද්ධියෙන් ඇය සිතුවොත් මෙත් සිතින් වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා.

බුද්ධ කාලයේ විසූ උපාසිකාවෝ අපි දන්නවා ධ්‍යාන උපදවා ගත්, සමාධිය වඩන ගිහි ගෙදර විසූ කාන්තාවක් වූ වේළුකණ්ටකී නන්ද මාතාව පිළිබඳව. ඇය වරෙක සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා “ස්වාමීනී, මගේ ජීවිතයේ තිබෙන ආශ්චර්ය අද්භූත කරුණුවලින් එකක් තමයි, මගේ සැමියා මියගොස් දැන් බොහෝ කාලයක් වෙනවා. ඔහු මහා බලගතු යක්ෂයෙක් වෙලා මට පෙනෙන්නට ම එනවා. ඒ වෙලාවට මගේ හිත වෙනස් වන්නේ නැහැ. තැති ගැනීමක් හෝ බයක් මට ඇතිවෙන්නේ නැහැ.” කියා. එසේ ඇගේ සැමියා මිය ගොස් යක්ෂයෙකු වීමට නම් ඔහු ජීවත් වූ කාලයේත් සැරපරුෂ, තාඩන පීඩන ගෙනදුන් කෙනෙක් වෙන්න ඕනේ. නමුත් ඇය ඔහු ජීවත්ව සිටිද්දීත්, මිය ගිය පසුවත් දුක් වේදනා කියමින් අඳෝනා නැගූ කාන්තාවක් නොවෙයි. ඇය බුදුරජාණන් වහන්සේ සරණ ගිය මාර්ගඵලලාභී කාන්තාවක්. ඇය හිත දියුණු කර තිබෙන්නේ සෑහෙන කරදර මැද වෙන්න පුළුවන්. හිත දියුණු කළ තැනැත්තියක් නිසා එතුමිය ස්වාමියාගේ සැරපරුෂකම් කියන්නේ නැහැ. නමුත් මරණින් මතු යක්ෂයෙක් වෙලා ඉපදෙන්න ඒ පුද්ගලයා යම් යම් දුර්ගුණවලින් යුක්තව සිටින්නට ඇති. එවැනි පරිසරයක ඉඳිමින් වුණත් ඇය සිත දියුණු කරගත් නිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ගිහිගෙදර ජීවත්වන සෑම කාන්තාවක් ම නන්දමාතාව වගේ වෙන්න කියලා.

ඒ වගේම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දෙව්ලොව සංචාරය කරද්දී මුණගැසුණු සමහර දෙවඟනන් සිටියා මනුස්ස ලෝකයේ දී දක්ෂ ලෙස මෛත්‍රිය වැඩූ අය. මුගලන් මහරහතන් වහන්සේට එක් දෙව්දුවක් මුණගැසුණ විට අසා සිටියා “ඔබ මිනිස් ලෝකයේ දී කළ පින්කම මොකක්ද? රැකපු ව්‍රතය කුමක්ද?” කියා. එවිට ඒ දෙව්දුව කියනවා “ස්වාමීනී, මම මිනිස් ලෝකයේ සිටිද්දී මගේ ස්වාමියාට දාසියක් වගේ සැලකුවා. ස්වාමියාගේ සමහර තීරණවලදී මට තරහ ඇතිවුණත් මම ඒ තරහා යටපත් කර ගත්තා. ඒවා ප්‍රකට කළේ නැහැ” කියා. එහෙනම් ඒ කාන්තාව මරණින් පසු දෙව්ලොව ගියේ තමන්ගේ ස්වාමියාට මෙත් සිත පතුරලයි. සමහරවිට කාන්තාවකට සිතෙන්න පුළුවන් ‘මට මෙතරම් අසාධාරණකම් කරලත් මම කොහොමද ඔහුට මෙත් සිතින් කටයුතු කරන්නේ?’ කියලා. නමුත් උපාසිකාවක් ගුණධර්ම රැකිය යුත්තේ තම ස්වාමියාගේ හෝ දරුවන්ගේ හෝ චරිත ස්වභාවය බලලා නොවෙයි. ඒ අයට යහපත පිණිස කොච්චර කරුණු කීවත් අයහපතේ යෙදෙනවා නම්, පීඩා දෙනවා නම් ඒ අය රකින්න කියා නොවේ ධර්මයේ සඳහන් වෙන්නේ. ධර්මයේ සඳහන් වෙන්නේ තමාව රැක ගන්න කියලයි.

හිතන ක්‍රමයේ වෙනසක්

අප තේරුම් ගත යුතු වෙනවා, අප එකිනෙකා එකිනෙකට වෙනස් වූ කර්ම කරලයි මේ මිනිස් ලෝකයේ ඉපදුණේ. ඒ කර්මවල විපාක අනුවයි අපට ස්වාමියා මුණගැසුනෙ, දරුවන්, ඥාතීන්, මව්පියන්, ජීවත් වෙන පරිසරය, රැකියාව ආදිය ලැබුණේ. සම්මතයෙන් බොහෝ දේ ලැබෙන්නේ කර්මය අනුව යි. අපි සසරේ දී අනෙක් අයට චිත්ත පීඩා දී තිබෙනවා නම්, තමන්ට චිත්ත පීඩා දෙන පරිසරයක් මුණගැසෙනවා. පීඩාව නිසා අප ගන්නා ක්ෂණික තීරණයට අපගේ මුළු සංසාර ගමන ම අඳුරු කරන්නට පුළුවන්. (මරණින් පසු ජීවිතය අඳුරු වෙන්න පුළුවන් ) එනිස යි භාග්‍යවතුන් වහන්සේ වදාළේ හිතන ක්‍රමය වෙනස් කර ගන්න කියලා. තමන්ට එන ඕනෑම කරදරයක දී අපි සිතුවොත් බුදුරජාණන් වහන්සේ තමයි මට එකම සරණ කියලා, එවිට අපට ලොකු අභිමානයක් ඇති වෙනවා. එතකොට අපි තීරණ ගන්නේ මම කාන්තාවක් කියා නොවේ, මම උපාසිකාවක් කියලයි. එහෙම නම් භාග්‍යවතුන් වහන්සේගේ උපාසිකාවන් ධර්මයට අනුවයි කල්පනා කරන්නේ. බොහෝම ඉවසිලිවන්තයි. හුඟක් දුර බලනවා. සීලවන්තයි. පළල් කල්පනාවකින් යුක්තයි. එවිටයි යම් ප්‍රශ්නයක් ගැටලුවක් එද්දී වැඩුණු නුවණකින්, ගුණවත් බවින් යුක්තව ඒ දෙයට මුහුණ දෙන්නට ඇයට පුළුවන් වෙන්නේ. නිතර ම අපි හිතන ආකාරය වෙනස් කරලා ‘මේ තමයි සසරේ ස්වභාවය, මේ සංසාරේ මම කරගත් දෙයක්නේ’ කියා සිහිකළොත් අපට මෙත්සිත රැකගන්නට පුළුවන්. එවිට ඉවසීමත් සමඟ ම ඒ ගැන හිතන්නට වෙලාවක් එනවා. එතකොට මම කවුද? මම මොනවද කරන්න ඕනෑ කියලා තීරණය කරන්නට වෙලාවක් අපට ලැබෙනවා.

අපට මෙත් සිත පුරුදු කරගන්න උපකාර වන තවත් දෙයක් තමයි අප ඇසුරු කරන පුද්ගලයන් ගැන යම් අවබෝධයක් ලබා තිබීම. එකිනෙකාගේ චරිත වෙනස්. සමහර විට තමන්ගේ ස්වාමියාගේ චරිත ස්වභාවය අනුව ම ඔහු සැරෙන් කතාකරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. තමන්ට දක්වන කරුණාව, අනුකම්පාව ඔබ බලාපොරොත්තු වන දෙයට වඩා වෙනස් වෙන්න පුළුවන්. තමන් රැකියාව කරන තැන වුවත් නානාප්‍රකාර, නානා අදහස් ඇති නානා සමාජ තලවල පුද්ගලයන් ඇසුරු කරන්නට සිදුවෙනවා. ඒ නිසා ඒ අයගේ පුද්ගල ස්වභාවය ගැන යම් වැටහීමකින් සිටියොත් ඒ අය ඇසුරු කළයුත්තේ කෙසේද කියා ඔබට වැටහීමක් ඇතිකර ගන්නට පුළුවන්. එවිට අපගේ ජීවිතයට එන ගැටලු අඩු කර ගන්නටත් පුළුවන්. හිත රැක ගන්නටත් පුළුවන්. සමහර ප්‍රශ්න තිබෙනවා ඒවා මඟ ඇරලා විසඳගත යුතුයි. යම් ප්‍රශ්නයක දී අපි කලබල නොවී නිහඬවුණොත් අපට මෙත් සිත ඇතිකර ගන්නට අවස්ථාව තිබෙනවා.

සිත රැකගත් කාන්තාව

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වන සමහර සිදුවීම් අපගේ ජීවිතයට කම්පනය ඇති කරනවා. අපි හැමෝම දන්න කතාවක් තමයි එක් තරුණියක් මුගලන් මහරහතන් වහන්සේට කැවුමක් පූජා කළ සිදුවීම. ඒ බව දැනගත් ඇයගේ නැන්දම්මා කිපුණා. අතට හසු වූ මෝල් ගසින් ඇයගේ හිසට පහර දුන්නා. වේදනාවෙන් ඇද වැටුණු ඇය සාධාරණය සෙව්වේ නැහැ. හොඳ දෙයක් කරලත් ඇයි මෙහෙම වුණේ කියා සෙව්වේ නැහැ. ඇය තමන්ගේ හිත රැක ගත්තා. නැන්දාම්මාට ද්වේෂ කළේ නැහැ. ඇය ඇත්තෙන් ම උපාසිකාවක්. ඇයට සිහිවුණේ නැන්දා ගහපු එක නොවෙයි. ඇය සිහි කළේ කැවුමක් පූජා කළ එකයි. ඒ වගේ ඔබටත් පුළුවන් නම් ජීවිතයට නොයෙක් ප්‍රශ්න ගැටලු එද්දී ඔබ කළ පිනක් සිහි කරන්න, කළ යහපත් දේ සිහි කරන්න, එහෙම නම් ඔබ බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක්.

ඒ වගේම අපට පුළුවන් නම් යම් දුකක්, පීඩාවක් එද්දී ‘මේ දේ මට පමණක් සිදු වූ දෙයක් නොවේ. මට වඩා බොහෝ කායික වශයෙන්, මානසික වශයෙන් දුක් විඳින පිරිස් මේ ලෝකයේ ඉන්නවා. ආර්ථිකව, සමාජයීයව දුක්ගැහැට විඳින අය මේ සමාජයේ ඉන්නවා. බොහෝ අසාධාරණයන්ට ලක් වූ පිරිස් මේ ලෝකයේ ඉන්නවා’ කියා සිහි කරන්න, දුක් පීඩා තුරල් වී මෙත් සිත උපදවා ගන්නට පුළුවනි. අතීතයට වඩා වර්තමානයේ කාන්තාවගේ කාර්යභාරය වෙනස් වෙලා තිබෙනවා. බොහෝ කාන්තාවන් රැකියාවක් කරනවා. සමාජයේ ඉහළ තනතුරු දරනවා. ඒ තැන්වලදීත් හිත්රිදීම්, අපහසුතා එන්න පුළුවන්. එවිටත් කළ යුත්තේ මෙත් සිත පැතිරීම යි. පීඩනය තුළයි අපේ සිතේ ගැටීම ඇති වන්නේ. ප්‍රශ්නයක් ඉදිරියේ හිතන ක්‍රමයේ වෙනසක් ඇතිකර ගත්තොත් එයින් අපට සැනසීමක් ලැබෙනවා. සමහර ප්‍රශ්නවල දී අපි පිරිත් සජ්ඣායනා කරනවා, බෝධිපූජා තියනවා, ධර්මය අසනවා. නමුත් අපට පිහිටක් තිබෙනවා කියා දැනෙන්නේ නැහැ. එතකොට අපි තේරුම්ගත යුතුයි ‘මේ ප්‍රශ්නය මට කර්මානුරූපීව එනවා වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉවසන්න ඕනේ’ කියා. ඒ වගේම මෙත් සිතින් වාසය කරනවා. එවිට තමන් නොදැනීම ඒ ගැටලුව විසඳී යන්න ඉඩ තිබෙනවා. ඒ වගේම නොයෙක් දුක් දොම්නස් ජීවිතයට එද්දී ‘අනේ! අපි ගිහි ජීවිතය ගතකරන කාන්තාවන්’ කියා සිතුවොත් එය සාර්ථක පිළිතුරක් වෙන්නේ නැහැ. අප සිතිය යුත්තේ ‘අපි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසිකාවන්.’ කියලයි.

උපාසිකාවක් සතු ලක්ෂණ

උපාසිකාවකගේ ලක්ෂණය තමයි නිතර ම තෙරුවන් සරණ සිහි කරනවා. ඒ වගේම ඇය පංචසීලය නිති සුරකින සීලවන්ත කාන්තාවක්. සුදුසු කාලයේ උපෝසථය රකිනවා. ඒ වගේම ඇය තිබෙන ආකාරයට දන් දෙනවා. ත්‍යාගවන්තයි. ඇය නිතර ම ප්‍රිය වචන කතා කරනවා. ඈ තුළ බොහෝ සෙයින් ඉවසීම තිබෙනවා. ඒ නිසා ඒ උපාසිකාව සිදුවන කිසිම දෙයක සාධාරණය, අසාධාරණය සොයමින් කටයුතු කරන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේත් උන්වහන්සේ සරණගිය උපාසිකාවන්ට කරදර ආවා. හැබැයි ඒ අය ඉවසුවා. මෙත් සිතින් වාසය කළා. ඒ නිසා අද කාලයේ ජීවත් වන අපත් නිතර නිතර ධර්මය ශ්‍රවණය කරනවා නම්, ඒ ධර්මය ජීවිතයට ගළපා ගන්නවා නම් අපට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවනි. නමුත් සමහර කාන්තාවන්ට යම් ප්‍රශ්නයක් ආ විට ඇගේ මුළු ජීවිතය ම කඩා වැටෙනවා. ඒ ප්‍රශ්නය නිසා ඇය සියලු දේ අත හරිනවා. නමුත් ඇය ධර්මය ශ්‍රවණය කරන්නට පුරුදුවෙලා නම් ඇගේ ප්‍රශ්නයට ඒ තුළ පිළිතුරක් ලැබෙනවා. නිතර නිතර ධර්මය ඇසෙද්දී ඒ ස්වාක්ඛාත ධර්මයෙහි හමුවෙනවා ‘ඉවසුවා, ඉවසුවා, මෙත් සිත පුරුදු කළා’ කියා. ‘එහෙම නම්, මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසිකාවක් නිසා මමත් ඒ ධර්මය පුරුදු කළ යුතුයි’ කියා ඇය සිහි කරනවා. ස්ත්‍රී, පුරුෂ කියා බෙදීමක් මේ දහම තුළ නැහැ. සීලය ස්ත්‍රියක් පුරුදු කළත්, පුරුෂයෙක් පුරුදු කළත් එය සීලය ම යි. සමාධිය සමාධිය ම යි. ප්‍රඥාව ප්‍රඥාව ම යි. ඒ නිසා තම තමන් සිතන ආකාරය වෙනස් කර ගත්තොත් තමන්ට එය විශාල පහසුවක් වේවි.

එනිසා ඔබටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ජීවිතයට පිහිට පිළිසරණ ලබාගෙන මේ දුක්විඳිමින් යන භයානක සංසාරයෙන් එතෙර වීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා!

සටහන – නයනා  නිල්මිණී.