වෙසක් පොහොය දින අලූයම් යාමයේ සියලූ කෙලෙසුන් නසා සර්වඥතා ඥානය පසක්කොට වදාළ අමාමෑණී වූ බුදුරජාණන් වහන්සේ සතර ඉරියව් සේවනය කිරීම් වස් බෝමැඩ අවට ගයාශීර්ෂයේ සත්සතිය ගත කොට පට්ඨානය වශයෙන් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය පුනරාවර්ජනය කරමින් විවේක සුවයෙන් වැඩ සිටි සේක. ඇසළ පුන් පොහොය දිනය ළඟා වෙත් ම උන්වහන්සේගේ සිත තුළ තම ධර්මය ලෝකයට විවෘත කිරීමේ අදහස පහළ වූ සේක. ප‍්‍රථමයෙන් කවුරුන් හට දහම් දෙසම් දෝ යි සිතත් ම සසරේ නොයෙක් ජන්මයන්හි උපත ලබමින් දිගු කලක් බෝසත් ගුණ සපුරා අවබෝධ කොටගත් ගැඹුරු දහම කවර නම් ප‍්‍රාඥයෙකුට නිරවශේෂ වශයෙන් වටහා ගත හැකි දැයි යන හැඟීම උන්වහන්සේ තුළ ඇති විය. අනතුරු ව සහම්පතී මහබඹහුගේ ද ඇරයුම ලදින් දහම් චාරිකාව ඇරඹීමට අදිටන් කළ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ගිහිගෙයින් නික්මුණු දා සිට පූර්වෝපකාරී වූ තවුසන් සිහිපත් කළ කල්හි පස්වග තවුසන් ජීවත්ව සිටින බව දැන ඔවුන් වෙසෙන බරණැස මිගදාය බලා පිටත්වූ සේක. ගයාවේ සිට ඉසිපතන වන උයනට ඇති දුර යොදුන් දහඅටක් (කි. මී. 465ක් පමණ) වූ මගට එළඹි කල්හි ශ‍්‍රී මහා බෝධියටත්, ගයාවටත් අතර මඟ දී උපක ආජීවක උන්වහන්සේට මුණ ගැසිණි. උතුම් සම්බෝධිය ලබා ගැනීමෙන් පසු ව ගිහි ශ‍්‍රාවකයකු හමු වූ පළමුඅවස්ථාව එය ය. එසේ ම බුදු වදනට පළමුවෙන් සවන් දීමේ භාග්‍යය හිමි කරගත් තැනැත්තා ද උපක ආජීවක ය. තමන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති කරගත් උපකට, බුදුරජාණන් වහන්සේ තම චාරිකාවේ අරමුණු පැහැදිලි කොට වදාළේ මෙසේ ය:

‘ධම්ම චක්කං පවත්තේතුං
ගච්ඡාමි කාසිනං පුරං
අන්ධ භූතස්මිං ලෝකස්මිං
අභක්‍ද්ජං අමත දුන්දුභිං’

‘‘ධර්ම චක‍්‍රය ප‍්‍රවර්තනය කිරීම සඳහා මම කසීරට බරණැස් පුරයට යන්නෙමි. අවිද්‍යා අන්ධකාරයෙන් වැසී ගිය ලෝකයෙහි සත්වයන් උදෙසා අමා දම් බෙරය වයන්නෙමි.”

මෙසේ ලෝක සත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් යුතු ව පස්වග මහණුන් උදෙසා පැවැත්වූ ප‍්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්ක පවත්තන සූත‍්‍රයේ සිට පන්සාළිස් වසක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සූවාසූ දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබූ වාම ශ‍්‍රීදන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින සිරි දළදා මාළිගාව පෙනෙන තෙක් මානයේ සිට ප‍්‍රථම සම්බුද්ධ දේශනාව අලලා ගීතමය උපහාරයක් පැවැත්වීම අතිශයින් ම සිහිකටයුතු සංසිද්ධියක් වෙයි. ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් සුමදුර ලෙස ගායනා කළ එම ගීතයේ පදපබඳ සුනිල් සරත් පෙරේරා සුලවතුන්ගේ ය.

දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්තෘ වරයාණන් වූ බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදා වන අරණේ වැඩ හිඳ ධම්මචක්කපවත්තන සූත‍්‍රය දේශනා කොට වදාළ පුවත සඳහන් කරමින් ගීතය ආරම්භ වෙයි. එහි පද වැල මෙසේ ය:

‘‘සනරාමර හිමි දම්සක් දෙසුවේ
ඉසිපතනේ මිගදා වන අරණේ

පස්වග මහණුන් හමුවේ
සිව්සස් දහමකි දෙසුවේ
සුරඹුන් පරසතු සැලූවේ
සාධු…. සාධු… හඬනැඟුවේ
සාධු… සාධු… සාධු…

සසර කතර දුක් සිඳුණේ
සතර අපා ගිනි නිවුණේ
සදහම් දිය වැසි වැටුණේ
දම්සක් පැවතුම දෙසුණේ
සාධු…. සාධු…. සාධු….

කෙලෙස් මලින් ලොව මිදුණේ
නිවන් දොරට මං ඇරුණේ
අවිඳු අඳුර දුරු කෙරුණේ
මුනිඳු නැණින් ලොව දිලූණේ
සාධු…. සාධු…. සාධු….”

ගීතයේ ප‍්‍රාරම්භකස්ථායී ගායන කොටසේ රාව නංවන ‘ඉසිපතනේ මිගදා වන අරණේ’ යන වදන් නඟන ධ්වනිය වූ කලී මිනිසුන් දෙවියන් සහිත මුළුවිශ්වය ම උතුම් බුදු වදනින් සැනහී නිවී අලූත් ජීවන ප‍්‍රබෝධයක් ආස්වාදය ලැබූ බව අඟවන්නකි. සමස්ත බුද්ධ දේශනාව ම හකුළා දැක්වූ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව පස්වග මහණුන් උදෙසා පැවැත් වුව ද එය දසදහසක් ලෝක ධාතුවල දෙවියන් අතරට පැතිර ගිය අයුරු ‘සුරඹුන් පරසතු සැලූවේ’ යන තෙවදනින් ගම්‍ය වෙයි. ඉසිපතනේ මිගදායෙන් වන ගැබට ගලා ගිය පළමු දහම් පණිවුඩය දෙව් ලොවින් දෙව් ලොවට පැතිර ගොස් දෝංකාර නැඟුවේ සාධුකාර නාද මධ්‍යයේ ය. ගීතයේ වරින්වර ගැයෙන සාධු නාදය දෙව් මුවින් නැෙඟන්නක් වැන්න.

අනන්ත අපරිමාණ කාලයක් මුළුල්ලේ අනවරාග‍්‍ර සංසාරයේ කෙළවරක් නො දකින දුකට වැටී සිටි ජනතාව මැරී ඉපිද යළි ඒ දුකට ම පත්වෙමින් සිටියහ. දෙවි මිනිසුන් ඇතුළු ලෝක සත්වයන්ගේ සසර සැරි සැරීම නතර කරන අදිටනින් යුතු ව සිදුහත් බෝසත් කුමරාණන් සිය මැදුරින් පිටව ගියේ බුද්ධත්වය පසක්කර ගන්නා බව සපථ කරමිනි. යසෝදරා දේවියට ඇසෙන, නො ඇසෙන පරිද්දෙන් බෝසතාණන් කළ ඒ අභීත ප‍්‍රකාශය, ‘යසෝදරාවත’ ලියූ ජනකවියා සඳහන් කළේ මෙපරිද්දෙනි:

‘පැතුම් බලෙන් දෙන්නා ආවේ පේවී
කතුන් සැමට නායක බිම්බා දේවී
ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී
ගොසින් බුදුව එනකල් සිටපන් දේවී’

ගිහි ගෙයින් පිටව ගොසින් වලට වැදී, සය වසරක් දුෂ්කර ක‍්‍රියාවල යෙදෙමින් සත්‍ය ගවේෂණයේ නියැළී, ගයාහිස බෝමැඩ දී උතුම් බුද්ධත්වය පසක්කොට සසර ඇවිදීම නතර කළ බුදුරජාණන් වහන්සේ සසරේ සැරිසරන සත්වයන්ගේ දුක නිවන ම`ග පහදා දුන් සේක. ඒ නිවන් මෙ`ග් ගමන් කරන සත්වයන් සතර අපායන්හි වැටෙන මං ඇවිරී ගියේ ය.

‘‘සතර අපා ගිනි නිවුණේ
සදහම් දිය වැසි වැටුණේ”

සතර අපා ගිනි නිවී ගියේ සදහම් වැසි වැටීමෙනි. දම්සක්පැවතුම් සූත‍්‍රය දේශනා කිරීම සදහම් වැසිදිය ඇදහැලීමක් ලෙෂ පදපබ`ද නිමැයූ සුනිලූන් උපකල්පනය කිරීම සාකල්‍යයෙන් අර්ථාන්විත ය. ඒ සදහම් වැසි දියෙන් නිවී ගියේ දෙවියන්, මිනිසුන් පමණක් නො ව මුළු මහත් සත්ව වර්ගයා ඇතුළු සකල ලෝක ධාතුව ම ය. ගීතයේ අවසානයේයෙ දී ඇති අන්තරා ගී ඛණ්ඩයෙන් එය මනාව සනාථ වෙයි.

‘‘කෙලෙස් මලින් ලොව මිදුණේ
නිවන් දොරට මං ඇරුණේ”

ධම්මචක්ක පවත්තන සූත‍්‍රය දේශනා කිරීමෙන් සකල ලෝක ධාතුවේ ම කෙළෙස් මළ සේදී ගොස් භව ගමන නවතන වැඩපිළිවෙළට ම`ග විවෘත වූ අයුරු දක්වමින් ගීතය නිමා වෙයි.

‘නිවන් දොරට මං ඇරුණේ’ යන ගී ඛණ්ඩය සවනත වැකෙත් ම අමා ගිනි නිවාලමින් ලබන සහනයෙන් ශ‍්‍රාවක රසික සිත් සතන් ද සුපහන් වෙයි. ගීතයේ වරින් වර ගැයෙන ‘සාධු…. සාධු…. සාධු….’ නාදය ශ‍්‍රාවක මුවට ද නැෙඟන්නේ නිතැතිනි. ‘මුනිඳු නැණින් ලොව දිලූණේ’ යන්නෙන් ගීතය අවසන් වෙයි. එයින් ගම්‍ය වන්නේ සොඳුරු පද අර්ථයකි. එනම්, දෙව් මිනිසුන් සහිත මුළු තුන්ලොවට ම ඇස පහළ වූයේ, ඥනය පහළ වූයේ, ආලෝකය පහළ වූයේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ඥනයේ මහිමයෙනි.

මහාමේඝ 2013 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති