දරු නැළවිලි කව් ගී වූ කලී සිංහල ජන ජීවිතය හා හෘදයංගම ලෙස බැඳුණු අතිශය සුන්දර වූ රසාස්වාදජනක සාහිත්‍යාංගයකි. කර්තෘ අඥාත වූ මෙම ජනකවි නිර්මාණයන් අනාදිමත් කාලයක සිට පරපුරෙන් පරපුරට පැවත ආවේ බුදු දහමේ අධ්‍යාත්ම ගුණයෙන් පෝෂණය වෙමිනි. නැළවිලි ගීයට සවන් දෙන ළදරුවාට පද මාලාවේ අරුත නොතේරුණ ද එහි රිද්මයානුකූල ගායන ස්වරය ළමා සිතට පිවිසවනුයේ පරිසරය හා බැඳුණු ජීවන සෞන්දර්යයි. බහ තෝරන විය වන තුරු මව් උකුළේ හිඳ නැළවෙන දරුවා තමාට ඇසෙන ගීතවල ඇඟවෙන සංකල්ප ඉවෙන් මෙන් වටහාගෙන ඊට ප්‍රතිචාර දක්වයි.

අතීතයේ විසූ අපගේ මුතුන්මිත්තන් විසින්, විශේෂ වශයෙන් මව්වරුන් විසින් නිර්මාණය කරන ලදුව වාචනා මාර්ගයෙන් පැවත එන නැළවිලි ගීතයන් තුළ සැඟවී පවතින්නේ දරුවන්ගේ පෞරුෂ වර්ධනයට ඉවහල් වන සංකල්ප හා සිතුම් ධාරාවන් ය. අප ජාතියේ සාමූහික උරුමය වන ඒ නැළවිලි ගීත බෞද්ධ සංස්කෘතිය විසින් දැයට පිරිනමන ලද නැණ ගුණ ද සියුම් සුඛ දුක්ඛ වේදනාවන් ද අපමණ මානුෂීය ගුණයන් ද දැවටී වැඩුණු මහාර්ඝ සම්පතක් වන්නේ ය.

සොබාවික පරිසරය, එහි සැරිසරන සතුන් සිව්පාවන්, ගෙදර දොර නෑසියන් පිළිබඳ වත ගොත නැළවිලි කවි තුළින් ආස්වාදනය කරමින් වැඩෙන සිඟිත්තා ඒ සකලවිධ ජීව අජීව වස්තූන් ඇතුළත් භෞතික පරිසරයට ආදරය කරන්නට පටන් ගන්නේ ය. දරු නැළවිලි ගීතයන් තුළ වාග් ලාවන්‍යය මන බඳින අයුරින් ගැබ්ව පවත්නේ දරුවා කෙරෙහි මවක හද තුළ උපන් අප්‍රමාණ සෙනෙහස ඊට මුසුව ඇති නිසා ය. මුළු ලොවක් සසල කරවන ඒ සෙනෙහසේ මහිමය මවකගේ සිරුර පුරා දිවෙන උණු ලේ දහරා කිරට හැරවීමට සමත් වන්නකි. ඒ ආධ්‍යාත්මික වූ විද්‍යාත්මක සම්භවය ලොව කිසිදු භෞතික සොයා ගැනීමකින් මෙතෙක් තහවුරු වී නැතැයි සිතමි. ඒ සා වූ අනිර්වචනීය සෙනෙහසකින් ආර්ද්‍ර මවක මුවින් ගිලිහෙන නැළවිලි ගීයට සවන් දෙන දරුවා තුළ ඇතිවන ප්‍රසාදජනක හැඟීම් ඔහුගේ කායික මානසික වර්ධනයට බලපාන්නේ ය.

මානව සන්තතිය පහළවූ දා සිට අම්මාවරුන් ගැයූ දරු නැළවිලි ගීතයන්හි ස්වභාවය මේ යයි පැහැදිලි කළ නොහැකි වුව ද ආදිවාසීන්ගෙන් පැවත එන ජන කොටස් ගැයූ දරු නැළවිලි ගීවල ස්වරූපයෙන් යම් අවබෝධයක් ඇති කර ගත හැකිවෙයි. එසේම මධ්‍යතන යුගයේ නිර්මාණය විණැයි අනුමාන කළ හැකි නැළවිලි ගී කවි රාශියක් දැනට සම්භාවිතව පවතී. ඒ නැළවිලි කව් සාහිත්‍යය හැරුණු විට පශ්චාත් නූතන හා වර්තමාන යුගයේ ජනකවි රීතිය අනුව ගිය කවීන්ගේ නිර්මාණ අතුරෙන් ඇස්. මහින්ද හිමි, මුනිදාස කුමාරතුංග, ආනන්ද රාජකරුණා, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, අජන්තා රණසිංහ, ඩබ්ලිව්. ඒ. අබේසිංහ ආදීන් ලියූ දරු නැළවිලි ගී රැසක් ද අප ජාතිය සතුව පවතී.

එම සුභාවිත නිර්මාණ අතුරෙන් 1966 වර්ෂයේ දී නිෂ්පාදනය කළ ‘වෙසතුරු සිරිත’ නම් සිනමා සිත්තමේ දැක්වෙන සොඳුරු නැළවිලි ගීතයක රසභාව විමසුමකට අප සිත් යොමුවෙයි.

ජාතක කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ එකම සිනමා සිත්තම “වෙසතුරු සිරිත” යයි සිතමි. වෙස්සන්තර රජ මාලිගය ඇතුළත සිය පුතු ජාලිය කුමරුන් නළවන මද්දී දේවිය ගායනා කරන අයුරු ඇසෙන මෙම ගීතය රචනා කරන ලද්දේ හෙළ ගීත සම්ප්‍රදායට නව ප්‍රභාන්විත අරුතක් එක්කරමින්, දෑ හැඟුම් විභූෂණයට පත් කළ සාහිත්‍යවේදියාණන් වන මහගම සේකර විසිනි. ගීතය ගායනා කරන ලද්දේ විසාරද නන්දා මාලනිය විසිනි. අහස පොළව වටපිටාව සිසාරා පවත්නා සකලවිධ සෞන්දර්ය වස්තූන් කැටි කොට ගෙන සිඟිති දරුවෙකුගේ පසිඳුරන් වෙත පිවිසවන අපූරුව ගීතයේ පදමාලාව තුළින් විකසිත වෙයි.

“රුවන් වලා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැලුම්
තුෂාර හාර හා එතී ගලා හැලෙනවා.
පුතුගෙ සිඟිති දෙතොල්වලට
සිනහ ගෙනෙනවා සිනහ ගෙනෙනවා…
අනෝතත්ත නෙළුම් විලේ
පාවෙන මල් රේණුවලින්
සුවඳ උරා හෙමින් හෙමින්
සුළං ඇදෙනවා
සඳුන් සෙමෙර සලා පුතුට
පවන් සලනවා – පවන් සලනවා
අතු අග මල් කුමාරියන්
බිඟු මිණි දැල් සැලෙන හඬින්
නිදන පුතුගෙ කනට මිහිරි
කතා කියනවා
සිහින ලොවේ ළපටි සිහින
සිතේ අඳිනවා – සිතේ අඳිනවා
රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන
මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා
සීත නලින සිහින ලොවට බිළිඳු වඩිනවා

ඇසුර : අමරදේව, මහා ගාන්ධර්ව විබුධයාණෝ ග්‍රන්ථය

වාග් ලාවන්‍යය මැනවින් දැවටී ඇති මේ නැළවිලි ගීතය ඊට සවන් යොමු කරන දරුවෙකු තුළ පමණක් නොව කවරම අයෙකු තුළ වුව ද එහි පවත්නා ප්‍රසාදජනක සංකල්ප හේතු කොටගෙන අනිර්වචනීය රසයක් වින්දනය කරවීමට සමත් වෙයි. මහගම සේකරයන් මේ අපූර්ව ගීතය රචනා කොට ඇත්තේ විචිත්‍ර ලෝකයේ සෞන්දර්යය, සංකල්ප රූපවලට නගා රස ලාවන්‍යයක් ළදරු සිත් සතන් තුළ දැවටී යන පරිද්දෙන් භාවමය පරිසරයක් නිර්මාණය කිරීමට ය. ගීතය පුරා විහිද යන ශ්‍රව්‍ය ගෝචර සංකල්පීය වදන් සිඟිති දරුවෙකුගේ විකසිත වන පසිඳුරන් හා වෙලී යන ආකාරයට සංවිධානය වී තිබේ.

රිදී පැහැයෙන් කැලුම් විහිදෙන සඳ රැස් ධාරා, රුවන් වන් දුහුල් වලා රොද නමැති තුනී රෙදි කඩින් පෙරී අවුත් පිනි බිඳුවල දැවටී මිහිතලය මත ගලා හැලෙනවාත් සමග ගතට සුව එළවන ආස්වාදජනක සිසිලක් පරිසරය සිසාරා හාත්පස පැතිරී යයි. සිඟිති ගතට ද දැනෙන ඒ සුවයෙන් සැනසෙන දරුවාගේ දෙතොල් අතරින් සිහින් සිනා කැන් දහරක් විහිද යයි. සොබා දහමේ සුලබ දසුනක් දරු සෙනෙහස හා මුසු කළ කදිම අවස්ථාවක් ගීතයේ ස්ථායී ගායන ඛණ්ඩයෙන් මතුව නැගී පැතිර ගියේ ශ්‍රාවක – රසික ජන හදවත් ද ඊට වසඟ කරවමිනි.

අනෝතත්ත නෙළුම් විලේ
පාවෙන මල් රේණුවලින්
සුවඳ උරා හෙමින් හෙමින්
සුළං ඇදෙනවා
සඳුන් සෙමෙර සලා පුතුට
පවන් සලනවා – පවන් සලනවා

ඇඟ, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු විනිවිද යමින් මාතෘ සන්තානයේ ජනිත වන්නා වූ අප්‍රමාණ දරු සෙනෙහස පරිසරයේ සොඳුරු වස්තූන් ඇසුරු කොටගෙන ප්‍රතීයමාන කරන කවියාගේ සිතේ පහළ වන වාග් ධාරා, එකිනෙක තරඟ වෙමින් වැල නොකඩා ගලයි. ‘පාවෙන මල් රේණුවලින් – සුවඳ උරා – සෙමෙර සලා – සුළං ඇදෙනවා.. – පවන් සලනවා’ මහරු වදන් අසිරියකි…! සිතට සුව එළවන වදන් කැටි තනි තනිව රඟන්නා සේ ය. අකුරු දිගේ සැරිසරන කවියෙකුට රස භාව මතු කිරීමේ දී නොකළ හැක්කේ කුමක්ද?

රහත් උතුමන්, දෙව් බඹුන්, සිදු විදුදරන් නිශ්කාමීව ආස්වාදනය කරන හිමවත පරිසරය ආශ්‍රිත අනෝතත්ත විලේ පාවෙන මල් රේණු සුවඳ උරාගෙන හෙමින් ඇදී එන සුළඟ සිඟිති දරුවා වෙත සෙමෙර සලා පවන් සලනු වැන්න. අහසත්, පොළවත් අතර නන් විසිතුරු මවන නිශ්කාමී ස්වභාවික සෞන්දර්යය, සජීව වෙස් ගෙන සිඟිති දරුවා වෙත සමීප වූ අයුරු ගීතයේ සමාප්ති ඛණ්ඩය ධ්වනිත කරයි.

අතු අග මල් කුමාරියන්
බිඟු මිණි දැල් සැලෙන හඬින්
නිදන පුතුගෙ කනට මිහිරි
කතා කියනවා
සිහින ලොවේ ළපටි සිහින
සිතේ අඳිනවා – සිතේ අඳිනවා

පුතුගෙ ගතට සිතට සුව සොම්නස එළවූ සොබාවික පරිසරය කෙමෙන් සජීව වෙස් ගෙන තුරු හිස් මතින් නැගී මතුවන්නේ දරුවා නිදාගත් මොහොතේ දී ය. අතු අග දිලෙන මල් කුමාරියන් බිඟු මිණිදැල් (මැණික් ගිගිරි) සෙලවෙන හඬින් නිදා සිටින පුතුගේ කනට ළංව පවසන්නේ මිහිරි කතා ය. සිහින ලොවට පිවිස සිටින පුතුගේ සිතේ සුරංගනා සිහින ඇඳෙන්නේ ය.

කුඩා දරුවෙකු සතපා නිදි ගැන්වීමට පාරිසරික සාධක බලපාන අන්දම හෙළිකරන මෙම දරු නැළවිලි ගීතය උපයුක්ත ගීත සාහිත්‍යයේ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකි ය. නන්දා මාලිනියගේ මධුර ස්වරය ඒ ගීතය සෞන්දර්ය ප්‍රවාහයක් බවට පත් කිරීමට සමත් වෙයි. මහගම සේකරයන්ගේ තන්වැසි ගුණයෙන් හා අරුතින් සපිරි මධුර ප්‍රශාන්ත භාවය මෙම නැළවිලි ගීතයේ වදන් සර ඔස්සේ ළමා මනසට පිවිසවන සෞන්දර්ය ප්‍රවාහය අදාන්තයෙකු වුව ද ශාන්තයෙකු බවට පත් කිරීමට සමත් වන්නේ ය. මේ විශිෂ්ට නිර්මාණය අමරදේව, මහගමසේකර, නන්දා මාලිනී ත්‍රිමූර්තියේ තවත් අග්‍ර ඵලයකි.

සටහන – දයාපාල ජයනෙත්ති