බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ව ගෙවී ගිය වසර දෙදහස් පන්සිය පනස් පහ මුළුල්ලේ සර්වඥ ධාතුන් වහන්සේ පෑ පෙළහර සේ ම ලද පුද සත්කාර ගැන කියවෙන අභිලේඛනමය හා ග‍්‍රන්ථාගත තොරතුරු අපමණ ය. මේ අරභයා රචිත මහා ධර්ම කාව්‍ය සාහිත්‍යයක අඛණ්ඩ ඉතිහාසයකට ලාංකික අපි උරුමකම් කියන්නෙමු. යතිවරයන් වහන්සේලා, රජ, සිටු, මැති, ඇමතිවරු, පඬිවරු සේ ම සාමාන්‍ය ගැමි ජනයා ද එක්වන් ව සර්වඥ ධාතු වන්දනාමය ධර්ම කාව්‍ය සාහිත්‍යයකට දායක වූහ. ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට වැඩම වූ සමයේ අනුරාධපුරයේ රාජ්‍යය විචාල සිරිමේඝවන්න රජතුමා විසින් ලියන ලදැයි සැලකෙන සිති දළඳා කාව්‍යයන් ධාතු වශයෙන් හෙළ බසින් රචිත ආදි ම (දැනට විද්‍යාමාන) කාව්‍යයක් ලෙස සැලකේ. ඒ හැරුණු විට වියත් පඬිවරුන් විසින් හෙළ බසින් මෙන් ම පාලියෙන් ද රචනා කරන ලද දාඨා වංශය, කේශ ධාතු වංශය, දළඳා සිරිත ආදී ධර්ම කාව්‍ය පරිශීලනයෙන් එදවස විසූ ජනතාව බුදු රජාණන් වහන්සේ කෙරෙහි සැදැහැ බැති පෙම උපදවා ගෙන ධර්ම සංවේගය පහළ කර ගත්හ.

සර්වඥ ධාතුන් වහන්සේ අරඹයා තොරතුරු අනාවරණය කරමින් වියත් ධර්මධර ගිහි, පැවිදි පඬිවරුන් එසේ ග‍්‍රන්ථ රචනා කරන අතර තුර සාමාන්‍ය ජනකවීන් විසින් ද තම නැණ පමණින් එබඳු නිර්මාණ කළ බව සීගිරි ගීවලින් හා එළු සැඳැස් ලකුණේ ඇතැම් නිදසුන් කවිවලින් අණාවරණය වෙයි. ජන කවියන් විසින් රචනා කරන ලද විසිතුරු සැරසිලි වැනුම්වලින් තොර ධර්ම කාව්‍යයන් ආධ්‍යාත්මික සුන්දරත්වයෙන් අගතැන් ගනී.

අප සතු මාහැඟි ධර්ම කාව්‍ය සාහිත්‍යයට උරුමකම් කියන ආදීතම පබැඳුම ද ජන කවියකි. එය වූ කලි දුටු ගැමුණු රජ දවස රුවන්වැලි මහ සෑයේ සර්වඥධාතු නිධානෝත්සවයේ දී සෝණුත්තර මහ රහතන් වහන්සේ හා එදින රැුස් ව සිටි සැදැහැවත් ජනකාය අතර පැවතුණා යැයි කියවෙන සංවාදයකි. ඒ ජන කවිය මෙසේ ය:
‘‘දා යි මාලේ
දා නැගේ
ඉන්සේ ඉන්සේ
දා පුදයි මාලේ”

නාග ලෝකයෙන් ධාතූන් වැඩමවා, නෙක සෘද්ධියෙන් වැඩි සෝණුත්තර මහ රහතන් වහන්සේ ‘මා වැඩමවා ගෙන ආවේ ධාතුන් වහන්සේලා’ (දා යි මාලේ) යැයි වඳාළහ. එහි රැුස් ව සිටි සෙසු භික්ෂූන් වහන්සේලා ‘ධාතුන් අහස නැඟී පෙළහර පාන සේක්වා’ (දා නැගේ) පැවසූහ. අහසට සැපත් ව පෙළහර පෑ ධාතුන් වහන්සේ දුටු රැස් ව සිටි මහා ජනකාය ‘අපටත් ශේෂයක් දෙන සේක්වා’ (ඉන්සේ ඉන්සේ) යි ඔල්වරසන් දුන්හ. එවිට සෝණුත්තර මහ රහතන් වහන්සේ වඳාළේ ‘මා ධාතුන්වහන්සේ වැඩම වූයේ මහ සෑයේ නිදන්කොට පුදසත්කාර කරනු සඳහා’ (දා පුදයි මාලේ) යනුවෙනි.

බුදු රජාණන් වහන්සේ කෙරෙහි අප‍්‍රමාණ ශ‍්‍රද්ධාවෙන් යුතු ව කල දවස ගත කළ අපේ ආදීත ම මුතුන් මිත්තන්ගේ දිවි පෙවෙත කොතෙක් ධර්මකාමී ව කොතෙක් පිරිපුන් ව පැවතියේ ද යන්න උදන් වැකි වැනි මෙවැනි කවිවලින් වටහා ගත හැකි ය. ඇල්කෙත් රකිමින් සිටි ගෙවිළියන් ගැයූ බුදු ගුණ නිශ‍්‍රිත කවිවලට සවන් දුන් සඟ සැට නමක් රහත් වූ පුවත පරමත්ත ජෝතිකා අටුවා ග‍්‍රන්ථයේ සඳහන් වෙයි.

එය ද දුටුගැමුණු රජ දවස සිදු වූ ආශ්චර්යවත් සිදු වීමකි. සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කොට ලක්දිව නා නා ප‍්‍රදේශයන්හි පිහිටා ඇති ස්ථානයන් වන්දනා කරමින් දෙදහස් වසක් මුළුල්ලේ අපගේ ගැමි ජනතාව පබඳ ගැයූ මෙබඳු වටිනා ධර්ම කාව්‍යය රාශියක් කාලයාගේ ඇවෑමෙන් අපට අහිමි වී යන්නට ඇත. එනමුදු එම කාව්‍යයන් කිහිපයක් හෝ ඉතිරි ව තිබීම නූතන යුගයේ වෙසෙන අපට මහත් භාග්‍යයක් වේ.

මෙම ලිපියේ සාකච්ඡුාවට බඳුන් වන සර්වඥ ධාතු විස්තරය හෙවත් ධාතු වන්දනා කාව්‍යය අද අපට ඉතිරි ව පවත්නා ‘‘විදුර ජාතක කාව්‍යය, වෙස්සන්තර කාව්‍යය, දෙව්දත් කථාව, පුරාණ තුන් සරණය, යශෝධරාවත” ආදී මාහැඟි ධර්ම කාව්‍යය වැනී ම ජන කාව්‍යය රත්නයක් වෙයි.

කෝට්ටේ යුගයෙන් පසු ව එතෙක් විසූ වියත් කවි පරපුර අභාවයට යාමත් සමඟ ම ජන කවියන් විසින් රචිත ඉහත කී කාව්‍යය ග‍්‍රන්ථය බිහි වන්ට පටන් ගැණින. සර්වඥ ධාතු විස්තරය හෙවත් ධාතු වන්දනා කාව්‍යය මෙම කාල වකවානුවට අයත් කෘතියකැයි නිගමනය කළ හැක්කේ එහි කාව්‍යය රීතිය හෙවත් බස් වහර පිළිබඳ ව විමසා බලන කල්හි ය.
කාව්‍යය ග‍්‍රන්ථය ආරම්භ වනුයේ පහත දැක්වෙන පද්‍යයෙනි:

‘‘සාරා සන්ක කප් ලක්ෂය පෙරුම් පුරා
ගෝරා මරු දිනා බුදු බව ලත් පවරා
දීරා බල ගුණැති අප මුනිඳු ලොව් තුරා
නෑරා අත් මුදුන් දී වදිමි පදසරා”
හද පුරා නැඟෙන බුදු බැතිය සිය කාව්‍යය විකාශනයේ දී කවියා හසුරුවා ගෙන ඇත්තේ අවස්ථාවෝචිත හැඟුම් ජනනය වන පරිද්දෙනි. සකු, පාලි වදන් කට බස් ඌරුවට අනුව හසුරු වීම නිසා ඉන් නැෙ`ගන ධ්වනිතාර්ථ ඉසියුම් ය. පද සංවිධානයේ අපූරු ව හැම කවියකින් ම මතු වී නින්නාද වෙයි.

‘‘වාත මේඝ සුළ`ගක් සේ ගුවන්තර
ඈත එපිට වැඩ සිටියත් වනන්තර
ගුවනින් වඩින ඉර හඳ දෙවි වඳින්නේ
පොළොවේ සිටින මිහිකත් දෙවි රකින්නේ
සැම දෙවිවරුන්ගෙන් අවසර ලැබෙන්නේ
ධාතු පිහිටි තැන් තෝරා කියන්නේ”
සැදැහැ බැතිය ලොව පිසගෙන හමන මඳ පවනක් සේ හමා යන අයුරු අපූරු ය. නිරායාසයෙන් ම ගලා යන කවි ඉත්තවාවලිය අමා දිය දහරක් ලෙසින් සැදැහැවතුන්ගේ සිත් සතන් තෙමා ඉතිර පැතිර දුක් තැවුල් නිවාල යි.

නිරන්තර ව බුදු ගුණ සිහි කරලමින් කියන දහම් ඇසිය යුත්තේ මනා ව සිත පිහිටුවා ගෙන ය. බුදු රජාණන් වහන්සේගේ ධාතුන් පිළිබඳ ව විස්තර ඇතුළත් දහම් කරුණු ඇසීමෙන් නිවන් ලබන පින මතු කර ගත හැකි බව කවියා පවසන්නේ මෙපරිද්දෙනි.

‘‘කියන් බුදු ගුණේ සිහි කර නිරන්තර
දහම් අමා අසනුය වදත පුවතර
සවන නමා ඇසුවොත් බණ සවිස්තර
නිවන් දකිත් ඇසුවෝ ධාතු විස්තර”
බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු ව ශේෂ වූ ධාතුන් වහන්සේලා පිහිටා ඇති ස්ථාන පිළිබඳ ව කවියෙන් අනාවරණය කිරීම ධාතු වන්දනා කාව්‍යයේ පරමාර්ථය වී තිබේ. ඒ අනුව මෙම කාව්‍යය ග‍්‍රන්ථය ඓතිහාසික වටිනාකමක් ද උසුලයි. පද්‍ය හැට තුනකින් යුතු මෙහි සර්වඥ ධාතුන් විස්තර කිරීම සඳහා පද්‍ය පනස් අටක් මිඩන්ගු කොට ඇත. එක් කවියකින් ධාතුන් පිහිටි තැන් විමසන අතර ඊළඟ කවියෙන් ඊට පිළිතුරු සැපයේ.

‘‘ලකුණු බලාලා බුදු වෙනවා ම දැනේ
දකුණු නළල පුන් කළසක් දරා ගෙනේ
අකුණු ගසන ලෙස මිහිකත පැන නැ`ගුනේ
දකුණු අකු ධාතු පිහිටපු තැන කොතැනේ”
”බානු රිසි උදාවෙන එළි වෙන යාමේ
පේනු වෙලා ගොස් වදු විසිතුරු රාමේ
රූණු පොළොව දිවැසින් දැක තැබුණාමේ
දකුණු අකු ධාතු ඇත ථූපාරාමේ”
බුදු පුදට පුදසුනක් වූ කවි සිත සැදැහැ බැති පෙමින් උතුරා යයි. එකිනෙක තරඟ වැළ මෙන් දිවයන සිතිවිලි සිහිල් දියත්තක් සේ ගලා බසී. ආයාසයෙන් යොදන ලද එකඳු වදනක් හෝ මේ කවි තුළ නො මැත. එළි වැට පහන් වැටක් පරිද්දෙන් කවිය එළිය කරයි. ”දකුණු උකුල පුන් කළසක් දරා ගෙනේ.” යන පාදයෙන් බුදු වන උත්තමයාණන් ලොවට බිහි වීමේ ලකුණු හෙළි කරයි. බෝසතාණන් වහන්සේ බිහි වන අවස්ථාවේ දී හා බුද්ධත්වයට පත් වන අවස්ථාවේ දී ත් මිහිකත කම්පා වීම පිළිබඳ ධර්මතාව කවියා දක්වා ඇත්තේ ‘‘අකුණු ගසන ලෙස මිහිකත පැණ නැඟුනේ” යන කියුමෙනි.

කවර ම බසක වුව ද වදන් අරුත් නො නසා කටට හුරුවන පරිද්දෙන් හැසිරවීමට සිංහල ගැමි කවියා සමත් වූයේ බුදු සමය විසින් උරුම කොට දුන් නිදහස් සසුන පතින් ලද හික්මීම නිසා ය. නේත‍්‍රඝ නේත්තරා, පාත‍්‍රඝ පාත්තරා, මාත‍්‍රඝ මාත්තරා, ගෝත‍්‍රඝ ගෝත්තරා යනාදි වශයෙන් යෙදීමෙන් ධතු වන්දනා කාව්‍යය කතුවරයා ද ඒ සමත්කම පිළිබිඹු කොට ඇති බව කිව හැකි ය.

‘‘ප‍්‍රදක්ෂිණාවෙන් බෝ මැඩ සිතින් සිතූ
අධිෂ්ඨාන බලයෙන් බුදු බව ම පැතූ
තුදුස් රියන් වජිරාසන වැඩි ධාතූ
අධිෂ්ඨාන කොතැන ද ලලාට ධාතූ”
”කලෙක මුනි`දු උපනිය සද්දන්ත කුලේ
දළ දෙක කපා දුන්නයි බුදු බවට ලොලේ
දළ පිහිටා දාගැබ් බඳවාපු කලේ
ලලාට ධාතු පිහිටියෙ සේරුවාවිලේ”

බුදු රජාණන් වහන්සේගේ දහමට කීකරු වූ පාරම්පරික විඤ්ඤාණයෙන් පෝෂණය වූ ගැමි කවියා වූ කලී බෞද්ධ ඉතිහාසය ඇතැඹුලක් සේ පසක් කොට ගත්තෙකි. කුමන විෂය කරුණක් අරභයා වුව ද සංකල්පනාවක් ඉදිරිපත් කිරීමේ දී ඊට අදාළ බුදු සමයට සම්බන්ධ තොරතුරු හා සිද්ධීන් ඔහුගේ මනසට සම්බන්ධ වන්නේ නිතැතිනි. බසට වහලෙකු නො වන ජන කවියා බස තමාගේ වහලෙකු කොට ගනී. එහෙයින් ඔහුට සකු, පාලි ඈ බස් අදහස් ප‍්‍රකාශනයේ දී බාධාවක් නො වන බවට ඉහත දැක්වූ නිදසුන් සාක්ෂි දරයි.
ධාතු වන්දනා කාව්‍යයේ බොහෝ කවිවල මුළ – අග එළිසම, එළිවැට දැකිය හැකි වුව ද එය මැනවින් ගොඩනඟන ලද කාව්‍යය කෘතියක් නොවේ. ව්‍යහාර සිංහල භාෂාවේ වදන් යෙදුම් කටට හුරු පදයෝජනයකට ගැළපීමට ජන කවියා දක්වන්නේ වෙසෙස් සමත්කමකි. එය වූ කලී ඔහුගේ නිසඟ කවි ප‍්‍රතිභාවේ ලකුණ යි. ආයාසයෙන් යෙදූ එකඳු වදනක් හෝ ධාතු වන්දනා කාව්‍යයේ කවි තුළ දක්නට නැත.

‘‘වැටුණු තලිය තලි තුනකට පල්ලේයා
ඉසුණු බුදු රැුසින් මහමෙර සෙල්ලේයා
ලකුණු පිහිටියේ මහමෙර එල්ලේයා
දකුණු සිරි පතුල මක්කම වැල්ලේයා”

වස්තුවකට උචිත අනුප‍්‍රාසයත් කාලයත් නඟන යෙදුම් පිරි පද්‍ය ධාතු වන්දනා කාව්‍යය පුරා දැකිය හැකි ය. කවීන්ගේ හැඟුම් පූදින්නේ ඔවුන්ගේ චේතනාව සරු වූ විට ය. ලොව ම එළිය කරමින් දිවෙන කවි කල්පනාවට අහසත් පොළොවත් එහි ඇති විසිතුරු දේත් හසු වන්නේ නිරායාසයෙනි. මේ ගුණය වඩාත් ප‍්‍රකට වනුයේ බුදු ගුණ නිශ‍්‍රිත කවි පැබඳු තැන්හි දී ය.

‘‘මෙතුන් ලොවට කරුණාවෙන් ම බුදු වුණේ
උතුන් දන්ත ධාතුව පිහිටියෙ කොතැනේ”
යනුවෙන් විමසූ පැණයට දුන් පිළිතුරු කවිය පූර්වෝක්ත මතය සනාථ කරන්නෙකි.
‘‘ගෙලක මුතු පබළු මෙන් වැඩ කෙරුවා ය
ගලක රේඛාව මෙන් පවතිනවා ය
මලක රොනට බඹරිඳු නද දෙනවා ය
තිලක දන්ත ධාතුව සෙන්කඩගල ය”

මේ කවියේ මුල් පදයෙන් නැඟෙන ධ්වනිතාර්ථ පිටු ගණනකින් වුව ද විස්තර කළ හැකි තරම් හැඟුම් සමුදායක් මතු කරයි. පූජනීයත්වය, සශ‍්‍රීකත්වය, සෞභාග්‍යය මෙන් ම සෞන්දර්ය ද මුතු පබළු සංකේතවත් කරයි. ගෙලක මුතු පබළු ‘අවිහිංසක බවකින් යුතු යුවතියක සිහිපත් කරවයි. ‘වැඩ කෙරුවා ය.‘ යන්නෙන් ඇය යෞවනත්වයට පත් ව යස ඉසුරින් සපිරුණු බව ධ්වනිත කෙරෙයි. බෞද්ධ දෘෂ්ටියට අනුව ගළපා බලන කල්හි දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින කරඩුව වටා රන් රිදී මුතු මැණික් පබළු ආදිය පැළදවීම දන්ත ධාතුන් වහන්සේගේ පූජනීයත්වය උත්කර්ෂවත් කිරීමකි. දස දිගත ජනතාවගේ නො මඳ පුද සත්කාර අඛණ්ඩ ව චිර කාලීන ව ලැබීම ‘වැඩ කෙරුවා ය’ යන යෙදුමෙන් ගම්‍යය කරවයි. දළදා වහන්සේ තිරසාර ලෙස ලංකා ධරණි තලය මත වැඩ සිටින්නේ කප පවතින තාක් කල් ය. ගලක කෙටූ රේඛාවක් මෙන් සැදැහැ බැති පෙම සදාකල් නො මැකී පවතියි. දිවා ? දන්ත ධාතුන් වහන්සේ උදෙසා කරනු ලබන බෙර, හේවිසි පූජා, සාදු නද අතරික් නැති ව ම පවතියි. ඒ බව හැඟවීම සඳහා ජන කවියා යෙදූ අපූර්ව යෙදුම ‘මලක රොනට බඹරිදු නද දෙනවා ය’ යන්න යි මේ කවිය අපට සිහිපත් කරවන්නේ වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයේ එන ‘මලෙක සුවඳ සිව් සිය ගව් ඇසේයා’ යන පද්‍යය යි. ජන කවි පරපුරේ නිමල අධ්‍යාත්ම හැඟුම් සමුදායක උරුමය අවිච්න්න ව ගලා එන ආකාරය අපූරු ය.

ධාතු වන්දනා කාව්‍යයේ එන හැම කවියකින් ම පිළිඹිබු වන්නේ බුදු ගුණ මහිමය යි. ඉන් ජනිත වන්නේ සිත් සතන් නිවා සනසන බැති පෙම වඩවන ආධ්‍යාත්මික සුන්දරත්වය යි. සරු චේතනාවන්ගෙන් පිරි කවීන්ගේ හැඟුම් මතු වන්නේ මල් පිපෙන්නාක් මෙනි. ඒ හැඟුම් මල් පිපෙන්නාක් මෙනි. ඒ හැඟුම් මල් විහිදූ සුවඳ කරඬු වන්දනා කවි කර්ම කාව්‍යය සාහිත්‍යයේ අග‍්‍ර ගණ්‍ය නිර්මාණයෝ ය.

‘‘පැසී ගොයම් කපනා සරු කෙතක් මෙනා
වැඞී තිබුණ බණ ලෝකෙට පහළ වුණා”

බුදු රජාණන් වහන්සේ දෙසූ උතුම් දහම් මඟ, එනම් චතුරාර්යය සත්‍යය ධර්මය, කලින් කල මතුවන මිසදුටු වනාන්තරවල බල පෑමෙන් තාවකාලික ව වැසී ගිය ද එය නිසි අවස්ථාවන්හි දී යළි මතු වී බැබළීම කිසිවෙකුට වැළකිය නො හැකි ය. වත්මන් යුගයේ පුරන් ව ගිය පින් කෙතට මහමෙව්නාවේ දහම් අමා මහාමේඝය මහඟු අසවැසිල්ලක් වී තිබේ.
බුදු දහමත් ගොයම් කෙත අතර ඇති සම්බන්ධයත් එකිනෙකින් වෙන් කළ නො හැකි තරමට බැඳී තිබේ.ිවී’ බුද්ධ බෝගයක් ලෙස සලකන්ට ගැමි ජනතාව පෙළඹී ඇත්තේ එහෙයිනි. කෙත් කරන්නෝ ක්‍ෂත‍්‍රීය වංශිකයෝ ය. සිදුහත් කුමරාණෝ ද ක්‍ෂත‍්‍රීය වංශයෙන් ඉපිද ගිහි ගෙය හැර මහණ දම් පුරා සම්බුද්ධත්වයට පත් වූ සේක. බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රාවක පිරිස අනුත්තර වූ පින් කෙත බවට පත් වූයේ එයින් පසු ව ය.

ධාතු වන්දනා කාව්‍යය සෙසු කාව්‍ය ග‍්‍රන්ථවලට වඩා ඉතා වැදගත් තැනක් ගන්නේ බෞද්ධ සාහිත්‍යය ඉතිහාසයේ අන්තර්ගත වටිනාම කොටස වන සර්වඥ ධාතුන් වහන්සේ පිළිබඳ සියලූ තොරතුරු එහි ඇතුළත් වන හෙයිනි. බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ව උන් වහන්සේ වෙනුවට උතුම් කොට පිදුම් ලැබුවේ ධාතුන් වහන්සේලා ය. ඒ සර්වඥ ධාතු පිළිබඳ තොරතුරු සියල්ල ම මෙම කවි පොතට ඇතුළත් ය.

සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ වසන්නේ කුමන ප‍්‍රදේශයක ද යන්න ධාතු වන්දනා කාව්‍යය කියවීමෙන් හැදෑරිය හැකි ය. බුද්ධ පරිනිරවාණයෙන් පසු ව රජවරුන් අට දෙනෙකු ධාතුන් වහන්සේලා ලබා ගෙන අට නුවරක ඒ ධාතුන් වහන්සේලා නිදන් කොට ස්ථූපයන් ඉදි කළ පුවත මෙම කාව්‍ය ග‍්‍රන්ථයේ දැක්වෙන්නේ මෙසේ ය.

‘‘රජගහනුවර හා වේසාලි නුවර ය
කපිලවස්තු පුර සහ මල්ලිකප්ප ය
රාමගම වේටදීපය පාවෙයි ය
කුසිනාරා පුරය යන මෙනුවර අට ය”

ජන කවියෙකු විසින් අවුරුදු තුන් හාරසියයකට පෙර ලියන ලද ධාතු වන්දනා පිළිබඳ මෙම තොරතුරු පසු කාලීන කැණීම්වලින් ද සනාථ වී තිබේ. මෑත වකවානුවේ දී කපිල වස්තු පුරයේ කළ කැණීම්වල දී ශාක්‍ය කුමාරවරු විසින් එදවස නිදන් කරනු ලැබූ සර්වඥ ධාතුන් අඩංගු මංජුසාවක් සොයා ගැණින. එහි පියන් පතෙහි ‘ඉයං සලිල නිදනෙ බුදස භගවතො සකිය පුතානං සභගිනිකානං සපුන දලනෙ’ යනුවන් සඳහන් ව ඇත. ‘මෙම ශරීර නිධානය (ධාතු) භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ ය. ශාක්‍ය පුත‍්‍රයින් හා ඔවුන්ගේ භාර්්‍යයාවන් දරුවන් විසින් තැන්පත් කොට පුද සත්කාර කරන ලදි යනු එහි භාවය යි.

නොයෙක් දේශ දෙශාන්තරයන්හි සර්වඥධාතුන් වහන්සේලා නිදන් කොට ඒ අතීත යුගයෙහි තැනූ ස්ථූප වෙහෙර විහාර කවරේ දැයි හඳුනා ගැනීමට ‘ධාතු විස්තරය හෙවත් ධාතු වන්දනා කාව්‍යය’ අගනා මූලාශ‍්‍රයක් බව සඳහන් කරනු කැමැත්තෙමි.

නමෝ බුද්ධාය!

මහාමේඝ 2011 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති